නාවික හමුදාව විල්පත්තුව වැනසීම

Wilpattu-destructionsවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදිකරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එලූවන්කුලම – සිලාවතුර මාර්ගය දිගේ කිලෝමීටර 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත.

ජාතික ආරක්ෂාවට යැයි සඳහන් කරමින් විල්පත්තු වනාන්තර පද්ධතිය ඛණ්ඩනය කරමින් අලි – ඇතුන් ඇතුළු සියලූ වන සතුන්ගේ වාසස්ථාන තර්ජනයට ලක් කරමින් නීති විරෝධී ලෙස මෙම පස් බැම්ම ඉදි කරයි. වන සතුන්ගේ වාසස්ථාන හා වනාන්තර ප‍‍්‍රදේශ එළි පෙහෙළි කරමින් ඩෝසර් යන්ත‍‍්‍ර භාවිත කරමින් පස් කැණීම් කර මෙම පස් බැම්ම මේ වන විට ඉදිකරමින් පවතී.

මේ පිළිබඳ ව නාවික හමුදාව ප‍‍්‍රකාශ කරන්නේ ”එල්.ටී.ටී.ඊ. ත‍‍්‍රස්ත තර්ජන” තවමත් පවතින බැවින් ආරක්ෂාව සඳහා මේ දැවැන්ත පස් බැම්ම ඉදිකරන බව ය. හාස්‍යජනක කරුණ නම් යුද්ධය පැවැති සමයේ දී හෝ මෙවන් අවශ්‍යතාවක් මතුව නොතිබූ තත්වයක් තුළ අද වන විට නාවික හමුදාව මෙලෙස විශාල වනාන්තර ප‍‍්‍රදේශයක් ආවරණය කරමින් පස් බැම්මක් ඉදි කරන්නේ කුමක් සඳහාද යන්න ය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ අක්කර 900ක් පමණ වන මේ සම්පූර්ණ වනාන්තර ප‍‍්‍රදේශය ආවරණය වන ලෙස පස් බැම්ම ඉදිකර එම භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බව ය.

නාවික හමුදාව මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර හා ජනතාවගේ ඉඩම් කොල්ලකමින් සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම අඛණ්ඩ ව සිදු කරමින් පවතී. අම්පාර, පානම ප‍‍්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව වගාබිම්වලින් හා ජනාවාසවලින් බලහත්කාරයෙන් පලවා හැර වනාන්තර ඇතුළු ව අක්කර 1220ක භූමියක් කොල්ලකා මේ වන විට හෝටල් ඉදිකර දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරමින් සිටී.

ලංකාවේ පාරිසරික නීති තුට්ටුවකට මායිම් නොකරමින් නාවික හමුදාව විසින් මේ වනාන්තර විනාශයේ යෙදෙන්නේ කාගේ උවමනාවටදැයි ප‍‍්‍රශ්නයකි. අද වන විට රජයේ උවමනාවන් මත සංචාරක කටයුතු සඳහා ඉඩම් කොල්ලකෑම නාවික හමුදාව විසින් දිගින් දිගටම සිදු කරන බව තහවුරු වී තිබේ.

මොල්ලිකුලම් ප‍‍්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කරන මේ සමස්ත සංවර්ධන කටයුතු සිදු කරන්නේ පාරිසරික අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍‍්‍රයාත්මක කිරීමට ප‍‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් එම ව්‍යාපෘතිය කි‍‍්‍රයාත්මක කළ යුතු ය. නමුත් එවන් කිසිදු අනුමැතියක් මේ සඳහා ලබා ගෙන නැත.

සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන් කරගැනීම, පස් කැණීම යන නීති විරෝධී ක‍්‍රියා

රැුසක් සිදු කර ඇති අතර එම නීති උල්ලංඝනය කරන සියලූ පාර්ශ්වයන්ට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත.

වන සංරක්ෂණ ආඥා පනතේ මෙම වගන්තියට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම්වල නීති විරෝධී ක‍්‍රියාවක නිරත වීම හා ඒ සඳහා ආධාර හෝ අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එම නීති විරෝධී ක‍්‍රියාවක නිරත වන හෝ ඒ සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු වරදකරුවකු වන අතර වසර 2ක් නොඉක්මවන බන්ධනා-

ගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය.

