හිස් ගැසුම් මදිද මහතුනි, පස් ටිකත් උදුර ගන්නේ?

North_Fisher_manයුද්ධය යනු කුමක්දැයි ඇසුවොත් ඊට අර්ථකථන බොහෝ ගණනක් නැත. එහෙත් සාමය යනු කුමක්දැයි ඇසුවොත් ඊට යුද්ධය සම්බන්ධයෙන් ඇතිවාට වඩා වැඩි අර්ථකථන ගණනක් තිබේ. ඒ, සාමය මිනිසුන් ජීවත් වීමට කැමැති ආකාරය සම`ග ගැට ගැහෙන නිසාය. ඒ අර්ථකථන රාශිය අතරින් සාමය යනු යුද්ධයක් නොමැති තත්වයක්ය යනුවෙන් කිසිවකු පවසන්නේ නම් ඊට බොහෝ දෙනකු එකඟ නොවනවාට සැකයක් නැත. 2009 මැයි මාසයේ දී සාමය යනු යුද්ධයක් නැති තත්වයක් යැයි සිතූ බොහෝ දෙනකු ද දැන් එසේ සිතන්නේ නැති බවට ද සැකයක් නැත.

මේ පෙරවදන, යුද්ධය නිමා වූ උතුරේ සාමයේ එක් පැත්තක් ගැන කතා කිරීමටය.

1983 ජාතිවාදී කළු ජූලියෙන් පසුව යුද්ධය උත්සන්න වූ අතර 1990 පමණ වන විට උතුරු පළාතේ සිංහල හා මුස්ලිම් ජනයාට තමන්ගේ ඉඩ-කඩම්, ගේ-දොර අතහැර දමා එක්කෝ තමන්ගේ ඥාතීන්ගේ නිවෙස් වෙත හෝ එසේත් නැත්නම් සරණාගත කඳවුරු වෙත සංක‍්‍රමණය වීමට සිදු විය. ඉන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉලක්ක කරගෙන ආණ්ඩුව ගෙන ගිය යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස දෙමළ ජනතාවට ද තමන්ගේ ගේ-දොර අතහැර සරණාගත කඳවුරුවලට සංක‍්‍රමණය වීමට සිදු විය. සරණාගත කඳවුරුවල ලක්ෂ ගණනක් ජනතාව ගාල් වූයේ ඒ ආකාරයටය.

මෙසේ තිබිය දී 2009 දී යුද්ධය අවසන් කළ බව රාජපක්ෂ ආණ්ඩුව ‘නිල වශයෙන්’ ප‍්‍රකාශයට පත් කළේය. සිදු වූයේ කුමක්දැයි හරියටම තේරුම් නොගත් ‘දේශපේ‍්‍රමී’ ජනතාව කිරිබත් කෑහ. එසේ කෑ කිරිබත් දිරවා පොළොවට පස් වී හරියටම වසර හතරක් ගත වන විට යුද්ධය අවසන් කළේ කවර පරමාර්ථයෙන්දැයි රාජපක්ෂ ආණ්ඩුව පෙන්වමින් සිටී. මෙහි අදහස යුද්ධය තිබිය යුතුය යන්න නොවේ.

ජනතාව රට ලෙස මිනිසුන්, සතා – සීපාවා, ගහ – කොළ, ඇළ – දොළ, ගංගා මේ සියල්ල ඇතුළත් භූමිය හඳුනා ගත්ත ද රෙජීමයට රට යනු ඉඩම් ය. ඒ නිසා ජනතාව යුද ජයග‍්‍රහණය ලෙස සිතුවේ ‘එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ ඇති භූමියට හා මිනිසුන්ට නිදහස’ ලැබීම වුවත් ආණ්ඩුව සිතුවේ නව ලිබරල් ධනවාදය, ධනේශ්වර ප‍්‍රාග්ධනය ගලා නොගිය භූමිය නිදහස් කරගැනීමයි. යුද්ධය නිමා වීමෙන් පසුව උතුරෙන් පලවා හරින ලද සිංහල හා මුස්ලිම් ජනතාවට නැවත තම ඉඩ-කඩම්, ගේ-දොර හිමි වෙතැයි ද සරණාගත කඳවුරුවල සිටින දෙමළ ජනතාවට තමන්ගේ ගම්බිම් වෙත ගොස් යළි ආර්ථික ජීවිතය ඇරඹිය හැකි වනු ඇතැයි ද ජනතාව විශ්වාස කළ නමුත් එය එසේ සිදු වී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ කුමක්ද?

