සරසවි කැන්ටිමේ නෙල්සන්ට තියෙන ප‍්‍රතිසංස්කෘතික කියවීමවත් බොහෝ සරසවි ඇදුරන්ට නෑ

Street-Art-by-David-Walker-in-London-Englandකොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මැයි 14 දින පැවැති උත්සවයේ දී සරසවි ශිෂ්‍යයා හා කලාව මැයෙන් ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න සහෝදරයා විසින් පැවැත් වූ දේශනය ඇසුරිනි.

මගේ මාතෘකාව ‘සරසවි ශිෂ්‍යයා හා කලාව’ වුණාට ඇත්තටම මට කියන්න සිද්ධ වෙලා තියෙන්නෙ වර්තමානයේ මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි. සැබෑ කලාත්මක අවකාශය ගොඩනැඟී ඇත්තේ සරසවියට පිටින් බවයි මගේ හැඟීම. නිදසුනක් විදියට අපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී හම්බ වෙනවා නෙල්සන් ගුණතිලක කියලා සහෘදයෙක්. ඔහු විශ්වවිද්‍යාලයෙ ආපණ ශාලාවෙ වැඩ කරන්නෙ. ඔහු පළ කළ ‘ඉලපත’ කියන ග‍්‍රන්ථය අපට හමු වුණා. මට හිතෙන්නෙ සරච්චන්ද්‍රගෙන් පස්සෙ පේරාදෙණියෙ වෙච්ච දැනෙනම වැඬේ ඒක කියලා. මේ බලන්න ඔහු ‘අවුරුද්ද’ දකින විදිහ.

කෝ – යකෝ

මේ – කොහා

අප – ඔළුව

කෑ – යකා

බක් – මහේ

හින – හිලා

මූ – යළිත්

සැඟ – විලා

නෙල්සන් ගුණතිලක ‘අවුරුද්ද’ ප‍්‍රතිසංස්කෘතිකව කියවද්දි මහාචාර්යවරු, ආචාර්යවරු හා සරසවි ශිෂ්‍යයන් සිදු කරමින් ඉන්නෙ අවුරුදු උත්සව පවත්වන එක. රාජ්‍ය අවුරුදු උත්සවවල නටන, ගයන, වයන, වේදිකාව සරසන, නිවේදනය කරන පිරිස් බිහි වෙලා තියෙන්නෙ මේ සරසවි තුළින්. එතකොට සැබෑ කලාව තියෙන්නෙ ඇකඩමියාවට පිටින් කියන එක පැහැදිලියිනෙ.

මීට බලපෑ තාක්ෂණික මෙන්ම දේශපාලන හේතු ඇති බවයි මගේ හැඟීම. සෞන්දර්ය විශ්වද්‍යාලය පැත්ත පිළිබඳ වැඩි අවධානයක් යොමු කළාම පෙනී යන්නෙ සෞන්දර්ය විශ්වවිiාලය පොදු සරසවි පද්ධතියෙන් වෙන් කිරීම බරපතළ තාක්ෂණික ගැටලූවක් බවයි. 1956 දී ස්වභාෂාවෙන් උසස් අධ්‍යාපනය ලබා දීමේ කොමිසම් සභාව ලලිත කලා පීඨයක් ඇති කිරීමේ වැදගත්කම දක්වා ඇත්තේ පහත පරිදියි.

‘‘වර්ෂ 1942 ඉදිරිපත් කරන ලද විශ්වවිද්‍යාල පනතේ පරමාර්ථය වූයේ ලංකාව හා එහි වැසියනට ආවේණික සංස්කෘතිය හා භාෂාව  පිළිබඳ දැනීම දියුණු කිරීමයි. එහෙත් ජාතික සාහිත්‍යයට, සංස්කෘතියට හෝ අධ්‍යාපනයට මුල් තැනක් දීමවත් විශ්වද්‍යාලයෙන් ඉටු නොවීම ලක් වැසියන්ගේ ඉමහත් පුදුමයට හේතු විය.’’ – (10 වැනි සැසි වාර්තාව – 1956 – 70 පිටුව – 229 කොටස)

ලලිත කලා පීඨයක් වෙනම ස්ථාපිත කිරීමෙන් ද එකී අභිලාෂ ඉටු නොවුණි. මින් සිදු වූයේ සෞන්දර්ය, ශිෂ්‍යයා සාහිත්‍යයෙන් මෙන්ම පර්යේෂණාත්මක අධ්‍යාපනයෙන් වියෝ වීමයි. ඉන්දීය සාහිත්‍ය සංස්කෘතීන්ගේ ඇතුළත් පහත ප‍්‍රකාශය මෙතන දි පුනරුච්චාරණය කිරීම වැදගත්.

