රාවය, දෛවය සහ හරිතාගාරවල අවසානය!

ravaya-silver jubileeමෙය, රාවය පුවත්පත සම්බන්ධයෙන් පසුගිය දිනවල පළ වූ ප‍්‍රවෘත්ති සහ ඒ පිළිබදව රාවය පාර්ශ්වයෙන් දක්වන ලද අදහස් පාදක කොටගෙන පාඨකයෙකු විසින් අප වෙත යොමු කරන ලද ලිපියකි. මෙහි අන්තර්ගත දේශපාලන කරුණුවල වැදගත්කම සලකා සම්පූර්ණ ලිපියම සංස්කරණයකින් තොරව පළ කරන්නේ සංවාදයට විවෘතව තබමිනි.

මහත්වරුනි, මේ ලිපිය විවේචනයක්ද – ප‍්‍රතිචාරයක්ද – නොඑසේ නම් ඒ එකකටවත් අයත් නොවන හිතලූ අදහස් දැක්වීමක්ද කියා තීරණය කිරීම ඔබට භාරය.

කෙසේ වෙතත් මෙය ලියා එවන්නේ රාවයටද, ජනරළටද, ලංකා පුවත්පතටද කියා දෙවරක් කල්පනා කළෙමි. ඒ පුවත්පත් තුන සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ විවේචන මා හට ඇත. එහෙත් ඒවා හැරුණු විට පළ වන අනෙක් ‘සිංහල පුවත්පත්’ විවේචනය කළ යුතු මට්ටමේවත් නොපවතින බව මගේ අදහසයි. මක්නිසාද යත් පවතින ධනේශ්වර අර්ථ ක‍්‍රමය තුළ ‘වෙළෙඳ ව්‍යාපාර’ විවේචනය කිරීම විහිළුවකට වැඩි දෙයක් නොවේ. උදාහරණයකින් කියන්නේ නම්, දිය යට කිමිදෙන ගමන් ‘වතුර තෙතයි’ කියන්නාක් වැනි වැඩකි.

දැන් මෙතැන දී; යට කී පුවත්පත් වෙළෙඳ ව්‍යාපාර නොවේද කියා යමකු ඇසුවොත් මා කියන්නේ ලියාපදිංචිය කුමක් වුවත් තවමත් එසේ වී නැත කියාය. (එහෙත් එසේ වීමට ඉඩ ඇති බව හා එසේ වෙමින් ද පවතින බවය) වෙළෙඳ දැන්වීම් පළ කළ පමණින්ම එසේ වන්නේ නැති අතර පුවත්පතක ‘අවම පැවැත්ම’ උදෙසා කවුරුන් කැමැති වුවත් නැතත් අනිවාර්ය කොන්දේසීන් සමූහයකට මුහුණ දීමට සිදු වේ.

එසේ වුවත් මෙකී පුවත්පත් තුන, ස්වකීය ලාභය අධික ලෙස තර කරගැනීමේ ඉලක්කය සහිතව හොල්මන් – අවතාර කතා – පුනරුත්පත්ති කතා – රාවණා කතා විකුණන්නේ නැත. මෙකී පුවත්පත් තුන, අපරාධවලට ලක් වූවන් පත්තර පිටුව

මත දී යළිත් අපරාධයට බඳුන් කරන්නේ හෝ අපරාධයටත් වඩා සාහසික ලෙස සේයා රූ පළ කර අපරාධ ලොල් සංස්කෘතියකට පාඨකයන් පොළඹවන්නේ නැත. මෙකී පුවත්පත් මාධ්‍ය (මාකටින්) අධිරාජ්‍ය පිහිටුවන සිහිනයක ද නැත. එහෙයින් මේ පුවත්පත් විවේචනයට සුදුසුය.

