ජිනීවා – වෘකයන් සුනඛයන්ව විනිශ්චය කිරීමේ ලෝක පරිමාණ සැසිවාරය

මහින්ද සමරසිංහ ඇමැතිවරයා පසුගිය 25 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 23 වැනි සැසියට සහභාගි වන බව නිවේදනය කෙරුණේ අවසන් මොහොතේදීය. ආණ්ඩුව පැත්තෙන් වැදගත් පුවතක් වූ එම නිවේදනය ජනමාධ්‍ය වෙත ලබා දිය යුතුව තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වුව ද සැබැවින්ම, පසුගිය සිකුරාදා එය ජනමාධ්‍ය වෙත ලබා දුන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙනි.

ඒ දක්වාම ආණ්ඩුවේ බොහෝ දෙනා දැන සිටියේ ජිනීවා නගරය බලා යාමට නියමිතව සිටි කණ්ඩායමේ නායකත්වය වැවිලි කර්මාන්ත ඇමැතිවරයා විසින් බාර ගනු ඇති බව නොවේ. ඇත්ත වශයෙන්ම ඔහුට ඊට සුදුසුකමක් ඇති බවට විවාදයක් නැත. කලක් විදේශ කටයුතු භාරව සිටි සමරසිංහ ඇමැතිවරයා මේ වන විට ද මානව හිමිකම් පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස කටයුතු කරයි. නමින් එම තනතුර දැරුව ද ජිනීවා නුවර සිදු වන්නට නියමිත කිසිවක් සම්බන්ධයෙන් මහින්ද සමරසිංහ දැන සිටියේ නැත. වැවිලි කර්මාන්ත විෂය පිළිබඳව පවා දැනුමක් ඇති බව ප‍්‍රායෝගිකව අමාත්‍යාංශයේ ක‍්‍රියාකාරීත්වය තුළ දක්නට නැති පසුබිමක  වඩා සංකීර්ණ විදේශ සබඳතා හා ලංකාව කේන්ද්‍ර කරගත්  රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් ගැන අවබෝධයක් ඇමැතිවරයා වෙත තිබේ යැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් එදිනෙදා ලෝකයේ සිදුවීම් ඇසුරින් එම දැනුම යම් පමණකට අත් කරගන්නට හැකියාව නොතිබුණා නොවේ. ඒ පිළිබඳ ඔහු දැනුවත් කළ යුතු වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වුව ද විදේශ ඇමැති ජී.එල්.පීරිස් සම`ග ඇති නොහො`ද නෝක්කාඩු හේතුවෙන් මහින්ද සමරසිංහට ලැබිය යුතු තොරතුරු විදේශ අමාත්‍යාංශය විසින් සපයා තිබුණේ නැත.
මේ තත්වය 2012 මාර්තුවේ පැවැති මානව හිමිකම් සමුළුවේ දී පවා දක්නට ලැබුණු, ඇමැතිවරුන් දෙදෙනාගේ ක‍්‍රියාකාරීත්වය හා රාජ්‍ය තාන්ත‍්‍රික ඥානය පිළිබඳ ගැටලූවකි. පසුගිය වසර ආරම්භයේ සිට ආණ්ඩුවේ දේශපේ‍්‍රමය රෙද්ද පල්ලෙන් බේරුණු ‘ජිනීවා’
නාඩගමට සහභාගි වූ වීරවංශගේ සිට මර්වින් දක්වා දේශපාලන විකටයන්ගේ සිට ජිනීවා සමුළුවට සහභාගි වූ ඇමැති රූකඩ ලෙස ජී.එල්. හෝ සමරසිංහ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පදයට නැටුවා මිස හරවත් යමක් ඉටු කර නැත. එකී සමුළුව අවසානයේ ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනාවෙන් ආණ්ඩුව ආරක්ෂා කරගන්නට ලබා ගත් කොන්ත‍්‍රාත්තුව ඉටු කරන්නට හැකියාවක් මේ ඇමැති කුට්ටම වෙත තිබුණේ නැත.
