කෝ සතුරෝ,  කෝ මිතුරෝ? – ගෝඨාගේ PRISM ලිපිය ගැන අදහසක්

IMG_7913.jpgඅමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ජර්නලයකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලියා තිබූ ලිපියක් පිළිබඳව පසුගිය සතියේ පුවත්පත්වල පුවත් පළ විය. ගෝඨාභය එම ලිපිය ලියා තිබුණේ අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රමුඛතම ආරක්ෂක ජර්නලයක් වන PRISM(ප‍්‍රිස්මය) නම් සඟරාවටය. එය ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ EY 2009 ජාතික ආරක්ෂක බලාධිකාරී පනත (National Defence Authorisation Act) යටතේ පිහිටවනු ලැබ ඇති ‘සංකීර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානය’ (Center for Complex Operations – CCO) නම් ආයතනයක් මඟිනි. මෙම ආයතනය 2008 ගිම්හානයේ දී ආරක්ෂක ලේකම් කාර්යාලය (ප‍්‍රතිපත්ති) යටතේ ආරම්භ කොට පසුව 2009 ජනවාරි 30 දිනැති ගිවිසුමක් මඟින් 2009 වසර මුල දී අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට (National Defence Univertsity – NDU) අනුබද්ධ කරන ලදී. මෙම ආයතනය අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක හමුදාවන්ට අධ්‍යාපනය ලබා දීමේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි. ඡුඍෂීඵ නමැති ආරක්ෂක ජර්නලය පිළිබඳව එහි වෙබ් අඩවිය පවසන්නේ එය එක්සත් ජනපද පෙඩරල් නියෝජිතයන් ද හිතවතුන් ද ජාතික ආරක්ෂක මෙහෙයුම්වල කොටස්කරුවන් ද ප‍්‍රතිපත්ති හා උපායමාර්ග සැලසුම්කරුවන් ද ආරක්ෂක විද්‍යා ශිෂ්‍යයන් ද ඉලක්ක කරගත් ජර්නලයක් බවයි. ගෝඨාභය රාජපක්ෂ ‘Sri Lanka’s National Security’ (ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව) යන ශීර්ෂය යටතේ එම ලිපිය ලියා ඇත්තේ උක්ත ආරක්ෂක ජර්නලයේ අංක 4 දරන කලාපයටය.

ගෝඨාභයගේ ලිපියේ පෙළගැස්ම ප‍්‍රධාන කරුණු 3ක් මත පදනම් කරගෙන තිබේ. ඒ ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ සංක්ෂිප්ත ඉතිහාසමය කරුණු පැහැදිලි කිරීමක්, ලංකාවේ ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති අභියෝග හා එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා නිර්මාණය කර ඇති උපායමාර්ගයන් යන ක්ෂේත‍්‍ර තුනය. ලංකාවේ පාලකයන් බි‍්‍රතාන්‍ය පාලකයන් අතින් බලය ගත් දින සිට ජාතික ආරක්ෂාවට අදාළ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් විකාශනය වූ ආකාරය පළමු කොටසින් පැහැදිලි කර ඇත. එහි දී ඔහු කියන්නේ ලංකාව සාපේක්ෂව සාමකාමී රටක් වූ නිසා ආරක්ෂක කටයුතු කෙරෙහි ඉතාම අඩු අවධානයක් තිබූ බවයි. හමුදාවන් හුදු උත්සව අවස්ථා නියෝජනය කිරීමට පමණක් සීමා වූ බවයි. එමෙන්ම 1962 දී අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණය නිසාත් අසල්වැසි රටවල හමුදා කුමන්ත‍්‍රණ නිසාත් හමුදාවේ වර්ධනයන් තවදුරටත් සීමා කිරීමට එවකට පැවැති ආණ්ඩු පියවර ගත් බවයි. ඉන් අනතුරුව ඔහු පවසන්නේ 1971 අරගලය කලින් හඳුනා ගැනීමට නොහැකි වූ ප‍්‍රධාන බාධාව වූයේ ක‍්‍රමවත් ආරක්ෂක සැලැස්මක් නොතිබීම බවයි. බුද්ධි අංශයන්ගේ දුර්වලතාව හා විශේෂයෙන් 1970 දී පොලිස් විශේෂ ඒකකය වසාදැමීම නිසා අරගලය පිළිබඳ කලින් අනාවරණය කරගත නොහැකි වූ බව ඔහු පවසයි. තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ හා අවධාරණය කරන්නේ සාමකාමී කාලවල දී පවා රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත්ව තබා ගැනීමේ හා ඔත්තු බැලීමේ අවශ්‍යතාවයි.

