කවිය – මිනිස් ක‍්‍රියාකාරකමක් ලෙස

Lakshan Maduranga Sri Lankan Poet 1වසරක් පාසා නව කවි පරපුරේ අස්වනු නෙළන උත්සාහයක් බඳු ‘කවි සියපත’ 2014 වසරටත් පුබුදුවා හමාරය. මෙවරත් කවිකාර සහෘදයන් ලියූ කාව්‍ය නිර්මාණ සියයක් එහි පළ කෙරුණේ ලාල් හෑගොඩ කවියාගේ සංස්කාරකත්වයෙනි. එකී කාව්‍ය එකතුවෙන් තෝරාගත් කවි ඇසුරින් ‘කවිය’ නම් සාහිත්‍යංගය පිළිබඳ සිය අදහස් පළ කරන්නට ලේඛකයා උත්සාහ දරයි.

මා අසනුයේ සරල පැනයකි. කවිය මිනිස් කි‍්‍රයාකාරකමක්ද? නැද්ද? මා දන්නා පරිදි සත්තු කවි හෝ එබඳු වර්ගයේ කිසිවක් ලියන්නේ නැත. ඒවා ලියනුයේ මිනිසුන් පමණි. මා විශ්වාස කරන පරිදි ස්වරූපයෙන් වෙනස් වුව ද අරමුණ විසින් කවිය අනෙක් මිනිස් ක‍්‍රියාකාරකම් සියල්ලට සමානය.

ඉතිහාසය පුරාම මිනිසුන් ක‍්‍රියා කර ඇත්තේ කෙසේද? ඒ ඊළඟ සරල පැනයයි. ඔවුහු තමන් ඉදිරියට පැමිණි සෑම අභියෝගයකටම ප‍්‍රති අභියෝග කරමින් වඩා සුසාධිත, විනයගත ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා ක‍්‍රියා කළහ. සමස්ත ඉතිහාසය පුරා මිනිසුන් ක‍්‍රියා කර ඇත්තේ එලෙසය. සමාජය සංවර්ධනය වූයේ එපරිදිය. නූතන මිනිසා ද ක‍්‍රියා කරනුයේ එපරිදිය. අතීතයේ සිට මිනිසා ගොඩනංවන ලද දැනුම එකතු කරමින් නූතන මිනිසා නූතන අභියෝගයන්ට විසඳුම් සොයයි. (ඩෙංගු, සුනාමි, උල්කාපාත, බලශක්ති)

එහෙත් පන්ති සමාජය නිර්මාණය වූ තැන් පටන් මෙකී මිනිස් ක‍්‍රියාකාරකම් සුළු පිරිසකගේ ලාභාපේක්ෂාව වෙනුවෙන් කොල්ල කනු ලැබීය. කාව්‍යාත්මක බසකින් හැම උස් තුරු මුදුනකම වෙළෙන්දකු වසා සිටින බව බ්ලේක් පවසන විට ධනේශ්වර ක‍්‍රමය යටතේ සියලූ ශුද්ධ වස්තූන් කෙලෙසන බව මාක්ස් පැවසූයේ දාර්ශනික බසකිනි. ඔබ මෙය ඇසීමට එතරම් ආශා නොකරනු ඇත. නමුත් ඔබ ආශා කළ ද නොකළ ද අපගේ ජීවිත ඉහළින් සිට අපගේ ජීවිත ‘මහා ශෝකය’ වෙත ගෙන යන බාධාව එය බව මා පැවසිය යුතුව ඇත.

එසේ නම් මේ මොහොතේ මිනිසාට වඩා සුසමාදර්ශී ජීවිතයක් කරා ගමන් කිරීමට පවතින ප‍්‍රධාන බාධාව ධනවාදය යැයි පැවසීම කවර වරදක්ද? ද්‍රව්‍යාත්මක ජීවිතය මතු නොව අපගේ ආධ්‍යාත්මික ලෝකය ද අශිෂ්ටත්වය කරා රැුගෙන යනුයේ එය නොවේද? ඒ අනුව මේ යුගයේ මිනිස් කි‍්‍රයාකාරකම් දිශාගත විය යුත්තේ කවර දෙසටද යන්න පිළිබඳ ඉඟියක් ඉන් නොසැපයේද? එහෙත් පන්ති සමාජය බිහි වීමට පෙර ප‍්‍රකෘති ලෝකය එල්ල කළ අභියෝග තරමට මෙකී සමාජීය බලවේග මිනිසා වෙත එල්ල කර ඇති අභියෝග මිනිසාට වටහා ගත හැකි වී නැත. විශේෂයෙන්ම ධනේශ්වර යුගයේ මිනිසා බරපතළ රැවටීමකට ලක් කර ඇත. පීඩකයාට පේ‍්‍රම කර පීඩිතයාට ගල් ගසන තත්වයට ඔව්හු පත් කර ඇත. පීඩකයාට පමණක් නොව ඔව්හු පීඩාවට ද පේ‍්‍රම කරමින් සිටිති. එය අවබෝධ කරදීමට විභවයක් තිබූ සියලූ සමාජ ව්‍යාපාර ඝන වී ගොසිනි.