පසුගිය දිනවල, රාවය පුවත්පත මිලින්ද මොරගොඩ විසින් මිලදී ගන්නට සූදානම් වනු ලබන්නේය යන ප‍්‍රවෘත්තිය විවිධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයට පත් විය. ඒ ආරංචිය ඇසූ පමණින් බොහෝ දෙනාගේ ප‍්‍රතිචාරය වූයේ ‘‘ආණ්ඩුව එහෙනම් රාවයත් කොහොමහරි ඔඩොක්කුවට දාගත්තා’’ හෝ ‘අන්තිමේ දී  රාවයත් ආණ්ඩුවේ ඔඩොක්කුවට වැටුණා’’ වැන්නකි. ඒ පැතලි විවේචනයෙන් ඔබ්බට කල්පනා කරන්නට වැඩි දෙනකු උත්සුක වුණේ නැත. තත්වය එසේ තිබිය දී රාවයේ පුරෝගාමී කර්තෘවරයා මෙන්ම වර්තමාන රාවයේ (මගේ අවබෝධය අනුව) උපදේශක කර්තෘවරයා වන වික්ටර් අයිවන් මේ ප‍්‍රශ්නය ගැන කෙළින් කතා කර තිබේ.

ඒ ප‍්‍රකාශය කියවීමෙන් පසු මතු වූ ගැටලූ ගැන කතා කරන්නට පෙර රාවය යනු කුමක්දැයි හඳුනා ගන්නට මා කැමැතිය. රාවය යනු ඉතා නිශ්චිත ලෙස ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වැඩ කරන පුවත්පතකි. නීතියේ ආධිපත්‍යය, යහපාලනය, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධිමත් කිරීම වැනි මතවාදී ආස්ථානයන් රාවයට තිබේ. එමෙන්ම රාවය වර්ගවාදයට විරුද්ධය. ආගම්වාදයට විරුද්ධය. එය සංස්කෘතික විවිධත්වය පිළිගනී. යුද විරෝධීය. එහෙත්, පෞද්ගලික ව්‍යවසායට විරුද්ධ නැත. එය සූරාකෑම ගැන කතා නොකරයි. එනයින් බලද්දී මේ වන විට ලංකාවේ සිංහල පුවත්පත් අතර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටිවාදය මත ඉතා පැහැදිලිව ස්ථානගත වී සිටින පුවත්පත රාවයයි.

මා මුලින් සඳහන් කළ අනෙකුත් පුවත්පත් දෙක, එනම් – ජනරළ හා ලංකා (ඒවා එකම මූලයකින් පැමිණ කිසියම් වෙනස්කමක් සහිතව අතු දෙකක් සේ දැන් විහිදී යමින් තිබේ.) වාමාංශික ස්ථාවරයන් සහිත ඒවා ලෙස සැලකිය හැකිය. ‘වාමාංශික’ යන වචනය මා මෙතැන දී යොදන්නේ ‘උත්තර’ අදහසකින් නොවන බව සැලකුව මනාය. ඒවා කෙතරම් සංශෝධනවාදීද, ජාතිකවාදී ද හෝ විප්ලවවාදී ද යන කාරණාව කල් ඇදෙන වෙනම සාකච්ඡුවකි. මා කියන්නට උත්සාහ කරන්නේ ඒවාට සාපේක්ෂව රාවය වමේ පත්තරයක් නොවූ බවය.

වාමාංශික පාඨකයන් කියවූ බව සත්‍ය නමුත් රාවය වාමාංශික පුවත්පතක් වූවේ නැතැයි මා කියද්දී කිසියම් ‘සාහසික’ කමක් දැනෙතත් සත්‍යය එයයි. එය හැමදාමත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත්පතක්ම වූවේය. වාමාංශික පාඨකයන් වමේ යැයි කියන පත්තර අතහැර රාවය වෙත යෑම තර්කානුකූලය. වමේ යැයි නම් කෙරෙන පුවත්පත් ජාතිකවාදයට – ජාතිවාදයට පසුබසින විට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාවය ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක සිටියේය. වමේ යැයි නම් ලද පුවත්පත් ජනඝාතක යුද්ධයට පක්ෂපාත වන විට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාවය (අයිවන්?) ජනඝාතක යුද්ධයට එරෙහි ස්ථාවරයක සිටියේය. වාමාංශික පාඨකයන්ගේ පියවර තේරුම්ගත යුත්තේ එකී සන්දර්භය මත තබා බව ඔවුන්ටත් රාවයටත් ඉතිහාසය අබියස සාධාරණය ඉටු වනු පිණිස ලියා තැබිය යුතුය.