පසුගිය 29 වැනිදා තෙලිප්පෙලෙ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරුවකුත් රැුගෙන පැමිණි වැසියකුගේම වදනින් කියන්නේ නම්, යුද්ධය නිසා 1990 දී පමණ ගම්බිම් අතහැර ජීවිතය බේරා ගැනීමට ගිය තමන්ට යුද්ධය නිමා වීමෙන් පසුව ජීවිතය ගැට ගසා ගැනීමට තමන්ගේ වතු පිටි වෙත යාමට හමුදාව ඉඩ දෙන්නේ නැත. වලිකාමම් උතුර  හා දකුණ අක්කර 6,400ක් මේ වන විට හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ. අධි ආරක්ෂක කලාප හදනවා, යාපනයේ ආරක්ෂාව තහවුරු කරනවා වැනි කවර ප්‍රෝඩාකාරී වදනක් දෙඩුව ද මේ ඉඩම් අත්පත් කරගන්නේ රෙජීමයේ නව ලිබරල් ආර්ථික උපාය වෙනුවෙන් බව පැහැදිලිය. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ‘සිංහල’ ජනතාවගේ ඉඩම් නාවික හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්තේ සංචාරක කර්මාන්තය වෙනුවෙනි. මෙහි සිංහල යන්න අවධාරණය කොට දැක්වූයේ, මේ ප‍්‍රශ්නය දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයක් නොව සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේම ප‍්‍රශ්නයක් බව ‘සිංහල’ ජනතාවට තේරුම් ගැනීමේ පහසුව පිණිසය.

වඩමාරච්චි නැෙඟනහිර ප‍්‍රදේශයේ අක්කර 700ක්, ඒවා හිමි පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බව දැනටමත් හමුදාව දැනුම් දී තිබේ. උදිරවේන්කයි කෝවිලට අයත් අක්කර තුනක භූමියක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති අතර එම භූමිය නැවත කෝවිලට ලබා දෙන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇතත් එම නියෝගය පයිසයකට මායිම් කර නැත.

උතුරේ ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය දෙමළ ජනතාවගේ ගැටලූවක් නොවේ. කල්පිටියේ දූපත් විකුණා දැමීම, පානම ඉඩම් කොල්ලය, මධ්‍යම කඳුකරයේ වනාන්තර අක්කර ලක්ෂයක් පමණ බහුජාතික සමාගම් වෙත විකුණා දැමීම ඇතුළු සියලූ ගැටලූ එකට බැඳී තිබේ. පටු ජාතිවාදී අනන්‍යතා අතහැර සියලූ දෙනා මිනිසුන් ලෙස මිනිස් අනන්‍යතාවක් වෙත තුරුලූ විය යුත්තේ මේ අර්බුදය එලෙස එකට කැටි වූ එකක් වන නිසාය. ඒ නිසා උතුරේ දෙමළ වැසියන්ට හිමි ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබා ගැනීමට සිංහල හා මුස්ලිම් ජනතාවගේ සහාය ද මුස්ලිම් හා සිංහල වැසියන්ට හිමි ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබා ගැනීමට දෙමළ ජනතාවගේ සහාය ද අත්‍යවශ්‍ය ය.

————————-

කාල් මාක්ස් සහ ෆෙඞ්රක් එංගල්ස් කියන දාර්ශනිකයො දෙන්න යුද්ධ හමුදාව, ජනතාව සහ ඉඩම් ගැන එදා කියපු කතාව වැඩිපුරම ගැළපෙන්නෙ අදට නෙමෙයිද?

‘‘අවසාන වශයෙන් නැපෝලියන්වාදී සංකල්පය කුළු ගැන්වෙන්නේ යුද්ධ හමුදාවේ අතිබලවත් වැදගත්කමිනි. යුද්ධ හමුදාව කුඩා ඉඩම් ගොවියාගේ විශේෂ ගෞරවාදරයට හේතුවක් විය. බාහිර ලෝකයට විරුද්ධව නව දේපළ ආරක්ෂා කරමින් ද මෑත දිනා ගත් ජාතියේ ඒකීයත්වයට කීර්තිය ලබා දෙමින් ද ලෝකය කොල්ල කමින් සහ විප්ලවවාදී කරමින් ද ගොවියන් වීරයන් බවට පත් කළේ යුද්ධ හමුදාව විසිනි. ඔවුන්ගෙ එකම රාජ්‍ය ඇඳුම වූයේ යුද්ධ ඇඳුම්ය. ඔවුන්ගේ කාව්‍ය වූයේ යුද්ධය ය. පීතෘ භූමිය වූයේ මනසෙහි විශාල වී හා වටකුරු වූ කුඩා ඉඩම්ය. දේශපේ‍්‍රමීත්වය ඉඩම් අයිතිය අරබයා වූ උත්කෘෂ්ට රූපකාරය ය.

එහෙත් දැන් ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් ආරක්ෂා කරගැනීමට සිදු වී තිබෙන්නේ කොසාකයන්ට විරුද්ධව නොවේ. පිස්කල් මුලාදෑනින්ට සහ අය බදු එකතු කරන්නන්ට විරුද්ධවය. කුඩා ඉඩම තවදුරටත් පීතෘ භූමිය නොව උකස් පොතෙහි සටහන් වී ඇත. යුද්ධ හමුදාව තවදුරටත් ගොවි තරුණයාගේ කුසුම නොවේ.’’

ජේ.ටී. ගමගේ

Advertisements