මාළු හොරුන්ට කොඩිය විකිණීම

Chinese-fishermenකරදිය ධීවර කර්මාන්තය කාලාන්තරයක් තිස්සේ මෙරට සාම්ප‍්‍රදායික පන්න ක‍්‍රම ඔස්සේ සිදු විය. එය නොගැඹුරු මුහුද ආශ‍්‍රය කරගෙන සිදු වූ අතර මෑතක සාගර සීමා පුළුල් වීමක් ද සිදු විය. ලංකාවේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ දී ලාභදායීම වන්නේ මත්ස්‍ය හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීමයි. එහෙත් ඊට සාපේක්ෂව කර්මාන්තයේ පුළුල් වීමක් හා දියුණු තාක්ෂණික ක‍්‍රම පාවිච්චි කිරීමක් පිළිබඳව වන උනන්දුව නම් පේන මානයකවත් නැති තරම්ය.

බහුදින යාත‍්‍රා උපයෝගී කරගෙන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම මෑතක සිට තරමක් දියුණු මට්ටමකට ගෙන ආව ද ධීවරයන් හා ධීවර සංවිධාන පවසන්නේ ධීවර උපකරණ මත පටවා ඇති බදු නිසා කර්මාන්තය සංවර්ධනය වන දිශාවට යනවාට වඩා කෙසේ හෝ පවත්වාගෙන යාම පමණක් කළ හැකි බවයි. ධීවර කර්මාන්තය සඳහා වගකියන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය හුදෙක් නමට පමණක් ඇති බව ඔවුන්ගේ මතයයි.

මෙවර මහා පරිමාණයෙන් මත්ස්‍ය සම්පත නෙළා ගන්නා ව්‍යාපාරිකයන්, මසුන් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන බහුතරයක් අපනයනය කරනු ලබයි. ඒ යුරෝපා සංගමයට අයත් රටවලටය. එමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 22ක් පමණ මුදලක් ලංකාවට ලැබේ. එහෙත් 2012 දී යුරෝපා සංගමය මඟින් ලංකාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් සිදු කරන්නේ, යුරෝපා සංගමය හා අන්තර්ජාතිකව පිරිසක් සාගර නීති ලංකාව මාළු ඇල්ලීමේ දී උල්ලංඝනය කරන බවයි. මසුන් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනයේ දී යුරෝපා සංගමය සලකා බලන ප‍්‍රමිතීන්ට ගරු කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන් ‘නීති විරෝධී – අවිධිමත් – වාර්තාගත නොවූ’ (Illegal, Unreported and Unregulated – IUU) ලෙස නම් කළ කොන්දේසීන්ට අනුකූල නොවන ලෙස අල්ලා ගන්නා මත්ස්‍ය හා නිෂ්පාදන ඔවුන් ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රකාශ කරයි. ඒ අනුව ලංකාවට ඉහත තත්වයන් ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට වසර දෙකක කාලයක් 2012 සිට ලබා දී තිබේ. එම වසර දෙකේ කාලය පසුගිය සැප්තැම්බර් 26 දිනෙන් අවසන් වූ අතර, යුරෝපා සංගමයේ සමුද්‍ර හා ධීවර කටයුතු භාර කොමසාරිස් මාරියා ඩමනාකි ලංකාවට තවත් මාස 03ක කාලයක් ලබා දීමට යෝජනා කර ඇත. එහෙත් ඔවුන් මේ පිළිබඳව ඉතා තදින් ක‍්‍රියාත්මක වන බව එහි දී ඔවුහු ප‍්‍රකාශ කරති.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි පවසන්නේ මීට පෙර ගැඹුරු මුහුදේ මාළු අල්ලන යාත‍්‍රා ලියාපදිංචි නොකර තිබුණ අතර ඒවා ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවයි. ඉහත IUU ප‍්‍රතිපත්ති ගැන තදින් බලමින් ක‍්‍රියාත්මක වීමට කටයුතු සූදානම් කර ඇති බව ඔහු පවසයි. මේ පිළිබඳව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇති බව ද එහි දී අල්ලා ගන්නා මාළු පිළිබඳ ලොග් සටහන් පවත්වා ගැනීම ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බව ද ඔහු පවසයි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ දී යුරෝපා සංගමය පවසන ආකාරයේ ප‍්‍රමීතීන් ලංකාව උල්ලංඝනය කර තිබේද? යන පැනය තිබේ. ලංකාවේ යාත‍්‍රාවල යාත‍්‍රා අධීක්ෂණ පද්ධති වීඑම්එස් නොමැතිකම, අල්ලා ගන්නා මසුන් පිළිබඳ තොරතුරු නොමැති වීම, අල්ලා ගන්නා මසුන් ප‍්‍රතිනැව්ගත කිරීම යනාදී වශයෙන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන් උල්ලංඝනය වී ඇති බව යුරෝපා සංගමය චෝදනා කරයි.

