කුණාටුවෙන් මූදුබත් වූ ධීවරයන්ට ඇමැති කියන හතරබීරි කතාව

fishermen_endangeredඊයේ ධීවරයෝ කුණාටුවේ ගසාගෙන ගියෝය. අද ධීවර ඇමැති ධීවරයන්ට ඇම දමමින් තිබේ. මේ හතරබීරි කතාව කුමක්දැයි ඔබට එකවර නොවැටහෙනු ඇත. ඒ නිසා මේ කතාවේ පෙරවදන ඇමැති රාජිත සේනාරත්න පසුගිය දහඅට වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයකින්ම උපුටා ගනිමින් අපි අපේ කතාවට පිවිසෙමු. 
‘‘…. 2014 වර්ෂයේ සිට යාත‍්‍රා ලියාපදිංචිය සඳහා ධීවර රක්ෂණ ක‍්‍රමය හා ජීවිතාරක්ෂක කබා පැලඳීම අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. ධීවර ජනතාව මේ පිළිබඳ උරණ වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගෙන් යැපෙන්නන් ගැන අප සිතිය යුතුයි.’’
ඇමැති රාජිත මේ කතාව
පාර්ලිමේන්තුවේ දී මෙන්ම විපතට පත් බේරුවල ප‍්‍රදේශයේ ධීවරයන් හමු වීමට ගිය විටත් පවසා තිබේ. ඇමැතිවරයාට අනුව ලොකුම විපත ධීවරයන් රක්ෂණය නොවීම හා ධීවරයන් ආරක්ෂිත කබා නොපැලඳීමය. ඇමැතිවරයා පවසන පරිදි මිය ගිය ධීවරයන් රක්ෂණය වී සිටියා නම් ඔවුන්ට මිය ගිය පසු රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් ලැබේ. එහෙත් පසුගිය අට වැනිදා මුහුදු ගිය ධීවරයන්ගෙන් රක්ෂණය වී තිබුණේ ධීවරයන් හතර දෙනකු පමණි. මේ නිසා ඇමැතිට රක්ෂණය නොවූ ධීවරයන්ට රුපියල් ලක්ෂයක් අරන් දෙන්නට කැබිනට් පත‍්‍රිකාවක් දමා මහන්සි වන්නට සිදු විය. ධීවරයන් රක්ෂණය වී සිටියේ නම් ඇමැතිට එවැනි කරදරයකට හෝ ලක් වන්නට අවශ්‍යතාවක් නොතිබෙනු ඇත. මේ කතාවේ ඇති ලොකුම ඛේදවාචකය නම් මෙතරම් විපතකින් පසුවත් ආණ්ඩුවේ ප‍්‍රමුඛතම අවධානය යොමු වී ඇත්තේ ධීවර ජීවිත සුරක්ෂිත කිරීම කෙරේ නොව මැරෙන ධීවරයන්ට කීයක් හෝ ගෙවා ඇඟ ගලවා ගැනීමේ පිළිවෙතකට මාරු වීමට ඇති ඔවුන්ගේ කැමැත්තය. ඒ කැමැත්ත ඉටු කරගැනීමට ඔවුන් ධීවරයන්ට අටවන උගුල වනුයේ මෙකී ධීවර රක්ෂණය හා ධීවර කබාය. අප මෙසේ කියන විට දැන් ඇතැම් විට ඔබට ‘‘ඇයි ධීවරයන්ට රක්ෂණයක් තිබෙන එක නරකදැයි’’ අසන්නටත් ‘‘ධීවරයන්ට ආරක්ෂක කබා පලඳින්නැයි කීමේ ඇති වරද කුමක්දැයි’’ අසන්නටත් හැකිය. කිසි වරදක් නැත. වරද ඇත්තේ යෝජනා තුළ නොව යෝජනා පිටුපස ඇති අරමුණු තුළය. ධීවරයාගේ රක්ෂණය විය යුත්තේ ධීවරයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමය. ඔහුගේ ජීවිතය නඟා සිටුවීමට වැඩපිළිවෙළක් සැකසීමය. ඒ සඳහා ධීවරයාගේ මාළු අස්වැන්නට සහතික මිලක් නියම කිරීමේ සිට අනතුරු අවම කළ හැකි, අනතුරු කල් තියා හඳුනාගත හැකි මෙවලම් ධීවර කාර්මිකයා හට ලබා දීම කළ යුතුයි. ඒත්
පසුගිය අට වැනිදා සිදු වූ ඛේදවාචකය තුළ අප දුටුවේ කුමක්ද? අඩුම තරමේ කාලගුණ අනාවැකියවත් කල් තියා ධීවරයාට දැනුම් දිය හැකි ක‍්‍රමයක් හෝ වැඩපිළිවෙළක් ධීවර අමාත්‍යාංශය හෝ කාලගුණ විiා දෙපාර්තමේන්තුව සතුව නොවීය. ධීවර ජීවිත පනස් හතරක් මහ සයුර බිලිගත් තවත් ධීවරයන් දහහතර දෙනකු සඟවා ගත් ඛේදවාචකයේ දී කාලගුණ විiා දෙපාර්තමේන්තුවත් ධීවර අමාත්‍යාංශයත් එකිනෙකාට චෝදනා කරගැනීම තුළ අප දුටුවේ ඒ ‘නොවීම’ හා ‘නොහැකියාවය’.
විපතට පත් ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාවත් ගුවන් හමුදාවත් යෙදවූ බවත් ධීවර අමාත්‍යාංශය ධීවරයන් බේරා ගැනීමේ මේ මෙහෙයුම මනා සම්බන්ධීකාරකත්වයකින් පවත්වා ගෙන ගිය බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පවසා තිබිණි.
Fishing 1‘‘මෙම දැඩි කුණාටු සහිත අවස්ථාවේ දී ආපදා තත්වය වාර්තා වූ වහාම මාගේ අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව අදාළ අංශ සම්බන්ධීකරණය කර පළමුව ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම නාවික හා ගුවන් හමුදා සහයෝගය ඇතිව ක‍්‍රියාත්මක කළා. මේ ප‍්‍රදේශවල පොලිසිය සහ යුද හමුදාව ද සහාය වූවා.’’
ඇමැතිවරයා ධීවරයන් බේරා ගත් හැටි පාර්ලිමේන්තුවට එලෙස විස්තර කරන විට මේ විපතින් වැඩිම ධීවර ජීවිත ප‍්‍රමාණයක් අහිමි වූ බලපිටිය වැල්ලෙන් කියැවුණේ මෙවැනි කතාවකි.
