ලිබරල්  ගේම්කාරයන්ගෙන් ප‍්‍රවේශම් වනු!

පසුගිය අඟහරුවාදා, ඒ කියන්නෙ 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විදේශ ඇමැතිගෙන් ප‍්‍රශ්න කීපයක් ඇහුවා. රනිල් ඇහුවේ යුද අපරාධ විමර්ශනය කිරීමේ කාර්යයන් පවරපු ජනාධිපති කොමිසමට උපදෙස් දෙන්න පත් කළ විශේෂ විශේෂඥ කමිටුව ගැන.

මේ කොමිෂන් සභාවට මුහුණ දෙන්න සිදු වන සංකීර්ණ නෛතික ගැටලූ විසඳීමට ඒ පිළිබඳ විශේෂ දැනුමක් ඇති, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති විශේෂඥයන් පත් කරන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසා තිබුණා. ජූලි 15 විශේෂ ගැසට් නිවේදනයෙන් ඩෙස්මන්ඞ් ද සිල්වා, ජෙෆ්රි හයිස්, ඬේවිඞ් කේ‍්‍රග් යන බි‍්‍රතාන්‍ය හා අමෙරිකා එක්සත් ජනපද පුරවැසියන් විශේෂඥ උපදේශක කමිටුවට පත් කළා. පසුව ඉන්දීය ජාතික අබ්දාස් කවුසාල් සහ පාකිස්තාන ජාතික අහමර් බිලාල් සුෆි යන දෙදෙනාත් එයට පත් කරනු ලැබුවා. රනිල් අහන්නෙ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ගන්න තරම් කොමිසමට තියෙන සංකීර්ණ නෛතික ගැටලූ මොනවද කියලා. ඒ වගේම ඒ ගැටලූවලට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම ප‍්‍රමාණවත් නැද්ද කියලා. රනිල් මේ අහන ප‍්‍රශ්නයේ යටිපෙළ ඉතාම පැහැදිලියි. ඔහු මේ ව්‍යංගාර්ථයෙන් කරන්නේ ජාත්‍යන්තර විශේෂඥ උපදේශක කමිටුවක් පත් කිරීම සහ යුද අපරාධ විමර්ශනයට කොමිසමක් පත් කිරීම ප‍්‍රශ්න කරන එක.

රනිල් ‘වහෙන් ඔරෝ’ කියලා කරපු එක ඊට සතියකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩල සාමාජික මංගල සමරවීර ‘ඔහෙන් වරෝ’ කියලා ව්‍යංගාර්ථ නැතිව කෙළින්ම කිව්වා. පසුගිය සතියෙ බදාදා, ඒ කියන්නෙ 13 වැනිදා පිටකෝට්ටේ ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ තිබුණු මාධ්‍ය හමුවක දී මංගල මේ උපදේශක කමිටුව ගැන අදහස් දැක්වුවා. බොහෝ මාධ්‍යවල ඔහුගේ ප‍්‍රකාශය පළ වුණේ ”හමුදාව පාවා දෙන්න ඉඩ දෙන්නේ නෑ”, ”ආණ්ඩුව රණවිරුවන් පාවා දෙනවා” වැනි සිරස්තලවලින්. එහි දී ඔහු ලංකාවේ යුද හමුදාව ගැන සහතික දුන්නා. ඒක ලෝකයේ විනයානුකූලම හමුදාව බව කිව්වා.

”අපට ඉන්නේ විනයානුකූල හමුදාවක්. අපේ හමුදාව කවදාවත් තමන්ගෙ උවමනාවට වෙන අයට හිරිහැර කරන්න, ගහන්න, මරන්න යන්නෙ නෑ” කියා මංගල පැවසුවා. ඉන් පසුව ඔහු යුද අපරාධ ගැන විමර්ශනය කිරීම හමුදාව පාවා දීමක් බව කීවා. ”මේ පැත්තෙන් විශේෂඥයන් තුන්දෙනෙක් ගෙනල්ලා හමුදාව පාවා දෙන්න කටයුතු කරන ගමන්ම, අනෙක් පැත්තෙන් එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රභාකරන්ගෙන් පස්සෙ ජාත්‍යන්තර නායකයා වෙච්ච කේ.පී. ආණ්ඩුවේ සුරතලෙක් කරගෙන ඉන්නවා” මංගල මේ භාවිත කරන වචන නියෝජනය කරන්නේ මෑතක් වනතුරු ඔහුම ප‍්‍රතික්ෂේප කරන බව කිව්ව කතිකාවක්. මංගල මාධ්‍ය හමුව අවසන් කරන්නේ කාලෙකට කලින් මහින්ද කළා වගේ ”හමුදාව පාවා දෙන්න අපි කවදාවත් ඉඩ තියන්නෙ නෑ” කියලා කෑ ගහලා.