එමෙන්ම රාවය කිසිදා සමාජ ක‍්‍රමයේ වෙනසක් යෝජනා නොකළේය. වික්ටර් අයිවන් දිගින් දිගටම යෝජනා කළේ ‘දේශපාලන ක‍්‍රමයේ වෙනසක්’ මිස සමාජ ක‍්‍රමයේ වෙනසක් නොවේ. කුමක්ද දේශපාලන ක‍්‍රමයේ වෙනස? නිර්මල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් නීතියේ ආධිපත්‍යය නිසි ලෙස තහවුරු වූ යහපාලිත රටක්. ලූම්පන් දේශපාලකයා වෙනුවට පරමාදර්ශී පරිසර හිතකාමී මහත්මා (මිලින්ද මොරගොඩ?) දේශපාලකයෙක්. රාවයේ දෘෂ්ටිවාදය ඉලක්ක වන්නේ අන්න එතැනටය.

Mahinda Ivan Rawaya‘රාවයේ ප‍්‍රශ්නය’ ගැන වික්ටර් අයිවන් කියන්නේ කුමක්ද? මගේ අදහස නම් ඒ ප‍්‍රකාශය පරස්පරතා බහුල, මනරම් වචනවලින් අමිහිරි යථාර්ථයක් වසන් කරන ලියැවිල්ලක් බවය. රාවයේ ප‍්‍රතිපත්තිගරුකභාවය පහදමින් ලියැවිල්ල පටන් ගන්නා අයිවන්, ඔහු සහ රාවය (ඒ බෙදුම ඔහුගේමය) කර තිබෙන හෝ කරන්නට යන ගනුදෙනුවක හොඳ නරක විනිශ්චය කරන්නකුට වැදගත් විය හැකි යැයි ඔහු සිතන නිදසුන් තුනක් සපයයි. මා උත්සාහ කරන්නේ හොඳ හෝ නරක ලේබලය රාවයට ඇලවීමට නොවන මුත් ඒ නිදසුන් තුන මේ විමසුමේ දී අවශ්‍යය. ඒවා නම්, (සැකෙවින්)

  •  ‘චන්ද්‍රිකා සහ චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත් කිරීමෙහිලා වැදගත් හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමෙන්’ පසු ලේක්හවුස් සභාපති ධුරය භාර ගන්නැයි චන්ද්‍රිකා කළ ඉල්ලීම වික්ටර් අයිවන් ප‍්‍රතික්ෂේප කිරීම.
  •  ලලිත් – ගාමිණී ඇතුළු පිරිස ජනපති පේ‍්‍රමදාසට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ රාවය දෝෂාභියෝගයට සහාය පළ කරමින් සිටිය දී රාවය සතියට දෙවරක් පළ කරනු පිණිස අවශ්‍ය කඩදාසි නොමිලේ ලබා දෙන්නට (දෝෂාභියෝග කණ්ඩායම විසින්) කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම.
  •  වික්ටර් අයිවන්ගේ හිතවතකු වූ අනුරුද්ධ රත්වත්තගේ ස්ථිර තැන්පතුවක තිබූ රුපියල් මිලියනයක් ‘රාවයේ අභිවෘද්ධිය’ වෙනුවෙන් ඉල්ලා ප‍්‍රතික්ෂේප කළ පසු; ඒ වන විට රාවය ගනුදෙනු කරමින් සිටි බැංකුව වූ හැටන් නැෂනල් බැංකුවේ (එවකට) වැඩිම කොටස් ප‍්‍රමාණයක් හිමි තැනැත්තා වූ හැරී ජයවර්ධන, පළමුව රත්වත්ත ද දෙවනුව අයිවන් ද හමු වී; හැරී ජයවර්ධන  රාවයේ ද්‍රවශීල අර්බුදය ‘පෞද්ගලිකව’ විසඳන්නට කැමැතිව සිටියදීත් එය ප‍්‍රතික්ෂේප කොට හැටන් නැෂනල් බැංකුවෙන් ණය මුදලක් පමණක් ඉල්ලා සිටීම. (නිදසුන් අවසන්)

