ජීවිතය ජයගන්න තරග පාවාදීම !

match fixingමේ වන විට ලංකාවේ ක‍්‍රිකට් විනිසුරුවන් තිදෙනකු ද තරග පාවා දීමේ චෝදනා ලැබ තිබේ. පසුගිය දින කිහිපය පුරාම මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් ලෙස ඉහත ප‍්‍රවෘත්තිය දැකගත හැකි වූ අතර බොහෝ දෙනා මේ ක‍්‍රියාවලිය පිළිබඳ දැඩි චෝදනා මුඛයෙන් කතා කර තිබෙනු දැකිය හැකි විය.
ඉන්දියාවේ පසුගිය මාස කිහිපයක කාලය පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් ක‍්‍රීඩකයන් තරග පාවා දීම පිළිබඳ සිද්ධි නිසා බොහෝ ව්‍යාකූල තත්වයක් ඇති වූ අතර බොහෝ මිනිස් භාවිතාවන් අර්බුදයට ගිය වගක් පෙනෙන්නට තිබිණි. ඉන් නොනැවතුණ අර්බුදය ප‍්‍රධාන පෙළේ විනිසුරුවන් මුදලට තරග පාවා දීමට කටයුතු කිරීම සමඟ තවත් නව ආකාරයක අභියෝගයක් ප‍්‍රකට කළේය.

නමුත් අදාළ සිද්ධි පිළිබඳ සිද්ධිවාචක තේරුම් ගැනීම් සහ චෝදනාවලින් එපිටට ගොඩනැෙඟමින් පවතින සැබෑ අර්බුදය තේරුම් ගැනීමේ මාවතක් කිසිවකු විසින් විවර කරගනිමින් පවතින වගක් පෙනෙන්නට නොමැත.  ලංකාව සලකන කල වර්තමානයේ මේ පිළිබඳ චෝදනා ලබන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් විනිසුරුවන් තිදෙනකු වන සාගර ගාල්ලගේ, මොරිස් ඩිලා ද සිල්වා සහ ගාමිණී දිසානායක යන කි‍්‍රකට් විනිසුරුවන්ය. මොවුන්ට වන චෝදනාවන් වන්නේ ඉන්දීය බුකීකරුවන් සමඟ ක‍්‍රිකට් තරග මුදලට පාවා දීමට සාකච්ඡුා කිරීමයි. මොවුන් තිදෙනාට තාවකාලික තරග තහනමක් පනවා තිබුණ අතර පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක සභාව දැඩි දඬුවම් දීමට තීරණය කර තිබිණි. බොහෝ දෙනාට පෙනෙන ලෙස මිනිස් හොඳ හෝ නරක විසින් සියලූ අර්බුදයන් ඇති කර තිබෙන බවක් ප‍්‍රකට කරමින් තිබේ. මේ නිසා සාගර ගාල්ලගේට වසර 10ක තරග තහනමක් ද මොරිස් සිල්වාට අවුරුදු 3ක තරග තහනමක් ද පනවා ඇත. ගාමිණී දිසානායක යන විනිසුරුවරයා ඔහුගේ තනතුරෙන් පහත හෙළීමට කටයුතු යොදා ඇත.

ලංකාවේ තත්වය මෙවන් තත්වයක් උසුලද්දී තවත් පාකිස්තාන, ඉන්දීය හා බංගලිදේශ ක‍්‍රිකට් විනිසුරුවන් ගණනාවකට චෝදනා එල්ල වෙමින් තිබේ. දැන් සියල්ලන්ට මේ විනිසුරුවන්ගේ හොඳ හෝ නරක පිළිබඳවත් දඬුවම් දීම පිළිබඳවත් කතා කිරීමේ අවකාශ තිබේ. නමුත් අවසානයේ සියල්ලෝම නැවත වටයකින් කැරකී තමන් සිටින ස්ථානයේම සිට ගැනීමේ සමාජ ඛේදවාචකයක ගිලී යන බව වැටහීමට කෙතෙක් කලක් නම් ගත වේද යන්න නව ආකාරයක උභතෝකෝටිකයකි.    ක‍්‍රිකට් විනිසුරුවන් ඇසුරේ මෙවන් පසුබිමක් ගොඩනැෙඟන අතර ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකාවගෙන් කොමිස් මුදල් ලබා ගැනීම පිළිබඳ ඒ.ආර්.එම්. අරූස් හට ද චෝදනා එල්ල වී ඇත.

20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියකට සම්බන්ධ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායිකාවට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ගෙවනු ලැබූ මුදලින් කොටසක් මෙසේ ලබාගෙන ඇතැයි අදාළ අයට චෝදනා ගොනු කර තිබේ. මේ අඩු වැඩි වශයෙන් අපට දැකගත හැකි වන්නේ ලංකාවේ මෙන්ම සමස්ත ලෝකයේම ක‍්‍රීඩාවේ ගොඩනැෙඟමින් පවතින වර්තමාන තත්වයයි. බොහෝ දෙනාට වැටහෙන ලෙස හුදෙකලා මිනිසුන්ගේ මිනිස් චර්යාවන් නිසා නරක මිනිසුන් බිහි වන බව තවදුරටත් ශපථ කරන්නට මාධ්‍ය පවා උත්සුක වෙමින් ඇත. අර්බුදයන් ජනනය වීමේ සමස්ත ක‍්‍රියාවලිය පවතින සමාජ ආර්ථික ක‍්‍රියාවලියට සම්බන්ධ කාරණාවන්ය යන්න කිසිවකුගේ අවධානයට ලක් වන බවක් පෙනෙන්නට නොමැත. මාධ්‍ය විසින් ද ඒ බව ව්‍යාකූල තත්වයන් ගොඩනඟා ව්‍යාකූලත්වයෙන් තව තවත් ඔබ්බට රැුගෙන යමින් පවතී. ගලවාගත යුත්තේ ක‍්‍රීඩාවද,   ක‍්‍රීඩකයන්ද, විනිසුරුවන්ද, පේ‍්‍රක්ෂකයන්ද යන්න කිසිවකු විසින් ප‍්‍රශ්න කරන්නේ නම් එයට හරි හැටි පිළිතුරක් සොයා ගැනීමේ මාර්ගයක් පවා නොමැත. එසේ නම් මේ අර්බුදයන් පිළිබඳ කරනු ලබන කතා බහ සීමා වන්නේ කුමකින් කුමක් අරබයාද යන්න කිසිවකු හෝ නොදනී.

