ඇන්ටනී මරා දැමූ ආණ්ඩුව ධීවරයන්ට කොකා පෙන්වති!

DSC03612මේ කතාව ඇරඹිය යුත්තේ ධීවරයකු ඝාතනය කිරීමේ සිදුවීමෙනි. 2012 පෙබරවාරි 15 වැනිදා වෙඩි තබා ඝාතනය කළ ඔහු වර්ණකුලසූරිය ඇන්ටනී ප‍්‍රනාන්දුය. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව එදින හලාවත දී පැවැති උද්ඝෝෂණයට පොලිසිය හා විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තැබීම නිසා තවත් ධීවරයෝ බොහෝ දෙනෙක් තුවාල ලබා නැවත රස්සාවට යා නොහැකි ආකාරයට ආබාධිත වූහ. කායිකව හා මානසිකව ආබාධිත වූ ආවේ  මරියා නම් තවත් ධීවරයෙක් ඉන් පසුව සියදිවි නසා ගත්තේය.

මේ සියල්ල අවසානයේ ප‍්‍රකෝපකාරී ධීවර ජනතාව අස්වැසීමට ආණ්ඩුව අලූත් මැජික් යෂ්ටියක්් භාවිත කළේය. ආණ්ඩුවට අනුව එය තෙල් සහනාධාරයකි.

2012 පෙබරවාරි 11 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ දී ඞීසල් ලීටරයක මිල රුපියල් 31 කින් ද එනම් රුපියල් 121 දක්වා ද පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ද එනම් රුපියල් 155 දක්වා ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35කින් ද එනම් රුපියල් 106 දක්වා ද ඉහළ දමනු ලැබුවේය. සාමාන්‍යයෙන් පිටත එන්ජින් සවි කළ බෝට්ටුවකට දිනකට භූමිතෙල් ලීටර 40-50ක් අතර ප‍්‍රමාණයක් වැය වේ. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 සිට 106 දක්වා 50%කින් ඉහළ දැමීම හේතුවෙන් සිදු වූ ලීටරයකට රුපියල් 35ක මිල වැඩි වීම නිසා දිනකට රුපියල් 1750ක භූමිතෙල් සඳහා වූ අමතර වියදමක් දැරීමට ධීවරයාට සිදු විය. එන්ජිම සඳහා යොදවන ලිහිසි තෙල් මිල ද දිනෙන් දින ඉහළ යයි. එන්ජිම පණ ගන්වන පෙට‍්‍රල් ලීටර 03 සඳහා ද පෙට‍්‍රල් මිල වැඩි වීමට සාපේක්ෂව දිනකට රුපියල් 363ක මුදලක් වැය කිරීමට ධීවරයාට සිදු විය. ඒ අනුව ධීවරයාගේ මඩිස්සලයෙන් දිනකට රුපියල් 2150ක මුදලක් තෙල් සඳහා පමණක් වැය විය. සාමාන්‍ය ධීවරයෙක් මසකට දවස් 20ක් මුහුදු යන බවට උපකල්පනය කළහොත් තෙල් සඳහා පමණක් ඔහුගේ මාසික වියදම රුපියල් 43,000කි. බහුදින ධීවර යාත‍්‍රාවකට දින 25ක සංචාරයක් සඳහා ඞීසල් ලීටර 5000ක් පමණ අවශ්‍ය වේ. ඞීසල් මිල රුපියල් 31කින් ඉහළ යාම නිසා එක් ගමනකට වැඩිපුර වැය වන මුදල රුපියල් 155,000කි. මේ වන විට ධීවරයන් මුහුණ දෙන ප‍්‍රධානම ගැටලූව වී ඇත්තේ මෙය වුවත් ධීවර ජීවිත දෙකක් බිල්ලට ගැනීමෙන් පසුව ද විසඳුම් ලෙස ආණ්ඩුව ලබා දුන්නේ තෙල් සහනාධාරයක් පමණි. ඉන්ධන මිල වැඩි වීම නිසා මාසිකව රුපියල් 43,000ක් වැය වන භූමිතෙල් භාවිත කරන එක් දින යාත‍්‍රාවලට රුපියල් 9,350ක තෙල් සහනාධාරයකුත් ඞීසල් භාවිත කරන බහුදින යාත‍්‍රාවලට වැඩිපුර වැය වන 155,000 වෙනුවට රුපියල් 30,000ක සහනාධාරයකුත් ලබා දුන්නේය. කොතරම් පුදුමයක්ද? ජනතාව ඉල්ලූවේ තෙල් මිල අඩු කරන ලෙසය. ආණ්ඩුව දුන්නේ ජනතාව කිසිසේත්ම නොඉල්ලූ වෙනත් පිළිතුරකි.