යට කී පළමු නිදසුන දෙස බැලූවහොත්; සත්‍යවශයෙන්ම බැලූ බැල්මට ඉතා අවංක භාවිතාවකි. එහෙත් පෙනෙන දේ ඇත්ත නම් විiාවක් අවශ්‍ය නොවේ යනුවෙන් ප‍්‍රකාශ කළේ 1971 අපේ‍්‍රල් පස් වැනිදා තෙක් ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ලෙස වික්ටර් අයිවන් ද විශ්වාස කළ කාල් මාක්ස්ය.

ලේක් හවුසියේ සභාපතිකම භාර ගන්නැයි කළ ඉල්ලීම එකහෙළා ප‍්‍රතික්ෂේප කළ ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආණ්ඩුව සමයේ (චෞර රැජිණ පොත ලියන්නට පෙර) රාවය වෙත ආ රාජ්‍ය ආයතනයන්ගේ වෙළෙද දැන්වීම්වල වටිනාකම වික්ටර් අයිවන් ප‍්‍රකාශ නොකරයි. එසමයෙහි තර කරගන්නා ලද රාජ්‍ය ආයතනික සම්බන්ධතා ප‍්‍රමාණයේ දිගු කාලීන ආර්ථික වටිනාකම තක්සේරු කිරීම වඩාත් අමාරු වැඩකි. එවැනි අමාරු වැඩ ‘නිදසුන්වලින්’ ආවරණය කිරීම ඊටත් වඩා අමාරුය.

වික්ටර් අයිවන්ගේ ලියැවිල්ලේ තැනක, රාවය මෙතෙක් පවත්වාගෙන ආ ගුණධර්ම (සාපේක්ෂ සදාචාර මිම්මකින් පමණක් මැනිය හැකි වචන!) ගණනාවක් සදහන් වන අතර ‘කිසිදු දේශපාලන පක්ෂයක කොටස්කරුවකු ලෙස හෝ ආධාරකරුවකු ලෙස කි‍්‍රයා නොකිරීම’ ද වේ. ඒ අතර චන්ද්‍රිකා හා ඇගේ ආණ්ඩුව බලයට පත් කිරීමේ දී වැදගත් හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන, විට චන්ද්‍රිකා ඡුන්දය ඉල්ලූ පොදුජන එක්සත් පෙරමුණේ කොටස්කරුවකු ලෙස හෝ ආධාරකරුවකු ලෙස කි‍්‍රයා කිරීමක් සිදු නොවූයේද යන්න ප‍්‍රශ්නයකි.

කිසියම් ජනමාධ්‍යයක් දේශපාලනයෙන් වියෝ කොට අදේශපාලනික ආස්ථානයක් මත පිහිටුවාලීමට මේ ලියුම්කරු ද යෝජනා නොකරයි. සමාජය වෙනස් කිරීමේ කාර්යය මදකට පසෙකින් තැබූවොත් සමාජයට බලපෑම් කිරීම සදහා වුව දේශපාලන මති මතාන්තරයක පිහිටා සිටීම අනිවාර්ය වේ. ඒ මතවාද හා සමගාමී වන දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් තිබිය හැකිය. මේ තත්වය රාවයට මෙන්ම වෙනත්

මාධ්‍යයන්ට ද පොදුය. එසේ තිබිය දී; කිසිදා නොරැකෙන පිළිවෙතක් ගුණධර්මයක් සේ අර්ථ ගැන්වීම මෙන්ම රැුකිය යුතු යැයි කියන එකී ‘ගුණධර්ම’ නොරැකුණු ඉතිහාසය මග හැර යාම ද එක සේ ප‍්‍රශ්නකාරීය.

