‘ඊජිප්තුවේ දෙවැනි විප්ලවය’ – ජනතා අපේක්ෂා කොයිබටද?

egypt1ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මුර්සි, වසරක ඇවෑමෙන් පාලනයෙන් ඇද දැමූ පසුව ඊජිප්තුවේ නැවතත් කැලඹිලිසහගත තත්වයක් හටගෙන තිබේ. වරින් වර පැනනඟින මහජන විරෝධතාවල දී පාලක මුස්ලිම් සහෝදරත්වය වේදිකාවෙන් බැස යා යුතු බවට බල කිරීමට මෙන්ම ඔවුන්ට සහයෝගය පළ කිරීමට ද ජනයා එක් වෙති. ජූලි 8 වැනිදා මුස්ලිම් සහෝදරත්වයට පක්ෂපාතීත්වය පළ කරමින් කයිරෝ නගරයේ විරෝධතාවක නිරත වූ ජනකායකට වෙඩි තැබීමේ දී ඇති වූ තත්වය නිසා මිය ගියවුන් අතර හමුදා භටයකු හා පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටී. නිල වාර්තා අනුව, 51 දෙනකු මියගිය අතර 435ක් තුවාල ලැබූ බව කීව ද ඇත්ත සංඛ්‍යා මෙතෙක් අනාවරණය වී නැත. පවතින පාලනයේ අනුගාමිකයන් ඉලක්ක කරමින් සිදු කළ මෙම සංහාරය හමුදා පාලනයකට එරෙහිව වීදි බසින ජනතාව බියපත් කිරීමේ අරමුණින් සිදු කළ බවට සැක කෙරේ. මේ වන විට ඊජිප්තු පාලක පක්ෂය තුළ ද ඊජිප්තුවේ අනාගතය තීරණය කිරීමේ ප‍්‍රතිවිරෝධතා ඇතිව තිබෙන බැවින් මෙම සංහාරය තම බල පොරයේ උවමනාවන් වෙනුවෙන් ඔවුන් දැනුවත්ව සිදු කළ අන් කිසිදු දේශපාලන සිදුවීමකට නොදෙවැනි බිලි පූජාවක් වන්නට පුළුවන.

ජනාධිපති මුර්සි බලයෙන් පහ කිරීමෙන් පසුව, පාලනය නැවතත් අන්තර්වාර පාලකයකු අතට පත්ව තිබේ. අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයකට පෙර ඊජිප්තු ජනතාව හොස්නි මුබාරක් නමැති ඒකාධිපතියා පලවා හැරියේ වඩා නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් රටේ ඇති කරගන්නටය. ඉන් පසුව හමුදා පාලනයක් යටතේ පැවති ඊජිප්තුවේ මැතිවරණයක් මඟින් පත් වූ ජනාධිපතිවරයා වූයේ මොහොමඞ් මුර්සිය. පසුගිය ජුනි මාසය අවසානයේ නැඟ ආ මහා උද්ඝෝෂණ රැල්ල තුළ ඒකරාශී වූ ජනතාව මුස්ලිම් සහෝදරත්වය හා ජනාධිපති මුර්සි වෙත විවිධ චෝදනා එල්ල කළහ. මුර්සි ජනාධිපති වශයෙන් දිවුරුම් දීමෙන් වසරක් ඉකුත් වූ ජුනි 30 වැනිදා පැවැති විරෝධතාවට ඊජිප්තුව පුරා මිලියන 17ක ජනකායක් සහභාගි වූ බවට එරටින් වාර්තා විය.

