සිරි සෝමෙගෙ සිරි පැරකුම්

ssමම 13 වැනි සියවස තරම් ඈත අතීතයට නොයමි. එහෙත් සිරි පැරකුම් නැරඹූ මට 1935 දී ආන්ද්‍රේ බ්‍රෙටන් පැවසූ එක් අදහසක් මඟ හැර යා නොහැකි විය.

සමාජීය ඉතිහාස- යෙන් හා සාහිත්‍යමය ඉතිහාසයෙන් පරිබාහිරව සාහිත්‍යය හැදෑරිය නොහැකිවා පමණක් නොවේ, යම් හෙයකින් රචකයා, එකිනෙකට බෙහෙවින් වෙනස් වූ සංයුක්ත සාධක දෙකක් – එනම් ඔහුගේ යුගය තෙක් සමාජීය ඉතිහාසය හා ඔහුගේ යුගය තෙක් සාහිත්‍යයේ ඉතිහාසය ඒකාග‍්‍ර කොට සලකා නොබැලූවේ නම් ඔහුට සාහිත්‍ය රචනා කිරීමටවත් පුළුවන්කමක් නැත.’’

එනයින් කලාකරුවා ඉතිහාසය විෂය කරගැනීම පිළිබඳ ආරෝවක් අපට නැත. එහෙත් ඒ කුමකටද? සාමාජික මිනිසා විෂයෙහි වර්තමානයේ එල්ල වී ඇති අභියෝග අභිභවනය කරනු පිණිස එකී ඉතිහාසය සංග‍්‍රහ කිරීම වැදගත් නිසාය. කලාකරුවාට ඉතිහාසය පරිකල්පනාත්මකව නිර්වචනය කරමින් ලෝකය වෙනස් කිරීමේ කර්තව්‍යයට දායක විය හැකිය. ලොව බිහි වූ සෑම විශිෂ්ට සාහිත්‍ය – කලා කෘතියක්ම යම් අයුරකින් ප‍්‍රතිනිර්මාණය කළේ ඉතිහාසයම බැව් පෙනී යයි. එහෙත් එකී කෘති විශිෂ්ටත්වයට පත් වූයේ සාමාජික මිනිසාගේ ජීවන අරගලය වඩා ප‍්‍රඥා සම්පන්නව, ගාමක ශක්තියෙන් යුතුව හා වාසිදායක වන අන්දමට කරගෙන යාමට අවශ්‍ය නව ආත්මීය සම්පත් උත්පාදනය කර දුන් බැවිනි.

ඒ අර්ථයෙන් නූතන ලංකාවේ වසන සිනමාකරුවන් ඉතිහාසය ඇසුරින් වර්තමාන මිනිසාට පවසන්නේ කුමක්ද යන්න විමසිය යුත්තකි. රාජ්‍යය යනු මිනිසා ඉදිරියේ නිර්මාණය වූ අභියෝගයක් නොව එය මිනිසාගේ පරම විමුක්තිය සලසන්නා බව ස්ථාපිත කිරීමට ඔවුහු නොමඳ වෙහෙසක් දරති. බලලෝභී කිහිප දෙනකු හැරුණු විට රාජ්‍යත්වය හැම විටම සාමාන්‍ය මිනිස් විෂය වෙනුවෙන් පෙනී සිටි බව පෙන්වීමට ඔවුන් දරනා අප‍්‍රතිහත ධෛර්යයට උපහාර වශයෙන් නූතන රජුන් දහසින් බැඳි පියල්ලෙන් හා ගම්වරයෙන් සැලකීමට ඉදිරිපත් වී ඇත. මඩ සෝදා ගත් ගොවියන්ට රජ විය හැකි බවත් රජ කුමාරවරුන්ට ගමේ කොල්ලන් විය හැකි බවත් ඔවුහු පවසති. අඩුවකට ඇත්තේ ‘මම රාජ කුමාරයෙක් නෙමෙයි මැදමුලනෙ කොල්ලෙක්’ වැනි දෙබසක් පමණි.

