මස් කටු සංවර්ධනය

මේ දවස්වල සන්ධානයේ මැතිවරණ වේදිකා දෙදරන්න ඇහෙන්නේ සංවර්ධනය ගැන. රූපවාහිනී යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කළ ගමන් පෙනෙන්නේ එක්කෝ ටොරිංටන්වල ‘ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස්’ ගැන පුරාජේරුව. නැතිනම් පිටකොටුවේ ‘පාවෙන වෙළෙඳපොළ’ ගැන පුරසාරම. අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ජර්නලයකට ගෝඨාභය රාජපක්ෂ ලියූ ලිපිය ආරම්භයේම තිබුණේ ලංකාවේ ජනතාවට දැන් කිසි දේකින් අඩුවක් නෑ, සාමයත් තියෙනවා, නිදහසත් තියෙනවා, අනාගතය යහපත් කරගන්න නිම් නැති තරම් අවස්ථා තියෙනවා කියලා. ඒ අතර මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග, වෙනත් ඉදිකිරීම් වගේ දේවල්වල විශාල ප‍්‍රමාණයේ ඡුායාරූප රටපුරා සවිකර තිබෙනවා. මේ ප‍්‍රචාරක ව්‍යාපෘතිවල කියන විදියට නම් හෙට අනිද්දා නෙවෙයි, අදම ආශ්චර්ය උදා වෙමින් තිබෙනවා.

අද අපි කතුවැකියෙන් සංවර්ධනය ගැන යමක් කතා කරන්න හිතුවා. ඇත්තටම මේ සංවර්ධනය මොකක්ද? මේකේ ඉලක්කය කාව තෘප්ත කිරීමද? පසුගිය

සති අන්තයේ පුවත්පතක තිබුණු විදියට මත්තල ගුවන් තොටුපළ සඳහා ලබා ගෙන ඇති ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 350ක්. ඒ පුවත්පතේම සඳහන් වූ ආකාරයට දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම සහ එතැන් සිට ගම්පහ දක්වා අලූත් දුම්රිය මාර්ගයක් ගොඩනඟන්න යන වියදමත් ඩොලර් මිලියන 350ක්. ආණ්ඩුව සංවර්ධනය කියන්නේ මත්තල ගුවන් තොටුපළට. ඩොලර් මිලියන 350ක් වියදම් කරලා ඒක දවසකට භාවිත කරන්නේ මඟීන් 50ක් පමණ. මුලින් කියූ දුම්රිය මාර්ගය හැදුවොත් ඒක දවසකට මඟීන් 40,000ක් පමණ භාවිත කරයි කියලා ඒ පුවත්පතේම තිබුණා. මේ ඊනියා සංවර්ධනයේ ඉලක්කය සමාජය නෙවෙයි. ජනතාව නෙවෙයි. එක පැත්තකින් මේ සංවර්ධනය කියන්නේ ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතාවලට දොරකවුළු විවර කර දෙන එකට. මත්තල ගුවන් තොටුපළට ඇස් යොමු වෙද්දි සාමාන්‍ය මිනිසා යන කෝච්චිය අමතක වෙන්නේ ඒ නිසා.

අනෙක් අතට මේ ඊනියා සංවර්ධනයේ අරමුණම වෙන්නේ ගසා කෑම. අපට මේ ගැන උදාහරණ පාරවල් හැදිල්ලෙන්ම ගන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල දක්වා කිලෝමීටර 126.25ක් ඉදිකරන්න වැය වුණු මුදල රුපියල් කෝටි 1870ක්. ඒත් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 25.6ක් හදන්න රුපියල් කෝටි 4550ක් වැය වී තිබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර සඳහා කිලෝමීටර 96කට රුපියල් කෝටි 2420ක් වැය වන බව ගණන් බලා තිබුණා. එක් මාර්ග කිලෝමීටරයක් සඳහා වැය වන මුදල බැලූවාම හිතා ගන්න බැරි පරතරයක් තිබෙන්නේ. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය හදන්න සාමාන්‍යයෙන් ලෝකයේ ඒ සඳහා වැය වන මුදල මෙන් පස් හය ගුණයක මුදලක් නාස්ති වන ආකාරය පසුගිය ජනරළ පුවත්පතේත් විස්තර කර තිබුණා.