අනෙක් අතට පෙනෙන්නට තිබුණේ 2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් ලංකාවට පැමිණි අවස්ථාවේ ඇති කරගත් එකඟතාවේ ආණ්ඩුව පැටලී සිටි බවය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ (ඛඛඍක්‍* පත් කරමින් ගැලවිජ්ජාවක් දාන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් උත්සාහය ද පාරා වළල්ලක් විය. අවම තරමින් එම කොමිසමේ නිර්දේශ ඉටු කරන්නට දුන් පොරොන්දුවෙන් ද ආණ්ඩුව බොරුකාරයෙක්, වංචාකාරයෙක් බව සනාථ විය. මේ කොමිසම පත් කළේ ආණ්ඩුව දෙස් දෙවොල් තියන ‘බටහිර අධිරාජ්‍යවාදීන්’ හෝ ඔවුන්ගේ ‘දේශීය ඒජන්තයන්’ නොවේ. එම පත් කිරීම සිදු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්මය. එහි වාර්තාව අරලියගහ මන්දිරයට වී සුදත් සිල්වාගේ ඡුායාරූප වැලකට පෙනී සිටිමින් බැ?රුම් ලෙස කියවූයේ ද ජනාධිපතිවරයාමය. ඉන් පසුව තමන් පත් කළ කොමිසමේ ‘වාර්තාව කියවා උගත් පාඩම්’ අනුව, ‘ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම’ නමැති තවත් ගැලවිජ්ජාවක් සකස් කළේ ද ජනාධිපතිවරයාගේ උවමනාවටමය. ඒ කිසිවක් නිසා දමනය නොවී ආණ්ඩුව කියන ‘අධිරාජ්‍යවාදී බලවේග’ ඒකරාශි වෙමින් තිබේ. මේ වන විටත් ජිනීිවා නගරයේ රැුස් වෙමින් තිබෙන ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය’ හමුවේ ආණ්ඩුවට එරෙහි යෝජනාවක් සම්මත කිරීමේ සූදානමක් තිබේ. එම යෝජනාව මෙවරත් ඉදිරිපත් කරනු ඇත්තේ එක්සත් ජනපදය විසිනි.
පසුගිය වසරේදීත් ආණ්ඩුවට දෙස් තියමින් ලංකාවේ යුද්ධයෙන් පසුව 2012 මාර්තු දක්වා ගෙවුණු තුන් වසරක කාලයේ දී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු, මානව හිමිකම් ආරක්ෂා වීම හා වග වීමේ ක‍්‍රියාවලිය සම්බන්ධව සෑහීමකට පත් විය නොහැකි බවට යෝජනාව සම්මත කෙරුණේ එක්සත් ජනපදයේ මූලිකත්වය ඇතිවය. මේ වන විට යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්නය. තවමත් උතුරේ ජනතාවට දේශපාලන නිදහස හෝ සාමාන්‍ය ජන ජීවිතය හිමි වී නැත. සිවිල් ක‍්‍රියාකාරිකයන් මරාදැමීම, අත්අඩංගුවට ගැනීම, ලලිත්-කූගන් ඇතුළු දේශපාලන ක‍්‍රියාකාරීන් සහ සිවිල් පුරවැසියන් පැහැර ගැනීමෙන් පමණක් නොව, දේශපාලන ක‍්‍රියාකාරීන්ට කළු තෙල් ප‍්‍රහාර එල්ල වීම, සාමකාමී විරෝධතාවලට මැරයන් පහර දීම, පුරවැසියන් පැහැරගෙන ගොස් මරාදැමීම, දෙමළ ජනයා පදිංචිව සිටි ඉඩම් නැවත ලබා නොදීම යනාදී හේතු රාශියක් මත ඒ කාරණය තහවුරු වේ. මේ සියලූ මර්දනකාරී සිදුවීම් සිදු වන්නේ ආරක්ෂක හමුදා මුර කපොලූවලින් වට කළ, බුද්ධි අංශ සෙවිල්ලෙන් සිටින යාපනය අර්ධද්වීපය ඇතුළත විශේෂයෙන් යාපනයේ නාගරික පරිසරය තුළය. මේ කිසිදු අපරාධයක් සම්බන්ධව නිසි පරීක්ෂණ නැත. සාක්ෂි විභාග කෙරුණේ නැත. සිදු වෙමින් ඇත්තේ නාමික විමර්ශනවලින් රැුවටීමෙන් කවුරුත් දන්නා බොරු පැළ කරන්නට ගන්නා උත්සාහයක් පමණකි.
