වැටුප් සටන

ලබන සතියේ, එනම් 20 හා 21 දින දෙකේ වැටුප් වැඩි වීමක් වෙනුවෙන් කම්කරු අරගල දෙකක් සැලසුම් කර තිබෙනවා. කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍ය බවට විවාදයක් නෑ.

පවුලකට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් පනස් දහසකට වැඩි මුදලක් අවශ්‍ය බව මහ බැංකුවම කියද්දී රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 11,700කට ආසන්න මුදලක්. පෞද්ගලික අංශයේ අවම වැටුප තිබෙන්නේ රුපියල් 9000ක සීමාවේ. වතුකම්කරුවකුගේ දෛනින වැටුප රුපියල් 450කි. තවත් රුපියල් 140ක මුදලක් ඉපැයීමට නම් මාසයේ දිනවලින් 75%ක්වත් වැඩ කළ යුතුයි. පොදුවේ ගත් කල මසකට රුපියල් 10,000ක 11,000ක මුදලක් උපයන්නේ ද යාන්තමින්. එහෙම ගත්තාම වැඩ කරන ජනතාවගෙන් සාතිශය බහුතරයකට මසකට රුපියල් පනස්දහස කෙසේ වෙතත් එයින් අඩක්වත් ලැබෙන්නේ නෑ. තවත් විශාල පිරිසකට එයින් හතරෙන් එකක්වත් ලැබෙන්නෙ නෑ. මසක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල වන රුපියල් 50,000 ලැබීමත් සැලකෙන්නේ යම් ආකාරයක වරප‍්‍රසාදයක් විදියට. ලංකාවේ රුපියල් 50,000ට වඩා වැඩිපුර ආදායම් ලබන අයගෙන් ආදායම් බදු අය කරනවා. මේ අඩුව පියවා ගන්න වැඩ කරන ජනතාවට දවසට වැඩි පැය ගණනක් වැඩ කරන්න වෙනවා. මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් තුනෙන් එකකටත් වඩා, එනම් 36%ක් සතියට පැය 50ට වඩා වැඩ කරනවා. (ජාත්‍යන්තර වශයෙන් සම්මුතියේ තිබෙන වැඩ සතිය පැය 40ක් හෝ 44ක්) මේ විදියට වැඩ කරනවා කියන්නේ විවේකය, විනෝදාස්වාදය, සමාජ සබඳතා, මිනිස් ඇසුර, මේ හැම දෙයක්ම අහිමි වෙනවා.

වැටුප් වැඩි වීමක් සඳහා ඉල්ලීම එන්නේ මේ පීඩාකාරී තත්වය විසින්. රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් වතු ක්ෂේත‍්‍රයේත් කම්කරුවන් තමන්ට වඩා වැඩි වැටුපක් හෝ යහපත් සේවා කොන්දේසි ඉල්ලද්දී අපි මුළුමනින්ම ඒ සටන සමඟ ඉන්නවා. ඒ සටනට සහාය දෙනවා. ඒත් දැන් මේ පැනනඟින සටන් ගැන ජනරළේ අපට යම් විවේචනයකුත් තිබෙනවා. සටනට සහාය පළ කරන අතරම එහි සීමාවන් ගැනත් කතාබහක් කළ යුතු යැයි අප සිතනවා. දීර්ඝ වශයෙන් කතා කරන්න දේවල් තිබුණත් අපි ඉතාම කෙටියෙන් කරුණු කිහිපයක් ගැන සලකා බලමු. එකක් මේ සටන්වලට වෘත්තීය සමිති පෙලඹෙන්නේ ඒ සමිතිවල බල උවමනාවන් මත මිස කම්කරු ඉල්ලීම් මත පදනම් වෙලා නෙවෙයි. උදාහරණයක් විදියට මේ දිනවල රාජ්‍ය – පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති එකතුවක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් වැටුප් වැඩි වීමක් වෙනුවෙන් විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන අතර 15 වැනිදා විපක්ෂ නායකවරයා සමඟත් සාකච්ඡා කළා. එම වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක් 21 වැනිදාට දින නියම කර ඇති බව වාර්තාවීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිති 20 වැනිදා උද්ඝෝෂණයක් කැඳෙව්වා. මේක වෘත්තීය සමිති අතර පවතින තරගයක් බවට පත් වෙනවා මිස කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහාවත් අවම වශයෙන් වෙන ඒකාබද්ධතාවක් බවටවත් පත් වන ලකුණු පෙනෙන්නේ නෑ.