‘හොද නම හා ගෞරවය’ යනුවෙන් ‘ගුණධර්මයක්’ ගැන ද වික්ටර් අයිවන් ලියයි. අනුරුද්ධ රත්වත්තේ යනු යුදවාදී දේශපාලකයෙක් බව නොදත් කෙනෙක් නැත. රාවයේ කර්තෘවරයා (ලේක් හවුස් යෝජනාව කළ) චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ

ඇමැතිවරයකුගෙන් රුපියල් මිලියනයක් ඉල්ලා සිටීම හොද නම හා ගෞරවය රැකෙන විලාසයක්ද යන ප‍්‍රශ්නය මතු වේ. අනෙක් අතට, අනුරුද්ධ රත්වත්තේගෙන් පෞද්ගලික මුදල් ඉල්ලා හැරී ජයවර්ධනගේ පෞද්ගලික මුදල් ප‍්‍රතික්ෂේප කිරීම තේරුම්ගත නොහැකිය. අනුරුද්ධ රත්වත්තේ හැරී ජයවර්ධනට වඩා හොදද – හැරී ජයවර්ධන අනුරුද්ධ රත්වත්තේට වඩා නරකද යන්න පැහැදිලි කළ යුත්තේ වික්ටර් අයිවන්මය.

මේ සියල්ලම තිබිය දී, යුද විරෝධී රාවයේ කර්තෘ, යුදකාමී නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ ස්ථිර තැන්පතුවේ ඇති රුපියල් මිලියනයක් ඉල්ලා සිටීම නමැති කාරණාව; පාඨකයා – අර සුවිශේෂී වාමාංශික පාඨකයා තේරුම්ගත යුත්තේ හොද නම හා ගෞරවය ලේබලය යටතේ ද? එසේ බලන විට  නොමිලේ දෙන්නට සූදානම් වූ කඩදාසි තොගය වෙනුවට, රාවයේ ද්‍රවශීලතා අර්බුද විසදීම සදහා ලලිත් ඇතුලත්මුදලිට හෝ ගාමිණී දිසානායකට කෙබදු තරමින් මැදිහත් වන්නට වූයේද කියා දන්නේ වික්ටර් අයිවන්ම පමණි.

රාවය සංවත්සරය ජනාධිපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා රාවය ලෝගෝව දෙපස මිහින් ලංකා දැන්වීම් යොදා ගන්නා විට හොද නමට වන්නේ කුමක්දැයි නොකියන, වික්ටර් අයිවන් විසින් කරන ලද ‘කරුණු පැහැදිලි කිරීම’ මත දිගින් දිගටම එල්ලී සිටීම මේ රචනයට අතිවිශාල ප‍්‍රයෝජනයක් ගෙන එන්නේ නැත.

එහෙත් තවත් එක් කාරණාවක් ගැන අවධානය යොමු කළ යුතුය. ප‍්‍රගතිශීලී යැයි සමාජය හදුනාගෙන සිටින ප‍්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙක් ‘රාවය දැනට මුහුණ පා ඇති තත්වය’ ගැනත් ‘රාවය රැකගැනීම’ ගැනත් සාකච්ඡුා කොට තිබේ. ‘හිතවතකු අමාරුවේ වැටුණු විට හිතවතුන් මැදිහත් වීම’ යන සරල කාරණාවට එහා ගිය දෘෂ්ටිවාදී පදනමක් ඒ සාකච්ඡුාව තුළ තිබේ. තම නිර්මාණවලින් වාමාංශික පාඨකයන්ට සංග‍්‍රහ කරන ඒ මහත්වරුන් වමේ (හෝ වෙනත්) පුවත්පතකට ‘ද්‍රවශීලතා අර්බුදයක්’ ඇති වූ විට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාවයට තරම්ම සංවේදී වනු ඇති බව මගේ හැගීමයි.

