පොලිස් ප‍්‍රහාරයකින් කුණු කන්දට යට කළ ජනතාවට ජනාධිපතිගෙන් අවුරුදු සුබපැතුම්!

col_8කුණු වූ සමාජයේ දුගඳ දසත පැතිරෙමින් තිබේ. එය දැනෙන නොදැනෙන සියලූ මිනිසුන්ට නව අලූත් අවුරුද්ද උදා වෙමින් තිබිණි. කෙසේ හෝ දහම් ගැට ගසා හොයා ගත් මුදලකික් අල්ලට සිඟා රෙදි පිළි තෝරමින් ඔවුහු සාප්පු සවාරි, නයිට් බසාර්වල රස්තියාදු වෙමින් සිටියහ.

මේ අතරතුර කොළොන්නාව ජනතාව සිටියේ අරගල බිමකය. ඒ, අවුරුද්දේ තුන්සිය හැටපස් දවසේම තමන්ට දැනෙන කුණු ගඳට තවත් කුණු එකතු නොකරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ අරගලයකය. දිනකට කොළඹ නගර සභාව ඇතුළු නගර සභා කිහිපයක් විසින් මීතොටමුල්ලට ටොන් 800 ක පමණ කුණු බැහැර කරනු ලැබේ. ඊට එරෙහිව කොළොන්නාව ජනතාව වසර 20 ක් පුරා විරෝධය දක්වා තිබිණි. එහෙත් ඊට විසඳුමක් නොවූ කල ඔවුන් පසුගිය අපේ‍්‍රල් 06 වැනිදා උද්ඝෝෂණය කළ අතර ඉන් පසුව සිය විරෝධතාව දිගටම පවත්වාගෙන යමින් අපේ‍්‍රල් 6 වැනිදා උද්ඝෝෂණයෙන් පසු උපවාසයකට වාඩි වී තිබිණි. අපේ‍්‍රල් 09 වැනිදා ඒ අතරට කඩා වැදුණු 500 ක පමණ පොලිස් බළඇණියක් ගම්වාසීන්ට එළව එළවා පහර දුන්හ. ගම්වැසියන් පස් දෙනකු පමණ අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම ස්ථානයේ කුණු දැමීමට එරෙහිව කොළඹ නගර සභාවට ප‍්‍රදේශවාසීන් විසින් 1994 පැවරූ නඩුවක් දැනටත් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී. ඊට අමතරව ත්‍ක්‍ ත්‍ඍ 218 / 2009 යන අංකය යටතේ පැවරූ නඩුවකට 2009 අපේ‍්‍රල් 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ම`ඩුල්ලක් විසින් නියෝගයක් ලබා දෙන්නේ තාවකාලිකව වසර දෙකක් පමණ අක්කර 02 ක භූමි සීමාව තුළට පමණක් කුණු බැහැර කිරීමකට අවසර දෙමිනි.

එහෙත් දිගින් දිගට ම කොළොන්නාව නගර සභාව හා කොළඹ මහ නගර සභාව විසින් අක්කර 17 ක භූමි ප‍්‍රමාණයකට කුණු බැහැර කර තිබුණේ මෙම නියෝගය තුට්ටුවකට මායිම් නොකරමිනි. ජනතාව ඉල්ලා සිටියේ 2009 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කරන ලෙසය. මෙම ප‍්‍රශ්නය තුළ මීතොටමුල්ල ප‍්‍රදේශයට අමතරව අවට ගම්මාන 05 ක ජනතාවට ද දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබිණි. දහම්පුර, මීතොටමුල්ල පන්සල්හේන, කුරුණියාවත්ත, අවිස්සාවේල්ල පාර, 101 වත්ත යන ප‍්‍රදේශවල ජනතාවයි. මීට මාස 08 කට පෙර කුණු කන්ද අසල ගෙවල් 160ක් බලෙන් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළේය. එදා එම ජනතාව මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණය ජනරළට කීවේ මෙලෙසිනි.