පස් බැම්ම ඉදි කිරීම සඳහා වනාන්තර අක්කර 50කට වැඩි ප‍‍්‍රදේශයක් මේ වන විට එළි පෙහෙළි කර පස් ලබා ගැනීම සිදු කර ඇත. ඒ අනුව මෙම සංවර්ධන ක‍්‍රියාකාරකම් ආරම්භ කිරීමට ප‍‍්‍රථම සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍‍්‍රකාශිත 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 කට වැඩි (අක්කර 2.5 ක් පමණ වන ඉඩම් ප‍‍්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ‍‍්‍රිත නොවන ප‍‍්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප‍‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව කටයුතු කර අදාළ පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

මේ පාරිසරික නීති සියල්ලම උල්ලංඝනය කරමින් මේ සංවර්ධන කටයුතු නාවික හමුදාව විසින් සිදු කරන්නේ මේ ප‍‍්‍රදේශයේ තවම සිවිල් පරිපාලනයක් ක‍්‍රියාත්මක නොවන බවට සාක්ෂි සපයමිනි. පසුගිය කාලයේ දී නාවික හමුදාව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා කිලෝමීටර 35ක් දිග මාර්ගයක් ඉදි කළේ ද වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමිනි. එහි දෙවන අදියර ලෙස මේ ආකාරයෙන් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් සීටී.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංචාරක හෝටල් ඉදිකිරීම හෝ සංචාරක කටයුතු ක‍්‍රියාත්මක කිරීමට හැකියාව නොමැත. එවන් නීතිමය තත්වයක් යටතේ ජාතික වනෝද්‍යාන පාලනය වන්නේ මායිම් ප‍‍්‍රදේශවලින් ජාතික වනෝද්‍යානයේ ජෛව ප‍‍්‍රජාවගේ පැවැත්මට එල්ල විය හැකි හානිකර බලපෑම් පාලනය කිරීම සඳහා ය. නමුත් නාවික හමුදාව විසින් මේ සියල්ල මේ වන විට ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැවැත්ම දරුණු ලෙස තර්ජනයට ලක් කරමිනි.

ලංකාවේ සුවිශේෂී ජාතික වනෝද්‍යානයක් මෙන්ම ජාත්‍යන්තරව වැදගත් රැම්සා තෙත් බිම් 6 අතුරින් එකක් වන මෙම් සුවිශේෂී වනෝද්‍යානය මායිමේ එහි පැවැත්මට දැවැන්ත බලපෑම් එල්ල වන ලෙස නාවික හමුදාව මෙම නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීම පිළිබඳ ව අපි කනගාටු වෙමු. මේ ආකාරයෙන් රටේ ස්වාභාවික සම්පත් වැනසීමට නාවික හමුදාව විසින් ක‍්‍රියාත්මක වීම හා රජය විසින් ඒ සඳහා ඔවුන් ව යොමු කිරීම පිළිබඳව රටේ සුබසිද්ධිය ගැන සිතන පරිසර සංවිධාන ලෙස අප මේ ක‍්‍රියා ව තරයේ හෙළා දකිමු.

මේ ක‍්‍රියාවල ප‍‍්‍රතිඵලයක් ලෙස අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍‍්‍රජාවගේ වාසස්ථාන විනාශ වීම හා ඛණ්ඩනය වීම පමණක් නොව පාංශු ඛාදන තත්වයන් ද දරුණු ලෙස වර්ධනය විය හැකි ය.

ඊසානදිග මෝසම් වර්ෂාව සක‍්‍රිය වන ඉදිරි කාලයේ දී මේ පස් බැම්ම සේදී ගොස් අධික රොන් මඩ ප‍‍්‍රමාණයක් මෝදරගංආරු ඔයට එක් විය හැක. මීට අමතර ව මේ දැවැන්ත පස් කැණීම හේතුවෙන් මේ ප‍‍්‍රදේශයේ පවතින අධික පුරාවස්තු ප‍‍්‍රමාණයට විශාල හානි සිදු විය හැක. නාවික හමුදාව විසින් නීති විරෝධී ලෙස විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා මාර්ග ඉදිකිරීමේ දී ද විශාල පුරාවස්තු ප‍‍්‍රමාණයක්

