ජාතික ක‍්‍රීඩා සංගම් පොරපිටිය ශුද්ධ වෙයිද?

Yoshitha-Rajapakshaමේ දිනවල ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වැඩිම අවධානය යොමු වී තිබෙන්නේ ජාතික සංගම්වල නිලවරණ පැවැත්වීම සම්බන්ධව බව බොහෝ දෙනා දනී. හැටකට ආසන්න ජාතික ක‍්‍රීඩා සංගම්වල, අර්බුද නොමැති ජාතික ක‍්‍රීඩා සංගමයක් සොයා ගැනීම අමාරුම වැඩකි. ලංකාව වැනි රටක මෙවන් අර්බුද ජනිත වීම සාමාන්‍යකරණයට ලක්ව ඇති අතර මේ අර්බුද මාධ්‍ය වෙත හොඳ ආයෝජනයන් වී තිබේ. ඒ අර්ථයෙන් මාධ්‍ය මේ සියලූ අර්බුදයන් වෙළෙඳපොළක් දක්වා වර්ධනය කරන අතර ඒ වෙළෙඳපොළ තුළ ඉතාමත් හොඳ හුවමාරු වටිනාකම් මාධ්‍ය වාර්තාවන්ට, මාධ්‍ය නිවේදනයන්ට, කතිකාවන්ට, සංවාදයන්ට සහ විවේචනයන්ට ඇත. සියලූ දෙනා යහපත ප‍්‍රාර්ථනා කරන අතර නපුර සමඟ ජීවත් වීමේ අභ්‍යාස ප‍්‍රගුණ කරමින් සිටී. විනයක්, ශික්ෂණයක්, විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අවංක බවක් සහ කැපවීමක්  වෙනුවට ප‍්‍රගුණ කරමින් පවතින්නේ කුළල් කා ගැනීම, එකිනෙකා පරයා යාම සහ ක‍්‍රීඩාව වෙනුවට ක‍්‍රීඩාවේ උන්නතියට කිසිසේත් අදාළ නොවන ක‍්‍රියාකාරකම්ය. මේ තත්වයන් වෙනස් විය යුත්තේ අන් යමකින් නොව පරමාදර්ශී මිනිස් ක‍්‍රියාකාරීත්වයන් ගොඩනැංවීමෙනි. ඒවා වචන වලට සීමා විය යුතු නැත. තමන්ගේ අනෙකාට ගරු කිරීමත් පොදුවේ අරමුණු වෙනුවෙන්  සාමූහික වගකීම් දරා ගැනීමත් කැපවීමත් වෙනුවට උම්මත්තක භාවයන් සහ තම තමන්ගේ මනෝ ව්‍යාධීන්ගේ තරම මාධ්‍ය වෙත මුදා හැරීමත් බොහෝ අය කරමින් සිටී.

බොහෝ විට සෑම ජාතික ක‍්‍රීඩා සංගමයකම පාහේ කණ්ඩායම් දෙකක් හෝ කිහිපයකට බෙදුණු කල්ලි පවතී. මේ කල්ලි සහ කණ්ඩායම් කරනු ලබන කුළල් කා ගැනීම් අවසානයේ සමස්ත සමාජයට ඉතිරි කරනුයේ කුමන වර්ගයේ ප‍්‍රතිලාභයන්ද, මේ නිසාම ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අවධානයට ලක් විය යුතු ඉක්මන් ක‍්‍රියාකාරීත්වයක් ගොඩ නැංවිය යුතුය. ඒ ලංකාවේ පවතින සියලූම ක‍්‍රීඩා සංගම් නිලධාරීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම සහ පුහුණු ක‍්‍රමවේදයකට නිලධාරීන් යටත් කිරීමය. මෙය සිතන තරම් පහසු කටයුත්තක් නොවන්නේ මේ සිටින කිසිදු ජාතික සංගමයක බහුතර නිලධාරීන් මෙවන් දේවල් වලට සහභාගී වීම හෝ එවන් ක‍්‍රියාකාරීත්වයක් නුරුස්සන බැවිනි, අන් සෑම දේටම වේලාවක් වෙන් කරගත හැකි මුත් මේ බොහෝ නිලධාරීන්ට මෙවැනි කාරණා සඳහා වේලාවක් වෙන් කරගැනීමට නොහැකි කාරණා එමට තිබේ. නිලතල අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වෙනත් උවමනාවන් වෙනුවෙනි. මේ වන විට බැට්මින්ටන් සංගමය විරෝධතාවන් සමඟ නිලවරණය පවත්වා තිබේ. ඉදිරි අවුරුදු 2 සඳහා සභාපති වශයෙන් සුරාජ් දන්දෙණිය, ලේකම් මේජර් සංජීව පීරිස් සහ භාණ්ඩාගාරික ලෙස දිලීප වීරසේකර පත්ව ඇත. මෙම පත්වීම් සම්බන්ධයෙන් විරෝධය දක්වා ප‍්‍රධාන බැට්මින්ටන් සංගම් 4 ක් නිලවරණයෙන් ඉවත් විය.