‘‘දැන් බලන්න මෙතන ග‍්‍රාම සේවක ඉන්නවා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානෙන් ඉන්නවා, හමුදාවෙන් ඉන්නවා, පොලිසියෙන් ඉන්නවා. ඔය කාටවත් අපිට වෙන අසාධාරණය පෙන්නේ නෑනේ. මිනිස්සු පදිංචි කරලා ඔප්පු දෙන්නම් කිය කියා ඡුන්ද ගත්තා. බදුත් ගත්තා. කූණු කන්ද නිසා දැන් යන්න කියනවා. හරි නං කරන්න ඕන කුණු කන්ද අයින්් කරන එකනේ. කොළඹ ලස්සන කරන්න කියල හිඟන්නො මරපු ආණ්ඩුවක් මේක. ඕවා කරලා දුප්පත්කම නැති කරන්න පුළුවන්ද නාගරික සංවර්ධන අධිකාරිය අරයා අතට ගත්තේ ඕකටනේ’’
(2012-10-28 ජනරළ)

මේ වන විටත් එසේ ඉවත් කළ ජනතාව සිටින්නේ තැනින් තැන වාසස්ථානයක් නොමැති තත්වයකය. එහෙත් ඔවුන්ට මාස 06 ක් ඇතුළත නිවාස ලබා දෙන පොරොන්දුව මත රුපියල් 60,000 ක් මාස 06 ක ගෙවල් කුලිය ලෙස ලබා දී තිබුණි. එහෙත් ඊට ස්ථිර විස`දුමක් ලබා දීමට නගර සභාව හෝ නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය මේ දක්වා කටයුතු කොට නැත.

meethotamullaමීතොටමුල්ල රාහුල විiාලය මීට මාස තුනකට පමණ පෙර වසා දැමෙන්නේ කුණු කන්ද නිසා ඇති වූ අපද්‍රව්‍ය සමඟ පණුවන් පාසල් ගොඩනැඟිලි තුළට ගලා ඒම හේතුවෙනි. ඒ වන විටත් කුණු ගඳ හේතුවෙන් වරින් වර පාසල් සිසුන් සිහිසුන්ව පාසල් කාලය තුළ රෝගී වූ බව ප‍්‍රදේශවාසීහු මෙන්ම පාසලේ ගුරුවරු පවසති. වසා දැමූ රාහුල විiාලයේ සිසුන් අවට පාසල් වෙත මාරු කර යවනු ලැබූ නමුත්, තමන් ජීවත් වන ප‍්‍රදේශයේ පවතින කුණු කන්ද නිසාම ඔවුහු එම පාසල් තුළ දී විවිධ කෙනෙහිලිකම්වලට ලක් වෙමින් දැඩි මානසික පීඩාවන්ට ගොදුරු වෙමින් සිටිති. එම ගම්මාන සියල්ලේම ජනතාව සමස්තයක් ලෙස විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙමින් සිටිති. බෝවන රෝග, චර්ම රෝග, ශ්වසන රෝග ඒ අතර පැතිර යමින් තිබේ. මින් දහම්පුරයේ පමණක් මිය ගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20 කි. ඇතැම් පිරිස් පිළිකාවලින් මිය ගොස් ඇති බව පවසන්නේ ප‍්‍රදේශවාසීන්ය. රටේ වෙනත් ප‍්‍රදේශවලින් වාර්තා නොවන, ළදරුවන් අතර පිළිකා වැලඳීමේ ප‍්‍රවණතාවක් ද මෙම ප‍්‍රදේශය තුළ පවතී. එමෙන්ම ළමුන්ට අමතරව විෂබීජ ශරීරගත වීම හේතුවෙන් වැඩිහිටියන් ද මිය ගොස් තිබේ.

කොළොන්නාව ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තමන්ට සිදුව ඇති මෙම අසාධාරණයට විසඳුමක් ලබා දෙන ලෙසය. එහෙත් ඔවුනට නව අවුරුදු උදාවට දින තුනකට පෙර ආණ්ඩුවේ සුපුරුදු තෑග්ග ලබා දුන්නේය. ඒ අමානුෂික පොලිස් ප‍්‍රහාරයකි. එම ප‍්‍රහාරයෙන් ආණ්ඩුව දියුණුවේය. මීතොටමුල්ලේ පිරිසක් අත්අඩංගුවට පත් විය. තවත් පිරිසක් රොහල්ගත කළේය. ජයග‍්‍රාහී ආණ්්ඩුව නැවත මීතොටමුල්ල ඉඩමේ කුණු ගොඩ කිරීම ඇරඹීය. හොඳ හැටි පහර කෑමට ලක් වූ මීතොටමුල්ල ජනතාවට කරකියා ගන්නට නොහැකි විය. එසේ වුවත් අවට පැතිර යන කුණු ගඳ සම`ගින් ඔවුන්ගේ දුරකථනවලට නව අවුරුදු පණිවුඩයක් ලැබුණි. ඒ ජනාධිපතිවරයාගෙනි.
——————-
මම ඔය කුමන්ත‍්‍රණවලට සම්බන්ධ වෙන්නෙ නෑ
රවීන්ද්‍ර උදයශාන්ත – කොළොන්නාව නගරාධිපති