මේ නිසා ආණ්ඩුවට ජිනීවා සමුළුව ලෙඩකි. එහෙත් පසුගිය වසරේ මැදපෙරදිග හා ලතින් අමෙරිකානු රටවල පිහිටෙන් එක්සත් ජනපද යෝජනාවට බහුතර බලයක් ලබා නොදෙන්නට හැකි විය. ලතින් අමෙරිකාව එක්සත් ජනපද යෝජනාවට විරුද්ධ වන්නේ තමන්ගේ රටවලට අදාළ දේශපාලන තීරණ හේතුවෙන් මිස ලංකාවට ඇති විශේෂ කැමැත්තකින් නොවේ. මැදපෙරදිග රාජ්‍යයන් ලංකාවේ පැත්ත ගත්තේ කාලාන්තරයක් තිස්සේ මුස්ලිම් රාජ්‍යයන් සම`ග ලංකාවේ පැවැති රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා සහ තෙල් ගැනුම්කරුවකු ලෙස පැවැති  හිතවත්කම් නිසාය. එසේ වුව ද මෙවර ලංකාවේ ආණ්ඩුවේ යම් අනුබලයක් ඇති අන්තවාදී කල්ලි විසින් මුස්ලිම් ජනයාට එරෙහි වෛරී ප‍්‍රචාර ගෙන යාම නිසා එවැනි සුහදතාවක් අපේක්ෂා කළ හැකිදැයි ප‍්‍රශ්නයක් තිබේ. විශේෂයෙන්ම ‘රිසානා’ සිදුවීමේ දී ලංකාවේ ආණ්ඩුව නීතිමය හෝ රාජ්‍ය තාන්ත‍්‍රික තලයේ දී කල් තියා ඉටු කළ යුතු කිසිවක් ඉටු කළේ නැත. දැරිය මරා දැමුණු පසුව, එය සෞදි රජයට විරුද්ධ මත පළ කිරීමේ අඥාන ක‍්‍රීඩාවක් බවට පත් කරගෙන තිබිණි. මේ ආකාරයට ආණ්ඩුව කියන ‘අධිරාජ්‍යවාදී බලවේග’ සියල්ලට රට තුළින්ම ‘අස්වනු’ නෙළා ගන්නට හැකි පරිදි මානව හිමිකම් අපරාධ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයන් වගා කළේ රාජපක්ෂ ආණ්ඩුවමය. එපමණක් නොව, ඒ ‘අපරාධකාරී වගාව’ ගැන ප‍්‍රශ්න කෙරෙන විට ‘අධිරාජ්‍ය විරෝධී, දේශපේ‍්‍රමී’ සටන් කුළු ගන්වන්නේ ද රට තුළ යහපත් තත්වයක් නිර්මාණය කරගනු පිණිස හ`ඩ න`ගන සිවිල් ක‍්‍රියාකාරීන් හා දේශපාලන පක්ෂ වෙත වෛරී ප‍්‍රචාර ගෙන යන්නේ ද රාජපක්ෂ ආණ්ඩුවමය. එක් දෙයක් පැහැදිලිය. මේ ආකාරයට ජාත්‍යන්තර තලයේ නැෙ`ගන චෝදනා සම්බන්ධයෙන් ද ප‍්‍රතිචාර දක්වනු ලබන්නේ ආණ්ඩුව රට තුළ ගෙන යන මුග්ධ ක‍්‍රියාදාමයට සමාන්තර ආකාරයෙනි.
විදේශ ආමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස් සිටිය දී වැවිලි කර්මාන්ත ඇමැති සමරසිංහට අවසන් මොහොතේ ජිනීවා වෙත යන්නට කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ එම අ¥රදර්ශී පිළිවෙතේ පෙළගැස්ම නිසාය. 2012 මාර්තුවේ දයාන් ජයතිලක, තමරා කුනනායගම් වැනි නිලධාරීන් ලවා කොස් ඇට බාවමින් අභියෝගය ජය ගන්නට දැරූ උත්සාහය අසාර්ථක වූ තැන ආණ්ඩුව ඔවුන් පලවා හැරියේ ‘පොල් කුඩු’ පරිද්දෙනි. කොහොමටත් ආණ්ඩුවේ පිළිවෙත රාජපක්ෂ පාලනයට රිසි පරිදි වැඩ කරන සියල්ලන් කිට්ටු කරගෙන කිසිවකු ඊට පිටින් යන්නේ නම් පෙර ඉටු කළ සියල්ල අමතක කර දමා පහර දී පලවා හැරීමය. ඒ නිසාම, 2012 මාර්තු ජිනීවා යෝජනාවෙන් පසුව, ජාත්‍යන්තර සබඳතාවල කිරා මැන බැලීමකින් තොරව ම පසුගිය දෙසැම්බරය වන විට ලංකාවට වාසිදායක තත්වයක් ඇති බවට පුරෝකථනය කරන්නට විදේශ ආමාත්‍යාංශයට හැකි විය. එහෙත් එය එසේ නොවන බව පවසමින් කරුණු දැක්වූ දේශීය හා විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් වෙත ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ ‘අධිරාජ්‍යවාදී’ ලේබලයෙනි.
