ජනාධිපතිවරණය ප‍්‍රභූ බලයද ජනතා බලයද?

ජනාධිපතිවරණයක් ළඟ එන බවට සලකුණු පහළ වෙමින් තිබේ. ජනාධිපතිවරණය ගැන කතාබහ පෙරට එන විට ඒ සමඟම සංවාද දෙකක් කරළිගත විය. එකක් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ගැන සංවාදයකි. අනෙක ජනාධිපති අපේක්ෂක ගැන සංවාදයකි. ජනාධිපති අපේක්ෂකයා ගැන සංවාදය මුලින් ආවේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙනි. දැන් ඒ සංවාදය යටපත් වී ඇත. ඒ රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව මේ වන විට බොහෝ දුරට ස්ථිර වී ඇති නිසාය. එජාපයේ සහාය නොලබන්නකු මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ අර්ථයක් නැත. ඒ අතර දැන් අපේක්ෂකයා ගැන සංවාදය වෙනම පාරකින් කරළිගත වෙමින් තිබේ. මෙවර මාතෘකාව මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂට තුන්වැනි වර ඉදිරිපත් වීමට නොහැකි බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ප‍්‍රකාශ කිරීමත් සමඟ දෙබරයට ගල් ගැසුවාක් වැනි තත්වයක් උද්ගත විය. මහින්දට තුන්වැනි වර ඉදිරිපත් විය හැකි බවට ද නොහැකි බවට ද මත ඉදිරිපත් කිරීම සඳහා නීති විශාරදයෝ පිල් දෙකකට බෙදුණි. දැන් ඒ සටන් පාඨය අතට ගැනීමට උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මහින්දට තුන්වරක් ඉදිරිපත් විය නොහැකි බැවින් ජනාධිපතිවරණය නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් ඔවුන් පසුගිය සතියේ පෝස්ටරයක් ද අලවා තිබිණි. කෙටියෙන් කිවහොත් ජවිපෙ උත්සාහ කරන්නේ ජනාධිපතිවරණය නීති විරෝධී බැවින් එය ප‍්‍රතික්ෂේප කරන බව පවසා ඡුන්දය මඟහැර සිටීමටයි. එය තේරුම් ගැනීම එතරම් අපහසු නැත. ඔවුන් කවුරුන් හෝ පොදු අපේක්ෂකයකුට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ විය. පක්ෂය ලෙස තනිවම ඉල්ලා ඡුන්ද ගොඩ අඩු බවට ප‍්‍රදර්ශනය වීමට ද ඔවුන් කැමති නැත. ජවිපෙ ජයග‍්‍රහණ මනින්නේ මැතිවරණවල ඡුන්ද ගොඩින් මිස මතවාදයෙන් නොවන නිසා දැන් ඔවුන්ට එල්ලීමට සිදු වන්නේ ”මහින්දට බෑ” සටන් පාඨයේමය.

අප ජනරළේ ඉඩ වෙන් කළ යුත්තේ මහින්ද හෝ මාදුළුවාවේ සෝභිත හිමි හෝ වෙනත් එවැනි අපේක්ෂකයකු ගැන කතා කිරීමට නොව ප‍්‍රතිපත්ති ගැන කතා කිරීමට යැයි මෙම ලියුම්කරු සිතයි. එසේ නම් ප‍්‍රවේශ වීමට සිදු වන්නේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන සංවාදයටද? ව්‍යවස්ථාව ගැන කතා කරන ඇතැම් අය කියන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළයුතු බවය. තවත් අය කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක බලය වෙනත් තැනකට පැවරිය යුතු බවය. ඒ වෙනත් තැන විධායක අගමැතිවරයකු බව එජාපය කියයි. ඒ වෙනත් තැන පාර්ලිමේන්තුව බව ජවිපෙ කියයි. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මේ හැම දෙනාම යෝජනා කරන්නේ එක්කෝ විධායක ජනාධිපතිවරයාම හෝ නැතිනම් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංවාදය එක් ධනපති නායකයෙකුද, ධනපති නායකයන් ගණනාවක්ද යන සංවාදයකට පටු වී ඇත. ඇතැම් ලිබරල් චින්තකයන් හිතාගෙන සිටින්නේ තනි කෙනකු වෙනුවට පුද්ගලයන් රාශියක් සිටින්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වනු ඇත කියාය. පහළ පන්තීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මේ පාර්ලිමේන්තු සෙක්කුව වටේම කරකැවීම නොව වෙනත් මඟක් සොයා ගැනීමයි.