ඉන් අනතුරුව ඔහු 1980 දශකයේ එල්.ටී.ටී.ඊ.ය සමඟ ඇරඹුණු යුද්ධයත් ජ.වි.පෙ. නැඟිටීමත් පැහැදිලි කරයි. එම ක‍්‍රියාවලිය තුළ හමුදාවේ යුද බලය ක‍්‍රමයෙන් වැඩි වූ ආකාරය ද අවසානයේ දී 2009 මැයි මස වන විට යුද්ධය හමුදාවේ ජයග‍්‍රහණයෙන් කෙළවර කරගැනීමට හැකි වූ ආකාරය ද ලිපිය තුළ දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබේ. ලිපිය ආරම්භයේ සඳහන් කර තිබෙන්නේ වර්තමානයේ ලංකාව ලෝකයේ වැඩිපුරම සාමකාමී හා ස්ථාවර රටවල් අතරින් එකක් බවයි. නමුත් එවැනි තත්වයක් තුළ පවා ජාතික ආරක්ෂාවට තර්ජන පැනනැඟී ඇති නිසා ආරක්ෂක අංශ දිගින් දිගටම වර්ධනය කිරීමේත් ඔත්තු සේවාවන් සක‍්‍රීයව පවත්වා ගැනීමේත් අවශ්‍යතාව අවධාරණය කොට තිබේ. වර්තමානයේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන ගණනාවක් පිළිබඳව ඔහු සිය ලිපියේ දෙවැනි කොටසින් අවධාරණය කරයි.

  1. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැවත නැඟිටීමක් සඳහා ඇති විභවය
  2. අන්තවාදී ඉස්ලාම් ප‍්‍රවණතාවක් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති මූලධර්මවාදී කණ්ඩායම් සමඟ ද එක්ව හිස එසවීමේ අවදානම
  3. වාම රැුඩිකල් කණ්ඩායම්වල වර්ධනය විසින් ඇති වන අභියෝගය
  4. වර්ධනය වෙමින් යන ජාතිවාදී හා ආගම්වාදී ප‍්‍රවණතාවන්
  5. මුහුදු සීමාවේ ආරක්ෂාවට අදාළ ගැටලූ
  6. සංවිධානාත්මක අපරාධ රැුල්ලේ වර්ධනය
  7. විදේශ රටවල අත පෙවීම් මඟින් ඇති විය හැකි අභියෝග
  8. සමාජ ජාල වෙබ් අඩවි වැනි සාම්ප‍්‍රදායික නොවන තාක්ෂණය මඟින් ඇති වන අනතුරු

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැවත හිස එසවීමක් පිළිබඳ අදහස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරන්නේ ‘දෙමළ ඊළාමයේ සංක‍්‍රමණික ආණ්ඩුව (TGTE) බි‍්‍රතාන්‍ය තමිල් සංසදය (BTF), ගෝලීය දෙමළ සංසදය (GTF) වැනි ඩයස්පෝරාවේ සංවිධානවල සංවිධානාත්මක ක‍්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ කරමිනි. එල්.ටී.ටී.ඊ.ය පැවැති සමයේ මුස්ලිම් කණ්ඩායම් ආයුධ සන්නද්ධ වූ බවත් යුද්ධයෙන් අනතුරුව ඔවුන් ආත්මාරක්ෂාව පිළිබඳ සීමා ඉක්මවා එම අවි භාවිත කරමින් සිටින බවත් ගෝඨාභය පවසයි. එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සටන් කිරීම සඳහා ආණ්ඩුව විසින්ම මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් ගොඩනැඟූ බවක් අපි දන්නේ නැති නමුත් එම ලිපියේ එවැනි ඉඟි තිබේ. ඔහු පවසන්නේ මෙම සන්නද්ධ කණ්ඩායම් අල්කයිඩා, තලෙයිබාන් වැනි ජාත්‍යන්තර වශයෙන් බලවත් ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් සමඟ එක්ව රට තුළ ත‍්‍රස්තවාදී කටයුතු ව්‍යාප්ත කිරීමේ අවදානමක් ඇති බවයි. ඊළඟට ඔහු පවසන්නේ වමේ රැුඩිකල් කණ්ඩායම් ද අනාගතයේ දී ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට පත් වනු ඇති බවයි. ඒ පිළිබඳව ලිපියේ ලියා ඇති ෙඡ්දයේ සිංහල පරිවර්තනය මෙසේය.

”ත‍්‍රස්තවාදයේ අනතුරට අමතරව ශ‍්‍රී ලංකාව අනෙකුත් අන්තවාදී කණ්ඩායම්වල තර්ජන විභවයකට මුහුණ පා සිටී. මේවා මීට පෙර සන්නද්ධ නැඟිටීම්වල නිරත වූ රැුඩිකල් කණ්ඩායම්වලින් පැවැත එන්නන්ය. මෙම කණ්ඩායම් නැවත වරක් ශ‍්‍රී ලංකාව තුළ සංවිධානය වෙමින් තමන්ගේ අන්ත වාම අරමුණු වෙනුවෙන් ජනතාව යළිත් වරක් පෙලඹවීමට උත්සාහ දරමින් සිටී. එමෙන්ම මෙම සමහර කණ්ඩායම් එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධ නියෝජිතයන් සමඟ ද සබඳතා ඇති කර ගනිමින් ලංකාව තුළ අනාගතයේ ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇත. ශිෂ්‍යයන් නොසන්සුන් කිරීම හා විවිධාකාර උද්ඝෝෂණ හරහා ශිෂ්‍යයන් මහමඟට ගෙන ඒම ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගවලට ඇතුළත්ය. තවමත් මෙම ක‍්‍රියාකාරීත්වයන් ආරම්භක පියවරක පවතිනා මුත් එය ජාතික ආරක්ෂාවට තවත් බරපතළ තර්ජනයක් බවට පත් වනු ඇති බව සැලකිල්ලට ගත යුතුය”

ගෝඨාභය රාජපක්ෂ මෙවැනි අභියෝග ප‍්‍රමාණයක් අවධාරණය කරන්නේ ඇයි? එය අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ජර්නලයකට ලියන්නේ ඇයි? මේ ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡුා කළ යුතුය. සමස්ත ලිපිය හරහා ඔහු උත්සාහ කරන්නේ බරපතළ මර්දනයක් සඳහා තර්ක සාධාරණිකකරණය කිරීමටය. ඔහු පවසන ආකාරයට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ප‍්‍රජාවන් තුළ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයන් ඇති වීමේ අවදානමක් ඇත. ෆේස්බුක්, ට්වීටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි රාජ්‍යයට අහිතකර මතවාද සන්නිවේදනය කරමින් සිටී. ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය ඉහළ යාම නිසා මෙම අන්තර්ජාලය ආශ‍්‍රිත දේශපාලනය මැදපෙරදිග රටවල හෝ ‘අරාබි වසන්තයක්’ දක්වා දුරදිග යා හැකි යැයි ගෝඨාභය අනුමාන කරයි. ඔහුට අනුව ජනතාවගේ සන්නද්ධ නැඟිටීමක් හෝ පුළුල් මහජන වීදි බැසීමක් සඳහා විභවයක් ඇත. එවැන්නක් වළක්වාලිය හැක්කේ දැඩි මර්දනය මඟිනි. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ දී ආරක්ෂක අංශ වර්ධනය කිරීම ගැන ද ඔත්තු සේවාවන් ව්‍යාප්ත කිරීම ගැන ද ඔහු පවසයි. සමාජ ජාල වෙබ් අඩවි වැනි විකල්ප සන්නිවේදන ක‍්‍රියාකාරීත්වයන් මර්දනය කිරීම ගැන ද ඉඟි කරයි. ඒ අතර ලිපිය අවසානයේ දී ඔහු නිශ්චිතවම අලූතින් විiුත් හැඳුනුම්පතක් හඳුන්වාදීම විසඳුමක් ලෙස ඉදිරිපත් කරයි. ඔහු කියන්නේ ජාතික ආරක්ෂාවට ඇති අභියෝග සැලකිල්ලට ගෙන සෑම පුරවැසියකුගේම ජීව ලක්ෂණ (Bio – Metrics) එකතු කළ යුතු බවයි. ජීව ලක්ෂණ යනු ඇඟිලි සලකුණු, ඇසේ ලක්ෂණ, රුධිර ගණ, ඞී.එන්.ඒ. සිතියම් වැනි ශරීර අභ්‍යන්තරයේ තොරතුරුය. එහි දී ඔහු සලකා බලනුයේ සෑම පුරවැසියකුම අපරාධකරුවකු බවට පත්වීමේ ඉඩ ගැනය. විසඳුම සියලූම පුරවැසියන් ගැන ඔත්තු බලමින් රටම එළිමහන් සිරකඳවුරක් බවට පත් කිරීමය.