ඒ සම්බන්ධව අවසානාත්මකව යමක් කීමට නොහැක්කේ, ඊට අදාළ තොරතුරුවල හිගකමක් පවතින බැවිනි, කෙසේ වෙතත් එවැනි සාකච්ඡවක නිර්මල අරමුණ, ‘මේ මොහොතේ රාවය වඩා ශක්තිමත් තැනකට ගැනීම රාවයේ යහපතට පමණක් නොව රටේ පොදු යහපතට ද හේතු වනු ඇත්තේය’ යන අයිවන්ගේ විශ්වාසය විය හැකිය.

එකී කාරණාවන්ට අමතරව කීමට ඇති දෙය නම්, යම්කිසි සමාගමක කොටස්වලින් බහුතරය මිලදී ගත් පසු එම සමාගම එම කොටස් හිමියාගේ ග‍්‍රහණයට නතු වන බව පමණි. ඒ සරල ආර්ථික විද්‍යාත්මක ඥානය මා ලබා ගන්නේ ද අයිවන්ගේ ලිපිය තුළින්මය. හැටන් නැෂනල් බැංකුවේ වැඩිම කොටස් හිමිව තිබූ හැරී ජයවර්ධනගේ තීරක බලය පිළිබ`ද නිදසුන ඒ සරල ඥානය මේ ලියුම්කරුට සපයයි.

ස්වකීය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවිතය තුළ, රාවය කිසිදා ‘ප‍්‍රාග්ධනය’ ට විරුද්ධ වූයේ නැත. දේශපාලන ක‍්‍රමය වෙනසක් ගැන නිතර මතුරමින් එය සිදු කළේ

‘ප‍්‍රාග්ධනය’ නඩත්තු කෙරෙන දේශපාලන න්‍යාය පත‍්‍රය දෘෂ්ටිවාදීව පෝෂණය කිරීමය. සදාචාර තලයේ දී වර්ගවාද විරෝධය – යුද විරෝධය අත්පත් කරගත්ත ද ආර්ථික තලයේ දී රාවය ධනේශ්වරය සමග නිහඩ කොන්දේසියක රැදී සිටියේය. ඒ, අනුරුද්ධ රත්වත්ත – වික්ටර් අයිවන් හිතවත්කම වැනි බරපතළ ව්‍යතිරේකයන්ට අමතරවය. (සරත් එන්. සිල්වා රාවයේ ද්‍රවශීලතා අර්බුදය විසදීමට ආවේද යන ‘සාහසික’ ප‍්‍රශ්නය මම නොඅසමි)

නව ලිබරල්වාදය සියලූ අතරමැද රංගනයන් අහවර කරමින් සිටියි. ලිබරල් පාරිසරික සමතුලිතය පිණිස අත්හැර දමන ලද සියලූ හරිතාගාර වෙත

‘ප‍්‍රාග්ධනයේ’ කාබන් මොනොක්සයිඞ් හා සල්ෆර් ඩයොක්සයිඞ් නිර්ලෝභීව මුදා හැරෙමින් තිබේ. ඒ නිමේෂය තුළ, රාවය සිය ගමන් ම`ග පුරාම ආවැඩූ ‘ප‍්‍රාග්ධනය’ දැන් රාවයම සොයා පැමිණ ඇත. හරියටම, ජනරළ සිය ගමන් මෙග් මුල් අවධියේ (‘ලංකා’ ව සිටිය දී) පෝෂණය කළ මිලිටරිකරණය දැන් ඔවුන්වම සොයා එමින් සිටින පරිදිය.

ඉන්දික වර්ණකුලසූරිය

Advertisements