වසරකට පෙරාතුව තමන් විසින් බලයට පත් කළ පාලනයේ ඇත්ත ස්වරූපය ඔවුන් විසින් වටහාගෙන තිබිණි. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ මුස්ලිම් සහෝදරත්වයේ පාලනය අසමත් විය. පොරොන්දු වූ ජීවිතය වෙනුවට පීඩාකාරී තත්වයක් ඇති කරමින් මුස්ලිම් සහෝදරත්වය හා මුර්සි ගෙන ගිය පාලනය නිසා වසරක් තුළ මහජන විරෝධය උත්සන්න විය. පසුගිය වසරේ ඊජිප්තුව වැඩ කරන ජනයාගේ උද්ඝෝෂණවලින් පිරී තිබිණි. එරට ආර්ථික හා සමාජ අයිතිවාසිකම් කේන්ද්‍රයට අනුව, පසුගිය මාසය ඉක්ම යන විට එරට ඇති වූ වැඩවර්ජන, විරෝධතා සහ උද්ඝෝෂණ සංඛ්‍යාව 2500ක් පමණ විය.

එක්සත් ජනපදය හා එක් වූ මුර්සි සිරියාවේ බෂීර් අල් අසාද් පාලනය පෙරළා දමන්නට කැරැුලිකරුවන්ට සහයෝගය දෙන පිළිවෙතක් ගෙන ගියේය. සිරියානු රජයට එරෙහිව ‘ගුවන් ආරක්ෂක කලාපයක්’ ප‍්‍රකාශයට පත් කිරීමේ දී සහාය වීමට ඔහු කැමැත්ත පළ කර තිබිණි. මේ තත්වය තුළ ඊජිප්තු ජනතාව විරෝධතා පවත්වමින් මුර්සි පාලනය පෙරළා දැමීමේ අරගලයක් දියත් කළහ. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණවල නායකත්වය ගත්තේ ඊජිප්තු ලිබරල්වාදීන්, ඉස්ලාම් හා වාමාංශික යැයි කියා ගත් කණ්ඩායම්වල සහාය ලබන ‘ටැමරොඞ්’ (කැරැලිකරු) යනුවෙන් හැඳින්වෙන සංවිධානයක් විසිනි. ඔවුන් අතර මුබාරක් පාලනයේ සහායකයන් ද සිටින බව ඊජිප්තු වාර්තා සඳහන් කරයි.

මොහොමඞ් එල් බරාඩිගේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ, ඉස්ලාම් ශක්ති ඊජිප්තු පක්ෂය, අපේ‍්‍රල් 6 තරුණ ව්‍යාපාරය සහ විප්ලවකාරී සමාජවාදීන් වශයෙන් හැඳින්වෙන දේශපාලන සංවිධාන මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටී. අවසානයට දැක්වූ විප්ලවකාරී සමාජවාදීන් යනු අත්තනෝමතික මුබාරක් පාලනය යටතේ අවසාන අගමැතිවරයා ලෙස කටයුතු කළ අහමඞ් ෂෆික් විසින් පිහිටුවා ගත් සංවිධානයකි. පසුව ඔහු මිලිටරි ජුන්ටාවට එරෙහිව පැනනැඟි විරෝධතා ප‍්‍රතික්ෂේප කරමින් මුර්සිගේ පාලනයට පාර කැපූ මුස්ලිම් සහෝදරත්වයට සහාය පළ කළේ ඔවුන් ‘ඊජිප්තු විප්ලවයේ දක්ෂිණ පාර්ශ්වය’ ලෙස නම් කරමිනි. අනතුරුව මුර්සි ජනාධිපතිවරණයට එළඹුණු පසුව ඔහු වෙත සහයෝගය පළ කළේ ජනාධිපතිවරණයේ විප්ලවවාදී අපේක්ෂකයා ලෙස ඔහු නම් කරමිනි.