අතීත ශ‍්‍රී ලංකාවේ මනුෂ්‍යාගේ පරමානන්දය අහිමි කළ එකම බලවේගය ලෙස මේ සිනමාකරුවන් (?) හුවා දක්වනුයේ විදේශ ආක‍්‍රමණිකයාය. ඔහු ද දෙමළෙකි. නොඑසේ නම් විවාහ සම්බන්ධකම් පවත්වන යෝනක ස්ත‍්‍රියකි. නොඑසේ නම් ඇයගේ පුතෙකි. සිංහල බෞද්ධ රජවරුන් දැහැමින් සෙමින් පාලනය කර ඇත. ඔවුහු ජනතාවගේ දේපළ කොල්ල නොකෑහ. තරුණියන් ¥ෂණය නොකළහ. මේ හේතුවෙන් ජනතාවගේ ප‍්‍රමෝදය උදුරා ගෙන ඇති ද්‍රවිඩයා, මුසල්මානුවා සමූල ඝාතනය කළ යුතුය. ඔවුන් සිදු කළ කුමන්ත‍්‍රණ පරදවන කුමන්ත‍්‍රණ සිදු කළ යුතුය. එවිට ස්වදේශික සිංහල බෞද්ධයාට සතුටින් ජීවත් විය හැකි වනු ඇත. මේ අනුව ආක‍්‍රමණිකයා ශක්තිමත් වූ අවස්ථා කිහිපයක දී හැරුණු විට ශ‍්‍රී ලාංකිකයා අතීතය පුරාම ජීවත් වී ඇත්තේ ඉහවහා ගිය ප‍්‍රීතියෙනි. ප‍්‍රීතියෙන් ගී ගයමින්, නටමින්, ජල ක‍්‍රීඩා කරමින්, කිඹුලන් දඩයම් කරමින්, කුළු හරකුන් යැයි සිතා එළ හරකුන් බේරා ගනිමින් ඔවුහු ජීවත් වූහ.

රාජකාරී ක‍්‍රමය යනුවෙන් කිසිවක් මෙහි පැවැතියේ නැත. සිරි දළදාවද සිරිමහ බෝ සෙවණ ද රළ නඟන වෙරළ ද මිනිසුන් සතු විය. රජුට කිසිවක් හිමි වූයේ නැත. රජුට හිමි වූයේ කාස රෝගය සෑදී කෘශ වී ගිය කිසාගෝතමීවරුන් බඳු අන්තඃපුරයක් පමණි. ඒ සැප විඳීමට ද බාධා කළ ද්‍රවිඩයන් හා යෝනක ස්තී‍්‍රන් සිදු කර ඇත්තේ කෙතරම් සාපරාධී අපරාධයක්ද?

මෙබඳු සාපරාධී අපරාධ සිදු කරන්නවුන් ජීවත් විය යුතු බව ථෙරවාදී බුදු දහමේ සඳහන් නොවේ. බුදුන් වදාළ ධර්මයට අනුව සිංහල බෞද්ධ රජකු වෙනුවෙන්  ඕනෑම අපරාධයක් සිදු කළ හැකිය. අංගම්පොර සටන් හැදෑරීමේ සිට යුද වැදීම දක්වා සියලූ ශාස්ත‍්‍ර අනුමත කළ සූත‍්‍රයක් බුදුන් විසින් වදාරන ලද බව මේ සිනමාකරුවන් (?) දැන සිටින්නේ ඔවුන්ගේ බහුශ‍්‍රැත භාවය හේතුවෙනි. බුදුන්ගේ අසූ කෙළක් ධර්මය ස්පර්ශ කළ ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ භාර කළ හැක්කේ සිංහල බෞද්ධයකුට පමණක් බව ද එය භාර වන තැනැත්තාට රාජ්‍යත්වය හිමි වන බව ද බුද්ධ වචනය ලෙසින් මෙකී සිනමා කෘතීන්ගෙන් දිස් වේ.

යම් හෙයකින් අන්‍යාගමිකයකුට එහි භාරකාරීත්වය හිමි වූයේ නම් ඔහු හෝ ඇය ඝාතනය කිරීම, ඝාතනය කිරීම සඳහා සහාය දීම හා සහාය දෙමින් පිරිත් දෙසීම ඇවැතක් නම් නොවන්නේමය. රජවරුන්ට ඔටුනු පලඳමින්, පිරිත් කියමින් හා පිරිත් පැන් ඉසිමින් එකත්පස්ව වැඩ හිඳීම හැර ‘චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය’ යනුවෙන් කිසිවක් බුදුන් විසින් නම් වදාරනු ලැබ නැත. සමාවන්න! කවරක් පිණිස චාරිකාවේ යෙදෙන්නද? සියල්ලෝම සැපෙන් සනීපෙන් කල් ගෙවන කල, සිංහල බෞද්ධ රජවරුන් රජ වූ කල ජනතාවට කවර නම් අභියෝගද?

රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් නම් රෙදි නැන්දලා ගොළු කළ ද ඉවසා වැදෑරිය යුතුය. රෙදි නැන්දලා නම් බල්ලගෙ අහවල් එකද? අර්බුදයකට ඇත්තේ මන්ත‍්‍ර ජප කර, සුර පලන්දා කට වැසූ එකය. සුපුරුදු පරිදි පිරිත් කියා කට වැසූයේ නම් කිසිදු ගැටලූවක් නැත. තම කුඹුර හා ගැනීමට පවා හරකෙකු ලබා ගත නොහැකි තරමට දේපළ පෞද්ගලික භුක්තියට යට වී ඇත්නම් සිදු කළ යුත්තේ ඊට එරෙහිව නැඟී සිටීම නොව ටාසන් කෙනකු වී හරක් බස පුරුදු පුහුණු වී නිදැල්ලේ හැසිරෙමින් සිටින ගවයන් රංචු පිටින් ගෙන්වා ගැනීමය. හරක් භාෂාව පුරුදු විය නොහැකි නම් සිදු කළ යුත්තේ ගැමි වෙස් ගත් රජ කුමරකු ලවා ඒ කටයුත්ත කරවා ගැනීමය. ඔවුහු හරක් භාෂා පරමේශ්වරයෝ වෙති. අනෙක් අතට මේ තරම් කෘතගුණ දන්නා හරක් ඉන්නා රටක උන් මරා ගෙන කෑම කෙතරම් අකෘතඥ ක‍්‍රියාවක්ද? වර්තමානයේ හරකුන්ට ඇති ප‍්‍රශ්න තරම්වත් ප‍්‍රශ්නයක් අතීතයේ මිනිසුන්ට තිබී නැත.

කුලවාදය වුව ද බරපතළ ලෙස ගෙන සාකච්ඡුා කළ යුත්තක් නොවන්නේ සිංහල බුද්ධ ශාසනය සංවිධානය වී ඇත්තේද ඊට අනුරූපීව වන බැවිනි. මේ තත්වය යටතේ සිංහල ගැමි බෞද්ධයාට කිසිදු අරගලයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟී නැත.

රජකු සොයා ගත නොහැකි වුවහොත් සිදු කළ යුත්තේ රාජකීය හස්ති රාජයකු දක්කාගෙන ගොස් රාජකීය ලේ සහිත කුමරුන් ඉදිරියේ දණ ගස්වා අභිෂේක කරවීමය. රජකු ලැබුණෝතින් පෙරහර කරන්නම්, කැවුම් කිරිබත් කවන්නම් යැයි කියා මඩ කාගෙන නැටුම් නැටිය හැකිය. සිංහල බෞද්ධ රජකු ලැබීම හේතුවෙන් පස්වනක් ප‍්‍රීතියෙන් පිනා යා හැක්කේ ඔවුන් සිංහල – බෞද්ධයාගේ උපරිම තෘප්තිය ආරක්ෂා කර දෙන බැවිනි. අනෙක් අතට මඩ සෝදාගෙන රජකමට පත් වූ කුමරකුගෙන් කිසි දිනෙක ජනතාව පීඩනයට පත් වේද? මේ හේතුවෙන් හස්ති රාජයන් ඉදිරිපත් වීමට පෙර වහ වහා ජනතාව ඉදිරිපත් වී එබඳු මඩ ගා ගෙන ගම්වල සිටින රාජකීය කොල්ලන් රජකමට ගෙන ආ යුතුය.

ඉතිහාසය විෂය කරගැනීමට පෙළඹී සිටින සිරි පැරකුම්ලා වර්තමාන මිනිසාට පවසනුයේ මෙබඳු කතාවකි. එසේ සැලකූ කළ ආන්ද්‍රේ බ්‍රෙටන් දන්නා සමාජීය ඉතිහාසයක් නැත. අප දන්නා සමාජීය ඉතිහාසයක් ද නැත. සාමාන්‍ය මිනිසාට තේරුම්ගත නොහැකි කාව්‍ය ග‍්‍රන්ථ සංග‍්‍රහ කළ සිරි පැරකුම්ලා යළි යළිත් ඉපදී අපට මේ ඉතිහාසය තේරුම් කර දිය යුතුය. ඒ සඳහා සිරි සෝමරත්න අන්කල්ලාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබිය යුතුය!

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න

Advertisements