අර්බුද සමනය කරගනිමින් මලල ක‍්‍රීඩා සම්මේලනය, ක‍්‍රිකට් සම්මේලනය පාපන්දු සම්මේලනය නිලවරණය පැවැත් වීමට කටයුතු කළේය. නමුත් කල්ලිවාද නොපවතී යැයි කිසිවකුට සහතික විය හැකි ද යන්න ප‍්‍රහේලිකාවකි.

පසුගිය 19 වැනිදා වන විට අර්බුද සහ විරෝධයන් පිළිබඳ සොයා විමර්ශනය කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබිණි. ඇමැතිවරයා විදේශගත වන්නේ වැඬේ කමිටුවකට බාර දී හමාර වීමෙන් අනතුරුවය. ක‍්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ අඳුරු මුල්ලක වූ එහා මෙහා ගමන් කිරීමට ඉඩක් පවා නොමැති කුඩා කාමරයක රැස්වූ මෙම කමිටුව හමුවට ක‍්‍රීඩා සංගම්වල ගැටලූ පිළිබඳ කතා කිරීමට පිරිස් කැඳවා තිබිණි. කරාටේ, බැට්මින්ටන්, වුෂූ,   හෑන්ඞ් බෝල්, ජිම්නාස්ටික්, ජූඩෝ, මෝටර් රථ ධාවන ටෙනිස්, මේස පන්දු, වෙඩි තැබීම, බේස් බෝල්, කායවර්ධන යන ක‍්‍රීඩා සංගම්වල විරෝධතා පිළිබඳ සොයා බැලීම සිදු කරනු ලැබූයේ ක‍්‍රීඩා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාලන අධ්‍යක්ෂිකා කෞමිණි රත්නායක, (කමිටු සභාපති* ක‍්‍රීඩා අමාත්‍යාංශ නීති උපදේශක නීතිඥ පන්ඩුක කීර්තිනන්ද, සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක කර්නල් මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය ක‍්‍රීඩා අධ්‍යක්ෂක අයි. පී විජේරත්න, ක‍්‍රීඩා සහකාර අධ්‍යක්ෂක දසුන් රාජපක්ෂ, සහ ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික සේනානායක යන අයවලූන් විසිනි,  බලය සහ ප‍්‍රතිලාභ පිළිබඳ කාරණා විසින් අවුල් කර තිබෙන ලාංකේය ක‍්‍රීඩා සංගම් ගැටලූ වියවුල් ලිහා ගැනීම ක‍්‍රීඩා අමාත්‍යාංශය කෙසේ නම් සිදු කරාවිද යන්න බොහෝ දෙනා බලා සිටී.

දේශපාලකයන් ක‍්‍රීඩා සංගම් වලින් ඉවත් විය යුතු බව තමන්ගේ පෞද්ගලික මතය බව පසුගියදා ක‍්‍රීඩා ඇමැතිවරයා ජනමාධ්‍යට ප‍්‍රකාශ කර තිබිණි. මේ වන විට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ සිට කැබිනට් ඇමැතිවරුන් දක්වා රොත්තක් දේශපාලකයන් ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලතල වලට පත්ව තිබේ. දැන් මේ සියලූ මහතුන්ට ක‍්‍රීඩා ඇමැතිවරයා ක‍්‍රීඩාවේ ආචාර ධර්ම මොනවාද යන්න කියා දීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය.

සෙනෙවිරත්න උනම්බුව

Advertisements