සැබෑ සාහිත්‍ය – කලාකරුවා මෙය නිදහසට කරුණක් කර ගන්නේ නැත. ඔහු සිය සහෝදර සාමාජිකයන් වෙත එල්ල වී ඇති ගැටලු හඳුනා ගනී. ජීවිතය හා මනුෂ්‍යත්වය පරිපූර්ණත්වයට පත් කිරීම වළක්වන සංස්කෘතිකමය හා ශිෂ්ටාචාරමය ගැටලූවලට ඔහු ප‍්‍රතිචාර දක්වයි. ටෝල්ස්ටෝයි, ෆ්ලෝබෙයාර් හෝ තාගෝර් බඳු විශිෂ්ටතම සාහිත්‍යකරුවන් විශිෂ්ටත්වයට පත් වූයේ ඔවුනගේ එකී ප‍්‍රතිචාර ජීවිතය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම හේතුවෙනි. ඔවුහු යළි යළිත් සාහිත්‍ය මිනිස් ක‍්‍රියාකාරකමක් බව ඔප්පු කර ඇත. එහෙත් ඒ අතින් ලාංකේය වත්මන් ප‍්‍රවීණ සාහිත්‍ය – කලාකරුවන්ගේ හැසිරීම සතුටුදායක නැත.

ගුණදාස අමරසේකර බඳු කිහිප දෙනකු හැරුණු විට බොහෝ දෙනෙක් තමන් දිවි ගෙවන සමාජය පිළිබඳ තෘප්තියෙන් ඇලී ගැලී සිටිති. (මේ වනාහී පෞද්ගලික ජීවිත පිළිබඳ විවේචනයක් නොව ඔවුනගේ කෘති පිළිබඳ විවේචනයක් ලෙස පමණක් භාරගත යුතුය) අමරසේකර මහතා සමඟ කවර විවාද පැවැතිය ද ‘කියනු මැන දිවි අරුත’ බඳු කෙටිකතා සංග‍්‍රහයෙන් ද යළිත් වරක් ඔහු ඔප්පු කර සිටිනුයේ තමාට තමා දිවි ගෙවන සමාජය සමඟ පවතින බරපතළ ප‍්‍රතිවිරෝධයයි. ‘මාලය කඩා ගැනීම’ බඳු සාහිත්‍ය සිදුවීමක් මත පදනම් වූ කෙටිකතාවක දී ඔහුගේ සමස්ත පරිකල්පනය ක‍්‍රම විරෝධී – තර්කණයක් මත පදනම් වේ. ඒ අරුතින් අමරසේකර ව්‍යාජ ආගමික අගතීන් උපහාසයට බඳුන් කරමින් ඔහු අනුකරණය කිරීමට උත්සාහ දරන වනපොත්ධාරී තරුණ මහල්ලන්ට තමන් තවමත් මහලූ තරුණයකු බව සිහිපත් කර දෙයි.

ධනේශ්වර ක‍්‍රමයෙහි ද මානුෂීය ලක්ෂණ පවතින බව විශ්වාස කරන එබඳු පරපුරක් ඉදිරියේ සැබෑ තරුණ නිර්මාණකරුවන් කවිය, මිනිස් ක‍්‍රියාකාරකමක් ලෙස වටහා ගැනීමට උත්සාහ දරනායුරු ‘කවි සියපත – 2014’ ඇසුරු කිරීමෙන් දක්නට ලැබුණි.

පහත දැක්වෙනුයේ ඉන් තෝරාගත් කවි ත‍්‍රිත්වයක් හා ඒ පිළිබඳ කෙටි විමසුමකි.

