කොටගලට දෂ්ට කළේ තොණ්ඩමන්

kotagala”වතු කම්කරුවන්ගේ ඉරණම අභිමත වූවක් නොවේ. දුප්පත්, නූගත් හා අසරණ ඔවුන්ට දුෂ්ට කංකානම්වරුන්ගේ හා අයහපත් වතු හිමියන්ගේ තණ්හාවෙන් හා කෲර පීඩනයෙන් ආරක්ෂා වීමට පුළුවන්කමක් නැත.”
පොන්නම්බලම් අරුණාචලම් – 1916

මෙම ප‍්‍රකාශනයෙන් වසර 97 කට පසුව ද වතු කම්කරුවන් එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා කිසිවකුත් කිසිවක් කර නැත. ඔවුන් ද ඉන් මිදීම සඳහා බර තැබිය හැකි අරගලයකට නොපිවිසි බවට ඉතිහාසය සාක්ෂි දරයි. දුප්පත්කමින්, අගහිඟකම්වලින් හා මන්ද පෝෂණයෙන් බැට කමින් ඔවුහු කම්කරු ක්ෂේත‍්‍රයේ තිරිසන්ම සූරා කෑමකට ගොදුරු වී සිටිති. වසර 180 ක් තරම් වූ පැරණි වතු කම්කරුවන්  සූරා කෑමේ මෙම ක‍්‍රමවේදය දිනෙන් දින උග‍්‍ර කරමින් වතු හිමියන් පරම්පරා හතරකගේ ශ‍්‍රමය නින්දිත ලෙස උරා බී තිබේ.
පසුගිය 21 වැනිදා මුග්ධ පොලිස් ප‍්‍රහාරයකට ඔවුන් ලක් වන්නේ මෙම සත්‍යය වඩ වඩාත් සනාථ කරමිනි. ඔවුහු වෘත්තීය සමිති දේශපාලනය තුළ සාහසික ලෙස වතු සේවකයන් කොටු කරමින් ඉදිරියට දක්කා ගෙන යමින් සිටිති. මෙරට කම්කරු ව්‍යපාරය ගිලී ඇති ගැඹුර අධ්‍යයනය කළ හැකි ක්ෂේත‍්‍රය වතු කම්කරු ව්‍යාපාරය ය. මෙම තත්වය තුළ මෙරට වතු ජනතාව දෙබිඩි දේශපාලනයේ ගොදුරු බවට පත් වී ඇත.

පසුගිය 21 වැනිදා කොටගල ප‍්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවක් දක්වන්නට පෙළ ගැසී සිටියේ සිය වෘත්තීය සමිති නායකයන් සමඟිනි. ඊට හේතුව තවත් වෘත්තීය සමිති කිහිපයක් විසින් වසර තුනකට වරක් අත්සන් කරන සාමූහික ගිවිසුම පාවා දීමට ලක්ව ඇති තත්වයක් තුළය. එහෙත් පොලිසිය එම ස්ථානය ඔවුන්ට උද්ඝෝෂණ සඳහා ලබා දීමට සූදානම් නොවීය. කොටගල දිඹුලපතන ප‍්‍රදේශයට පැමිණ සිය උද්ඝෝෂණය අරඹන්නේ ඊට අනුවය. එහෙත් වතු සේවකයන් පහරකෑමට ලක් වන්නේ පොලිසියෙන් පමණක් නොව, එම ස්ථානයට පැමිණි ක්‍උක්‍ වෘත්තීය සමිතිය මෙහෙයවූ මැර කණ්ඩායමකිනි. එම මැර කණ්ඩායම මෙහෙයවීම සඳහා අණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද ඒ ආසන්නයේ සිටි බව පවසන්නේ පහර කෑමට ලක් වූ වතු සේවකයන්ය.