විශේෂයෙන් ම චීන යාත‍්‍රා සඳහා ලංකාවේ ජාතික කොඩි දමාගෙන ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ලංකා රජය ඉඩ ලබා දී තිබේ. චීන යාත‍්‍රා අටක් මෙලෙස මාළු අල්ලා ඇති බවට යුරෝපා සංගමය චෝදනා කරයි. යම් යාත‍්‍රාවක් ධීවර කටයුතුවල ජාත්‍යන්තර මුහුදේ නියැළේ නම් ඔවුන් තමන් අයිති රටේ ජාතික කොඩි ප‍්‍රදර්ශනය කළ යුතු බව ජාත්‍යන්තර පිළිගැනීම

හා නීතියයි. ඔවුන් ඒ කොඩිය අයත් රටේ ලියාපදිංචි යාත‍්‍රාවක් විය යුතුය. එසේ ම එම යාත‍්‍රාව විසින් සිදු කරන ක‍්‍රියාකාරකම් සඳහා අදාළ රට වගකිව යුතුය.

ධීවර සංගම් හා ධීවරයන් කියා සිටින්නේ වීඑම්එස් පද්ධතිය සවි කිරීමට රුපියල් එක්ලක්ෂ අසූදාහක් පමණ මුදලක් වැය වන අතර ඒ තරම් මුදලක් වැය කිරීමට නොහැකි බවයි. ලංකාවේ බහුදින යාත‍්‍රා බොහොමයක ක‍්‍රියාත්මක වන්නේ මරුවැල් පන්න ක‍්‍රමයයි. කිලෝමීටර 10ක 15ක පමණ බිලීකටු අමුණන ලද යොත් මඟින් මාළු අල්ලනු ලැබේ. මෙහි දී ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය වීම ද සිදු වීම වැළකිය නොහැකි බව ධීවරයන්ගේ මතයයි.

යුරෝපයට මාළු සපයන ලද බේලීස්, කාම්බෝජය, ගිනි යන රටවල්වලින් යුරෝපා සංගමය මාළු ආනයනය අත්හිටුවා ඇත්තේ ඉහත කියන ලද කොන්දේසි සම්පූර්ණ නොකිරීම නිසයි. යුරෝපා සංගමය ලංකාවට තව මාස තුනක කාලයක් සඳහා අනතුරු අඟවන්නේ ලංකාවේ මත්ස්‍ය අපනයනකරුවන්ගේ අනාගතය පිළිබඳ බියකරු චිත‍්‍රයක් මවමිනි.

ලංකාවේ කොඩි සහිතව චීන යාත‍්‍රා මාළු ඇල්ලීමත් ධීවර කර්මාන්තය සඳහා ඉලක්කසහගත වැඩපිළිවෙළක් නොතිබීමත් යන්නට හැර බලා හිඳීමේ ධීවර අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්තියත් ඉහත තත්වය උග‍්‍ර කිරීමට ඉවහල් වී තිබේ. චීනය සඳහා ලංකා භූමිය ලබා දීමේ කොන්දේසි විරහිත භාවය පිළිබඳවත් යුරෝපා සංගමය චීනය පිළිබඳ දක්වන සතුරු ආකල්පයත් අතර හිර වන ලංකාවේ ධීවර කර්මාන්තය පිළිබඳ බියක් දනවයි. ධීවර අමාත්‍යාංශය ධීවරයන් සඳහා ප‍්‍රමිතියෙන් තොර මාළු ඇල්ලීමේ නිරත වුවහොත් දඩය රුපියල් ලක්ෂ පහළොවක් ලෙසත් මීටර 24කට වඩා වැඩි ධීවර යාත‍්‍රා භාවිත කිරීම පිළිබඳවත් යනාදී ප‍්‍රමිතිකරණය පිළිබඳව වූ පනතක් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් අවසානයේ තමන්ගේ ඉරණම පිළිබඳ භයානක හීන පේන්න පටන් ගන්නේ ලංකාවේ ධීවරයාටය. මුහුදේ ඉන්න මාළු අල්ලාගෙන ඇවිත් වෙළෙඳාම් කිරීමේ සරල ක‍්‍රමවේදයකින් ධීවර කර්මාන්තය මනින අමාත්‍යාංශයක් තත්වයට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පත්ව ඇත. යුරෝපා සංගමය, චීනය වැනි බලවතුන් අතර ජීවිතය ගැටගසා ගන්නට වෙර දරන ලංකාවේ ධීවරයා ගැන පාලකයන්ගේ හා නිලධාරීන්ගේ අවධානය යොමු වේ යැයි සිතීම ද මිරිඟුදිය සොයා යාමක් පමණි.

ප‍්‍රියන්ත වර්ණකුලසූරිය

Advertisements