ආණ්ඩුව විසින් ලබා දුන් මේ කියන තෙල් සහනාධාරය ලබා ගැනීමට නම් ඇමැතිවරයා සභාපතීත්වය දරන ‘ග‍්‍රාමීය ධීවර සංවිධානය’ නමැති සමිතියේ සාමාජිකත්වය ලබාගත යුතුමය. එයට ද රුපියල් 100ක් අය කරනු ලබයි. හොරාගේ අම්මාගෙන් පේන ඇසීමෙන් ධීවරයන්ට අත්වෙන වාසිය කිම? රක්ෂණය වීම ද තෙල් සහනාධාරයට හිමිකම් කීමේ තවත් කොන්දේසියකි. මෙම රක්ෂණය සඳහා ද රුපියල් 750 සිට රුපියල් 1500 දක්වා ගෙවීමට සිදු වී ඇත. මේ සියල්ලම සම්පූර්ණ කිරීමට දින ගණන් රස්සාවට නොගොස් ධීවර කර්යාලවල රස්තියාදු වීමට සිදුව තිබෙන්නේ ධීවරයාටය. බහුදින යාත‍්‍රාවල ඇති ‘රෙකෝඞ් බුක්’ එක පිරවීම ද සහනාධාරයට හිමිකම් කීමේ ප‍්‍රධාන කොන්දේසියක් වී ඇත. පාලකයන් හතරවටින්ම මෙලෙස වැටකඩොලූ බඳින්නේ ධීවර ජනතාව නඟා සිටුවීමේ සද්භාවයෙන්ද?

එලෙස දහසක් කොන්දේසිවලට යටත් කොට ලබා දුන් ‘තෙල් කාඞ්’ එක ‘මැජික් යෂ්ටියේ’ කාර්යභාරය ඉටු කරමින් සිටින්නේද? දැන් ධීවර ජනතාව සතුටු සිතින් තමන්ගේ රස්සාවෙහි නියැළෙන්නේද? අපි සොයා බැලූවෙමු.

ඔහු නමින් ලැනී ප‍්‍රැන්සිස්ය. මේ ඔහුගේ හඬයි.

‘‘තෙල් කාඞ් එක මේ මාසේ තාම ලැබුණේ නෑ. අපි බලාගෙන ඉන්නවා ලැබෙයි කියලා. ඒත් තාම නෑ. තෙල් කාඞ් එකෙන්  ධීවරයන්ට ලැබුණු සහනයකුත් නෑ. ඒත් ඒක එක වෙලාවකට ප‍්‍රයෝජනවත් වුණා. අපි දැන් කබලෙන් ළිපටම වැටිලා තියෙන්නේ. දැන් ඉතින් මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. තාත්තා කෙනෙක් විදියට තමන්ගෙ දරුවන්ට කන්න බොන්න දෙන්න බැරි වුණොත් ජීවත් වෙලා මොකටද? ධීවරයන්ට අදාළ ප‍්‍රශ්න ගොඩාක් තියෙනවා. ප‍්‍රධානම ප‍්‍රශ්නෙ තමයි ඉන්ධන මිල වැඩි වීම. අපි කියන්නේ අපිට සහනාධාර එපා. ඉන්ධන මිල අඩු කරලා දෙන්න. ඒ ඇති. අඩුම ගාණෙ තෙල් ලීටරයක් රුපියල් 71.10 ටවත් දෙන්න කියලා තමයි අපි කියන්නේ. රජය කියනවා මස් රාත්තලම ඉල්ලනවලූ. අපි හදන්නේ රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නලූ. ඒක නිසා තමයි අපි කියන්නේ ලීටරයක් රුපියල් 71.10ටවත් දෙන්න කියලා. ආම්පන්න මිලත් එකට එකක් වැඩි වෙලා. හැම දේකටම බදු ගහනවා. මේකෙදි ධීවරයන්ට කියන්න  ඕන තනි තනියම මේ ප‍්‍රශ්නය කවදාවත් විසඳන්න බෑ. අපි ඔක්කොම එකතු වෙන්න  ඕන.’’