වතු වෘත්තීය සමිති කිහිපයක් විසින් වතු හාම්පුතුන් සමඟ හොර රහසේ මෙම සාමූහික ගිවිසුම උල්ලංඝනය කරමින් තම වැටුප් ඉල්ලීම් පාවා දී ඇතැයි ඔවුන්ගේ චෝදනාවය. එම චෝදනාවට එරෙහිව එම ගිවිසුම අත්සන් කළ වතු වෘත්තීය සමිතිය ද සේවකයන් පාරට රැුගෙන ඇවිත් තිබුණි. කෙසේ හෝ එක එකා තම තමන්ගේ දේශපාලන මඩියට තබා ගැට ගසා ගත් වතු කම්කරුවෝ මෙම වැටුප් අරගලයෙන් දෙපිලකට බෙදී සිටියහ. ඔවුන් වෘත්තීය සමිති දේශපාලනය තුළ සිර කොට තම තමන්ගේ දේශපාලන සීමාවන්ගේ අවශ්‍යතාවට පමණක් යොදා ගන්නා දිළිඳු හා නූගත් කම්කරුවෝ වූහ.

වතු කම්කරුවන් යනු මෙලෙස දේශපාලන ව්‍යාපෘතිවලට පහසුවෙන් ගැට ගසා ගත හැකි හා ඉන් පසු පොරොන්දු අමතක කරවිය හැකි ප‍්‍රජාවකි. ඊට හේතුව අන් කිසිවක් නොව දිළිඳුකම මෙන්ම අඩු සාක්ෂරතාව ද ඔවුන්ගේ ජීවිතයෙන් තුනෙන් එකකට වැඩි කොටසක් වෙළාගෙන තිබීම නිසාය. එතුළ ඔවුන් ඇතැම් වෘත්තීය සමිතිවල සාමාජික මුදල් මඩි තර කරන ශරීර බවට පත් වී ඇත. ඔවුන් ඉතා පහසුවෙන් පරම්පරා ගණනක් පැවැතී ඇත්තේ මෙම දේශපාලනයටය. ඔවුන් කොතරම් ප‍්‍රමාණයකින් දේශපාලන රැුවටීමට ලක් කර ඇද්දැයි තේරුම් ගැනීමට ලබා දෙන, පාන්පිටි සහනාධාරය හා භූමිතෙල් සහනාධාරය පිළිබඳ දරණ ආකල්පවලින්ම තේරුම්ගත හැකිය. මේ වන විට වතුකරයේ ජනතාව අවම වශයෙන් 70% කට අධික ප‍්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙති. විවිධ රෝගාබාධවලට ගොදුරු වී සිටිති. එමෙන්ම ක‍්‍රියාත්මකව පවතින ප‍්‍රතිශක්තීකරණ හා පෝෂණ වැඩසටහන් ද වතු කම්කරු ජනතාවගේ දරුවන්ට ලැබෙන්නේ නැත. මෙම දරුවන්ගෙන් වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබති. එමෙන්ම පාසල් අධ්‍යාපනය සඳහා ඇතුල් කළ දරුවන් ද ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනය අතහැර යන්නේ ද අතහැර දැමීමට සිදුව ඇත්තේ ද ඔවුන් වෙළාගෙන ඇති දිළිඳුකම හේතුවෙනි. වතු ක්ෂේත‍්‍රය තුළ පවතින සෞඛ්‍ය පහසුකම්වල බිඳ වැටීම මෙම ජීවිතවලට මරු පහරක් වී තිබේ.

මෙම සියලූ සාධක සැලකිල්ලට ලක් කිරීමේ දී ඔවුන් වැඩි වශයෙන්ම සූරා කෑමට ගොදුරු වන කම්කරු ස්තරය බව පැහැදිලිය. වතු කම්කරුවන් යනු මෙරට දේශපාලනයේ විවිධ ස්ථාන අත්පත් කරගෙන ඇති ව්‍යාපාරිකයන්ය. නැතහොත් සෘජු දේශපාලන කි‍්‍රයාවලියක නිරත වන්නන්ය. එම තත්වය තුළ වතු කම්කරු ජනතාව රකින්නට ඉදිරිපත්ව සිටින ඇතැමෙකුගේ සැබෑ වගකීම මෙම ජනතාව සූරා කෑම මෙන්ම ගසා කෑමය.
———————