මූණු පොතයි, නුඹයි, මමයි

මට මතකයි අපි දෙන්නා

සීතලේට තුරුලූ වෙලා

කඩුපුල් මල් පිපෙන වෙලෙත්

පිනි වැස්සේ තරු ගැන්නා

මොනව නැතත් අපි දෙන්නට

අපේ ලෝකයක් තිබුණා

ඔයාට මතකද මන්දා

අකුණු ගගහ වහිනකොටත්

නිසංසලේ අපි දෙන්නා

පෙණ බුබුළක රස වින්දා

අඳුර මැදත් අපි දෙන්නා

සොඳුරු බවේ සුව වින්දා

පසළොස්වක සඳ පාමුල

තරු මල් පාවඩ දැම්මා

බෝ දලූවල සිලිසිලියේ

සෙවණැලි සිතුවම් ඇන්දා

සසර පුරා මේ සෙවණැලි

සැලෙනු ඇතැයි නුඹ කීවා

එක දවසක් හැන්දෑවක

අඳුර අරන් නුඹ ආවා

මූණු පොතේ පිටු අතරේ

මල් පිපෙනා බව කිව්වා

පතොක් ගහක සමනලයෙක්

තටු ගහනව මම දැක්කා

පාට පාට වෙස් මූණුත්

විරිත්තනව මට පේනවා

ඔයාට විතරක්ම නෙවෙයි

අපි දෙන්නාට හිනා වෙනවා

මැද සාලේ යට ලීයක

ගේ කිරිල්ලි හූල්ලනවා

සරා සඳ ඉකි බිඳියි

කඳුළු තරු මල් හෙළා

කලා වැව් දිය මතින්

ජපන් ජබර මල් පෙති සලා

පිනි කැකුළු, මල් පොකුරු

සමඟ දොඩමලූ වෙලා

අනේ අර කවි ලිව්ව

සොඳුරු සිත ගොළු වෙලා

ඇත්තමයි මගේ හිතේ

නුඹව දැන් මියැදිලා

නුඹව විතරක් නොවෙයි

ගොඩක් අය මියැදිලා

ඒත් මම නුඹ නමින්

මතක බණ කියන් නෑ

නුඹත් නැති වුණ නිසා

අහන්නත් කෙනෙක් නෑ

ලැප් එකයි, ටැබ් එකයි

ජීවිතය බදු අරන්

ණයට ගත් සිහිනවල

වෙලී දැවටී ඉඳන්

සුමුදු සළු පිළි ඇඳන්

ඇවිදිනවා මළ කඳන්

(කවියාගේ නම සඳහන් කර නොමැත)

ගේයසිත පේ‍්‍රමය පිළිබඳවත් ඒ විෂයෙහි එල්ල වී ඇති බාධාවන් පිළිබඳවත් බොහෝ කවි ගී ලියැවී ඇත. ඒ අතරින් මේ කව කිසියම් සුවිශේෂ මුහුණුවරක් අත්පත් කරගනුයේ සුදුර්ලභ නිරීක්ෂණශීලීත්වය හේතුවෙනි. නූතන කුටුම්භය හා පශ්චාත් නූතන කුටුම්භය අතර වෙනස පිළිබඳ සිහි කැඳවන මේ නිමැවුම්, සුලබ ආර්ථික අර්බුද, ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ වියෝව, දරුවන්ගේ වෙනස් වීම බඳු ආනුභූතික තලයක සිරගත වූවක් නොවේ. ඒ වෙනුවට මෙහි ස්වාමිපුරුෂයා හා බිරිඳ අතරට පැමිණෙනුයේ ‘ටැබ් එක’ හා ‘ලැප් එක’ය. සිංගර් ප‍්‍රදර්ශනාගාර

තුළ ද අබාන්ස් වෙළෙඳ සංකීර්ණයන් තුළ ද ජීවිතය සොයන නාගරික මධ්‍යම පාන්තික මිනිසුන් ඒ ඇසුරින් අත්පත් කරගනුයේ කවර ගනයේ ජීවිතයක්ද යන්න මින් නිරූපණය වේ. මිනිස් සබඳතා ඌනනය වී ගොස් භාණ්ඩ අතර සබඳතා අවිනිශ්චය වූ පසු ශේෂ වනුයේ මිනිස් දුහුවිලි පමණක් බව දක්වමින් අතිනූතන තේමාත්මක තලයක් දරා උසුලා සිටීමට මේ කව සමත් වී ඇත.