වෙනකක් තබා හුදු පළි ගැනීමක් ලෙස සනාථව තිබුණු හිටපු අගවිනිසුරුවරිය පිළිබඳ දෝෂාභියෝගයේ දී නීතිගරුකභාවය හා සාධාරණත්වය පිළිබඳ ආණ්ඩුවේ ‘දැක්ම’ ලෝකය හමුවේ නිරාවරණය කළේය. ඇයට එල්ල වූ චෝදනා නිසි පරිදි විමර්ශනය කරමින් ‘සිය පටු අරමුණ’ කරා යන්නට පවා සංයමයක් රාජපක්ෂ කල්ලියට තිබුණේ නැත.
පසුගිය බදාදා කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී පවා දින කිහිපයකින් උදා වන අභියෝගය සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡුා කරන්නට තරම් විවෘතභාවයක්  රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කර නැත. ඇමැතිවරු දැන සිටියේ මෙවර ජිනීවා සමුළුව එතරම් අවාසිදායක නොවන නිසා රාජ්‍ය නිලධාරීන් යවා කාරණා ඉටු කරගන්නට හැකි වනු ඇති බවයි. විටින් විට ආණ්ඩුවේ ප‍්‍රකාශවලින් ඒ බව කියැවිණි. එහෙත් එසේ තීරණය කෙරුණේ විදේශ පිළිවෙතක් පවා නිසි ලෙස සකස් නොකොට රාජපක්ෂ ආණ්ඩුව යන ගමනේ දී දේශපාලන රූකඩයක්ව සිටින ජී.එල්.ගේ වැරැුදි නායකත්වය යටතේය. එහි වරද ජනාධිපතිවරයා විසින් වටහාගෙන ඇත්තේ ද පමා වූ පසුවය.
නිලධාරීන් පමණක් ජිනීිවා යන බව පවසමින් විපක්ෂයෙන් මතු කෙරුණු විවේචනය ද මෙහිදී නොසලකා හැරිය හැකි නොවේ. එහිදී බොහෝ විපක්ෂ දේශපාලන අංශවලින් පැවසූ කරුණක් විය. රට පුරා නීතියේ ආධිපත්‍යය බිඳ දමා තිබේ. පැහැරගෙන යාම, නාඳුනන මළ සිරුරු හමුවීම, සැකකරුවන් මරා දැමීම, කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහළ යාම සහ නීති සංශෝධනයේ දී අන්තර්ජාතික එකඟතා බිඳ දැමීම ආණ්ඩුව විසින් පසුගිය කාලයේ වගකිවයුතු තත්වයන් වේ. ඒ නිසා විපක්ෂයෙන් කියැවුණේ දේශපාලන නායකත්වයකින් තොරව නිලධාරීන් ජිනීවා වෙත යවනු ලබන්නේ දැනටමත් ආණ්ඩුව පරාජය පිළිගෙන ඇති නිසා බවයි.