පසුගිය කාලයේ දී විනාශයට ලක් කෙරිණි. අද වන විට ද සිදු කරන්නේ එම ක‍්‍රියාවන් ම ය. ඩෝසර් යන්ත‍‍්‍ර යොදා ගනිමින් පස් කැණීම් කර මේ පස් බැමි සකස් කිරීමේ දී පුරාවස්තු විශාල ප‍‍්‍රමාණයකට හානි සිදු විය හැක. රටේ ආරක්ෂාවට සිටින නාවික හමුදාව මෙවන් දේ සිදු කිරීම පිළිබඳව අපි කනගාටු වෙමු. රජයේ වැරැුදි ප‍‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග නාවික හමුදාව යොදා ගනිමින් මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ව ද අපි කනගාටු වෙමු.

මෙලෙස නාවික හමුදාව වනසන්නේ ලංකාවේ සුවිශේෂී වනාන්තර පද්ධතියක කොටසක් බව ඔවුන් නොසිතීම පුදුමයට කරුණකි. විල්පත්තුව යනු රක්ෂිත ප‍‍්‍රදේශ සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප‍‍්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත‍‍්‍රික්ක දෙකට අයත් එහි භූමි ප‍‍්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වැනි දින හෙක්ටයාර 7021.4ක් ද 1969.08.27 වැනි දින හෙක්ටයාර 22981.4ක් ද 1969.12.05 වැනි දින හෙක්ටයාර 25252.9ක් හා 1973.12.07 වැනි දින හෙක්ටයාර 21484.8ක් වශයෙන් කොටස් 5ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප‍‍්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප‍‍්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් එක් වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැඟී ඇත. එනම් කල්ආරු වනාන්තරය, විල්පත්තුව උතුරු අභය භූමිය, තබ්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ – එලූවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. විල්පත්තුව වනාන්තර පද්ධතිය හේතුවෙන් වනජීවීන් අතිබහුතරයකට ලැබුණු රැුකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංගාවන්ගේ ජල පෝෂක ප‍‍්‍රදේශ ලෙස මේ වනාන්තර පද්ධතියෙන් ලැබුණු

රැුකවරණය මෙම හානි කර කි‍‍්‍රයා නිසා අහිමි වී යයි.

විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංගාවන්ගේ ජල පෝෂක ප‍‍්‍රදේශයක් පමණක් නොව අතිදැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපණ්ණිය පිහිටා ඇත්තේ ද මේ ප‍‍්‍රදේශයේ ය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැුඳී ඇත්තේ ද විල්පත්තු වනාන්තර පද්ධතිය තුළ ය.

IUla‍N Sri Lanka, (2006* Resource Inventory fo WilÉttu Natioíl Pqark” IUla‍N Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අතිබහුතරයකින් සැදුම්ලත් ප‍‍්‍රදේශයකි. වියළි මිශ‍‍්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, ගංගාශ‍‍්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැකගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධතිවලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ.

සමනලූන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ මෙහි වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.

Gooítilake, W.L.D.Pq.T.S. de a (2006* archaeologiÊlly important sites in WilÉttu Natioíl Pqark’ Pqresent statñ and new finding  වාර්තාවට අනුව විල්පත්තු වනාන්තරය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ප‍‍්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර පොසිල සහිත ප‍‍්‍රදේශ, ප‍‍්‍රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම වනාන්තරය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප‍‍්‍රදේශයේ හමු වන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3 1/2ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමු වන බිම් ය.

එවන් ප‍‍්‍රදේශයක් මෙලෙස නාවික හමුදාව යොදා ගෙන වැනසීම වහාම නතර කළ යුතු ය. අප වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ මේ හානිකර ක‍්‍රියා වහාම නතර කිරීමට අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය.  අනාගතයේ දී ද මෙවන් වැරැුදි ප‍‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා නාවික හමුදාව යොදා නොගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු.

රජයේ වැරැුදි ප‍‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් නාවික හමුදාව මෙහෙයවීම ද වහාම නතර කළ යුතු ය. එසේ නොමැති වුවහොත් රටේ සමස්ත ජෛව සම්පත් ආරක්ෂක අංශ විසින් ම විනාශ කිරීම නුදුරු අනාගතයේ දීම සිදු වනු ඇත.

Advertisements