“Goddess of art has two breasts. One is delicious at the first tasting. The other becomes so when you chew on it.” (සංගීතය හා කාව්‍ය සරසවියගේ දෙපියයුරු වෙයි. එකක රස ක්ෂණයකින් දැනුණ ද අනෙකෙහි රස දැනෙන්නේ උරා බොන කල්හිය.) – (Narayan Rao and shalman, A poem at the Right Moment, P-61)

සෞන්දර්ය ශිෂ්‍යයා තනි කිරීමෙන් සිදු වුණේ සාහිත්‍යයෙන් සෞන්දර්යය වෙන් කිරීම. හරියට සරසවියගේ එක් පියවුරක් ගලවලා දැම්මා වගේ වැඩක්. අනිත් කරුණ තමයි සරසවි ශිෂ්‍යයා පර්යේෂණයන්ගෙන් තොර වීම, මහාචාර්ය කාර්ල් ජැස්පර්ස්ගේ ‘විශ්වවිද්‍යාලය පිළිබඳ සංකල්ප’ නම් ග‍්‍රන්ථයට පෙරවදනක් සපයමින් මහාචාර්ය  ඕ.එල්. හැන්ග්විල් ඉදිරිපත් කරන පහත අදහසට මඳක් සවන් දෙමු.

‘‘ඉගැන්වීමට සාරය ප‍්‍රබල ලෙස අවශ්‍යය. එය දිය හැක්කේ පර්යේෂණයට පමණි. ඇත්ත වශයෙන් විශ්වවිද්‍යාලයේ ප‍්‍රාණය වන්නේ මේ දෙකේ සංයෝගයයි. විශේෂ පර්යේෂණ ආයතනවලට කළ හැකි කාර්යයක් ඇතත් නුවමනා ලෙස පරීක්ෂණයෙන් ඉගැන්වීම වෙන් කිරීම, විශ්වවිද්‍යාලය දිළිඳු බවට පමුණුවනවා පමණක් නොව, මූලික වශයෙන් පර්යේෂණයෙ හි තත්වය ද පහළ වැටීමට හේතු වෙයි.’’

දැන් අපිට පැහැදිලි වෙනවා ලංකාවෙ සරසවිවලින් බිහි වෙන්නෙ හදවතත් බුද්ධියත් අහිමි, හැඟීමත් තර්කයත් අහිමි පිරිසක්. එබඳු පිරිසක් අතරින් කලාකරුවන් බිහි වන්න විභවයක් නෑ. මොකද, කලාකරුවා යනු යථාර්ථය ලෙස මවා පෙන්වා ඇති දෘශ්‍යමානයට එරෙහිව අරගල කරන්නෙක්. තමන්ට සාක්ෂාත් කරගත නොහැකි ආරම්මණයන් ජය ගෙන සුසංවාදී ජීවිතයක් උදා කරගැනීමට ධෛර්යය සපයන්නෙක් ඔහු. යථාර්ථය ජය ගැනීමේ අරගලයෙන් ජනිතව මිනිසා තුළ තෙරපෙන පීඩාවන් විරේචනය කරනා ඔහු එම අරගලයේ දී ගෙවී ගිය ආධ්‍යාත්මික ශක්තීන් නැවත පුරවාලිය යුතුයි.

සරසවි ශිෂ්‍යයන් ලෙස, විශේෂයෙන්ම සෞන්දර්ය ශිෂ්‍යයන් ලෙස ඔබ මා සමඟ අමනාප වුව ද මට පැවසීමට සිදු වන්නේ මෙබඳු සංකීර්ණ අදහසකින් කලාවේ නිරත වන්නන් විශ්වවිද්‍යාල තුළින් වර්තමානයේ බිහි නොවන බවයි. සරච්චන්ද්‍ර, චන්ද්‍රගුප්ත තේනුවර හා ලියනගේ අමරකීර්ති බඳු කිහිප දෙනකු මිස වත්මන් සරසවි ආචාර්යවරුන් අතරින් නම් එබඳු භාවිතාවක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි අයුරට පිරිහී ගොස් තියෙනවා.

අනෙක් අතට ධනේශ්වර පාලන තන්ත‍්‍රයක් විසින් මෙහෙයවෙන ආයතන පද්ධතියක් තුළ එබඳු කලාකරුවන් නිර්මාණය වීමට ඉඩ ලබා දෙනු ඇතැයි සිතීම ද මුළාවක්. රැකියාව පිළිබඳ ගොඩනැඟී ඇති අවිනිශ්චිතභාවය, විභාග ක‍්‍ර‍්‍රමයේ ගැටලූ මෙන්ම නූතනයේ හඳුන්වා දී ඇති ‘යුද පුහුණු’ පාඨමාලාව මඟින් ශික්ෂණය ලැබූ ශිෂ්‍යයකු තුළින් එබඳු කලාකරුවකු පහළ වීමේ සම්භාවිතාව ඉතාම අල්පයි.

මේ සියල්ලටම වඩා මූලික ගැටලූව වී ඇත්තේ ස්වයං වාරණය විශ්වද්‍යාල ශිෂ්‍යයාටත් වඩා මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නෙ ගුරුවරු. රැකියාව ස්ථිර කරගන්න, රැකියාවෙ ඉහළට යන්න, ජනාධිපති උපදේශකයෙක් වෙන්න බෑ යථාර්ථය විනිවිද ගිහිල්ලා. දැන් නිදසුනක් විදිහට යථාර්ථය කියන්නෙ කොළඹ නගරයෙ සුන්දරත්වය වගේ දෙයක්. ඒක මතු පිටින් ඉතාම සුන්දරයි. තණකොළ වවලා, උද්‍යාන හදලා, තාප්ප කඩලා, අනවසර ඉදිකිරීම් අයින් කරලා. ඒත් මේ යථාර්ථයට යටින් තියෙනවා අප බය ගන්වන දෙයක්. ඒ තමයි ෆැසිස්ට්වාදය. බලන්න, කොළඹ නගරය සම්පූර්ණයෙන්ම ඉදි වෙන්නෙ ෆැසිස්ට්වාදී ආකෘතියට. විශාල කුලූනු, විශාල පදාස, විශාල ගොඩනැඟිලි. තාප්ප කඩන්නෙ ගොඩනැඟිලි කොයි තරම් විශාලද කියලා පෙන්නන්න. මේ ගොඩනැඟිලි ඉස්සරහ අපිට දැනෙන්නෙ අපි කුරා කුහුඹින් වගේ. අපි කොයිතරම් දුර්වලද? අපිට මේ කියන්නෙ මේ රාජ්‍යය වෙනස් කරන්න උඹලට බෑ, අපි උඹලට වඩා ගොඩාක් ලොකුයි, ගොඩාක් ශක්තිමත් කියලා. මේ තමයි යථාර්ථයට යටින් තියෙන කොටස. හැබැයි මේක කියපු ගමන්, මේක නිරූපණය කරපු ගමන්, ප‍්‍රතිනිර්මාණය කරපු ගමන් පැවැත්ම තර්ජනයට ලක් වෙනවා. ඒ නිසා මේ අය නෙළුම් පොකුණෙ ‘සමයමක්’ නටාගෙන ඉන්නවා.

ඒ නිසා මේ වගේ ආයතන හා කලාව අතර සම්බන්ධය එන්න එන්න ඈත් වෙන එක වළකන්න බෑ. මේ වගේ ආයතනවලින් ශිල්පීන් මිසක් කලාකාරයෝ බිහි වෙන්න විදියක් නෑ. ධනේශ්වර වෙළෙඳපොළ ක‍්‍රමයට අවශ්‍ය එහි පැවැත්ම සහතික කළ හැකි ශිල්පීන් මින් බිහි වෙනවා. ඒ වගේම ගුරුවරු ටිකක් මින් බිහි වෙනවා. දුමින්ද සිල්වා ආවත් මර්වින් සිල්වා ආවත් තමන්ගෙ ශිෂ්‍යයෝ ටික නටවන, ප‍්‍රශස්ති ගී ගයවන සෞන්දර්ය ගුරුවරු ටිකක් මේවායෙන් බිහි වෙනවා.

ඒ නිසා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු ඔබ මේ අභියෝගයන්ට මුහුණ දෙමින් වුව විකල්ප භාවිතයකට එළඹිය යුතු කාලය පැමිණ තිබෙනවා. රියැලිටි තරගවල තරග වදින, කසිකබල් සින්දුවල පසුතලය සරසන ශිල්පීන් වෙනුවට සාමාජික මිනිසාගේ ජීවන අරගලය වඩා ප‍්‍රඥා සම්පන්නව, වඩා වාසිදායක වන අන්දමට ගාමක ශක්තියෙන් යුක්තව හා විනයගතව කරගෙන යාමට අත්‍යවශ්‍ය නව ආත්මීය සම්පත් උත්පාදනය කර දෙන කලාකරුවන් වීමට හැකි වේවායි පතනවා!

Advertisements