කරුණු විමසීමේ දී තමන් රාජ්‍යතාන්ත‍්‍රික පරාජයක් අබියස සිටින බව ජනාධිපතිවරයා වටහා ගන්නට ඇත. පසුගිය 23 වැනිදා ඇමැති මණ්ඩල රැුස්වීමෙන් පසුව, පැත්තකට කැඳවා ජිනීවා යන්නට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද සමරසිංහට පවසනු ලැබුවේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. එයින් පසුව තක්කු මුක්කු වී ඊට සූදානම් වූ මහින්ද සමරසිංහ ඇමැතිවරයා පෙබරවාරි 25 වැනිදා එනම් එයින් දින දෙකකට පසුව ආරම්භ වීමට නියමිත සමුළුව සඳහා පිටත්ව යා යුතු විය. තවත් දින දෙකකින් එනම්, පෙබරවාරි 27 වැනිදා ඔහුට සමුළුවේ දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වීමට සිදු විය.  එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාව සඳහා දින නියමිතව ඇත්තේ මාර්තු 25 වැනිදාටය. මේ ආකාරයට පළමු අදහස් දැක්වීමෙන් පසුව සැලකිය යුතු කාලයක් ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමේ හැකියාවක් ආණ්ඩුව කියන ‘අධිරාජ්‍යවාදී’ බලවේගවලට තිබේ.
ඒ නිසාම ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා මහින්ද සමරසිංහ ඇමැතිවරයාට ලැබුණු හදිසි කොන්ත‍්‍රාත්තුව ඔහුගේ දේශපාලන ජීවිතය අතුරේ යැවීමක් ලෙස ද සැලකිය හැකිය. ඒ සියල්ල අවසානයේ දී ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයේ වැරැුදි ජාත්‍යන්තර මට්ටමෙන් දෝෂ දර්ශනයට ලක් වීමෙන් සතුටට පත් වන්නට විපක්ෂයට හැකියාවක් නැත. මන්ද යත් ලංකාවට එරෙහි යෝජනා සම්මත වූ පසුව දුෂ්කරතා විඳිනු ඇත්තේ ඒ ‘ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී’ දරුවා ජාතක කළ රාජපක්ෂ කල්ලිය නොවන නිසාය.

———————————————————————————-
එක්සත් ජනපදය ගෙන එන යෝජනාවෙන්

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 23වැනි සමුළු වාරයට එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ යෝජනාවේ අඩංගු වනු ඇතැයි අපේක්ෂිත කරුණු මෙසේය.
  2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්, නවනීදන් පිල්ලේ විසින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව පිළිගනිමින් එමගින් ඉදිරිපත් කරන නිර්දේශ වහාම කි‍්‍රයාත්මක කළ යුතු බවට ලංකාවේ ආණ්ඩුවට බලකර සිටී.
  3. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් ආණ්ඩුවට ලබාදුන් නිර්දේශ වහාම ක‍්‍රියාත්මක කළ යුතු බවටත් ඊට අමතරව ලංකාව තුළ යුක්තිය පසිඳලීම, සමානාත්මතාව හා වගවීම සම්බන්ධ අවශ්‍ය වන නීති සංශෝධනය කළ යුතු බවටත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ අවස්ථා පිළිබඳ වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවටත්   අවධාරණය කරයි.
  4. මානව හිමිකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන බලයලත් සාමාජික රටවල නියෝජිතයන්ට, විශේෂ නියෝජිතයන්ට, විනිසුරුවරුන්ට හා නීතිඥයන්ට ලංකාවේ ආණ්ඩුව විසින් කිසිදු බාධාවකින් තොරව රටට ඇතුළුවීමට අවස්ථාව ලබාදිය යුතුය.
  5. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, සමාගමයේ නිදහස, නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම්, රඳවා තැබීම්, ද`ඩුවම්වලට යටත් කිරීම්, පැහැරගැනීම් හා අතුරුදන් කිරීම්, සුළුතර ජනකොටස්වලට හා කාන්තාවන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් ක‍්‍රියාකාරී වන ස්වෙච්ඡුා සේවකයන්ට එම කටයුතු සඳහා අවස්ථාව සැලසීම, රැුකවරණය ලබා දීම සඳහා බලකර සිටී.
  6. ඉහත පියවර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට හා විශේෂ බලයක් සහිත සාමාජික රටවල නියෝජිතයන්ට ලංකාවේ ආණ්ඩුව සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ධෛර්යමත් කරයි.
  7. ලංකාවේ ජන කොටස් අතර, සංහිඳියාව, නැවත පදිංචි කිරීම, වගවීම, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ අවස්ථා පිළිබඳ පරික්ෂණ පැවැත්වීම යන කරුණු සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සමඟ සංවාදයක් පවත්වා ගනිමින් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙසත්, ඇතිවූ ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ඉදිරි (24වැනි) සැසිවාරයට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.

– චන්දන සිරිමල්වත්ත

Advertisements