මත්තල දී නොකී කතාව

mattalaමේ, පසුගිය 18 වැනිදා මත්තල දී ඇහුණ කතාවක් ලෙස වරදවා වටහාගත්තාට කවුරුවත් විරුද්ධ නැත…..

‘‘ප‍්‍රිය සම්භාවනීය අමුත්තනි,
තානාපතිවරුනි, මහකොමසාරිස්වරුනි,
නංගී, මල්ලී,
කුරහන් හේනේ, කුඹුරේ සුවඳ දන්න අපට අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාසල්, මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණ, මහින්ද රාජපක්ෂ වරාය, මහින්ද රාජපක්ෂ වැසිකිලි සංකීර්ණ අතරට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළත් එක්වීම සතුටට කරුණක්, නැද්ද අපේ හාමුදුරුවනේ.
ගම්වල ගෑනු උදවිය මැද පෙරදිග යනවා. ඉස්සර නම් කටුනායකට යන්න ඕන රට යන්න. මෙහේ ඉඳලා කොළඹට යන්න කොච්චර වෙලා යනවාද? එච්චර දුරක් බස් එකේ යන්න ඇහැකියැ? හම්බන්තොට ඉඳලා අම්පාරට පැය තුනයි. අපි පාරවල් කාපට් කරනවා. ඒ නිසා ඔන්න අපි හැදුවා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. සොපිනෝනා අම්මේ මං මේ ඔහේට කියන්නේ, රට යන්න ඕන කියලා ඔහේ කිව්ව නෙව. දැන් ඔන්න ගෙදර එළිපත්තෙ ඉඳලා කිසි බයක් හැකක් නැතුව ප්ලයිට් එකට පය තියන්න ඇහැකි. දැන් කටුනායක ගිහින් යන්නෙ කොහෙන්ද එන්නෙ කොහෙන්ද? කියලා සුනංගු වෙවී ඉන්න ඕන නෑ. දැන් ඔහේලට, මැදපෙරදිග ගිහින්, බායි ඇහුවාම කොහෙන්ද ආවේ කියලා, ගමේ එයාර් පෝට් එකෙන් නැග්ගේ කියලා කියන්න ඇහැකි. කොච්චර ආඩම්බරයක්ද?
රට ඉඳලා එන කට්ටියටත් එහෙමයි. දැන් ඉස්සර වගේ කටුනායකින් බැහැලා ගෙදර යන්න බස්එක ගන්නේ කොහෙන්ද කියලා ඉස්පාසුවක් නැතිව බලා ඉන්න ඕන නෑ. මත්තලින් බැහැලා ඕන්නං ? වුණොත් ගහක් පල්ලෙ බුදියං ඉඳලා වුණත් ගියෑකි. මොකෝ නොදන්න පළාතක්යැ, ගම නේ, නැද්ද අපේ හාමුදුරුවනේ. ඕන්නං අලි එනවට ගිනි මැලයක් ගහගන්න වෙයි, එච්චරයි.
එතකොට අධිවේගී මාර්ගෙ හැදුවෙ ඉක්මනට එන්න නොවේ ද අල වවන්නද කියලා අහන උන්ට කියන්න තියෙන්නේ, මං උන්ට පස්සෙ කියා දෙනවයි කියලා මේ වෙලාවේ කියන්න ඕන.
කවුද අලූගුත්තේරුවෙක් කියලා තිබුණා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළට ගෙනාවේ කටුනායක බඩු කියලා. මුන්ගෙ කටවල්වලට හෙණ ගහන්න එපැයි අපේ හාමුදුරුවනේ, මේ කියන අපරාධ කතාවලට. අපි එහෙම කොරනවාද? කලින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණය හැදුවාම කිව්වා ඒකට පුටු ගෙනාවේ දඹුල්ලේ ක‍්‍රීඩාංගණයෙන් ගලවලා කියලා. දඹුල්ලේ අලූත්වැඩියාවකට පුටු ගලවලා තියෙන වෙලාවක හොරෙන් ෆොටෝ අරගෙන දාලාත් තිබුණා. ඒ පුටුම ලූ හම්බන්තොට තිබුණේ. කොම්පැනියක් එක ජාතියේ පුටු හදන්නේ එක තැනකටයැ? එහෙම නෑනෙව? එක වගේ පුටු දෙපොළක තියෙන්න බැරියැ? පුළුවන් නෙව. කටුනායක මානව සම්පත්, භෞතික සම්පත් මෙහෙට ගෙනාවා කියන එකත් ඒ වගේ කතාවක්.
අපි ණය ගන්නවාලූ. ඔව්, අපි ණය ගන්නවා තමයි. අපි ණය ගන්නේ කන්න නොවෙයි, අපේ හාමුදුරුවනේ, මේ වගේ සංවර්ධන වැඩවලට. ඒ ණය ගෙවන්න වෙන්නේ අනාගත පරම්පරාවටලූ. මේ සංවර්ධන ව්‍යාපෘතිවල ආඩම්බරේ කාට ද? අපිට ද? නෑ, අනාගත පරම්පරාවට. එහෙනං ඉතින් ගන්න ණය උන් එපායැ ගෙවන්න. අපි ගෙවන්නෙ මක්කටෙයි?
සමහරු කියනවා මේ පළාත කුරුලූ පාරාදීසයක්ය කියලා. එහෙම තැනක තමයි අපි මේ වගේ ගුවන් තොටුපළක් හදන්න ඕන. එතකොට තමයි සුද්දො වුණත් එන්න ආස වෙන්නේ. කුරුල්ලන්ගෙන් ගුවන් ගමන්වලට බාධා වෙනවාලූ. මේ ඇබිච්චං කුරුල්ලෙක්ට ඇහැකිද, සද්දන්ත ප්ලේන් එකකට බාධා කොරන්න? අනේ මයෙ කට… එක කුරුල්ලෙකුටවත් එක ගුවන් යානෙකටවත් අනතුරක් කරන්න ඉඩ දෙන්නේ නැතෙයි කියලා මං මේ වෙලාවේ කියනවා.
අපි මේ ගුවන් තොටුපළ වටේට කම්බි වැටක් ගහනවා. ඒ කම්බි වැටේ එල්ලිලා සුද්දො අලි බලන හැටි තව සුමානෙකින් බලන්න පුළුවන්. අලිත් ඇවිත් බලං ඉඳියි කවදාවත් නැතුව මොකද සුදු කකුල් තියෙන ගෑනු ඇවිත් කියලා. සමහරු කියනවා එයාර් පෝට් එක නිසා අලි-මිනිස් ගැටුම් වැඩි වෙයි කියලා. අලි ගහන්නෙ එයාර් පෝට් එක නිසාද? ඇයි මීට කලින් අලි ගහලා මිනිස්සු මැරුණෙ නැද්ද?
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට විරුද්ධව ඔය කියන කතාවලින් අපි සැලෙන්නේ නෑ. මාව එක විදුලි පුටුවකට නොවෙයි, විදුලි පුටු දහයකට යැව්වත් මේ වගේ එයාර් පෝට් හදන එක නවත්වන්නේ නෑ කියන එක මං කියනවා. අපි ගම නගරෙට ගෙනියනවා. නගරෙ ගමට ගෙනියනවා. මේ රට අච්චාරුවක් කරනවා.
ස්තූතියි.’’

පිටපත – ජේ.ටී. ගමගේ

Advertisements