මාලඹේ උපාධි කඩේ සුළමුල මෙන්න

SAITMමාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතැයි ජනාධිපතිවරයාත් උසස් අධ්‍යාපන ඇමැතිවරයාත් ආණ්ඩුවේ සෙසු ඇමැත්තෝත් උදම් අනති. ඉන් හොද්ද බොර කරගත් තවත් ඇත්තෝ ද උදම් අනති. අප මේ කියන්නට යන්නේ මාලඹේ ඇත්තේ වෛද්‍ය විද්‍යාලයක් නොවන බවයි. උපාධි කඩයක් ද නොවන බවයි. අප මේ අටුවා ටීකා ටිප්පනි අතැතිව සැරසෙන්නේ එහි ඇත්තේ හොර ගුහාවක් බව කියන්නටය. සක්විති පන්නයේ මහා මුදල් ජාවාරමක් ගැන හෙළි කරන්නටය.

ජනාධිපතිවරයාට ‘මහ රජාණෙනි’යි ගී ගැයූ සහේලිගේ වචනවලින්ම පටන් ගනිමු.
‘‘මං මුලින් ඇතුළත් වෙලා හිටියේ මාලඹේ SAITM එකට. ඒක නීත්‍යනුකූල නෑ කියලා ප‍්‍රශ්න ඇති වුණු නිසා විදෙස් අධ්‍යාපනයට යොමු වුණා. SAITM එකේ ඉද්දී මගේ අප්පච්චිට ලක්ෂ 42ක් වගේ මුදලක් මං වෙනුවෙන් වැය කරන්න සිද්ධ වුණා.’’ (2013 මාර්තු 03 – මව්බිම)
මාලඹේ ජාවාරම්කරුවෝ පුවත්පත්වල දැන්වීම් පළ කළේ කෙසේද? 2009 මැයි මස 10 වැනිදා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළ කළ දැන්වීමකට අනුව ‘දකුණු ආසියාතික තාක්ෂණ විද්‍යා හා කළමනාකරණ ආයතනය’ හෙවත් මාලඹේ උපාධි කඩය රුසියාවේ ‘නිෂ්නි නොව්ගොරොද්’ වෛද්‍ය ඇකඩමියට අනුබද්ධය. එපමණක් නොව ඊට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ද අනුමැතිය ලැබී තිබේ.

මුලින්ම මේ දැන්වීම ගැන සොයා බැලීම යෙහෙකැයි හැෙඟ්. මන්ද, එහි සඳහන් කර තිබූ වැදගත් කරුණු දෙකම පට්ටපල් බොරු නිසාය. මේ හොර දැන්වීම පළ කිරීමෙන් පසුව ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවලින් පුවත්පත් දැන්වීම් කිහිපයක්ම පළ කර තිබෙනු අපි දුටුවෙමු. එහි එක් දැන්වීමක පැහැදිලිවම පවසා ඇත්තේ ”ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මහජනයා වෙත දැනුම් දෙනු ලබන්නේ වෛද්‍ය ආඥා පනත (105 පරිච්ෙඡ්දය) අනුව මෙම සභාවට මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන අධීක්ෂණය කිරීමට හෝ ඉන් අනතුරුව ප‍්‍රදානය කරනු ලබන උපාධිය පිළිගැනීමට හෝ නෛතික විධි විධාන නොමැති” බවයි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව, එහි නම මූල්‍ය ජාවාරම් සඳහා යොදා ගැනීමට අනුමැතිය දෙන ලද්දේ කවුද? එවැනි නීති විරෝධී ක‍්‍රියාවක් සිදු කිරීමෙන් පසුවත් අත්අඩංගුවට පත් නොවී සිටීමට ආරක්ෂාව සපයන්නේ කවුද? අපි තවදුරටත් විමසා බලමු.

ඉහත පුවත්පත් දැන්වීමේ දෙවැනි කරුණ, මාලඹේ වෛද්‍ය විද්‍යාලය රුසියාවේ ‘නිෂ්නි නොව්ගොරොද්’ වෛද්‍ය ඇකඩමියට අනුබද්ධ යැයි සඳහන් කර ඇති කරුණ, එය බොරු කරන්නේ අප නොවේ. එම වෛද්‍ය ඇකඩමියේ අධ්‍යක්ෂ අලෙක්සි පොස්ට්නිකොව්ගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියකින් පමණක් නොව 2012 නොවැම්බර් මස 07 වැනිදා රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් නිකුත් කරන ලද ලිපියකින් ද එය පට්ටපල් බොරුවක් බව සනාථ කර තිබේ. ඔවුන් පවසන්නේ එම වෛද්‍ය ඇකඩමියේ කිසිදු ශාඛාවක් ලංකාව හතර මායිමේ නැති බවයි.

දැන් තුන් වැනි කරුණට එළඹෙමු.  ඕනෑම වෛද්‍ය විද්‍යාලයකට ශික්ෂණ රෝහලක් තිබීම අනිවාර්ය වේ. වෛද්‍යවරුන් වීමට පුහුණු වන්නන් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් ප‍්‍රායෝගිකව පුහුණු විය යුතු අතර එසේ නොවන්නේ නම් සිදු විය හැක්කේ රෝගීන්ට ජීවිතවලින් වන්දි ගෙවීමටයි. සෑම වෛද්‍ය විද්‍යාලයකටම අනුබද්ධිතව ශික්ෂණ රෝහලක් තිබෙන්නේ ඒ නිසාය.
එහෙත්, මාලඹේ  උපාධි කඩයට අනුබද්ධිතව එවැනි ශික්ෂණ රෝහලක් නැත. 2012 නොවැම්බර් 22 වැනිදා උත්තරීතර යැයි කියන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන ඒ බව කියන්නේ මෙසේය.

