ධර්මචක‍්‍රයා ආර්යාවට කඬේ යාමේ කතා වස්තුව හෙවත් දඩයක්කාරයා දඩයමට ලක් වීම

backstabමිනිස්සුන්ගෙන් ගුටි කාලා පොලිසියට එන්න නං එපා කියා පොලිසියේ සොක්කන්ට කියූ ධර්මචක‍්‍ර ලොක්කා දැන් මහ උළු ගෙදර යන්න ඔන්න මෙන්නය. 
එහෙව් ලොක්කා ගැන කියන්න තියෙන කතාවෙ හැටියට නං උන්දැ මහ උළු ගෙදරින් බේරුනොත් පුදුමය.
මෙයාගෙ කතාව අතීත කතා වැලක් සම`ග සම්බන්ධය. අපේ වීරයා අපේ කතා වස්තුවේ පළවෙනි සීන් එකට එන්ටර් වෙන්නේ කොළොම්පුරේ පැත්තෙ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත සිද්ධියකින් පසුවයි. ඒ විස්ස විද්‍යාලෙට මෙයාගෙ මාර පුත්තර ලොකු කොලූවා ගියේ ඉගෙන ගන්නටය. තමන්ගෙ පුත්තරයත් එක්ක එකට ඉගෙන ගත් කොලූවෙකුට නෙළීමට දොළ දුකක් ඇති වුණේ අපේ කතා නායක වීරයාගේ ඇඹේණියන්ටය. එහෙව් මෑණියන් එක්ක එකතු වූ මාර පුත්තරයා අසරණ කොලූවාට මදි නොකියන්නට පත බෑවේය. බැරි තැන මෑණියන් විසින් කොල්ලාගේ බොටුව පාගාදැමූ බවටත් චෝදනා එල්ල විය. එහෙව් අපරාධයක් කළේ පෞද්ගලික කෝන්තරයක් නිසා බව දැනගත් නිසා මේ වසවර්ති පවුලට විරුද්ධව මානව හිමිකම් කේස් එකක් ෆයිල් වෙලාය.
අපේ වීරයා ආණ්ඩුවේ ධර්මචක‍්‍ර වේසදාරියෙක් නිසා නීති පොතේ හැටියට නම් උන්නැහේට විරුද්ධ මානව හිමිකම් කේස් එකක් තියෙද්දි උසස් වීම් වානාය. ඒ වුණත් රාජ ඌෂ්ණය ඇති ඉහළම ලොක්කෙකුගෙ හෙවණැල්ල වැටෙන අපේ කතා නායකයාට නියමිත උසස් වීම් පොතේ තියෙන නීතියේ බාධාවකින් තොරව හිමි වුණා. ලොක්කාගේ පවුලට කිට්ටු වූ අපේ ධර්මචක‍්‍ර වීරයා එක්තරා අසාමාන්‍ය ආර්යාවක් සරණාගමනය කළේය.
මෙම අසාමාන්‍ය ආර්යා තොමෝ අන් සියල්ලට වඩා රන්වලට මහත් ගිජු වූවාය. මේ කියන කාලයේ පසල් ජනපදයක කැරැුල්ලක් මෙහෙයවූ කොල්ලකරුවන් සතුව තිබී රාජ්‍ය ආරක්ෂකයන් යටතට අත්පත් කරගත් රන් වෙත මේ ආර්යාව ලොබ බැඳ සිටියාය. එසේ උපන් ලෝභයෙන් ඕ තොමෝ රාජ්‍ය ආරක්ෂකයන් කිට්ටු කරගෙන රන් ජාවාරමකට අර ඇන්දාය. තම ඇඹේණි ආර්යාව කොල්ලකරුවන් සතුව තිබී රාජසන්තකයට පත් රන් තොගය කෙරෙහි උපන් ලෝභයෙන් සිටින බව දැන සිටි රාජ්‍යයේ ප‍්‍රධානියා ද මෙම ජාවාරම කෙරෙහි නම්‍යශීලී පිළිවෙතක් ගෙන ගියේය. වල්ලභයාගේ බාධාවක් නැතියෙන් ආර්යා තොමෝ රාජ්‍යාරක්ෂක හෙංචයියන් බණවා රන් ජාවාරම ක‍්‍රියාත්මක කරන ආකාරය ගැන සැලැස්මක් ඇන්දාය. එහි දී අපේ කතා නායක ධර්මචක‍්‍ර වීරයා කොටස්කරුවකු විය. ධර්මචක‍්‍රයා ඇතුළු කොටස්කරුවන්ට පොරොන්දු මුදල් ගිවිස ගන්නා ලදී. එසේ හෙයින් රන් ජාවාරමේ රසබර වසන්ත කාලය උදා විය.