‘‘ඇස් පනා පිට ගහගෙන ගියේ. ඒකයි වාවන්නෙ නැත්තෙ. ‘අන්න ධීවරයෝ වගයක් බෝට්ටුවක එල්ලිලා’ කියනකොට අපි වැල්ලට දිව්වේ කවුරුත් මුහුදු යන අය හින්දා. බැලින්නම් මගේ මිනිහත් ඉන්නවා. පෙරළුණු බෝට්ටුවක කවුරුත් එල්ලිලා හිටියා. ඔක්කොම හය දෙනෙක්. හැමෝම උදව් ඉල්ලලා කෑ ගැහුවා. හරස්පොළ නේවි කෑම්ප් එකත් එතන. නේවි එකේ අයත් බලාගෙන හිටියා. උදේ හයේ හතේ ඉඳලා දවල් දහය එකොළහ වෙනකම්ම අපි වැල්ලෙ. අර අය බෝට්ටුවේ එල්ලිලා. බඩු බාන වර්ගයේ ප්ලෙන් එකක් ආවා. කැරකි කැරකි ඉඳලා ගියා. ඒක පාත් කරන්නත් බෑ. හෙලිකොප්ටරයක් ආවනම් මේ අය ඒකේ එල්ලෙනවා. ඒත් එහෙම දෙයක්වත් කළේ නෑ. උදේ 10.30ට විතර සැරට ආපු වතුර පාරට මේ අය ඇදගෙන ගියා.’’
එදින බලපිටියෙන් මුහුදු ගොස් තිබූ බෝට්ටු ගණන විසි තුනකි. එහෙත් ඉන් ගොඩ ඇවිත් තිබුණේ බෝට්ටු පහක් පමණි. එලෙස බෝට්ටුවල රැුකියාවට ගිය බලපිටියේ ධීවරයන්ගෙන් විසිහය දෙනකුම නැවත ගොඩබිමට ආවේ ප‍්‍රාණය නිරුද්ධ මළ සිරුරු වශයෙනි. ඒ රාජිත ඇමැතිවරයා පාර්ලිමේන්තුවට කියනා ක‍්‍රියාත්මක වීමේ හොඳකම නිසාය.
පැය ගණනක් බෝට්ටුවේ එල්ලී ජීවිතය බේරා ගැනීමට සටන් වැදී සිටි බලපිටියේ ධීවරයන් හය දෙනාගෙන් බේරී ආ ධීවරයාට අනුව මේ මිනිසුන් පස් දෙනා මියැදුණේ කවුරුත් උදව් නොකළ නිසාය. ආමි, නේවි හැම දෙනෙක්ම ඉඳලත් අඩුම තරමේ කොටයක් හෝ දැමීමට ඔවුන් කිසිවකුත් ක‍්‍රියා නොකළ බව ඔහුගේ චෝදනාව විය. තවත් අයකු කීවේ එහි තිබුණ නාවික හමුදා කෑම්ප් එකේ සිදු කරන්නේ ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවක් පවත්වා ගෙන යෑම බවය. ඒත් ඔවුන්ගේ පුහුණුකරුවන්ගෙන් මේ එකදු ධීවරයකුට හෝ පිහිටක් ලැබී නැත.
මෙපමණ විනාශයක් සිදු වීමෙන් අනතුරුවත් ඒ බලධාරීන්ට අද කීමට ඉතිරි වී ඇති ලොකුම දෙය මිය ගිය ධීවරයන් වෙනුවෙන් ගෙවන්නට යන රුපියල් ලක්ෂයේ වන්දියය. ධීවරයාගේ ජීවිතය මෙලෙස රුපියල් ලක්ෂයකින් හෑල්ලූ වෙද්දී රටට බරක් වී ඇති පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙක් මිය ගිය විට ඒ වෙනුවෙන් ගෙවනා වන්දිය රුපියල් ලක්ෂ පනහකි.
ධීවර ඇමැතිට අනුවම ලංකාවේ සක‍්‍රීයව ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස එක්ලක්ෂ අසූපන් දහසකට අධිකය. ධීවරයන් එපමණ ප‍්‍රමාණයකට ආරක්ෂිත කබා රැුගෙන දීමට ආණ්ඩුවට වත්කමක් නොමැති බව ඇමැතිවරයා පවසයි. එසේ පවසමින්ම ධීවරයන් අනිවාර්යෙන්ම ආරක්ෂිත කබා පැලඳිය යුතු බවට ද තග දමයි. දැන් ඇමැතිවරයාගේ මේ තග දැමීම හමුවේ එක්කෝ ධීවරයන් හිඟා කා හෝ රක්ෂණය වී ආරක්ෂිත කබා පැලඳ මුහුදු යා යුතුය. නැති නම් ධීවර රැුකියාව හැර දමා මුහුදටම පැන සිය දිවි හානි කරගත යුතුය.
මේ ටික ද පැවැසිය යුතුමය. ඇමැතිගේ අරමුණ කුමක් වුව ද ආරක්ෂිත කබා සහිතව මුහුදු යන්නට තිබුණේ නම් පසුගිය අට වැනිදා සිදු වූ විපතින් මෙතරම් ධීවරයන් පිරිසක් ජීවිතක්ෂයට පත් නොවනු ඇති බව අපි ද
පිළිගනිමු. ධීවරයා මුහුදට බිලි විය යුතු නැත. එසේම කාගේ හෝ කෛරාටිකකම්වලට ද ගොදුරු විය යුතු නැත.
ප‍්‍රවේශම් වන්න! මිනී කන මෝරු මුහුදේ සිටිති. එහෙත් ගොඩබිමේ සිටිනා දේශපාලකයන් තරම් ඔවුන් භයානක නැත.
————————-
රක්ෂණයක් නම් රක්්ෂණ ඔප්පුවක්,
ගිවිසුමක් තියෙන්න ඕනේ
ලැනී ප‍්‍රැන්සිස් සවරියල් – මීගමුව ධීවර එකමුතුව
ධීවරයන්ට ආරක්ෂිත ධීවර කබා පලඳින්න තියෙනව නම් හොඳයි. ඒත් හොඳ ආරක්ෂිත ධීවර කබායක් රුපියල් 2,000 ක් ඉක්මවනවා. දැන් මේ කබලෙන් ළිපට වැටිලා ඉන්න ධීවරයො ඉන්නේ ධීවර කබා ගන්න තියා එදා වේලවත් හොයා ගන්න බැරි අමාරු තත්වෙක. ඇමැතිතුමා කියනව නම් තෙල් කාඞ් එක දෙන්නෙ, රස්සාව කරන්න මුහුදු යන්න දෙන්නෙ රක්ෂණය ලබා ගත්තොත් විතරයි කියලා අපි අහනවා දැනටත් රුපියල් 750ක් ගෙවලා රක්ෂණය වුණු අයට මොනවද ලැබිලා තියෙන්නෙ කියලා. මාත් ඔය කියන රක්ෂණය ලබා ගත්තු ධීවරයෙක්. හැබැයි මට ලැබුණෙ සල්ලි ගත්තා කියලා රිසිට් එකක් විතරයි. රක්ෂණයක් නම් රක්්ෂණ ඔප්පුවක් තියෙන්න ඕනෙ. රක්ෂණ ගිවිසුමක් තියෙන්න ඕනේ. මේකෙ එහෙම කිසිවක් නෑ.

