පැපිලියානේ දී කවුරුවත් ගැහුවෙත් නෑ පැමිණිලි කළෙත් නෑ

DSC03694දිනය පෙබරවාරි දෙවැනිදාය. ස්ථානය ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයයි. දහවල් දොළහ පසු වන විට පසුගිය දින කිහිපයක් තිස්සේම රඟදක්වන ලද තවත් නාටකයකට හදිසියේම විරාම තිත තැබීම සිදු විය. ඒ කිසියම් පිරිසක් විසින් පැපිලියානේ මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳසලකට එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධ නඩු විභාගයයි. අවසානයේ දී ප‍්‍රහාරය එල්ල කළවුන් ද එම ප‍්‍රහාරය මෙහෙයවූවන් ද ප‍්‍රහාරයට ලක් වූවන් ද යන සියලූම පාර්ශ්වයන් සතුටු සිතින් අධිකරණ භූමියෙන් නික්ම ගියේ කිසිවක්ම සිදු නොවූ පරිද්දෙනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ප‍්‍රකාශ කළේ, අදාළ ප‍්‍රහාරයට ලක් වූ පාර්ශ්වය මහත්වරු පරිද්දෙන් හැසිරී නඩුව ඉදිරියට රැුගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන් බවයි. ගහන්න, ගහන්න වඳින එකාත් මෝඩයෙකි. වඳින්න, වඳින්න ගහන එකාත් මෝඩයෙකි. අප අසා ඇත්තේ එලෙසය. එසේ වුවත් ගංගොඩවිල අධිකරණය හමුවේ සිදු වූ දෙයින් පැහැදිලි වන්නේ වෙනස් දෙයකි.

එම සිද්ධියට අදාළව මෙතෙක් සමාජගත වී තිබූ තොරතුරු වන්නේ පසුගිය 28 වැනිදා කිසියම් පිරිසක් විසින් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට පහර දී අලාභහානි සිදු කොට ඇති බවයි. මෙම සිදුවීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකුට ද පහර දී ඇති බවයි. පසුගිය දිනවල මෙවැනිම යම් ක‍්‍රියාදාමයන් පසුපස සිටි අන්තවාදී සංවිධාන පවසා සිටියේ එම ප‍්‍රහාරයේ වගකීම තමන් බාර නොගන්නා බවත් එයට වගකිවයුත්තන් සොයා වහාම දඬුවම් ලබා දිය යුතු බවත්ය. කෙසේ නමුදු අවසානයේ දී මෙම සිද්ධියට සම්බන්ධ හිමිවරු තුන් නමක් සහ පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන දෙපාර්ශ්වයේම කැමැත්ත මත ඔවුන්ව නිදහස් කරන ලදී. එතැනින් එම නාටකය අවසාන විය.

ඔබ සිතන්නේ එලෙසද? නැත. අප එම නාටකයේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු සොයා යෑම ආරම්භ කළේ ඉන් පසුවය. මෙම නාටකය ඉබේම හටගත්තක්ද? නැතිනම් එය පෙර සූදානමක ප‍්‍රතිඵලයක්ද? තලයේ පිටුපස සිටින්නේ කවුරුන්ද?

Sri Lanka--621x414මේ සියල්ලටම පිළිතුරු තිබුණේ පැපිලියාන  ප‍්‍රදේශවාසීන් ළඟයි. අදාළ තොරතුරු අපට ලබා දුන් අයගේ නම් අප සඳහන් නොකරන්නේ, තලයේ පිටුපස සිටින්නන්ගේ තරම දන්නා නිසාය.