කාලයාගේ ඇවෑමෙන් පොරොන්දු මුදල් ගෙවීමේ කාලය උදා විය. එහෙත් ධර්මචක‍්‍රයාට නම් පොරොන්දු වූ කොටස් හිමි නොවිණි. පොරොන්දු වූ පංගුව නොදීමෙන් අසහනයට පත් හෙතෙම රන් ජාවාරම් ආර්යාවට කන්කෙඳිරි ගෑ නමුත් කිසිදු සහනයක් නොවීය. කාලය ගතවත්ම පොරොන්දුව ඉටු නොවන බව සක් සුදක් සේ පැහැදිලි විය. ජාවාරමට ආරක්ෂාව සඳහා තමන් කඬේ යවන ලද බවත් ආර්යාව විසින් සුන්දර හීන පෙන්වා තමන්ගේ කාලය හා ශ‍්‍රමය කොල්ල කෑ විත්තිය කිසිදු අධිකරණයක දී කියා සිටින්නට පවා හැකියාවක් නැති බවත් වැටහුණු පසුව ධර්මචක‍්‍රයා දණ්ඩෙන් පහර කෑ ආශිර්විෂයක්හු මෙන් කිපුණේය. ආර්යාවගෙන් පළි ගන්නට ඔහු කළේ රන් ජාවාරමේ රහස් ජනමාධ්‍ය වෙත ලීක් කිරීමය. ආර්යාව ලීක් වීමත් සම`ගම කලබල වූයේ ආර්යාව පමණක් නොවේ. ආර්යාවගේ වල්ලභ රාජයා ද සහෝදර සනුහරේ ද කෝපාවේශ වූහ. ධර්මචක‍්‍රයාට හැරුණු තැපෑලෙන් ද`ඩුවම් කිරීම වැඬේ තවත් අනා ගැනීමක් බව ක්‍රෝධයෙන් පරළ වූ ආර්යාවගේ උපදේශකයන්ගේ අදහස විය. එහෙත් පළි ගන්නට කල්යල් බැලීම ඇගේ වල්ලභයාගේ ක‍්‍රමය නම් නොවේ.
මේ අතරම ධර්මචක‍්‍රයා තමන්ට අහිමි වූ කාලය හා ශ‍්‍රමය වෙනුවෙන් වෙනත් ව්‍යාපෘති රැුසකට අත ගසා තිබිණි. කිසිවකු තමන් දංගෙඩියට යවන්නට ඉදිරිපත් නොවන බව සහතික කරගෙන සිටි ධර්මචක‍්‍ර නිලධාරියා කුලියට සතුරන් බෑවීමේ කොන්ත‍්‍රාත් බාර ගන්නට විය. එහෙත් එයින් ඔහුගේ ඉරණම ගැස්සුණි. පළි ගන්නට ම`ගක් සොයමින් සිටි ආර්යාවගේ වල්ලභ රාජයාට පොටක් පෑදුවේ කුවේර ධනවතකුගෙන් කප්පම් ගන්නට ධර්මචක‍්‍රයා ගත් උත්සාහයේදීය. කප්පම් සිදුවීම දුරදිග ගියේය. එයින් පසු කුවේර සිටුවරුන්ගේ සිතැඟි පරිදි කුලියට මිනීමරන්නට මේ යෝදයාට සිදු විය. ධර්මචක‍්‍රයා හිතුවේ වැටුණු ළිෙ`දන් ගොඩ ඒමට නම් ළිං කටෙන් මිස අන් මාර්ගයක් නැති බවය. එහෙත් සියල්ල හොඳින් කෙරුණු කාලය අවසන් විය.
ඉලක්ක කළ ඉසව්වටම පය තැබූ පසුව ධර්මචක‍්‍රයා උගුලට හසු විය. එක්තරා ධන සම්පත් හිමි සිටාණ කෙනෙක් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන මරා දැමූ පසුව ධර්මචක‍්‍රයා වෙත පාරාවළල්ලක් මෙන් සියල්ල ආපස්සට කරකැවෙන්නට විය. ආර්යාවගේ වල්ලභයා විසින් එවූ විශේෂ රාජපුරුෂ කණ්ඩායමක් එකී පැහැර ගැනීමේ සිදුවීම ගැන හාරා අවුස්සන්නට විය. එම අපරාධයට සහාය වූ ධර්මචක‍්‍රයාගේ ගෝලබාලයන් පිරිසක් කරමුලින් හසු විය. වනයේ දඩයම් හරි ගිය පසුව ඔවුන් පිවිස තිබුණේ විවෘත භූමියේ ප‍්‍රසිද්ධියේ දඩයම් කිරීමටය. එහෙත් ඒ දඩයමේ දී දඩයක්කාරයා දඩයමට ගොදුරු විය හැකි බව අපේ කතාවේ වීරයා වන සද්ගුණවත් ධර්මචක‍්‍රයා වටහාගෙන සිටියේ නැත. ඒ අවසන් මොහොතේ ධර්මචක‍්‍රයා මුවා වීමට සෙව්වේ තුත්තිරි ගස්ය.
රාජපුරුෂයන් එළුෑ දැලට ඔහු පහසුවෙන්ම කොටු විය. දැන් ඉතින් ආර්යාවගේ රන් ජාවාරම ගැන කටින් හෙළුෑ කෙළ බිඳුවලට වන්දි ගෙවන්නට ඔහුට සිදුව තිබේ. හෙට අනිද්දාට ඔහුට එක්කෝ මහ උළු ගෙදර නියම වන්නට ඉඩ ඇත. එහෙත් සිය සාමූහික දඩයමට ඉලක්ක වූ ගොදුරු තනිවම කුදළාගෙන යන්නට බොහෝ දඩයක්කාරයෝ කැමැතිය. එක්ව දඩයම් කළවුන්ගේ ලේ සලකුණු මකාදමන්නට සෙසු දඩයක්කාරයෝ තීරණය කිරීමට ඉඩ තිබේ. ඊටත් වඩා විය හැක්කේ මෙහි මින් පෙර සටහන් කළ ආකාරයෙන් දඩයක්කාරයා දඩයමට ලක් වීමය. එවිට ලේ සලකුණු පමණක් නොව දඩයමේ හිමිකරුවන් ද මැකී යන බැවිනි.

  • වි‍ෙශ්ෂ ලියුම්කරුවකු විසිනි
Advertisements