ආරක්ෂක ලේකම්තුමාට තමයි ඕක අයිති. එතුමා තමයි ඕක විසඳන්න ඕනි. ගෙවල් කඩපු මිනිස්සු තවම තැන් තැන්වල. ඒක මම පිළිගන්නවා. ඒ අයට ගෙවල් දෙන්න ඕන තමයි. කවුද කියන්නේ කුණු කන්දෙන් හම්බ කරනවා කියලා. ඕවා බොරු කතා. මම කොහොමටත් ඔය කුමන්ත‍්‍රණවලට සම්බන්ධ වෙන්නෙ නෑ.
සමහරු ඕවාවලින් දේශපාලන වාසි ගන්න හදනවා. මේක ගමේ හැමෝම එකතු වෙලා විසඳ ගන්න ඕන ප‍්‍රශ්නයක්. නාගරික සංවර්ධන අධිකාරිය මුල් වෙලා තමයි මේ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕන. එදා මිනිස්සුන්ට පොලිසිය ගහපු සිද්ධිය මම දන්නෙ නෑ. ඒකට කවුරුහරි පොලිසිය කුලප්පු කරන්න ඇති.
——————————–

කාන්තාවන් පීඩාවට පත් වෙනවා
සඳමාලි කොඩිතුවක්කු
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සිවිල් සංවිධානවලට ආරාධනයක් කරල තිබුණා ඔවුන්ගේ අරගලයට සහයෝගය ලබා දෙන ලෙස. ඒ නිසා තමයි අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස ඊට සහයෝගය දක්වන්න තීරණය කළේ. එතනදි අපි දැක්ක ප‍්‍රධාන කාරණය තමයි මේ ප‍්‍රශ්නයේ දී වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ කාන්තාවන් හා ළමුන්. ඒ නිසා අපි තීරණය කළා මුලින්ම මේ පිළිබඳව සමීක්ෂණයක් කරන්න. එම සමීක්ෂණයෙන් තහවුරු කරගත්තු කාරණයක් තමයි මෙම කුණු කන්ද අවට ගම්මානවල බෝ වන රෝග, පැතිරිලා යනවා. චර්ම රෝග ශ්වසන රෝග, වමනය සහ හිසරදය බහුල වශයෙන් පවතිනවා. තවත් බරපතළ රෝග තත්වයන්ට ජනතාව ගොදුරු වෙමින් ඉන්නවා. ඕක තමයි මේ ජනතාවගේ ප‍්‍රශ්නය.

mmmmනව වැනිදා ජනතාව පවත්වපු මේ උපවාසයට පොලිසිය යොදවලා අමානුෂික ලෙස පහර දීලා කාන්තාවක් පවා අත්අඩංගුවට ගන්නේ පොලිස් නිලධාරීන් විසින්. පොලිස් නිලධාරිනියක් නැතුව ඒ විදිහට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අයිතියක් නෑ. අපි ඒ පිළිබඳව පොලිසියෙන් ප‍්‍රශ්න කළා. එතනදි තමයි මාවත් අත්අඩංගුවට පත් වෙන්නෙ. ඒ වෙලාවේ අර අත්අඩංගුවට ගත්ත කාන්තාවට පොලිසිය විසින් කොණ්ඩෙන් ඇද ඇදා තමයි පහර දුන්නේ. කුණු කන්දෙ ප‍්‍රශ්නය වෙනුවෙන් ජනතාව ඉල්ලපු විසඳුම වෙනුවට ආණ්ඩුව ලබා දීපු උත්තරය ඕක තමයි.

————————

මට ගහලා පාර දිගේ ඇදගෙන ගියා
චන්දිමා ශිරෝමාලි
උද්ඝෝෂණයට එක් වූ ප‍්‍රදේශවාසී කාන්තාවක්