ඔවුන්ට ලබා දී ඇත්තේ ඔවුන් ඉල්ලපු දෙය නොවේ. එය ලබා ගැනීමට ද විඳින්නට සිදු වී තිබෙන දුක්ගැහැට අපමණය. මුහුද ජයගත්, ස්වෝත්සාහයෙන් නැඟී සිටි ධීවරයාට අද සිදු වී තිබෙන්නේ පාලකයන් අබිමුව දණ ගැසීමටය. රටේ නිෂ්පාදන ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ධීවරයාට අද අත් වී ඇති ඉරණම කුමක්ද? මේ තවත් ධීවරයෙකි. නමින් ගිල්බට් ප‍්‍රනාන්දුය.

‘‘ඉන්ධන ප‍්‍රශ්නයට තවම නිශ්චිත විසඳුමක් අපිට ලැබිලා නෑ. ඒකට තාවකාලික විසඳුමක් විදියට තෙල් කාඞ් එකක් දෙනවා. මේ මාසේ ඒකත් ලැබුණෙ නෑ. ඒ වුණාට තෙල් සහනාධාරය කියන්නෙ තේරුමක් නැති දෙයක්. තෙල් සහනාධාරයෙන් අපි රජයට වහල්ලූ වෙලා. අපිට නිතරම එයාලා ළඟට ගිහින් හිඟාකන්න වෙලා. ඉල්ලීම් කරන්න වෙලා. ඇයි අපි එහෙම කරන්නේ. අපි තෙල් මිල වැඩි නිසා තෙල් මිල අඩු කරන්න කියලනේ ඉල්ලූවේ. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නෙ සමුපකාරේ වගේ පෝලිම්වල ඉන්න. තෙල් මිල අඩු කළා නම් මේ ප‍්‍රශ්න සේරම විසඳෙනවා. රජය හිතන්නේ මාළු මුහුදෙ ඉන්නවා, අපි ගිහින් අරන් එනවා කියලා. ඒත් එහෙම නෙමෙයිනේ. අපි මාළු හොයන්න  ඕන. මාළු අද ඉන්න තැන නෙමෙයි හෙට ඉන්නේ. මාළු හොයන්න තෙල්  ඕන වෙනවා.

ධීවර ආම්පන්නත් හැම එකක්ම මිල අධිකයි. යම් කාලසීමාවක් තියෙනවා යම් දෙයක්් භාවිත කරන්න පුළුවන්. යන්ත‍්‍ර සූත‍්‍රවල‍්‍ර කාලය ඉකුත් වෙනවා. රජය හිතන්නේ අවුරුදු පහක් භාවිත කරන යන්ත‍්‍ර සූත‍්‍ර අපි අවුරුදු 20ක් භාවිත කරන්න  ඕන කියලා. අපි ඉල්ලන දේවල් නෙමෙයි රජය අපිට දෙන්නෙ. රජයට  ඕන, පොඩි පොඩි සහන අපිට දීලා අපි දණ ගහලා නිතරම ඒවා ඉල්ලනවා දකින්න. ‘අපේ දීමනා දෙන්නකෝ!’ කියලා අපි ඉල්ලනවට තමයි රජය කැමති. රජය කවදාවත් වැට් අඩු කරලම නෑ. අද වෙරළට ගිහින් බලන්න ගොඩාක් බෝට්ටු රස්සාවට ගිහින් නෑ. අහලා බලන්න තෙල් නෑ. තෙල් සහනාධාරයක් කියලා එකක් දීලා රජය අපිව රැුවැට්ටුවා. ඒත් මම හිතන්නෙ නෑ රජයට හැමදාම පුළුවන් වේවි කියලා ධීවරයා රවටන්න. මං හිතන්නේ තවදුරටත් බෑ.’’

ඔවුන් කලකිරී ඇත. නමුත් ඒ තරමටම ඔවුන් සටන්කාමී වී ඇත.