පෘෂ්ඨීය වියමනෙහි ස්වරූපය විසින් එක්වර සහෘදයා ආකර්ෂණය කරගැනීමට සමත් වන නමුදු විවේකීව සිතා බැලීමේ දී පද බාහුල්‍යය රචනයට හානියක් වී ඇති බව නොපවසා සිටිය නොහැකිය. විශේෂයෙන් ම භාවිත කිරීමෙන් ගෙවී ගිය ජනප‍්‍රිය යෙදුම් රැුසක් මෙහි පවතී. පිනි වැස්සේ තරු ගැන්නා, සොඳුරු බවේ සුව වින්දා, සරා සඳ ඉකිබිඳියි, කඳුළු තරු මල් නෙළා, පිනි කැකුළු – මල් පොකුරු සමඟ දොඩමලූ වෙලා, සොඳුරු සිත ගොළු වෙලා බඳු යෙදුම් මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. එහෙත් ඒ අතර පතොක් ගහක සමනලයෙක් – තටු ගහනවා මම දැක්කා, පාට පාට වෙස් මූණත් විරිත්තනව මට පේනවා, මැද සාලේ යට ලීයක ගේ කිරිල්ලී හූල්ලනවා, එයා විතරක් නෙමෙයි ගොඩක් අය මියැදිලා බඳු සංකේතාත්මක භාෂා භාවිතය කවෙහි ප‍්‍රතිනිර්මාණාත්මක ගුණය ආරක්ෂා කිරීමට හේතු වී ඇත.

සමහර විට

සමහර විට

මං වගේ කෙනෙක් මිසක්

ඇත්ත මං තවදුරටත් නැතුවැති

සමහර විට

මං පැනල යන්නැති

තාත්තා බීගෙන ඇවිත්

අම්මට ගහපු දවසක

ඉකි ගහ ගහ අඬ අඬා

හිස හැරුණු පැත්තක

සමහර විට

මට සිහිය නැති වෙන්නැති

විභාග ප‍්‍රතිඵල ආපු දවසෙ

එකම එක ලකුණකින්

කැම්පස් යන්න බැරි වෙච්ච

දුකට, නැත්නම් තරහට

සමහර විට

මං පියාඹලා යන්නැති

ආදරෙයි කියා ඔබ කිව් දවසෙ

ආකහේ ඉරාගෙන

වැහිලිහිණියෙක් වගෙ

සන්තෝසෙ වැඩිකමට

සමහර විට

මං මැරෙන්න ඇති

ඔබ යන්න ගිය දවසේ

ආපහු නොබලාම

ඉරක් වගේ කෙළින් පාරේ

තෙමි තෙමී තද වැස්සෙ

හැඳුනුම්පතේ ඉන්නේ

මං වගේ කෙනෙක් වුණාට

ඒ මං වෙන්න බෑ

ඇත්ත මං නිතරම

හිනා වුණ කෙනෙක්

මේ ඉන්නෙ වෙන කෙනෙක්

බුම්මගෙන, කඳුළු පුරෝගෙන

  • රසිකා ගුණවර්ධන

කවිය සංක්ෂිප්ත කළ මාධ්‍යයක් වීම, නූතන තේමා සංස්පර්ශයට හෝ දාර්ශනික සංකථනයට බාධාවක් නොවන බව සදෘශ්‍ය කරවන නිර්මාණයක් ලෙස මේ නිර්මාණය හැඳින්වීමේ වරදක් නැත. කිසිවකු මෙය නූතන ස්ත‍්‍රී ලිවීමකැ යි දැක්විය හැකි වුව ද මේ වියමන නූතන මනුෂ්‍ය ලිවීමකැ යි සැලකීම වඩා පෘථුල කතිකා ලෝකයක් වෙත දොරටු විවර කිරීමකි. ස්ත‍්‍රී සීමාවෙන් මිදී මෙය නූතන මිනිසාගේ පරත්වාරෝපණය නමැති මානසික සංකීර්ණය සොයා පාදා ගැනීමට දරන ලද කාව්‍යාත්මක ශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් ලෙස දැක්වීම වඩා උචිතය.

