අලුත්ගම කැපුම් තුවාල, වෙඩි වැදීම් බවට පත් වේ

soldier-3-hiඅපට මොහොමඞ් සහිරාන්ගේ බිරිඳත් එම්.එන්.එම්. සිරාස්ගේ බිරිඳත් හමුවීමට ඕනෑ විය. සිරාස්ගේ බිරිඳ හමුවීමට අපි ඇය නතර වී සිටි ඥාතියකුගේ නිවසකට ගියෙමු. ඔවුන් අපට උදව් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වීමු. එහෙත් අපට ඇය හමුවීමට හැකි නොවීය. ඇය වෙනත් නිවසකට ගොසිනි. එහි ගොස් ඇය හමුවීමට අපට අවසර නැත. පසුව අපි සහිරාන්ගේ බිරිඳ හමුවීමට ගියෙමු. ඇය නිවසේ සිටියාය. එහෙත් ඇය ද අපට හමු නොවීය. ඊට ද අපට අවසර නැත.

ඉස්ලාම් ආගමට අනුව තවමත් ඔවුන් දෙදෙනා ඉටු කරමින් සිටින්නේ ‘ඉන්දා’ නමැති චාරිත‍්‍රයයි. එම චාරිත‍්‍රය අවසන් වන තුරු ඔවුන්ව කිසිදු පිරිමියකුගේ නෙත නොගැටිය යුතුය. තමන්ගේ පියා, තමන්ගේ් පියාට දාව උපන් දරුවන් හා සැමියාගේ පියා හැර අන් කිසිදු පිරිමියකුගේ නෙත ගැටීමට ඔවුන් දෙදෙනාට ඉඩක් නැත. ‘ඉන්දා’ චාරිත‍්‍රය අනුගමනය කරන කාන්තාව සිටින නිවස වටා තාප්පයක් හෝ වෙනත් ආවරණයක් නැත්නම් ඇයට සිදු වන්නේ ඒ මුළු කාලයම නිවසේ කාමරයක සිරවී ගෙවා දැමීමටයි. ඇය හමුවීමට අවසර නැති පිරිමියකු නිවස තුළ නොසිටින අවස්ථාවක නම් නිවස තුළට පැමිණීමට හැකිය. නිවස වටා තාප්පයක් හෝ එවැනි ආවරණයක් තිබේ නම් ඒ තුළ ගත කිරීමේ අවසරය ඇයට හිමි වේ. ‘ඉන්දා’ චාරිත‍්‍රය අනුගමනය කරන කාන්තාවක් සිටින නිවසකට වෙනත් පිරිමි අයකු පැමිණෙන්නේ නම් නිවසට ඇතුළු වීමට පෙර තමන් පැමිණෙන බව දැනුම්දීම සිරිතයි. මේ චාරිත‍්‍රය ආරම්භ වන්නේ සැමියා මිය ගිය දිනයේ සිටය. එතැන් පටන් මාස හතරක් හා දින 10ක කාලයක් ‘ඉන්දා’ චාරිත‍්‍රය අනුගමනය කළ යුතුය.

මොහොමඞ් සහිරාන්ගේ බිරිඳත් සිරාස්ගේ බිරිඳත් ‘ඉන්දා’ චාරිත‍්‍රය අනුගමනය කිරීම ආරම්භ කළේ පසුගිය ජුනි මස 15 වැනිදාය. එදා දිනය කිසිවකුට අමතක විය නොහැකිය. ඒ, ආණ්ඩුවේ දඩබල්ලන් අලුත්ගම දී ලිහා දැමූ දවසයි. මොහොමඞ් සහිරාන්ට හා එම්.එන්.එම්. සිරාස්ට ජීවිත අහිමි වූයේ ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් සිව් මසක් තිස්සේ කාමර අඩස්සියට පත්ව දුක් විඳිමින් සිටින්නේත් එදින ‘එල්ලයකින් තොරව පත්තු වූ’ තුවක්කු නිසාය.