මංගලලා, රනිල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවෝ, මානව හිමිකම්වල ආරක්ෂකයෝ කියලා හිතාගෙන එක්සත් ජාතික පක්ෂ අලියාගේ නැට්ටෙ එල්ලිලා දිව්‍ය ලෝකයට යන්න හිටි අය දැන්වත් පියවි සිහියට එන එක හොඳයි. යුද්ධයේ දී යම් අපරාධයක් වුණා නම් ඒ ගැන විමර්ශනය කළ යුතුයි කියලා කියමින් හිටපු මේ අය, ඒ විමර්ශනය පාවිච්චි කරලා දේශපාලන වාසි ගන්න පුළුවන් කියලා තේරුණු ගමන් ප‍්‍රතිපත්තිය කණපිට ගහනවා. අලූත්ගම සිද්ධියට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරනවා කියපු මංගල මාසෙකට පස්සේ ‘රණවිරුවන් පාවාදීම’ ගැන කියනවා.

ලංකාවේ ලිබරල් ධනපති පන්තියක් ගැන හිතෙන් මවාගෙන, රනිල් සහ මංගල ලිබරල් නායකයෝ කියලා හිටි අයට මේ ගැන තියෙන පැහැදිලි කිරීම මොකක්ද? එක්සත් ජාතික පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, මානව හිමිකම් ගැන හෙළන්නේ කිඹුල් කඳුළු බව අපි කලින්ම කිව්වා. ඔවුන්ට තිබෙන්නේ ඒවා ගැන ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් නෙවෙයි. වැඩිපුරම දේශපාලන වාසි ගන්න පුළුවන් කොයි ප‍්‍රතිපත්තියෙන්ද කියා බලලා ඒ ප‍්‍රතිපත්තියට මාරුවන එක තමයි මේ අයගේ ප‍්‍රතිපත්තිය. ඒ නිසා දවසින් දවස ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වෙන එක, ඒකාධිපති මත දරන්නන් වෙන එක, ලිබරල්වාදීන් වෙන එක මේ අයට අමාරු නෑ. කෙටියෙන් කියනවා නම් ප‍්‍රතිපත්තිය තමයි අවස්ථාවාදය.

ප‍්‍රශ්නය තිබෙන්නේ, මහින්ද තමයි රට පාවා දෙන්නේ කියලා රනිල්ලා මංගලලා බලය ගත්තොත් රටේ දේශපාලනයේ වෙනස් වෙන්නේ මොකක්ද? ලංකාව වගේ පසුගාමී රටවල ඊනියා ලිබරලූන්ට දෙන්න පුළුවන් ඔච්චර තමයි. ලිබරල් නමින් පෙනී ඉන්න මේ ගේම්කාරයන් නිසා සමාජය තල්ලූ වෙන්නේ ඉස්සරහට නෙවෙයි පිටිපස්සට. යුද්ධය ගැන හා එහි අපරාධ ගැන අපේ මතය මීට පෙරත් කතුවැකිවල ලීවා. ප‍්‍රශ්නය කවුරු හෝ සෙබළකුට ද`ඩුවම් දීම ගැන නෙවෙයි. අවශ්‍ය වෙන්නේ සිදු වූ මහා ඛේදවාචකයක වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමයි. සැබෑ ප‍්‍රතිසන්ධානයක් සඳහා පාර කපාගත හැක්කේ ඒ මාර්ගයෙන් පමණයි. රනිල්ලා කරන්නේ තමන්ට වාසි වන ලෙස ඒ ප‍්‍රශ්නය විටෙක කබරගොයා බවටත් විටෙක තලගොයා බවටත් පත්කරගැනීම.

අපේ සමාජයට විමුක්ති මාර්ගය වැටී තිබෙන්නේ කාර්යශූරම අවස්ථාවාදියා තෝරා ගන්න එක තුළ කියලා හිතන අයට ඊනියා ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය පසුපස යන්න පුළුවන්. පාර තිබෙන්නේ ගේම් දේශපාලනයෙන් එළියේ කියලා හිතන අයට ධනපති, සුළු ධනපති විකල්ප නෑ. තිබෙන්නේ වමේ විකල්පයක් විතරයි. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් වැනි ලිබරල් පරමාදර්ශ ගැන විශ්වාස කරන අයටත් එන්න තිබෙන්නේ වම දිශාවට විතරයි.

Advertisements