වැටුප් ගිවිසුම පාවා දුන්නා

ලීනස් ජයතිලක -ලේකම් එක්සත් වතු කම්කරු සම්මේලනය

කොටගල ක්‍උක්‍ එක මෙහෙයවපු මැර කණ්ඩායමක් තමයි 21 වැනිදා උද්ඝෝෂණයට පහර දුන්නේ. වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුම පාවා දීමට එරෙහිවත් මේ හොර ගිවිසුමක් ගහපු හාම්පුතුන්ට විරෝධය පළ කිරීමටත් තමයි වතු කම්කරු ජනතාව පාරට බැස්සේ. මොකද මේ සාමූහික ගිවිසුම පාවා දෙනවා කියන්නේ අනාගතේ වැටුප් වැඩි කිරීම්වලට පවා බලපාන කාරණයක්. මේ මැර ප‍්‍රහාරය නවත්වන්න පොලිසිය මැදිහත් වුණේ නෑ. ඒක නොදැක්ක වගේ හිටියා. ඒකට හේතුව ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පවා මෙතන ඉන්න ඇති.

මොකද ක්‍උක්‍ එක කියන්නේ ආණ්ඩුවේ දේශපාලකයොත් සම්බන්ධ වෙලා නායකත්වය දෙන වෘත්තීය සමිති එකතුවක්. ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීම් ගැන හිතලා බැලූවත් පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නෙම නෑ. වතු සේවක ජනතාවගේ තත්වය ඊටත් අන්ත තත්වයකයි පවතින්නේ. මීට පෙර වතු සේවකයෝ දින 16 ක් වැඩ වර්ජනය කරලා තමයි රුපියල් 500 ක් දක්වා වැටුප් වැඩි කරගත්තේ. නමුත් හාම්පුතුන් කිසි දිනෙක මේ වැටුප ගෙවන්නට සූදානම් වුණේ නෑ. ඒ තත්වය මත තමයි ඒ දිනා ගත්ත එකත් මේ ගිවිසුමෙන් පාවලා දෙන්න කටයුතු කරන්නේ.
————–
වතු සේවකයන්ට ස්ථිර වැටුපක් ලබා දිය යුතුයි

කේ. කමලදාසන් – සභාපති, එක්සත් ලංකා කම්කරු සංගමය

හාම්පුතුන් වතු සේවකයන්ට වැටුප් ගෙවීම් වැඩි කරන්නේ සාමූහික ගිවිසුම් මඟින් තමයි. ඒත් ඒ වැඩි වීම් ගෙවනකොට එයාලගේ කොන්දේසිවලටම මුදල් කපා ගන්නවා. ඔය රුපියල් 505 ක මුදල් කම්කරුවෙකුට ගෙවන්නේ අඩුම ගාණේ මාසෙකටම දවස් 25 ක් වැඩ කළොත් විතරයි. දවස් 18 ක් වැඩ කිරීම අනිවාර්යයි. අනිත් ප‍්‍රධාන කාරණය වතු සේවකයන්ගේ ෑඔත්‍ල ෑඡුත්‍ මුදල් කපාගෙන ඒවා ගිණුම්වලට දාන්නේ නැති එක. ඔය කොටගල උද්ඝෝෂණයෙ දි ගැහුවේ වෘත්තීය සමිති කිහිපයක් සාමූහික ගිවිසුමට එකඟ වුණා කියලා ඒකට එරෙහි වෙච්ච කම්කරුවන්ට. එයාලගේ තියෙන ප‍්‍රධානම චෝදනාව තමයි මෙම ගිවිසුමෙන් ඉදිරියේ ලැබෙන්න තියෙන වැටුප් වැඩි වීම් පවා පාවා දීමට ලක් වෙන එක. අපි කියන්නේ වතු කම්කරුවන්ටත් ස්ථිර වැටුපක් ලබා දිය යුතුයි. වතු ජීවිත කියලා කියන්නේ අන්ත දුප්පත් ජීවිත ගෙවන කට්ටියයි.

ධනූ රාමවික‍්‍රම

Advertisements