දුමින්ද පාර්ලිමේන්තු එයි!

lead

මේ වන විට ඇප මත නිදහස් වී සිටින භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු දුමින්ද සිල්වා නිසැකයෙන්ම දේශපාලනය කරනා බවත් නැවත ඉක්මනින්ම පාර්ලිමේන්තු පැමිණෙන බවත් ඔහුගේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ‘ජනරළ’ට පැවසීය.

ඔහු මේ බව පැවසූයේ දුමින්ද සිල්වාගේ ඇප කොන්දේසි මොනවාද යන්න පිළිබඳව අප කළ විමසීමේ දී එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමන්ත වර්ණකුලසූරිය ප‍්‍රකාශ කළේ, ‘‘දැන් ඔහුගේ බාහිර පෙනුම හොඳයි. නමුත් අභ්‍යන්තර තුවාල තියෙනවා. රුපියල් 50,000ක ඇප මුදල් නියම කිරීම, රුපියල් ලක්ෂ 5ක ඇපකරුවන් දෙදෙනෙක් අත්සන් කිරීම, විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය සතු කිරීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීම කියන කොන්දේසි මත තමයි ඇප ලබා දුන්නේ.’’ යනුවෙනි.
————————————————
සිදු වන්නේ කුමක්දැයි තමන්ට නොවැටහෙන බවත් සිදු වන දේ පිළිබඳව තමන් මධ්‍යස්ථව බලා සිටින බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ‘ජනරළ’ වෙත ප‍්‍රකාශ කර සිටියාය.

ඇය මෙලෙස ප‍්‍රකාශ කර සිටියේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ වත්මන් තොරතුරු පිළිබඳව විමසා සිටි අවස්ථාවේ දී ය. මේ අතර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ ප‍්‍රධාන සැකකරු දුමින්ද සිල්වා පසුගිය 24 දා ඇප මත නිදහස් කරන ලදී.
—————————-
කිරිපුස්සා නිදහස් !

ගිනි අවි අමෝරා ගෙන එකිනෙකාට අභියෝග කරමින් පෞද්ගලික අභිමථාර්ථ මත මහ මඟ වෙඩි තබා ගන්නා උන්ට අපි මැරයන් යැයි කියමු.

මේ මැරයෝ බොහෝ විට නීති විරෝධී ජාවාරම්වලට සම්බන්ධ වූවෝ වෙති. මෙසේ මරා ගන්නාවුන් පීඩිත පන්තියේ මිනිසුන් වූ විට උන්ට ‘පාතාලයෝ’ යන ‘නයිටි නාමයන්’ පුදන්නට ශ‍්‍රී ලංකාවේ පොලිසිය මෙන්ම ජහමනයා ද දෙවරක් නොසිතති. එසේ පාතාලයන් වූ පීඩිතයන්ගේ නාමාවලිය ගත් විට එය පත්තර පිටුවකින් පුරවන්නට බැරි තරමේ දිග එකකි.

නෙළුවේ ප‍්‍රියන්ත, කඩුවෙල වසන්ත, බැද්දගානේ සංජීව, රාගම මධුර, නේවි රුවන්, ඇට ඉන්දික, ජූලම්පිටියේ අමරේ, චණ්ඩි මල්ලී මේ ආදී නම් රාශියකි. ඒ සියල්ලෝ පාතාලයේ සොල්දාදුවෝය. ඔවුන්ගේ සුජාත පියවරුන් වනුයේ මේ පාතාල පුතුන් මෙහෙයවන ගෝඞ් ෆාදර්ලාය. ඔවුහු නම් මැදමුලනේ පර්සි, කොළොන්නාවේ භාරත, නැදිමාලේ දුමින්ද ආදී ලෙස බෞතීස්ම නොකෙරුවෝ වෙති.

මේ ගෝඞ් ෆාදර්ලාගේ ගෝලයන් මරන්නෙත් මරවන්නෙත් කුඩු, කසිප්පු, ගණිකා ජාවාරම් හා වෙනත් පාතාල ව්‍යාපාරයන්ගේ අයිතීන් වෙනුවෙනි. ගෝලයන් ලවා මේ ජාවාරම්වල බලය තහවුරු කරගන්නට නොහැකි වූ ඇතැම් අවස්ථාවක මේ ගෝඞ් ෆාදර්ලා ද මහ මඟ දී පිස්තෝල අමෝරා ගෙන එකිනෙකාට වෙඩි තියා ගනිති. එසේ කරනා වෙඩි තබා ගැනීමක දී ඉන් එකෙක් මිය ගියහොත් ඌ අහවල් ප‍්‍රභූවරයාගේ අහවල් උපදේශකයාය. වෙඩි කා නොමැරී සිංගප්පූරුවට හෝ වෙනත් කොහේ හෝ ‘දිල්ලියකට’ පලා ගොස් රෝහල්ගත වෙන එකා ආරක්ෂාව අධීක්ෂණය කරනා ප‍්‍රභූවරයෙකි.

ඉතින් මේ අපි වාගේ හුදී ජන ඇච්චන් කීවාට උන් අත්අඩංගුවට ගන්නේ නැත. බැරිම තැන අත් අඩංගුවට ගන්නටම වුවහොත් මේ මාරාන්තික තුවාල තිබෙනා මේ ප‍්‍රභූන් උසාවි ගෙනියන්නට තරම් අකාරුණික පොලිස් සේවයක් ද මේ ශ‍්‍රී ලංකාවේ නොමැත. වෛi නිර්දේශ කඩා මේ ප‍්‍රභූ බබාලා සිරගත කරන්නට තරම් නීතිය ද අකාරුණික නැත. ඒ නිසා නීතිය බාර ඇත්තන් රෝහලටම පැමිණ මේ ප‍්‍රභූ ආරක්ෂක අධීක්ෂකයාව ආරක්ෂා සහිතව පෞද්ගලික රෝහලක නේවාසික කරති. එසේ කිරීම ද මහා පාපී කිරියාවක් නිසා ගෝඞ් ෆාදර් සනුහරේ මහම එකාගේ හඳුන්පත ද උණුව දියාරුව වැගිරේ.

ඒ කරුණාවේ බල මහිමය දන්නා නිසාම රෝහලේ ද නොතියා මේ ‘කිරිපුස්සා’ නිදහස් කර යවන්නැයි උන් රෝහල්ගත කරන්නට නියෝග දුන්නෝම ආපසු නියෝග දෙති. ඉතින් කිරිපුස්සා ඇප මත නිවෙස් බලා එද්දී අපේ පැඟිරෝ මේ වෙන්නේ මොනවාදැයි තුෂ්ණිම්භූතව බලා සිටිති.
ඔහොම්ම බලා ඉන්න!

නොබෝ දිනකින්ම ගරු ගම්භීරව මේ කිරිපුස්සාව දියවන්නා මාළිගයේ දී ද දැක ගැනීමට ඔබට වාසනාව ලැබේවි. අනේ අපි තරම් පුණ්‍යවන්තයෝ වෙන කොයි කොදෙව්වක වෙසෙද්ද?

– සංජීව ලොකුලියන –

Advertisements