රුපියල් 750 ගාණේ කොල්ල කා ගන්න
කරපු මගඩියක්
වී.පී.එම්. මහේන්ද්‍ර – භාණ්ඩාගාරික – රත්ගමවැල්ල ග‍්‍රාමීය ධීවර සංවිධානය

ඇමැතිතුමා ඔය කියන රුපියල් 750 ගෙවලා අපිත් රිසිට් එකක් ගත්ත. අනිත් එක ඔය කියන රක්ෂණය වුණාට පස්සෙත් මේ වැල්ලෙ ධීවරයන්ට ලැබුණු කිසිම ප‍්‍රතිලාභයක් නම් නෑ. මේක නිකං ධීවරයන් දහස් ගණනකගෙන් රුපියල් 750 ගාණේ කොල්ල කා ගන්න කරපු මගඩියක් කියලයි අපිට නම් හිතෙන්නෙ. මං දන්න කිසිම ධීවරයෙක් ඔය කියන රක්ෂණය ගත්ත නම් ගත්තෙ රක්ෂණය නොවුණොත් තෙල් කාඞ් එක දෙන්නේ නෑ කියලා බලපෑම් කරපු නිසා මිසක් ඒකෙන් ධීවරයන්ට සැලසෙන සෙතක් නිසා නම් නෙවෙයි.

ප‍්‍රියන්ත ලියනගේ

Advertisements