වාණිජ ධනවාදය නොඑසේ නම් ධනවාදයේ වෙළෙඳපොළ  විසින් සියල්ලන්ගේ ආධ්‍යාත්මයන් ග‍්‍රහණයට ගෙන පවතින බව කිසිවකුට නොවැටහේ. එම නිසා පුද්ගලයන්ගේ හොඳ හෝ ගුණ දොස් හෝ සත්‍යවාදී බව පිළිබඳ වියුක්ත කාරණා මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවමින් තිබේ. ¥ෂිතයන් පිළිබඳ නඩු අසන්නන් ද අල්ලස් චෝදනා ලැබ සිරගත වන විට නැවත වෙනකෙකු සමාජ ක‍්‍රමය විසින් ඔහුගේ තැනට නිර්මාණය කරමින් පවතී.
බොහෝ දෙනාට වැටහී යන ආකාරයට මේ නරක මිනිසුන් දඬුවම් දී ශික්ෂණය කිරීමේ ක‍්‍රමවේදයක් බොහෝ ආයතනික ගොඩනැංවීම් විසින් ක‍්‍රියාවට නඟනු ලබයි. ක‍්‍රීඩාව යනුවෙන් වර්තමානයේ ගොඩනැෙඟමින් පවතින්නේ කූබර්ටීන්ලාගේ යුගය නොවන වගත් වාණිජ ධනවාදය විසින් ක‍්‍රීඩාවේ සියලූ සාරයන් වෙළෙඳපොළ බලවේග තුළ එහි උවමනාවන්ට සාපේක්ෂ තලයක නිෂ්පාදනය කරමින් පවතින බවත් තේරුම් ගැනීමේ සමාජ උවමනාව ස්ථාපිත කළ යුත්තේ ඒ නිසාය.

අද මේ නරක මහත්වරුන් පිළිබඳ තීන්දු – තීරණ ගන්නන් හෙට දවසේ නව ආකාරයක චූදිතයන් බවට පත් වීමේ යාන්ත‍්‍රණය පවතින්නේ පුද්ගලයන්ගේ වියුක්ත හොඳ හෝ නරක පිළිබඳ කාරණාවලට බද්ධව නොවේ. මේ පිළිබඳ සමාජ තේරුම් ගැනීම වෙනුවෙන් මාධ්‍ය වෙත පැවරෙන්නේ දැවැන්ත වගකීමක් වන අතර එහි වගකීම පවා අප වැනි රටකට තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. ක‍්‍රීඩාවේ අර්ථයත් ක‍්‍රීඩකයාගේ ආධ්‍යාත්මයත් තීරකයාගේ හෘදය සාක්ෂියත් පවතින සමාජ ආර්ථික සංස්කෘතිය විසින් තම ග‍්‍රහණයට ගෙන ඇත. මේ නිසා මේ චෝදනා ලබන සියලූ මහත්වරුන් එක්තරා කාලයක තමන් ක‍්‍රීඩාව වෙනුවෙන් උද්‍යෝගයෙන් අවංකභාවයෙන් සහ කැපවීමෙන් වැඩ කළවුන් විය හැකිය.

ක‍්‍රීඩාවේ වෙළෙඳපොළ උවමනාවන් විසින් සහ ජීවත් වීමේ අභියෝගය විසින් මිනිසුන් දිනෙන් දින පවතින සමාජ ආර්ථික ක‍්‍රමයට තව තවත් ගැට ගසමින් පවතින අතර සියල්ලන් සියල්ලන්ට එරෙහිව යමින් තමන්ගේ හෘදය සාක්ෂිය මරා දමමින් ජීවත් වීමට අර අඳී. ක‍්‍රීඩාවේ පවා වර්තමානයේ දැකිය හැකි වන්නේ සංකල්පමය හොඳ හෝ නරක වෙනුවට සමාජ ක‍්‍රමය විසින් ගොඩනඟන මිනිස් භාවිතාවන්ය. මිනිසුන්ට දඬුවම් දීම වෙනුවට පවතින සමාජ ක‍්‍රමයෙන් මිදීමේ හෘදය සාක්ෂියක් ගොඩනැංවීම වෙනුවෙන් වන අභියෝගය වෙත ලාංකේය මිනිසා පැමිණිය යුතුය. නොඑසේ නම් පවතින සමාජ ක‍්‍රමය තුළ සියල්ලන්ම හොරුන් හෝ තක්කඩියන්ය. ක‍්‍රීඩාව තුළ දැකිය හැකි වන්නේ ව්‍යුක්ත කාරණා නොවේ.

මහේන්ද්‍ර කුමාර

Advertisements