‘‘දෙසැම්බර් 28 වැනිදා හවස 05ට විතර පැපිලියානේ රජමහා විහාරයට ගම්වාසීන් කිහිප දෙනෙක්ට එන්න කියලා තිබුණා. ඔක්කොම දහයක් පහළොවක් විතර හිටියා. පන්සලේ හාමුදුරුවෝ ඇහුවා අපි ඔක්කොම දන්න අඳුනන අයද කියලා. ඊට පස්සෙ හාමුදුරුවො කිව්වා අපේ පන්සලේ ටෙන්ට් භාරව ඉන්න කෙනාගේ දුවට මුස්ලිම් තරුණයෙක් අතවර කරල තියෙනවා. ඒක නිසා අපි සියලූම මුස්ලිම් අයට විරෝධය දක්වන්න  ඕන. හැම ගෙදරකටම ගිහින් එයාලට බල කරන්න  ඕන මෙහෙන් යන්න කියලා.’’

එතකොට එතන ඉඳපු කෙනෙක් ඇහුවා ‘මැලේ අයටත් යන්න කියන්න  ඕනද’ කියලා.

එතකොට හාමුදුරුවො කිව්වා ‘ඔව්, හැමෝටම යන්න කියන්න  ඕන’ කියලා.

ඊට පස්සේ හාමුදුරුවො කිව්වා, ‘අද තව වැඩක් කරනවා. පන්සලේ ඝණ්ටාරේ ගහන වෙලාවට හැමෝම පන්සලට එන්න, කියලා.

‘‘ඉතින් ඔයා ආයේ ? පන්සලට ගියාද?’’

‘‘නෑ, මට ඒක ඇල්ලූවේ නෑ. මම ගියෙ නෑ. අපේ කට්ටිය ගිහින් තිබුණා. මට ? ආරංචි වුණා ෆැෂන් බග් එකට ගහපු සිද්ධිය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය සිද්ධියට ගමේ අයට අමතරව තවත් පිරිසක් ඉඳලා තියෙනවා. අන්තිමට ටිකක් අත්අඩංගුවට ගත්තනේ. ඊට පස්සේ හාමුදුරුවරු මේකෙන් බේරෙන්න එයාලා මේකට සම්බන්ධ නෑ කිව්වා. ඒත් අපි දන්නවනේ ඇත්ත මොකක්ද කියලා.’’

බොහෝ අය එක්ව වසන් කිරීමට තැත් දැරූ තිත්ත ඇත්ත වන්නේ එයයි. පවතින දේශපාලන බලාධිකාරය මත සියල්ලම තීරණය වන බව පැහැදිලිය. එසේ නොවේ නම් යම් කිසි අපරාධයක් සිදු වන අවස්ථාවේ දී නීතිය රැුකීමට ඉදිරිපත් විය යුතු පොලිස් නිලධාරීන් අත් බැඳගෙන නිකන් බලා සිටින්නේ ඇයි? මෙතරම් දැඩි අලාභ හානියක් සිදු වූ පසු ද කිසිවක්ම සිදු නොවූ පරිද්දෙන් නඩු විභාගය අවසන් කිරීමට අගතියට පත් පාර්ශ්වය කැමැත්ත පළ කරන්නේ ඇයි? සියල්ල එසේ සමථයකට පත් වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පවසන පරිදි උසාවිය තුළ දී සියලූම දෙනා මහත්වරුන් ලෙස හැසිරීම නිසාද? මෙහිදී අපට මතු වන ගැටලූවකි. ෆැෂන් බග් ආයතනයට පහර දීමේ සිද්ධිය දෘෂ්ටි මායාවක් ලෙස අපට පෙනුණු විකලාංග නාටකයක් පමණක්ද? කෙසේ වුව ද මෙවැනි නාටක ඉදිරියේදීත් රඟදැක්වෙනු ඇත. ඒවායේ දී ද දඬුවම් ලබන කිසිවකුත් නොසිටිනු ඇත. සිදු විය යුත්තේ  ඕනෑම අපරාධයක් සිදු කොට ධනේශ්වර නීතිය අබියස සියලූම දෙනා මහත්වරුන් ලෙස හැසිරීම පමණයි. එතැනින්ම සියල්ලම සමථයට පත් වීම සිදු වනු ඇත.