2011 වාර්ෂික අයවැයෙන් ධීවර ක්ෂේත‍්‍රය සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 4,450කි. 2012 දී වෙන් කළේ රුපියල් මිලියන 3658කි. 2013 වර්ෂයේ එය තවත් කප්පාදු කොට අයවැයෙන් වෙන් කළ මුදල වන්නේ රුපියල් 2,687කි. එලෙස ධීවර ක්ෂේත‍්‍රය සඳහා වෙන් කරන මුදල් කප්පාදු කරන අතරම ධීවර ආම්පන්න සඳහා අය කරන බදු ඉහළ දමනු ලබයි. දැල් සඳහා ආණ්ඩුව 34%ක බදු මුදලක් ද බෝට්ටු සහ එන්ජින් සඳහා 31%ක බදු මුදලක් ද අය කරනු ලබයි.

කලපු ආශ‍්‍රිතව මාළු, ඉස්සන් අල්ලමින් සිය ජීවිකාව පවත්වාගෙන යන ධීවරයාට ද මෙම තත්වය පොදුය. ඔහු ජෝසප් පීටර්ය. කලපු ධීවරයෙකි.

‘‘මම මාළු අල්ලන්නේ කලපුවේ. ඒ වුණාට දැන් කලපුවලත් ඉස්සෝ, මාළු නෑ. ඒකට ප‍්‍රධානම හේතුව තමයි කඩොලාන වගේ ස්වභාවික පරිසර විනාශ කිරීම. ඒවා ගොඩ කරනවා. ඉස්සො, මාළු බීජ තියෙන්නෙ මුහුදේ. මුහුදෙන් එන ඒ බීජ තැන්පත් වෙන්නේ කඩොලාන, පන් කැලෑ වගේ ස්වභාවික පරිසරවල. තවත් එකක් තමයි කලපුවට පොලිතින් වගේ ඒවා දාන එක. තවත් ප‍්‍රධානම දෙයක් තමයි ගාමන්ට් ෆැක්ටරිවලින් එන අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වගේ දේවල් කලපුවලට දැමීම. එයාලා නම් කියන්නේ ඒවා පිරිපහදු කරලා එවනවා කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නෑ. මේ නිසා මාළු, ඉස්සෝ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. තවත් එකක් තමයි ආණ්ඩුවෙන් ගෙනාපු සී ප්ලේන් ව්‍යාපෘතිය. සී ප්ලේන් බස්සන්න හැදුවේ කලපුවේ මීගමුවේ ‘මඩබොක්ක’ කියන ප‍්‍රදේශයේ. මාළු හොඳටම ඉන්න ප‍්‍රදේශයක් තමයි ඒ. අපි ඒකට විරුද්ධ වුණු නිසා තාවකාලිකව ඒක නවත්වලා තියෙනවා. දැන් ‘ද`ඩුගම්ඔයේ’ තමයි බස්සන්නේ. ඒකටත් ගොඩාක් පරිසරය විනාශ කරලා ඉවරයි. මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ ධීවර කර්මාන්තය විනාශ වෙන එක. ඒක ගැන කිසිම බලධාරියකුට කිසිම ගාණක් නෑ. අන්තිමට සිද්ධ වෙන්නේ අපිට ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති වෙන එක.’’

මේ සමස්ත ධීවරයා මුහුණ දෙන පොදු ගැටලූය. මේවා මුළු දිවයිනටම පොදු වුවත් උතුරේ ධීවරයා ඒවාට අමතරව තවත් සුවිශේෂී ගැටලූ ප‍්‍රමාණයකට මුහුණ දෙමින් සිටී. ආණ්ඩුව ලබා දෙන රුපියල් 9,350ක තෙල් කාඞ් එක ලබා ගැනීමට උතුරේ ධීවරයාට හාරදහසක – පන්දහසක මුදලක් වියදම් කරමින් කිලෝමීටර හැට හැත්තෑවක දුරක් යා යුතුව ඇත. දකුණු ඉන්දීය ධීවරයන්ගේ මැදිහත් වීම් නිසා ද උතුරේ ධීවරයා දැඩි මාළු අර්බුදයකට මුහුණ පා සිටී. අනවසර දකුණු ඉන්දීය ධීවරයන් අල්ලනු ලැබුව ද පවතින දේශපාලන අධිකාරය විසින් ඔවුන්ව ඉතා ඉක්මනින් නිදහස් කරගනු ලබයි. නමුදු ලාංකේය ධීවරයා ඒ අයුරින් අත්අඩංගුවට පත් වුව ද ලංකා ආණ්ඩුව ඒ ධීවරයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව ධීවරයන්ගේ අදහසයි. එයට අමතරව ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාගේ හෙංචයියන් දේශපාලන හයිය මත සතියට දවස් තුනක් උතුරු මුහුදේ මාළු අල්ලනු ලබයි. එම දවස් තුනේ දී  උතුරේ සාමාන්‍ය ධීවරයන්ට මුහුද තහනම් අඩවියකි. තත්වය එතරම්ම භයානකය. උතුරේ බොහෝ ප‍්‍රදේශවල කිසිදු යටිතල පහසුකමක්වත් නැත. කොළඹ ජොගින් පාක්වල අඩියෙන් අඩිය සෝලා පවර් විදුලි බල්බ සවි කර ඇති යුගයක උතුරේ ධීවරයාට සිය තොටුපළ සොයා ගැනීමට විදුලි බල්බයක්වත් නැත. පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපේ‍්‍රමී ව්‍යාපාර මේ ධීවර ගැටලූ හමුවේ නිහඬය. අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර නිහඬය. බොදු බල සේනාව නිහඬය.