ටැමරොඞ් නායකත්වය විසින් ජූලි මස 1 වැනිදා නිකුත් කළ නිවේදනයකින් ඊජිප්තුවේ ආරක්ෂක හමුදාවට, පොලිසියට හා අධිකරණයට පවසා සිටියේ ජනතා නැඟිටීමට හිස නමා පසෙකට වී සිටින ලෙසයි. මේ අවස්ථාව වන විට එක්සත් ජනපද ආධාර ලබන ඊජිප්තු හමුදා ජනතාවට එරෙහිව මර්දනකාරීත්වයකට යාමට සූදානම්ද, නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ එක්සත් ජනපදයේ අදහස ද සමඟය. එක්සත් ජනපද හමුදා ප‍්‍රධානීන්ගේ මණ්ඩල සභාපති ජෙනරාල් මාටින් ඩෙම්සේ, ඊජිප්තු හමුදා මණ්ඩල ප‍්‍රධානී ජෙනරාල් සෙඞ්කි සෝභි සමඟ දුරකථනයෙන් සාකච්ඡුා කළ බව ප‍්‍රකාශ කෙරිණි.

එදිනම ඊජිප්තු හමුදාව නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ රට මුහුණ දී සිටින දේශපාලන අර්බුදය විසඳීමේ අවසාන අවස්ථාව ලෙස යොදා ගන්නට පැය 48ක කාලයක් ලබා දෙන ලදී. මේ, තමන් විසින්ම බලයට පත් කරවූ මුස්ලිම් සහෝදරත්වය ජනප‍්‍රියත්වය පිරිහීමේ කඩඉමක දී තමන්ට රිසි සීමාවේ වෙනත් පාලන බලයක් ස්ථාපිත කරගැනීමේ පෙරහුරුවක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලිය. එම තීන්දුව වොෂිංටනයේ එකඟතාවයෙන් ගනු ලැබූවක් බව ද ඉතාමත් පැහැදිලිය. සිරියාව පිළිබඳ එක්සත් ජනපදයේ ස්ථාවරයට එකඟව සිටි මුර්සි බලයෙන් ඇද වැටෙන විට කලාපීය දේශපාලන උවමනාවන්ට ගැළපෙන පාලකයකු ඊජිප්තුවේ සිටිය යුතු බව වොෂිංටන් පාලනය තීන්දු කර ඇත.

එහෙත් ඊජිප්තුවාසීන් ප‍්‍රාර්ථනා කරන්නේ තමන් මෙතෙක් කල් පෙළුෑ මිලිටරි බලය මිශ‍්‍ර පාලන රටාවෙන් මිදී නිදහසේ ජීවත් වීමටය. පාලක මුස්ලිම් සහෝදරත්වයට හිතවත් වූ කණ්ඩායම් මෙන්ම මිලිටරි බලයට සහයෝගය පළ කරන කණ්ඩායම් ගැටුම්වල නියැළෙන විට එරට ජනතාව විරෝධතාවල නිරත වෙති. ඔවුන් අපේක්ෂා කරන වෙනස්කම් වෙනුවෙන් වීදි බැස කරන සටනේ දී පාලක පක්ෂයේ විවිධ උවමනාවන් වෙනුවෙන් ද එකී ජනතා උද්ඝෝෂණ පාවිච්චි කෙරෙන බවක් පෙනෙන්නට තිබේ.
ජනතාව වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් සටන් මඟට පිවිසී සිටින නමුත් එවැනි අරගලයක් සඳහා සැබෑ ජනතා උවමනාවන් නියෝජනය කරන නායකත්වයක් නොමැතිකම මෙහි ප‍්‍රධාන ගැටලූවකි. ඒ නිසාම ඔවුහු වරක් ආඥාදායක මුබාරක් පලවා හැර මිලිටරි ජුන්ටාවකට බලය ලබා දුන්හ. ඉන් පසුව ජුන්ටාවට විරෝධය පළ කර මැතිවරණ ඉල්ලා ජනාධිපතිවරයෙක් පත් කළහ. ඒ ජනාධිපතිවරයා පලවා හැරි ඔවුන් හමුවේ දැන් අභියෝගකාරීව නැඟී ඇත්තේ මිලිටරි පාලනයක අනතුරය.