ගෝඨාභය රාජපක්ෂ මෙම කරුණු අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ජර්නලයකට ලිපියක් ලෙස ලියන්නේ ඇයි? PRISM  නැමැති ජර්නලය කියවන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය ජනතාව නොවේ. ගෝඨාභය මේ ලිපිය හරහා ආමන්ත‍්‍රණය කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා ඉහළ මිලිටරි බලධරයන්ය. ඒ අයට ගෝඨාභය කියන්නේ ‘අපේ සතුරෝ ඔබේත් සතුරෝයි. සතුරාගේ සතුරා මිතුරා ලෙස පිළිගෙන අපට මිතුරු ප‍්‍රතිචාර දක්වන්න’ ගෝඨාභය කියන්නේ මේ කරුණම බව තහවුරු වන්නේ ඔහු ලංකාවේ ජාතික ආරක්ෂාවට ඇති ප‍්‍රධාන අභියෝග ලෙස දක්වන කරුණු දෙස බලන විටය. ඔහු දක්වන ප‍්‍රධාන කරුණු තුන දෙස බලන්න. බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක අනතුර, ඉස්ලාම් මූලධර්මවාදයේ අනතුර, වාමාංශිකයන්ගෙන් එන අනතුර. මෙම කරුණු තුනම අමෙරිකානු ප‍්‍රභූ තන්ත‍්‍රය ද සිය අභියෝගයන් ලෙස භාරගෙන ඇති අනතුරුය. ඔවුන් කිසිසේත්ම සන්නද්ධ නැඟිටීමකට ඉස්ලාම් මූලධර්මවාදයේ නැඟිටීමකට හෝ ඊටත් වඩා වාමාංශයේ බලවත් වීමකට එකඟ නැත. ගෝඨාභය ඉඟි කරන්නේ ‘ඔබෙත් අපේත් සතුරන් එකමයි. ඒවා මර්දනයට අපට බාධා කරන්න එපා’ කියාය. එහි දී ඔහුගේ අරමුණ මානව හිමිකම් උල්ලංඝනය යුද අපරාධවලට වගවීම වැනි කරුණු අරබයා අමෙරිකා එක්සත් ජනපදයෙන් එන පීඩනය අවම කර ගැනීමය. එපමණක් නොව අනාගතයේ දී වැඩි වැඩියෙන් ජනතාවගේ ගෙල සිර කිරීමට හේතු පැහැදිලි කිරීමය. අජිත් නිවාඞ් කබ්රාල් රුපියල් කෝටි 9ක් වැය කර අමෙරිකානු සඟරාවල ලිපි පළ කළ අතර ගෝඨාභයගේ ලිපි පළ කිරීමට ගිය වියදම අප දන්නේ නැත. එහෙත්

පසුගිය සතියේ ජනරළ හෙළිදරව් කළ පරිදි අමෙරිකා එක්සත් ජනපද පාලකයන්ගේ මිත‍්‍රත්වය වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව මහජන මුදල් රුපියල් ලක්ෂ 3837ක් වැය කොට තිබේ. මේ ලිපිය ද එම ව්‍යාපෘතියේම කොටසකි.

නමුත් මෙය හුදු පෙම් හසුනක් පමණක් නොවේ. ලංකාවේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වැඩි වැඩියෙන් උල්ලංඝනය කෙරෙන ලකුණු මෙන්ම ඒකාධිපතිවාදයේ තොණ්ඩුවෙන් ලාංකේය සමාජයේ ගෙල වැඩි වැඩියෙන් සිර කරන ලකුණු පෙනෙන්නට තිබේ. ලංකාවේ පාලකයන් සිය සතුරන්ගේ සතුරන් සොයා ලෝකය පුරා ඇවිදින අතර ලංකාවේ පීඩිත ජනතාව සිය මිතුරන් සොයා ලෝකය වෙත හැරිය යුතුය. විසඳුම එය පමණි.

Advertisements