මේ ඊනියා සංවර්ධනයේ තුන්වැනි ප‍්‍රධාන ලක්ෂණය තමයි මැදපාන්තික හීන දකින විකාරකාරයන්ගේ ඇස් නිලංකාර කරන්න ඒ සංවර්ධනයට තිබෙන හැකියාව. සාමාන්‍ය මිනිසාට මේකෙන් මොකුත් නොලැබෙන්නට පාට පාට විසිතුරු දැකලා සතුටු වෙන්න පුළුවන්. ධනවාදය පවත්වාගෙන යන එක විදියක් තමයි සමාජය තුළ හැරවුම්කාමය ජනප‍්‍රිය කිරීම. ඒ නිසා හැරවුම්කාමය වසංගතයක් වගේ පැතිර යනවා. තෘප්තිමත් වෙන්නේ තමන් ආදරය කිරීමෙන් නෙවෙයි. ආදරය ගැන ටෙලිවිෂන් අන්දර නැරඹීමෙන්. ක‍්‍රීඩා කරන්න වෙලාවක් නැති නිසා ඒ ආශාව සපුරා ගන්නේ ක‍්‍රීඩා නැරඹීමෙන්. වෙන දෙයක් තබා විනෝද චාරිකාවක් යන්න වෙලාවක් නැති අය සඳහා විනෝද චාරිකා යන අය ගැන බලන්න රූපවාහිනී වැඩසටහන් තිබෙනවා. ඒ පුරුද්දට ජනතාව (රුපියල් 200ක් දීලා බිත්තර ආප්ප කන පන්තිය දිහා බලමින්* බඩගින්නේ ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් එකේ ඇවිදිනවා.

ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතා තෘප්ත කිරීමයි, පාලකයන්ට වැඩි වැඩියෙන් ගසා කෑමයි, හීනමානකාරයන් ඇස්බැන්දුම්වලින් සතුටු කිරීමයි, ඉලක්ක කරගත් මේ විකාරවලට සංවර්ධනය යන වචනය භාවිත කළ හැකිදැයි වෙනම කතා කළ යුතුයි. මේ ඊනියා සංවර්ධනයේ ලොකුම කොටස ඉහළම පන්තියට ගිහින් පහළ පන්තිය දෙසට මස් කටු විසි වන විට ‘ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන බව’ කියමින් කෑ ගැසීමත් අපට නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. ආණ්ඩුව හැම තිස්සෙම මාර්ග සංවර්ධනය ගැන කීවාට ඒ සංවර්ධනයේ හැබෑම තතු දකින්නට බස් රියකට, එකකට දුම්රියකට ගොඩ වෙන්න  ඕන. මේ සංවර්ධනය කාගේ සංවර්ධනයක්දැයි හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ එවන් අත්දැකීම්වලින්. මේ පුහු සංවර්ධනයට වියදම් වෙන මුදලෙන් සොච්චමක් විතරක් වියදම් කළොත් ජනතාවගේ අධ්‍යාපනයේ, සෞඛ්‍ය සේවයේ, සමාජ ආරක්ෂණයේ තත්වයන් මොන තරම් දියුණු කළ හැකිද? රෝහල්වල සමහර සැත්කම් කරගන්න මාස ගණන්, අවුරුදු ගණන් පෝලිමේ ඉන්න වෙනවා. සමහරු ඒ අතර මිය යනවා. සෞඛ්‍ය සේවයේ ඒ තත්වය වෙනස් කරන්න වියදම් වෙන්නේ මේ ‘සංවර්ධන වියදමෙන්’ කොතරම් සුළු කොටසක්ද? ඒක නොකරන්නේ ඇයි? ඒ මේ සංවර්ධනය ඇති හැකි පන්තියට මස් කුට්ටි පිටින් දෙන අතර නැති බැරි පන්තියට මස් කටු විසි කරන විජ්ජාවක් විතරක් නිසා. කළ යුතුව තිබෙන්නේ සමාජයේම සංවර්ධනය ගැන විකල්ප කතිකාවක් වහාම ඇරඹීම.

Advertisements