‘‘මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම රෝහල ශික්ෂණ රෝහලක් විදියට අපි පිළිගෙන නැහැ. ලියාපදිංචි කරලත් නැහැ. අපි බාහිර රෝගී වෛද්‍ය මධ්‍යස්ථානයක් විදියට පෞද්ගලික රෝහලකට දෙන ලියා පදිංචිය දීලා තිබෙනවා. ඒ ඇරෙන්න ශික්ෂණ රෝහලක් විදියට අපි පිළිගෙන නැහැයි කියන එක බොහොම පැහැදිලිව කියන්න  ඕනෑ’’

එසේ නම් තවත් කවර කතාද? එහෙත්, මාලඹේට යන සිසුන්ට හා ඔවුන්ගේ මව්පියන්ට එහි බලධාරීන් පෙන්වන ලියුමක් ඇති බව පැවසේ. ඒ ලියුමේ තිබෙන්නේ එහි ඇති බෙහෙත් කඩය ශික්ෂණ රෝහලක් ලෙස පිළිගෙන තිබෙන බවයි. ඊට අත්සන් කර ඇත්තේ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හර්ෂ ද සිල්වා ය. ඔහුට ඒ සඳහා බලයක් නැතත් ඔහුගේ දියණිය පියුමි ද සිල්වා එහි ඉගෙන ගන්නා නිසා එවැනි ලියුමකට අත්සන් කළා වන්නට ද බැරි නැත. ශික්ෂණ රෝහලක් සඳහා අනුමැතිය දිය යුත්තේ සෞඛ්‍ය ඇමැතිවරයාය.

ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ යැයි ලොකු බිත්තරයක් පිට කර ගැනීමට නොහැකිව කෙකර ගාන එස්.බී. ඇමැතිතුමනි, දැන් ඔබ කරන්නේ කුමක්ද? එස්. බී. පහරා ඇත්තේ ගලේ නිසා දැන් අසූචි ගොඩ වසා දැමීමට ඔහුට ද නොහැකිය. 2011 අගෝස්තු 30 වැනිදා අංක 1721/19 යටතේ උසස් අධ්‍යාපන අමාත්‍ය දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බණ්ඩා දිසානායක වන උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රය (අති විශේෂ) ම`ගින් මාලඹේ උපාධි කඩයට අපූරු වලංගු භාවයක් දී තිබේ.

මාස 18කින් සම්පූර්ණ කළ යුතු ප‍්‍රධාන කරුණු 8කින් සමන්විත උප ලේඛනයක සඳහන් කොන්දේසි සම්පූර්ණ කරන්නේ නම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය ප‍්‍රදානය කරනු ලබන ආයතනයක් ලෙස පිළිගන්නා බව ඔහු එම`ගින් දක්වා තිබේ. එම කොන්දේසි සම්පූර්ණ කර අවසන් වීමෙන් පසුව ගැසට් පත‍්‍රය නිකුත් නොකර ඒවා සම්පූර්ණ කිරීමට පෙර ගැසට් පත‍්‍රයක් නිකුත් කරන්නේ කවර මගඩියකටදැයි අපට ඒ තරම් හොඳින් වැටහෙන්නේ නැත. මාලඹේ බලධාරීන් තමන්ගේ ජාවාරම සඳහා තවත් එක් කඩදාසියක් ලෙස එය භාවිත කරනවා නිසැකය. එවැන්නකට අත්සන් කිරීමට ඇතැම් ඇමැතිවරුන් හා නිලධාරීන් විශාල මුදල් අල්ලස් වශයෙන් අය කරන බව පමණක් දන්නා අපි එස්.බී. දිසානායක එසේ කළා යැයි නොලියන්නේ ඔහු එවැන්නක් කරනවා නොදුටු හා තවමත් නොඇසූ නිසාය.

එම කොන්දේසිවලින් මේ වන විටත් ඉටු කර ඇත්තේ ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 600ක ණය මුදලක් ලබා ගැනීමේ කොන්දේසිය පමණි. 2013 පෙබරවාරි මාසය අවසන් වන විට එම මාස 18ක කාලය නිමා වී තිබේ. එස්. බී. ඇමැතිතුමනි, ඔබගේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව දැන් සිදු වන්නේ කුමක්ද?
ලංකාවේ ඇත්තේ නව ලිබරල් ධනවාදයත් පසුගාමීත්වයත් කලවම් වූ විකෘතියකි. ඒ විකෘතිය තුළ විවිධාකාරයේ ජාවාරම්, යටි මඩි ගැසීම්, මගඩි හා ගොනාට ඇන්දීම් තිබේ. මේ ඉන් එකකි. මේ ලිපියේ මතු කළ ප‍්‍රශ්නවලට එස්.බී. දිසානායක ඇතුළු ආණ්ඩුව උත්තර දිය යුතු අතරම සක්විති රණසිංහ අත්අඩංගුවට ගත් පොලිසිය මාලඹේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්ද යන ප‍්‍රශ්නයට ද උත්තර දිය යුතුය.
මාලඹේ ඇත්තේ එදා වේල සොයා ගැනීමට සුකුරුට්ටන් හදන හැටි උගන්වන පාසලක් නම් අපට ප‍්‍රශ්නයක් නැත. මෙතැනින් එළියට එන බෙහෙත් දීමට නොදන්නා, අම්මලාට අප්පලාට මුදල් ඇති නිසාම පමණක් වෙදුන් වූ, වෙදුන් දෙන බෙහෙත්වලින් මිය යා හැක්කේ ඔබය, ඔබේ දරුවාය. ප‍්‍රවේශමෙන්….

ජේ.ටී.ගමගේ

Advertisements