ඉතිහාසය තුළ ලංකාවේ ජනතාව විවිධ පාලන ක‍්‍රම අත්දැක ඇත. අපි වසර 133ක් යටත් විජිත පාලන ආකෘතියක් යටතේ ද වසර 30ක් දේශීය ධනපති පන්තියේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය යටතේ ද තවත් වසර 37ක් නව ලිබරල් ධනවාදය යටතේ ද ගතකර ඇත්තෙමු. වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් මෙන්ම විධායක බලැති අගමැතිවරයකු යටතේ සිටින ආකෘතියක් ද පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයකුගේ ආකෘතියක් ද අපි අත්දැක ඇත්තෙමු. මේ එකක්වත් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආවේ නැත. ඒ හැම පාලන ආකෘතියක් යටතේම පීඩිත ජනතාවට එල්ල වූයේ මර්දනයකි. එසේ වූයේ ඇයි? එයට විකල්පයක් සකස් කරගත හැක්කේ කෙසේද? අප සාකච්ඡුා කළ යුතුව ඇත්තේ එයයි.

මේ බොහෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සකස් වී ඇත්තේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස්, මොන්ටෙන් ක්‍යූ, බැරන්වරනා වැනි ලිබරල් දාර්ශනිකයන් ඉදිරිපත් කළ සංකල්පවලට අනුවය. ලිබරල් සංකල්පය පදනම් වන්නේ ‘නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන සංකල්පය මතය. එයට අනුව ජනතාව සතු පරමාධිපත්‍යයේ බලය ජනතාවට හිමි නැත. එය යම් නිශ්චිත කාලයකට නියෝජිත ආයතනවලට පවරනු ලබයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ මිස ජනතාව සතුව නොවේ. ජනතාවට බලය ඇත්තේ තමන්ගේ ඡුන්දයෙන් එම ආයතනවලට නියෝජිතයන් පත් කිරීමටය. එම මැතිවරණ සිදු වන්නේ කෙසේද? ඒවායේ දී

ප‍්‍රාග්ධනයේ බලය, මාධ්‍ය බලය ක‍්‍රියා කරන්නේ කෙසේද? වැනි ප‍්‍රශ්න ගැන වෙනම කතා කළ යුතුය. ඒවායේ සිටින්නන් සැබැවින්ම මහජන නියෝජිතයන්ද? එසේත් නැතිනම් ඔවුන් නියෝජනය කරන්නේ කවරෙක්ද යන්න ද වෙනම කතා කළ යුතුය. මෙම සංකල්පයට අනුව පරමාධිපත්‍යයේ බලය හෙවත් තමන්ගේ ජීවිත ගැන තීන්දු ගැනීමේ බලය ජනතාවට නැත. නියෝජිත ආයතනවලින් එම පරමාධිපත්‍යයේ බලය පවරාගන්නා අතර එම බලය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ලෙස ත‍්‍රිවිධාකාරයෙන් පෙනී සිටී. ලිබරල් නිදහසට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වීමට නම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය එක් තැනකට කේ්න්ද්‍ර නොවී ඒවා එකිනෙකට ස්වාධීන ආයතන තුනක් අතර බෙදී යා යුතුවා මෙන්ම ඒ එක් එක් ආයතන අතර සංවරණයක් හා තුලනයක් (check and balance) තිබිය යුතුය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හා පාර්ලිමේන්තුවට බලය පැවරීමේ සංකල්පය උපත ලබන්නේ මෙම උල්පතෙනි. පහළ පන්තීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කළ හැක්කේ මේ පදනමට හාත්පසින්ම වෙනස් පදනමක් මත නව ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් මිස තිබෙන ව්‍යවස්ථාවට පැලැස්තර අලවන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකින් නොවේ.