එදා නව වැනිදා. දවල් දොළහ වෙනකොට කඳුළු ගෑස් ගෙනැල්ලා, වතුර ටැංකි ගෙනැල්ලා පොලිසිය පන්සීයක් විතර ඇවිත් උපවාසය තියෙන තැන වට කෙරුවා. පොලිසිය දිගින් දිගටම උත්සාහ කළේ අපිත් එක්ක ගැටුමක් හදා ගන්න. නමුත් අපේ උපවාසය අපි දිගටම කරගෙන ගියා. දොළහ හමාර විතර වෙනකොට පොලිසිය එක පාරටම කඩා පැනලා ‘‘උඹලා ඔතනින් අයින් වෙයල්ලා. තොපිට ගහලා එළවන්න කියලා තියෙන්නෙ’’ කියලා කෑ ගහගෙන මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. එදා දවල් අපි උයා ගත්ත බත් මුට්ටිය පවා පොලිසියෙන් ඇළට විසි කෙරුවා. සීනි, තේ කොළ ටිකත් විසි කෙරුවා. දැන් කුණු දාන්න යන්නේ, තොපි අයින් වෙයව් කියලා තමයි මිනිස්සුන්ට ගැහැව්වෙ. එතනදි මම කිව්වා අපේ උසාවි ගිය කට්ටිය තාම ආවෙ නෑ, එතකන් ඉන්න කියලා. එතකොට පොලිසියෙ දහයක් විතර වට වෙලා මගෙ ඔළුවට ගහලා කොණ්ඩෙන් ඇදගෙන පාරට ආවා. මම කිව්වා පොලිස් කාන්තාවක් නැතුව මාව අත්අඩංගුවට ගන්න බෑ, පොලිස් කාන්තාවක් ගේන්න කියලා. අත්අඩංගුවට අරගෙන ඊට පස්සෙ දවස් හතරක් ඉස්පිරිතාලෙ හිටියා. මගෙ ඔළුවට ගහපු පාර තවමත් අමාරුයි. ඉස්පිරිතාලෙන් ටිකට් කපලා කිව්වෙ ක්ලීනික් දිනයට එන්න කියලා.
—————-

වසර 20කින් නොවිස`දුනු ප‍්‍රශ්නයක්
කීර්තිරත්න පෙරේරා – කැඳවුම්කරු – කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය

වසර විස්සක් පුරා මේ ප‍්‍රශ්නය ගැන ප‍්‍රදේශයේ ජනතාව හැටියට අපි අධිකරණයේ පිහිට පතලා තියෙනවා. දිගින් දිගටම බලධාරීන්ට කරුණු දක්වලා තියෙනවා. දැනටත් ප‍්‍රදේශයේ කිහිප දෙනෙක් එකතු වෙලා 94 අවුරුද්දෙ පවරපු නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තියෙනවා. මේ ප‍්‍රශ්නය ගැන කොතරම් කරුණු කිව්වත් අරගලයක් කරන තුරුම ඒ ගැන කාගෙවත් අවධානයක් යොමු වුණේ නෑ. ප‍්‍රදේශයේ ජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් ඉන්නෙ. ඩෙංගුවලින් විතරක් මෑත කාලයේ විස්සක් විතර මැරිල තියෙනවා. රාහුල කනිෂ්ඨ විiාලය සම්පූර්ණයෙන් වසා දාලා මාස තුනකටත් වැඩියි. දරුවන්ගෙ අධ්‍යාපනය එහෙම පිටින්ම බිඳවැටෙන තත්වයකයි තියෙන්නෙ. අපි කියන්නෙ කුණු කන්ද කොහෙවත් ගෙනියන්න කියලා නෙමෙයි. තවදුරටත් මෙතන්ට කුණු බැහැර කරන්න එපා. 2009 ඉඳලා කොළොන්නාව නගර සභාවයි, කොළඹ මහ නගර සභාවයි අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් තමයි මෙතන්ට කුණු බැහැර කරමින් ඉන්නෙ.
————–

තමන්ගේ අයිතිය වෙනුවෙන්
ජනතාව සටන් වදින්න ඕන
නීතිඥ උදුල් පේ‍්‍රමරත්න
මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ

මීතොටමුල්ලේ ප‍්‍රදේශයේ අයට තමන් මුහුණ දෙන පීඩාවට අරගල කිරීම හැර වෙන මොකක්වත් නෑ. මේ රටේ සමාජ ව්‍යාපාර ඊට සහයෝගය දෙන්න ඕන. ජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදින්න ඕන. දැන් මේ ප‍්‍රශ්නයට ජනාධිපතිවරයත් මැදිහත් වෙලා තියෙනවා. කොළඹ නගරාධිපතිවරයත් ප‍්‍රශ්නයට විසඳුමක් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. අවුරුදු 20 ක් තිස්සේ මේ ජනතාව මේ කසළ ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. මේ පිළිබඳව කාගෙවත් අවධානයක් යොමු වුණේ නෑ. මේ විදියට ප‍්‍රශ්නය ගැන අවධානය යොමු වුණේ මීතොටමුල්ලේ ජනතාව අරගල කළ නිසයි. ජනතාව තමන්ට විසඳුමක් ලැබෙන තුරු අරගලය පවත්වාගෙන යා යුතුයි. මොකද ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්න මඟ හැරලා යනවා මිසක් ඒවට උත්තර දෙන්නෙ නෑ. එහෙම උවමනාවක් එයාලට නෑ.

-සටහන ධනූ රාමවික‍්‍රම