තමාට තමා අහිමි වීම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන හේතු ඉතා ම සරල ජනප‍්‍රියවාදී තලයක් මත පදනම් වූව ද ඒවා ඉදිරිපත් කර ඇති ආකාරය අතිශය නව්‍ය හැඩතල විදහාලීමට හේතු වී ඇත. මං පැනල යන්නැති, මට සිහිය නැති වෙන්නැති, මං පියාඹලා යන්නැති හා මං මැරෙන්න ඇති යන යෙදුම් කවියේ තේමාත්මකය විසින් ඉල්ලා සිටිනු ලබන අවිශ්වාසයේ කටහඬ කොඳුරන්නකි. එහෙත් ඒ සියල්ල පරයමින් මේ කවෙහි පරිපාකය තද කළු අකුරින් ^Bald& ඉස්මතු කර දැක්විය යුතුය. සමස්ත තේමාත්මකය මෙන් ම දාර්ශනික කතිකාව ද තනිව ඔසවා ගෙන සිටීමට තරම් මෙහි අවසානය ස්වාධීන ශක්තියක් විශද කරයි. ඒ අර්ථයෙන් අවසන් කවි ඛණ්ඩය තනි කවක් ලෙස වුව ද පැවතීමේ විභවයකින් යුක්තය.

නම හැඳුනුම්පතේ සිටින්නිය (සිටින්නා) පිළිබඳව ඇති වී ඇති සැකයත් එම සැකය සාධාරණිකකරණය කිරීමට ඉදිරිපත් කර ඇති සාක්ෂ්‍යයත් විනිශ්චය කරන්නකුට ධනේශ්වර පුද්ගලත්වය නමැති ඊනියා සංකල්පය අභියෝගයට ලක්ව ඇති අයුරු ඇස ගැටේ. ‘ඇත්ත මං’ නිතරම හිනා වුණු කෙනෙකුද, බුම්මගෙන කඳුළු පුරෝගත් කෙනෙකුද, නොහොත් නිතරම හිනාවෙමින් බුම්ම ගත් කෙනෙකුද යන්න පවා අතීරණයකට ලක් වෙමින් කව අවසන් වේ. තමන් සතුටින් සිටින බව විශ්වාස කරමින් ‘මහා ශෝකයක්’ භුක්ති විඳිනා මිනිසුන්ගෙන් පිරී ගිය නූතන සමාජය පිළිබඳ දැඩි ප‍්‍රතිරෝධයක් ජනනය කිරීමට මේ පටලැවිල්ල හේතු වේ. ධනේශ්වර රාජ්‍ය තන්ත‍්‍රයේ ආරක්ෂාව සඳහා අනිවාර්ය කර ඇති හැඳුනුම්පතට සිනා සී මුහුණ දී බුම්මගෙන, කඳුළු පුරෝගෙන කවි ලිවිය යුතු කිවිය යුතු කාලයක් එළඹ ඇති බව රසිකා සමස්ත රසික පර්ෂදයට සිහිපත් කර දෙයි.

ගසේ කතාව

අමර එන්න

සල් මල් කඩන්න

නයනා එන්න

ඒ සල් ගස යට

පොත් පාඩම් කරන්න

කමල් චමරී එන්න

අඹ ගස යට

පොත් කඩයක් දමන්න

ඒ ගමන් විගහට

මාධවන්ගේ වත්තෙ

ජම්බු ටික

හොරෙන් හොරෙන්

හොරෙන් කන්න

ඉබ්බෙක් නොවුනට

මාධවන්….

