එස්.බී.ගේ අවවාදය – පාට් ටයිම් රස්සාවක් කරපල්ලා

විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සංකේතවත් කරනු වස් සංවිධානය කරන ලද උත්සවයක් පසුගිය අපේ‍්‍රල් මස 20 වැනි දා මහනුවර කලා කේන්ද්‍රයේ දී පවත්වන ලදී. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මෙම උත්සවය සඳහා සහභාගී විය. එහි දී ඔහු අපූරු කථාවක් කළේය. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ විශ්වවිද්‍යාලවල සිසුන්ට පෞද්ගලික අංශයේ අර්ධකාලීන රැකියා කිරීම සඳහා පහසුකම් සැලසීමේ වැඩසහටනක් තමා විසින් සකස් කරමින් යන බව ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය. තවදුරටත් ඔහු එහි දී කියා සිටියේ මෙබඳු වැඩසටහනක් සඳහා අනුග‍්‍රහ දැක්වීමට දැනටමත් ඇතැම් පෞද්ගලික ආයතන කැමැත්ත පළ කර තිබෙන බවත් ඊළඟ අය වැයේ දී එවැනි ආයතනවලට සහන සැලසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අදහසක් තිබෙන බවත්ය.

උසස් අධ්‍යාපන ඇමැතිගේ මේ ප‍්‍රකාශය අනුව දැන් ඉදිරියේ දී අධ්‍යාපනය ලබන අතර රැුකියා කිරීම සඳහා අවස්ථා ශිෂ්‍යයන්ට සැපයීම සඳහා රජයම මැදිහත් වී කටයුතු සලසා දෙනු ඇති බවට අපට උපකල්පනය කළ හැක. රජය මෙබඳු යෝජනාවක් ඉදිරිපත් කරන්නේ කවර පසුබිමකදීද? මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ වාරිකය ලෙස රුපියල් 2500ක් ලබා දෙනු ලැබේ. මෙම 2500ක මුදල නිර්ණය කරන ලද්දේ වර්ෂ 2005 දීය. ඉන් පසු වසර දහයකට ආසන්න කාලයක් මේ වන විට ගත වී ඇත. ඒ කාලය තුළ මහපොළ වාරිකය සතයකිනුදු වැඩි වී නැත. මේ හේතුකොට ගෙන මහපොළ වාරිකය ප‍්‍රමාණවත් නොවන බවට විශ්වවිද්‍යාල සිසුන් අතර අදහසක් පවතී. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මහපොළ වාරිකය රු. 5000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයකට මුල පිරීය. මහපොළ වාරිකය ඉහළ දැමීම සඳහා වූ මේ සටන මේ වන විටත් ක‍්‍රියාත්මක අතර එය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රධාන ඉල්ලීම් කිහිපය අතර පවතින්නකි.

ඇමැති එස්.බී. සරසවි සිසුුන්ට පාට් ටයිම් රැකියා සපයා දීමට තමා සූදානම් බව පවසන්නේ මෙවන් පසුබිමක් තුළදීය. එනම් මහපොළ වාරිකය වැඩි කරන ලෙස සිසුන් උද්ඝෝෂණය කරද්දී ඇමැති එස්.බී. දෙන පිළිතුර වන්නේ සිසුන්ට අවශ්‍ය නම් අර්ධකාලීන රැකියා සොයා දීමට තමා සූදානම් බවයි. කෙසේ වුව ද මහපොළ මුදල මදි නම් අර්ධකාලීන රැකියා කරන්නැයි ඇමැති එස්.බී. අමුතුවෙන් කිව යුතු නැත. ස්වකීය ආර්ථික පැවැත්ම උදෙසා අර්ධකාලීන රැකියාවල නියැළීම මේ වන විටත් විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කරමින් සිටී. පසුගිය අවුරුදු කිහිපයක කාලය තුළ මෙසේ අර්ධකාලීන රැකියා සොයා යන සිසුන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙමින් තිබේ. සිසුන් සොයා යන මේ අර්ධකාලීන රැුකියා මොනවාද? පෞද්ගලික ආයතනවල ආරක්ෂක නිලධාරීන් ලෙස (සෙකියුරිටි නිලධාරීන්?) වැඩ මුරවලට යාමේ සිට බාර්වල වැඩ කිරීම, විවිධ ආයතනවල ප‍්‍රවර්ධන වැඩසටහන්වලට සම්බන්ධ වීම, රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලට ගොස් කුලියට අත්පුඩි ගැසීම, පීසා සමාගම් වෙනුවෙන් පීසා බෙදීම ආදිය දක්වා මේ අර්ධකාලීන රැකියාවල පරාසය විහිදී ඇත. තවත් සමහරු ටියුෂන් කරති. මේ ආදී වශයෙන් විවිධ අර්ධකාලීන ආර්ථික ක‍්‍රියාකාරකම් කරමින්ය අද වන විට සැලකිය යුතු ප‍්‍රතිශතයක් විශ්වවිද්‍යාල සිසුන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන්නේ. දැන් ඇමැති එස්.බී. කියන්නේ මෙලෙස අර්ධකාලීන රැුකියා සපයා දීම රජය මැදිහත් වී සිදු කරන බවයි. මෙහි දී මතු වන ගැටලූව මෙයයි. ප‍්‍රශ්නය අර්ධකාලීන රැකියා සොයා ගැනීමට සිසුන්ට අපහසුවක් තිබීමද? එසේත් නැතිනම් අධ්‍යාපන කටයුතුවල යෙදීම සඳහා තිබෙන කාලය රැකියා කිරීම සඳහා යෙදවීමට සිසුන්ට තත්වයන් විසින් බල කොට තිබීමද? නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථය සමාජය සිය පුරවැසියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමූහිකව වියදම් කරන බවත් එම ආයෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය ලබන පුරවැසියන් සමාජයට සේවය කරන බවත්ය. මේ අනුව නිදහස් අධ්‍යාපන සංකල්පය යටතේ සිසුන්ගේ අධ්‍යාපන පිරිවැය සමාජය විසින් දරයි. ඒ පූර්ණකාලීනව සිසුන්ට සිය කාලය අධ්‍යාපනය සඳහා යෙදවීමට හැකි වනු පිණිසය.

වර්තමානයේ සිසුන්ට පූර්ණකාලීනව අධ්‍යාපනයේ නොයෙදී අර්ධකාලීන රැකියා සොයා යාමට සිදු වී තිබෙන්නේ සිය කාලය පූර්ණකාලීනව ශිෂ්‍ය ජීවිතය සඳහා යෙදවීමට ආර්ථික තත්වයන් විසින් ඔවුන්ට ඉඩ නොතබන නිසාය. 2005 සිට ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. 2005 දී රුපියල් 2500කින් මිලදී ගත හැකිව තිබූ, කළ හැකිව තිබූ දේ අද වන විට මිලදී ගන්නවා තබා සිතීමටවත් අවකාශයක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒත් මහපොළ වාරිකය – එනම් අධ්‍යාපනය ලබන සිසුන්ට රජය විසින් ලබා දෙන ශිෂ්‍යාධාරය – ඉහළ නැංවීමට කටයුතු කොට නැත. රජය අධ්‍යාපනය සඳහා කරන වියදම දිගින් දිගටම කපමින් සිටී. රජයේ නව ලිබරල්වාදී ආර්ථික දැක්ම අනුව සුබසාධන වියදම් කැපිය යුතුය. අධ්‍යාපනය සඳහා වූ වියදම අඩු කෙරෙන්නේ ඒ අනුවය. මේ අනුව මහපොළ වැඩි කරන ලෙස සිසුන් දිගින් දිගටම ඉල්ලා සිටින විටදීත් ශිෂ්‍යාධාර වැඩි කිරීමට කටයුතු නොකෙරෙන්නේ රජයේ නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් එවැනි වැඩි කිරීමකට ඉඩ නොතබන නිසාය.

මේ අනුව ශිෂ්‍යාධාර මුදල වැඩි කරන ලෙස ඉල්ලන සිසුන්ට රජය කියන්නේ ‘‘අපි මුදල් වැඩි කරන්නෙ නැහැ, පුළුවන් නම් රස්සා කරලා වියදම පියවා ගනිල්ලා’’ කියලාය. එතැනින් නොනැවතී රජය ‘‘අපි ඕනෙ නම් රස්සා හොයලත් දෙන්නම්’’ යැයි කියයි.
මෙහි තිබෙන ඊළඟ ප‍්‍රශ්නය වන්නේ මෙසේ ඊනියා අර්ධකාලීන රැකියාවලට ඇතුළු කෙරෙන ශිෂ්‍යයාට අත් වන ඉරණම කවරේද යන්නයි. අර්ධකාලීන රැුකියා කිරීම යනු සිය ශ‍්‍රමය අර්ධකාලීනව වැටුපක් සඳහා හුවමාරු කිරීමට සිදු වීමයි. මෙතැන දී ශිෂ්‍යයන්ගේ ශ‍්‍රමය ශ‍්‍රම වෙළෙඳපොළට ඇතුළත් කරගනු ලැබෙන අතර ශ‍්‍රම සූරාකෑමේ ක‍්‍රියාවලියට ඔවුන් ඇතුළු කෙරේ. ප‍්‍රාග්ධනයේ ලාභ වැඩි කිරීම සඳහා කඹුරන ශ‍්‍රමිකයන් ගොන්නට මේ අනුව විශ්වවිද්‍යාල සිසුන් ද ඇතුළත් කරගනු ලැබේ. මේ අනුව රජය විශ්වවිද්‍යාල සිසුන්ට නොකියා කියන්නේ ‘‘ඉගෙන ගන්න ඕනෙ නම් උඹලා සූරාකෑමට ලක් වී සල්ලි හොයා ගනිල්ලා’’ කියලාය.

සිය පැවැත්ම වෙනුවෙන් අර්ධකාලීන රැකියා කිරීමට සිදු වන්නේ සමාජයේ පීඩිත සමාජ පන්ති හා ස්තරවලින් පැමිණෙන සිසු සිසුවියන්ට බව පැහැදිලිය. ධනවත් සමාජ ස්තරවලින් එන සිසුන්ට අර්ධකාලීන රැකියා කිරීමේ අවශ්‍යතාවක් නැත. මන්ද අධ්‍යාපනය ලබන කාලය තුළ ඔවුන්ව නඩත්තු කිරීමට ප‍්‍රමාණවත් ආදායමක් ඔවුන්ගේ මව්පියන් සතු නිසාය. ඔබ ධනවත් පවුලකට අයත් නම් මේ අනුව ඔබට අර්ධකාලීන රැකියා කිරීමකින් තොරව පූර්ණකාලීනව ඔබේ මහන්සිය අධ්‍යාපනය සඳහා යෙදවීමට ‘වාසනාව’ තිබේ. එහෙත් ඔබ අයත් වන්නේ සමාජයේ සාමාන්‍ය පන්තියකට නම්, ඔබ දිළිදු නම්, ඔබේ මව්පියන් ධනවතුන් නොවේ නම් ඉගෙන ගන්නා අතර රැකියා කිරීමට ඔබේ ශ‍්‍රමය විකිණීමට සූරාකෑමට ලක් වීමට ඔබට සිදු වේ. පූර්ණකාලීනව අධ්‍යාපනය ලැබීම යනු ඒ අනුව ‘අයිතියක්’ නොව ධනවත් සමාජ ස්තර වෙනුවෙන් පවත්නා ‘වරප‍්‍රසාදයකි’.

භාණ්ඩ පමණක් නොව කලාව, ක‍්‍රීඩාව, සංස්කෘතිය, ගහකොළ සතා සීපාවා පවා වෙළෙඳ භාණ්ඩ කරමින් විකිණීමට ලක් කරන වර්තමාන නව ලිබරල්

ධනවාදී සමාජ රටාව තුළ අධ්‍යාපනය පමණක් වෙළෙඳ භාණ්ඩයක් නොවී අයිතියක් ලෙස ඉතිරි වන්නේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ආශිර්වාදය යටතේ ඇමැති එස්.බී. විසින් සිදු කරන යෝජනා තුළ ගැබ් වන්නේ රජය සමාජයේ පුරවැසියන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් දැරීමේ කර්තව්‍යයෙන් ඉවත් වී අධ්‍යාපනය වෙළෙඳපොළේ කේවල් කොට මිලදී ගත යුතු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරනු වස් මේ වන විට ක‍්‍රියාවේ යොදවා ඇති වැඩපිළිවෙළයි. ඉගෙන ගන්න ඕනෑ නම් සූරාකෑමට ලක් වෙයල්ලා යැයි ජනතාවට කියන පාලකයන්ට ජනතාව විසින් දිය යුතු පිළිතුර කුමක්ද? ජනතාවගේ අධ්‍යාපන අයිතිය පිළිගත නොහැකි නම් සිංහාසනයෙන් බැස පලයල්ලා යන්න නොවේද?

රමිඳු පෙරේරා

Advertisements