අනෙක් එක තමයි මේ උද්ඝෝෂණවල අඛණ්ඩත්වයක් නැති එක. මේවා පැනනඟින්නේ ම අයවැය කිට්ටු වෙනකොට. මෙවර එය විශේෂයක්. අයවැය වෙනදාට පෙර කැඳවූ නිසා මෙවර අයවැය ජනාධිපතිවරණයක් ඉලක්ක කරගත් අයවැයක් බව ස්ථීරයි. එවැනි අයවැයක ජනතාව රැුවටීම සඳහා ඡුන්ද ගුණ්ඩු ලෙස විවිධ දේවල් දෙන්න ඉඩ තිබෙනවා. දැනටමත් ආණ්ඩුව විදුලි බිල, ඉන්ධන මිල, ගෘහස්ථ ගෑස් මිල වගේ දේවල් පහත හෙළුවේ ඡුන්ද ගුණ්ඩු විදියට. ඒවා සිදු වුණේ අයවැයට පෙර. අයවැයේ දී ඊට වඩා ලොකු සංදර්ශනයක් කරයි කියලා අනුමාන කරන එක වැරදි නෑ. (දේවාලෙට යන පාර මෙහෙම නම් දේවාලෙ කොහොම ඇද්ද කියලා ගැමියන් අහනවා) වෘත්තීය සමිති නායකයන්ගෙ පැත්තෙන් මේ කාලෙට වැටුප් අරගල කරන්න උත්තේජනය එන්නේ සොච්චමක් වැටුප් වැඩි වෙන එකේ ලකුණුවලින් තමන්ටත් කොටසක් දාගන්න. නමුත් ආණ්ඩුව කරන්නේ වම් අතින් දීලා දකුණු අතින් උදුරා ගන්න එක. අයවැයෙන් වැටුප් වැඩි කරලා ඊට පස්සේ ඒක පියවා ගන්න බඩු මිල වැඩි කරනවා, බදු වැඩි කරනවා. වැටුප් වැඩි වෙන්නේ රජයේ සේවකයන්ට විතරයි. පසුව ඒකෙ වන්දිය හැම දෙනාටම ගෙවන්න වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් ගත්තත් ජීවන වියදම ඉහළ යන වේගයට සාපේක්ෂව වැඩි වෙන සොච්චම වැඩක් නැතිව යනවා. අරගලය අඛණ්ඩ නොවී අයවැයට විතරක් සීමා වුණාම ඒකට මතුපිට උත්තරයත්වත් හොයා ගන්න බැරි වෙනවා.

වැටුප් වැඩි කරගැනීම සඳහා කම්කරුවන්ගේ සටන සමඟ ජනරළ එකට සිටින බව අවධාරණය කරන ගමන්ම මේ අවදානම ගැනත් කතා කරන එක වැදගත් කියලා අපි හිතනවා. එක අතකින් වැටුප් වැඩි කරන ගමන් අනෙක් අතින් ජීවන වියදම වැඩි කරලා ඒ වැඩි කළ කොටස උදුරා ගන්නා පාලකයන්ගේ උපායමාර්ගයට පිළිතුරක් සපයා ගන්නේ කොහොමද කියන එකත් අපි ගැඹුරෙන් සිතිය යුතු වෙනවා. ඒ පිළිතුර සොයා ගන්න නම් කම්කරු අරගල වැටුප් සටනේ සීමාවෙන් ඔබ්බට ගෙන යා යුතු වෙනවා. වැටුප් සටන තුළ වුවත් ඒ සංවාදය පණ ගැන්විය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. සටන් කරන කම්කරුවන් වෘත්තීය සමිති නායකයන්ගේ බල ව්‍යාපෘතිවල රූකඩ බවට පත් නොවෙත් නම් මේ සටන්වල අදාළත්වය ගැනත් ඒවායේ සීමාවන් ගැනත් ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍යයි. ජනරළේ අපි මේ සටනේ දී කම්කරුවන්ට සහාය පළ කරන්නේ ඒ සාකච්ඡාව සඳහා වේදිකාව පුළුල් කරගැනීමේ අරමුණත් සමඟමයි.

Advertisements