————-

ප‍්‍රසාදනීය අයුරින් සමථයකට පත් වුණා…

DSC03674ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

‘‘මේ නඩුව ඉතා ප‍්‍රසාදනීය අයුරින් අද සමථයකට පත් වුණා. කල්ලි කණ්ඩායමක් වශයෙන් ඇවිත් ආයතනයකට පහර දීම, මාධ්‍යවේදියකුට පහර දීම, පොලිස් නිලධාරීන්ට පහර දීම සම්බන්ධව සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධියේ දී චීවරධාරීන්, ගරුතර ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් හිටියා. ඒ තුන් නමත් අපට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අද මේ සියලූ දෙනාම පෙරට්ටුවට ඉදිරිපත් කළා. නමුත් අද මෙහිදී මේ පැමිණිලිකාර පාර්ශ්වය ඉතා පැහැදිලිව ඉදිරියට ඇවිල්ලා වැදගත් ලෙස උවමනාවෙන් මේ රටේ උන්නතිය තකා ඉදිරියේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත්ත ක‍්‍රියාමාර්ගය ඉතාම ප‍්‍රශංසනීයයි. මේ සියලූ  දෙනාම මේ සියලූම පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බව එක හෙළා කියා සිටියා. ඒ නිසා අධිකරණය, විමර්ශන බාර නිලධාරීන් හැටියට ඒ කීමට අපි ඇහුම්කන් දීලා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා මේක අද සමථයකට පත් කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය සමස්තයක් ලෙස ගත් කල මේක නීතිය අතට ගැනීමක්. මෙවැනි තත්වයන් රටේ ඉදිරියට යන්න බෑ. තමුන්නාන්සේලාට 83 සිද්ධිය මතක ඇති. එවැනි තත්වයක් නැවත ඇති වෙන්න දෙන්න බෑ. ඒක නිසා ගරු ආරක්ෂක ලේකම්තුමා, පොලිස්පතිතුමා අපට පැහැදිලි උපදෙස් දීලා තියෙනවා අපි කොහොමද ක‍්‍රියාත්මක වෙන්න  ඕන කියලා. තමුන්ට  ඕන  ඕන විදියට කණ්ඩායම් අරගෙන ගිහිල්ලා ගෙවල්වලට පහර දෙන්න, මිනිස්සුන්ට පහර දෙන්න කරන්න දෙන්න බෑ. එහෙම කළොත් අපි පොලිස්කාරයෝ හැටියට අපේ රාජකාරිය ඉෂ්ට නොකළා වෙන්න  ඕන. ඒ ආයතනයට කෝටි ගණන් පාඩු වෙන්න පහර දීමෙන් පසුවත් ඒ ආයතනය කියනව නම්  නඩුව  ඉස්සරහට ගෙනියන්න  ඕන නැහැ කියල අන්න ඒක තමයි වැදගත්කම.’’

——————

මේ නඩුව එහෙම සමථ කරන්න  බැහැ

06නීතිඥ  නාමල් රාජපක්ෂ

අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහයේ 266 වැනි වගන්තියට අනුව පැමිණිලිකරුගේ ඉල්ලීම පරිදි එලෙස සමථයකට පත් කළ හැකි අපරාධ තියෙනවා. නමුත් ඒ කියන්නේ සුළු සුළු අපරාධ ගැන. ඒත් ෆැෂන් බග් සිදුවීම ඒ වගේ සුළු සිද්ධියක් නෙවෙයි. ජාතිවාදය ඇවිස්සීමට හැකියාව තියෙන වර්ගවාදී, ජාතිවාදී ස්වරූපයේ බරපතළ අපරාධ නඩුවක්. සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් එකක්. මේ වගේ නඩුවක් පැමිණිලිකරුගේ ඉල්ලීම අනුවවත් සමථයකට පත් කිරීමේ නෛතිකමය අවකාශයක් නැහැ. මේක බරපතළ වැරැුද්දක්.

—-

නිලූකා තරංගනී

Advertisements