ධීවරයන් මුහුණ දී සිටින මෙම අර්බුද පිළිබඳ විමසීමට ධීවර ඇමැති රාජිත සේනාරත්න සම්බන්ධ කර ගැනීමට ජනරළ කොතෙක් උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ විය. දුරකථනයට සම්බන්ධ වන පුද්ගලයා පවසන පරිදි බොහෝ අවස්ථාවල ඔහු මීටිමකය. විටෙක විවාහ උත්සවයකය. විටෙක හදිසි රැුස්වීමකය. ධීවර ජනතාව වෙනුවෙන් ඔහු එතරම්ම කාර්යබහුලය.

——————————————————————-

ධීවරයන්ට කිසිම ප‍්‍රශ්නයක් නෑ
-ඩග්ලස් දේවානන්ද

Douglas Devananda3_1ධීවරයන්ට කිසිම ප‍්‍රශ්නයක් නෑ -ඩග්ලස් දේවානන්ද

උතුරේ ධීවරයාට කිසිම ප‍්‍රශ්නයක් නෑ. උතුරු මුහුදේ සතිය පුරාම මාළු අල්ලන්නේ මගේ ආධාරකාරයෝ තමයි. ධීවරයන්ට කිසිම ගැටලූවක් නෑ. ධීවර ආම්පන්න, යටිතල පහසුකම් හැමදේම දීලා තියෙන්නේ. තොටුපළවල් හදලා දීලා තියෙන්නේ. කවුද කියන්නේ ධීවරයන්ට ප‍්‍රශ්න තියෙනවා කියලා. ධීවරයන්ට කිසිම ප‍්‍රශ්නයක් නෑ.

——————————————————————-

ධීවරයා අර්බුද ගණනාවකට මැදි වෙලා

Prasannaප‍්‍රසන්න අබේවික‍්‍රම – කැඳවුම්කරු, ධීවර සංවිධාන එකමුතුව

අද ධීවර ජනතාව විශාල අර්බුද ගණනාවකට මැදි වෙලා ඉන්නේ. ඒ අතරින් ප‍්‍රධානම ගැටලූව තමයි තෙල් මිල ඉහළ යාම. ආණ්ඩුව හදන්නේ ධීවරයා, ධීවර කර්මාන්තය නඟා සිටුවන්න නෙමෙයි. ධීවරයාව තළලා, පෙළලා, පොඩි කරලා දාන්න. මෙන්න මේකට එරෙහිව තමයි අපි උතුරු නැෙඟනහිර ඉඳලා හම්බන්තොට දක්වා සියලූ ධීවර ජනතාව එකතු කරලා ‘ධීවර සංවිධාන එකමුතුව’ පිහිටුවා ගත්තේ. ධීවරයා මුහුණ දී සිටින මේ ගැටලූවලට තනියම විසඳුම් හොයන්න බෑ. මේකට විසඳුම් ලබා ගන්න පුළුවන් අරගල කිරීමෙන් විතරමයි. මේකට ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලූම ධීවරයන් ඒකරාශී විය යුතුයි. එහෙම නැති වුණොත් මේ යන විදියට ධීවරයන්ට හෙට දවසක් නැති වෙනවා.

 නිලූකා තරංගනී

Advertisements