ඔවුන් දෙදෙනාගේ මරණවලට හේතුව කැපුම් තුවාල යැයි ආණ්ඩුවේ ප‍්‍රකාශකයෝ පළමුව පැවසූහ. අධිකරණ වෛi නිලධාරී වාර්තාවක් පෙන්වමින් දෙවනුව ඔවුන් පැවසුවේ එක් අයකු කැපුම් තුවාලවලින් මිය ගිය බවත් අනෙක් මරණයට හේතුව වෙඩි වැදීම බවත්ය. එහෙත් පසුගිය ජූලි 31 වැනිදා කළුතර අතිරේක මහෙස්ත‍්‍රාත් ඒ. අබ්දීන් හමුවේ සාක්ෂි දෙමින් නාගොඩ රෝහලේ අධිකරණ වෛi නිලධාරී හේමන්ත හරිශ්චන්ද්‍ර පැවසුවේ දෙදෙනාගේම මරණවලට හේතුව වෙඩි වැදීම බවයි.

මරණවලට හේතුව වෙඩි වැදීම නම් වෙඩි තැබුවේ කවුද? ඔවුන් වෙඩි තැබීමට භාවිත කළ තුවක්කු මොනවාද? ඒවා අයත් කාටද? තුවක්කු හා පතරොම් නිකුත් කරන ලද්දේ කවුරුන් විසින්ද? ඒවා දර්ගා නගරයට රැගෙන ආවේ කවුද? ඒ කෙසේද? කවදාද? කුමක් සඳහාද? වෙඩි තැබීමෙන් පසුව ඒ තුවක්කු රැුගෙන ගියේ කවර ස්ථානයකටද? කවුරුන් විසින්ද? කෙසේද? දැන් ඒ ගිනි අවි ඇත්තේ කා සතුවද? අධිකරණයේ නියෝගය පොලිසිය ඉටු කරන්නේ නම් මේ ප‍්‍රශ්න වැලට උත්තර ලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ දක්වා කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත. ඒ ඇයි?

සිද්ධිය වූ ස්ථානයේ මුරපොළේ සේවය කළ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් හය දෙනාගේ ගිනි අවි පමණක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එය ප‍්‍රමාණවත්ද යන සැකය සියලූ දෙනා හමුවේ පැනනැඟී තිබේ.

”ගිනි තියපු ගෙවල් හදලා තියෙනවා. විනාශ වුණු දේපළ දෙන්න පුළුවන්. ඒත් මැරුණු අය ආපහු දෙන්න බෑ. වෙඩි තියපු අය ඉක්මනට අත්අඩංගුවට ගන්න. හරියට පරීක්ෂණයක් කරනවා නම් කවුද වෙඩි තිව්වේ කියලා සොයා ගන්න පුළුවන්.” එසේ කියන්නේ සහිරාන්ගේ මස්සිනා මොහොමඞ් මුසාදීන්ය.

මිය ගිය අය වෙනුවෙන් කළ හැකි සාධාරණය වෙඩි තැබූවන්ට දඬුවම් කිරීම පමණක් නොවේ. ඔවුන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ මුළුමහත් සමාජයක් කළ වරදකටය. එය නිවැරැුදි කළ හැක්කේ එවැනි වැරදි නොකරන සමාජයක් බිහි කිරීමෙන් හැර අන් කවර ආකාරයකින්ද? සාධාරණය ඉටු කිරීම යනු එයයි. ඒ වගකීම අද ජීවත්ව සිටින සියලූ දෙනාගේමය. අප අෆ්කර්ගේ නිවසේ ගේට්ටුව ළඟින් ත‍්‍රිරෝද රථයෙන් බසින විට ඔහු කිහිළිකරුවලින් පැමිණියේය.

”ඉස්සර උදේ පහට නැඟිට්ටා. පල්ලි ගියා. ඊට පස්සේ බේරුවල ටෙක් එකට ගියා. ජිම් එකට ගියා. යාලූවොත් එක්ක ඇවිද්දා. ෆුට්බෝල් ගැහුවා. දන් උදේ අටට විතර නැඟිටිනවා. කරන්න දෙයක් නෑනේ. අයියගේ කඬේ ළඟට යනවා. කම්මැලි හිතුනාම ඇවිත් ටී.වී. බලනවා. ෆුට්බෝල් ගහනවා බලන්න යනවා.”