දන්නව දැන්

සිංහලයගෙන් බේරෙන්න

බේරිලා තමන්ගෙකම රැකගන්න

කමල් එන්න ඉක්මනට එන්න

මගෙ පන්ති පෝස්ටර්

අඟල් තුනේ ඇණයකින්

සල් ගහේ අමුණන්න

රිදෙන් නෑ ගහට

හරියට ඇණ ගහන්න…

මහවැලියෙ හරි නැතුවද

සමන් ආයෙම ගමට එන්නෙ

කපමු අපි සල් ගහ

ලීවලට විකුණන්න

චමරි නයනා එන්න

මේ සල් ගස් ඉපල්

දරට අරගෙන යන්න

අපි ඉගෙන ගත් ගස

අපි මල් කැඩූ ගස

මල් සුවඳ බැලූ ගස

මුදු සෙවණ දුන් ගස

මැරෙයි ටික ටික

මැරුණු දාටත්

සතපවයි අප

යහනක්ව

සීතලට ගිනි මැලයක්ව

  • ආර්.ඞී. කාවින්ද දුනුවිල

‘ගසේ කතාව’ යනුවෙන් නම් ලැබී ඇති මේ කව සැබවින් ම පවසනුයේ ‘ගහේ කතාව’ නොව ‘ගස යට කතාව’ යි. එනයින් එය 80න් ඇරඹුණු යුගයේ උපන් පරපුරක විපරිවර්තනයේ කතාව යි. ඒ සඳහා කවියා භාවිත කරනුයේ. ඓතිහාසික සංකේත සමූහයකි. අමර, නයනා, චමරී සමඟ සල් ගස පිහිටවූ සැණින් කවෙහි ගුප්තාර්ථය වෙත සමීප වීමේ හැකියාව නූතන සහෘදයාට හිමි වේ.

ඓතිහාසික සංකේත අභිරුචියන් වස්තු කර ගැනීම ම නිර්මාණකරුවා සතු අතීතකාමී ආශාවක ප‍්‍රතිඵලයකි. එහෙත් එහි පවතින සුභාරංචිය වනුයේ වත්මන් මොහොත පිළිබඳ අතෘප්තිය එමඟින් ප‍්‍රකාශයට පත් වීමයි. පිළිතුර ඇත්තේ අතීතයෙහි නොවූව ද වර්තමානය පිළිබඳ අතෘප්තිමත් නොඇලූණු නිර්මාණකරුවකු බිහි වීමේ පළමු පියවර අතීතකාමී ආශාව විසින් තබනු ලැබේ. මල් කැඩූ, පාඩම් කළ ගස් යට පොත් කඩයක් දමා ගැනීමත් ඒ ගසේ පන්ති පෝස්ටරයක් ඇමිණීමත් ගස කපා ලීවලට විකුණා ශේෂ වූ ඉපල් දරට ගැනීමත් පිළිබඳ ලිවීමට කවියා යොමු වනුයේ ම මෙකී අතෘප්තියේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

නඳුන් යසිත දසනායක නමැති තරුණ කවියාගේ ‘නයනා සහ අමර’ නමැති කවෙන් උපුටා ගත් පහත කවි ඛණ්ඩනය එකී අතෘප්තිය අතිප‍්‍රකම්පිත ලෙසත් ප‍්‍රශස්ත ලෙසත් ප‍්‍රතිනිර්මාණය කළ හැකි අයුරු පිළිබඳ නිදසුනකි.

”බස් එකේ ගැස්සිලා ඇවිදින්

තාම රිදෙනව පපුව නයනා

අපේ සල්මල් යාය පර්චස්

කෑලි කරලා තිබුණ නයනා”

(මුහුණු පොතෙන් උපුටා ගැනුනකි)

නඳුන්ගේ කවියෙහි වන නිරවුල් බවත් පැහැදිලි බවත් ‘ගසේ කතාව’ නමැති කවෙහි දක්නට නොමැත්තේ ඉලක්කයෙහි පිහිටා සිටීමට කවියාට නොහැකි වීම හේතුවෙනි. බොහෝ කරුණු පැවසීමට ඇතිමුත් ඒ සඳහා එක් කවියක් ප‍්‍රමාණවත් නොවන බව ඔහු අත්දැකීම් ඇසුරින් ම වටහා ගනු ඇත.

මේ කවිය පිළිබඳ මගේ පිවිසුමය. සියලලු දෙනා මේ පිවිසුමෙන්ම කවිය වෙත ඇතුළු විය යුතු යැයි මින් පැවසෙන්නේ නැත. ඔබට ඔබගේ ම මාර්ගයකින් මේ වෙත ඇතුළු විය හැකිය. කොහොමත් එය සිදු වන්නේ එපරිදිය. මගේ පිවිසුම ඔබට අකැප නම් ඔබ කළ යුතු වන්නේ ඔබේ පිවිසුමකින් ඊට ඇතුළු වීමය. ඉතින් ඇතුළු වන්න. ජීවිත ලාලසාව සොයන්න. සරාගී බව විඳින්න. ස්වභාව සෞන්දර්යයෙන් මත් වන්න. කවර නම් තහනමක්ද? ඒත් මේ සියල්ල ඔබට සිදු කළ හැක්කේ ඔබ මිනිසකු බැවිනි, කවිය මිනිස් ක‍්‍රියාකාරකමක් වන බැවිනි.

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න

Advertisements