මිලිටරි ජුන්ටාවට එරෙහිව පසුගිය වසරේ පැවැති විරෝධතාවල මූලිකත්වය ගත්තේ ‘මුස්ලිම් සහෝදරත්වය’ විසිනි. දැන් ඔවුහු පාලක පක්ෂයයි. මෙවර ජනතා උද්ඝෝෂණවල නායකත්වය ගන්නා ‘ටැම්රොඞ්’ කණ්ඩායම අන් කිසිවකු නොව, මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව නැඟී සිටින ධනපති කණ්ඩායම්වල නියෝජනයකි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඊජිප්තු අධිකරණ ප‍්‍රධානියා තාවකාලික ජනාධිපති වශයෙන් පත් කරන ලෙසය. මුස්ලිම් සහෝදරත්වය වෙනුවට වෙළෙඳපොළ ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන නව පාලනයක් අවශ්‍ය බව ඔවුන්ගේ තවත් ඉල්ලීමකි. මිලිටරි ජුන්ටාව විසින් ද ගෙන ගියේ නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ ආපස්සට ගෙන නොයන පාලනයක් ස්ථාපිත කිරීම නිසා මේ කිසිවකින් ඊජිප්තු ජනතාවගේ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් හිමි නොවනු ඇත.

මැයි මාසයේ සිට ටැම්රොඞ්වරුන්ට සහයෝගය පළ කළ විප්ලවවාදී සමාජවාදීන් ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම පවසන්නේ මෙසේ ඊජිප්තුවේ ජනතා විප්ලවය සම්පූර්ණ කෙරෙන බවයි. කෙසේ වෙතත් ටැම්රොඞ්වරු වොෂිංටනයේ හා යුරෝපා සංගමයේ සම්බන්ධතා පවත්වන බව ද රහසක් නොවේ. ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ මොහොමඞ් එල් බරාඩි ටැම්රොඞ්වරුන්ට සහාය පළ කරමින් වොෂිංටනය හා යුරෝපා සංගමය සමඟ සබඳතා දිගටම පවත්වාගෙන යයි. කලක් එක්සත් ජාතීන්ගේ යුද අවි නිරීක්ෂකයකු වූ එල් බරාඩි, මුබාරක් පලවා හරිනු ලැබූ ඊජිප්තුවේ පාලකයා වීමේ සිහිනයක සිටියේ සිය වොෂිංටන් සබඳතා පිළිබඳ විශ්වාසයෙනි. හිටපු ජනාධිපති මුර්සි බලයෙන් ඉවත් කළ යුතු බවට බටහිර බලවතුන් වෙත ඒත්තු ගැන්වූ බව එල් බරාඩි පවසයි. ඔහු විසින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේන් කෙරී සහ යුරෝපා සංගමයේ විදේශ සබඳතා පිළිබඳ ඉහළම නිලධාරිනියක වන කැතරින් ඇෂ්ටන් හමුවේ මේ වෙනුවෙන් සාකච්ඡා කළ බව ද ජනමාධ්‍ය වෙත හෙළි කර තිබේ.

මේ වන විටත් මිලිටරි ජුන්ටාව යටතේ තාවකාලික පාලනයක් සිදු වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකත්වය යටතේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාවට නැංවෙමින් තිබේ. ජනතා සුබසාධන කප්පාදු කරමින් ‘ඊජිප්තු විප්ලවය’ ක‍්‍රියාත්මක වන්නේ එසේය. එරට තරුණ තරුණියන්ගේ කැප වීමෙන් සහ වැඩ කරන ජනතාවගේ ජීවිත පරිත්‍යාගයෙන් පැනනැඟුණු ආඥාදායකත්වය වෙනුවට නිදහස අපේක්ෂා කළ මහා ජනතා අරගලයක් පසුපසට හැරවීමේ ක‍්‍රියාදාමය එසේ සිදු වෙමින් තිබේ.

Advertisements