මේ සඳහා ආලෝකය සපයා ගැනීමට ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සමාජවාදී අදහස සුදුසුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ සමාජවාදී මූලධර්මය සකස් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මවලට අනුවය. එය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව පහළ පන්තීන්ගේ හැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. ඊට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය මුළුමනින්ම නියෝජිත ආයතනවලට පවරා නොදෙන අතර එය ජනතාව විසින් දෛනිකව අභ්‍යාස කරනු ලබයි. එම ආණ්ඩුක‍්‍රමය හා රාජ්‍ය ව්‍යුහය සකස් වන්නේ ජනතාව විසින් ඍජු ඡුන්දයෙන් තෝරා පත් කරගනු ලබන බිම් මට්ටමේ ජනතා සභාවලිනි. මෙම සභාවලින් තෝරනු ලබන නියෝජිතයන්ගෙන් අනෙකුත් ප‍්‍රාදේශීය ව්‍යුහයන් සකස් වන අතර රටටම අදාළ නීති සකස් කරන ජාතික ව්‍යවස්ථාදායක සභාව මහජන ඡුන්දයෙන් තෝරා පත් කරනු ලැබේ. මෙම සියලූ ආයතනවල මූලිකම ලක්ෂණය වන්නේ ඒවායේ නියෝජිතයන් යළි කැඳවීමේ බලය (Right to Recall) ජනතාවට ලැබීම හා එම නියෝජිතයන් විසින් සම්මත කරනු ලබන නීති පවා ජනමත විචාරණ හරහා වෙනස් කිරීමේ බලය (Judiciary Review) ජනතාවට ලැබීමයි. ජාතික ව්‍යවස්ථාදායක සභාවට පනත් යෝජනා කිරීමේ බලය පවා සමාජවාදී ව්‍යවස්ථා මඟින් තහවුරු කර ඇත. අනෙක් අතට බිම් මට්ටමේ මහජන සභාවලට විශාල බලයක් හිමි වේ. ප‍්‍රදේශයට අදාළ සියලූ තීරණ එම සභාවල කැමැත්ත ඇතිව පමණක් ක‍්‍රියාත්මක කෙරේ. සමාජවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල ඇති අනෙක් ලක්ෂණය වනුයේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය ඉහළින් ඇති ආයතන තුනකට බෙදී නොගොස් ඒ ත‍්‍රිවිධාකාර බලයම එක් බලයක් ලෙස පහළම ජනතා සභාව දක්වා බෙදී යාමයි. මේ සියල්ලෙන් සිදු වනුයේ ‘නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට’ විකල්ප ‘ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ක‍්‍රියාත්මක වීමයි. එනම් ජනතාව සිය පරමාධිපත්‍ය බලය සෑම විටම හා සෑම තැනම භාවිත කිරීමයි.

ජනතාවගේ සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ආරක්ෂා කිරීමට නම් මේ සියලූ අත්දැකීම්වල හරය අප උකහාගත යුතුව තිබේ. සෝවියට් දේශය, චීනය වැනි රටවල් මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා පවතිද්දීම ඒකාධිපති ලක්ෂණ වර්ධනය කරගත් ආකාරය ද විමසිය යුතුව තිබේ. එය අවශ්‍ය වන්නේ ලිබරල් සීමාවක් තුළ නොව පුළුල් වපසරියක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම හැර අන් විසඳුමක් පහළ පන්තීන්ට නැති හෙයිනි. එබැවින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳ සටන් පාඨය වෙනුවට ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවා ගැනීමේ සටන් පාඨය සමාජය තුළ තහවුරු කළ යුතුය. විසඳුම ඇත්තේ එහි පමණි.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements