දකුණේ දඩුකඳේ හිරවුණු උතුරේ ඡන්ද පෙට්ටිය

north electionආණ්ඩුව කලින් වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සූදානමින් සිටියත් ඊට කලින් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප‍්‍රකාශ කර තිබේ. ඇතැම් විට ඊට හේතු වන්නට ඇත්තේ යුද්ධයෙන් පසුව උතුරේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ස්ථාපිත කරන ලෙස ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම විය හැකිය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට ලබා දෙන ආධාර තම

රටවල දී සාධාරණිකකරණය කරගැනීමට ඔවුන්ට එබඳු සහතිකයක් අවශ්‍යව ඇතිවාට සැකයක් නැත.

පළාත් සභා පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ගැටලූවට විසඳුමක් ලෙස ඉන්දියාවේ බලහත්කාරය මැද වුවත් එය විසඳුමක් වනවා වෙනුවට සුදු අලියකු බවට පත් විය. පළාත් සභා ක‍්‍රමය ජාතික ගැටලූවට විසඳුමක් නොවී ඇත්තා පමණක් නොව ජනතාවගේ දෛනික ගැටලූවලට විසඳුම් දීමට ද අපොහොසත්ය.

එසේ වුවත් දෙමළ ජන සමාජයේ බොහෝ පිරිසක් තමන්ගේ ප‍්‍රශ්නවලට යම් විසඳුමක් පළාත් සභා හරහා ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. ඔවුන් වඩාත් විශ්වාසය තබා ඇත්තේ දෙමළ ජනතාවගේ ඡුන්දයෙන් තේරී පත් වන දේශපාලන නියෝජිතයන් කෙරෙහිය. සැබෑව නම් එලෙස පත් වන නියෝජිතයන් තවදුරටත් පීඩිත දෙමළ පුරවැසියාගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට රාජ්‍යයේ උවමනාව (මේ මොහොතේ දී නම් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ) වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බවයි. ඒ බව උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසුව ඇසීමෙන්, දැකීමෙන් හා විඳීමෙන් තේරුම් ගැනීමේ අවස්ථාව උතුරු පළාතේ ජීවත් වන වැසියන්ට ලැබෙනු ඇත.

අනෙක් අතට දෙමළ දේශපාලන පක්ෂවල තත්වය කුමක්ද? ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට දෙමළ ජනතාවට හැකියාවක් ඇත්දැයි මේ වන විටත් ප‍්‍රශ්න කෙරෙමින් තිබේ. සාම්ප‍්‍රදායික දේශපාලනය හා සන්නද්ධ දේශපාලනය කෙරෙහි විශ්වාසය තබන ලද කණ්ඩායම් කිහිපයක් එක් වී දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ බලයේ ද බලපෑම මතය. ඒ නිසා පසුගිය කාලයේ ඔවුන්ට තම පක්ෂ න්‍යාය පත‍්‍ර වෙනුවට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කිරීමට සිදු වූ බව නොරහසකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති යථාර්ථයක් තුළ දැන් ඔවුන්ගේ පක්ෂ න්‍යාය පත‍්‍ර ඉදිරියට පැමිණ ඇත. ඒ නිසා උතුරු පළාත් සභා ඡුන්දය කර මුලට තබාගෙන ඔවුන් තමන්ගේ පක්ෂ න්‍යාය පත‍්‍රවල

සිර වී සිටින ආකාරය පෙනෙන්නට තිබේ.

අප විශ්වාස කරන ආකාරයට මේ මොහොතේ උතුරු පළාත් සභාවේ බලය ලබා ගැනීමේ අරමුණෙන් සිටින දෙමළ දේශපාලන පක්ෂවල කාර්යභාරය විය යුත්තේ දැවැන්ත විනාශයකට පසුව උතුර යළි ගොඩනැඟීමට අදාළ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ සංවාදය පෙරට ගැනීමයි. එය හුදු භෞතික සංවර්ධනය නොවේ. එහෙත් ඔවුන් ගැටෙමින්් සිටින්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සඳහා දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සමඟය. සම්බන්දන් මහතා ඊට විරෝධය පළ කිරීමත් සමඟ එය

කලබැගෑනියක් බවට පත්ව තිබේ. ඒ

කලබැගෑනිය අතරේ දෙමළ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න අත්හැරී යමින් තිබෙනු පෙනේ. එවන් තත්වයක් තුළ දැනට දෙමළ සමාජය තමන්ගේ නියෝජිතයන් ලෙස හඳුනාගෙන සිටින නායකයන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකිද යන ගැටලූව දෙමළ සමාජය හමුවේ පැනනැඟී තිබේ.

ආණ්ඩුව තවමත් උතුරේ මැතිවරණය පිළිබඳ සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කර ඇති බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව කරමින් සිටින්නේ ඉත්තන් ඇදීමයි. මේ අතර ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම් දෙකක් වන ජාතික හෙළ උරුමය සහ වීරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණ සේ ම ජනතා විමුක්ති පෙරමුණ ද ප‍්‍රකාශ කර ඇත්තේ උතුරේ පළාත් සභාව පිහිටුවීම බෙදුම්වාදයට අත වැනීමක් බවයි. නිදහස් පෙරමුණ හා හෙළ උරුමය කොහොමටත් සිංහල – බෞද්ධ ජාතිවාදී දෘෂ්ටිය මත පදනම් වූ පක්ෂ වෙයි. එහෙත් පසුගිය කාලයේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ ජනතා විමුක්ති පෙරමුණ, ඔවුන්ට යම් දේශපාලන සක‍්‍රියභාවයකට මං තැනෙන විට ඊට විරුද්ධ වන්නේ මන්ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. ඇතැම් විට ඔවුන් දකුණේ ගොඩනැෙඟමින් තිබෙන සිංහල ජාතිවාදී මනෝභාවයට ප‍්‍රතිචාර දක්වනවාද විය හැකිය.

මහා ආඛ්‍යානයේ පවතින පළාත් සභා හරහා දෙමළ ජනතාවගේ ගැටලූවට දේශපාලන විසඳුමක් ලැබේද, මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානය ලියා පදිංචි පක්ෂයක් විය යුතුද, දකුණේ දේශපාලන පක්ෂ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්ද ආදී මේ ප‍්‍රශ්න කිසිවක් සාමාන්‍ය දෙමළ ජනයාට අදාළ නොවේ. එහෙත් ඔවුන් මුහුණ දී සිටින සැබෑ ගැටලූ පළාත් සභා මැතිවරණයට ඍජුවම අදාළය. ඒ නිසා සංවාදය ගොඩනැඟිය යුත්තේ ඒ ප‍්‍රශ්න වටාය.

තිස් වසරක යුද්ධය අතරතුර උතුරු පළාතෙන් පලවා හරින ලද මුස්ලිම් සහ සිංහල වැසියන් දහස් ගණනකි. ඒ අතරිනුත් මුස්ලිම් වැසියන් විශාල පිරිසක් මේ මොහොතේත් ජීවත් වන්නේ පුත්තලම ආදී ප‍්‍රදේශවල කඳවුරුවලය. උතුරු පළාත් සභා මැතිවරණයේ දී එලෙස පලවා හරින ලද ජනතාවගේ අයිතිය කුමක්ද?

උතුරු පළාත් සභාවේ පදිංචිකරුවන්ව සිටි, යුද්ධය නිසා අවතැන් කඳවුරුවල සිටින ජනතාවගේ ඡුන්ද අයිතිය තහවුරු කිරීමට ගන්නා පියවර කුමක්ද? ඔවුන් සම්බන්ධයෙන් සංගණනයක් සිදු කර තිබේද? ඔවුන් ඡුන්දය සඳහා ලියාපදිංචි කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද?

යුද්ධයේ දී දෙමළ තරුණ තරුණියන් දසදහස් ගණනක් අතුරුදන් වූහ. ඔවුන් රැුඳවුම් කඳවුරුවල රඳවාගෙන සිටින බවටත් ඇතැමුන් ඝාතනයට ලක්ව ඇති බවටත් ඇතැමුන් යුද්ධය අතරතුර මිය ගොස් ඇති බවටත් මත පළ වී තිබේ. එහෙත් ඒ කවුරුන්ද යන්න හෙළිදරව් වී නොමැත. ඔවුන්ට ඡුන්ද කාඞ්පත් නිකුත් කරනවාද? ඔවුන්ගේ ඡුන්ද අයිතිය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද?

අත්අඩංගුවට ගන්නා ලද දසදහස් ගණනක පිරිසක් මේ වන විටත් විවිධ බන්ධනාගාරවල, ප‍්‍රසිද්ධ කඳවුරුවල හා රහසිගත කඳවුරුවල රඳවා තිබේ. ඒ කවුරුන්දැයි ආණ්ඩුව තවමත් නම් හෙළිදරව් කර නැත. තමන්ගේ අත්අඩංගුවේ සිටින්නේ කවුරුන්දැයි නම් හෙළිදරව් නොකිරීම ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් එල්ල කර ඇති බරපතළම තර්ජනයයි. මේ ඡුන්දයේ දී ඔවුන්ගේ භූමිකාව කුමක්ද?

විශේෂයෙන්ම, අත්අඩංගුවට ගෙන චෝදනා ඔප්පු කරගත නොහැකිව ඉතා දිගු කලක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රැුඳවූවන් තවමත් අධිකරණයකින් වරදකරුවන් කර නොමැත. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත රඳවා සිටින්නන් ද වරදකරුවන් නොවේ. ඒ නිසා ඔවුන් සියලූ දෙනාටද ඡුන්ද අයිතිය හිමි විය යුතුය. ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

යුද්ධය හා ආණ්ඩුවේ මර්දනය නිසා උතුරු පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසකට විදේශගත වීමට සිදු විය. ඔවුන් විදේශගත වී සිටින්නේ පෞද්ගලික හේතු මත නොව දේශපාලන හේතු මතය. ඔවුන් මෙම ඡුන්දයට දායක කරගන්නේ කෙසේද?

අවසාන වශයෙන් උතුරේ අපේක්ෂකයාට නිදහසේ ඡුන්ද ප‍්‍රචාර කටයුතු කිරීමේ හා ඡුන්දදායකයාට නිදහසේ ඡුන්ද පොළට යාමේ වාතාවරණයක් තිබේද? මැතිවරණ රාජකාරි කරන්නේ රාජ්‍ය නිලධාරීන්ද? මිලිටරි නිලධාරීන්ද? ඡුන්දය පැවැත්වෙන්නේ සිවිල් පරිපාලනයක් තුළද? මිලිටරි පාලනයක් තුළද?

මේ ප‍්‍රශ්න මෙසේ තිබිය දී වුවත් උතුරේ ඡුන්දය පැවැත්විය යුතුය. එහෙත්, ඊට පෙර අනිවාර්යයෙන්ම මේ ප‍්‍රශ්න විසඳිය යුතුය. සියලූ බලවේග මේ ගැටලූ මත පදනම් වූ පුළුල් සංවාදයකට එළඹිය යුතු අතර එම සංවාදය සාකච්ඡුා තලයෙන් ඔබ්බට ගොස් උද්ඝෝෂණ තලය දක්වා පුළුල් විය යුතුය. උතුරු මැතිවරණය හමුවේ පැනනඟින මේ ගැටලූ යනු අන් කිසිවක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස පිළිබඳ ප‍්‍රශ්නයයි.

ජේ.ටී. ගමගේ

Advertisements