DSC08393අෆ්කර්ගේ වයස අවුරුදු 20කි. ඔහුට දකුණු පාදයේ දණහිසට පහළ කොටස අහිමි වී තිබේ. ”තාම තරුණ වයසනේ. මට දුකයි. කෝටි ගාණක් දුන්නත් කකුල දෙන්න බෑ. වෙඩි තියපු අයට දඬුවම් කරන්න ඕන.” අප අෆ්කර් සමඟ කතා කරමින් සිටි මුළු කාලය පුරාම ඔහුගේ මව මොනොව්වරන් සිය පුතු දෙස බලා සිටියාය. ඇයගෙන් ඕනෑවට වඩා තොරතුරු අසා ඇය හැඬවීමට අපට අවශ්‍ය නොවීය.

”වෙඩි වැදිලා පැය 8ක් ඇතුළත ඔපරේෂන් එක කළා නම් කකුල බේර ගන්න තිබුණා කියලා කොළඹ මහ රෝහලේ ඩොක්ටර්ස්ලා කිව්වා.” අෆ්කර් ඇතුළු පිරිස දර්ගා නගරයෙන් රැුගෙන යන්නේ වෙඩි වැදී පැයකට පසුවයි. දර්ගා නගරයේ රෝහලට ගෙන ගිය ඔවුන් වහාම නාගොඩ රෝහලට ගෙන යනු ලැබීය. නාගොඩ රෝහලේ දී මුහුණ දීමට සිදු වූ තත්වය ගැන ඔහු අදත් කතා කරන්නේ වේදනාවෙනි.

”උඹ හොඳට හයිය තියෙන කොල්ලෙක්. ඕන දෙයක් පෙරළගෙන නැඟිටින්න පුළුවන්. කකුල නැති වුණා කියලා ජීවිතේ අතහරින්න එපා. උඹ දෙපයින් නැඟිටපං”

ඔහුගෙන් ඉල්ලා සිටිමින් අපි අෆ්කර්ගේ නිවසින් සමුගතිමු.

අවුරුදු 18ක් වන මිර්ෆාත්ගේ වකුගඩුවක් තුළ උණ්ඩයක් ඇතැයි වෛද්‍යවරුන් කියන බව ඔහුගේ පියා කීවේය. එහෙත් ඔවුන් නඩුමඟට පිවිසෙන්නේ නැත. ”දරුවා තාම ඉගෙන ගන්නවානේ” ඔහු කී ඒ වචනවල අර්ථය එයම නොවන බව ඔහුගේ ඇස් අපට කීවේය. ඔහු මාධ්‍යයට කරුණු කීමටවත් උනන්දුවක් දක්වන්නේ නැත.

සිත් පාරන්නට අපට අවශ්‍ය නැත. එහෙත් සාධාරණය ඉටු විය යුතුය. අසාධාරණයට ලක්ව සිටින්නේ කවුද? මිය ගිය අය පමණක්ද? ඔවුන්ගේ ඥාතීන් පමණක්ද? අෆ්කර්ලා, මිර්ෆාත්ලා ඇතුළු තුවාල ලැබූවන් පමණක්ද? දේපළ අහිමි වූවන් පමණක්ද?

තැතිගැන්මට පත් වූවන් පමණක්ද? නැත. ජාතිවාදය විසින් තැතිගැන්වීමට ලක් වූවන් මෙන්ම තැතිගන්වන්නන්ද අසාධාරණයට ලක් කරනු ලැබ තිබේ. අසරණ කරනු ලැබ තිබේ. සාධාරණය ඉටු කිරීම අලූත්ගම සිදුවීම්වලට සම්බන්ධ වූවන්ගේ පමණක් වගකීමක් නොවේ. එය මුළුමහත් සමාජයේම වගකීමයි. අලූත්ගම සිදුවීම් අමතක වෙමින් තිබුණ ද ඒ වගකීම වියැකෙන්නේ නැත.

ජනක තුෂාර

Advertisements