යුරෝපය, එල්.ටී.ටී.ඊ.ය සහ බෝනස් වාසනා

මේ අවුරුද්දේ අවසන් කාලය නිසා සමහර අයට බෝනස් ලැබෙනවා. ආණ්ඩුවටත් බෝනස් එකක් ලැබුණා. වැදගත්ම දේ තමයි ඒ බෝනස් එක ලැබුණේ ජනාධිපතිවරණයක් ඔන්න මෙන්න කියලා. දැන් ජනාධිපතිවරයේ දී පාවිච්චි කරන්න හොඳ සටන් පාඨයක් තිබෙනවා. කලින් තීරණය කළ සටන් පාඨය නම් හදලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ගොල්ලො ‘මහින්දට තුන් වරක් බෑ’ කියල සටන් පාඨයක් උස්සන්න ගිය නිසා ආණ්ඩුව ‘මහින්දට පුළුවන්’ කියල සටන් පාඨයක් හැදුවා. ඒකෙන් ඉස්සරහට යන්න හිතනකොටම තමයි ආණ්ඩුවට අලූත් ඉල්ලමක් පෑදුණේ. ඒ ඉල්ලම තමයි යුරෝපා සංගමය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ තහනම ඉවත් කිරීම. දැන් ආණ්ඩුව ඒක පාවිච්චි කරලා ලොකු ප‍්‍රචාරක වැඩසටහනක් හදන්න යන බව පේනවා. එක පැත්තකින් එල්.ටී.ටී.ඊ. බිල්ලා මවලා මහින්ද රාජපක්ෂ ගැලවුම්කාරයා ලෙස පෙන්වන මාධ්‍ය මෙහෙයුම. අනෙක් එක තමයි එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන්න කියලා අත්සන් පනස් ලක්ෂයක් එකතු කරන්න ගෙයින් ගෙට එන කැන්වසින් මෙහෙයුම. ජනාධිපතිවරණ ප‍්‍රචාරක මෙහෙයුමේ මුල්ගල් වෙලා තියෙන්නේ ඒ මෙහෙයුම් දෙක.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රභාකරන්ගේ මනෝ විකාරයක ප‍්‍රතිඵලයක් නෙවෙයි. ඒකට බලපෑ සංකීර්ණ සමාජ – ඵෙතිහාසික – ආර්ථික – දේශපාලන හේතු තිබුණා. එල්.ටී.ටී.ඊ. කියන සංවිධානය පසෙකින් තැබුවත් දෙමළ සමාජය ගිලගත් ජාතිවාදී හා ජාතික හුදෙකලාවාදී ප‍්‍රවණතාව ඒ තරම් වේගයෙන් වර්ධනය වීම අහම්බයක් නෙවෙයි. නැවත එවැනි ප‍්‍රවණතාවක් ශක්තිමත් වීම වළක්වන්න හිතන කවුරුහරි ඉන්නව නම් ඒ අය කළ යුත්තේ සිදු වූ සිදුවීම් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කරගෙන ඒ වැරදි නිවැරදි කළ හැක්කේ කෙසේදැයි සොයා බැලීම. ඒ සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ යුද්ධයට පෙර පැවැති මනෝභාවයන් අමතක කර අලූත් තැනකින් සිතන්නට පටන් ගැනීම. ඒත්් අණ්ඩුව තමන්ගේ අර්බුද හැම එකක්ම සමනය කරන කෝකටත් තෛලය බවට පත් කරගෙන තිබෙන්නේ යුද්ධය පැවැති සමයේ තිබූ මනෝභාවයන් යළි රෝපණය කිරීම. විවිධ හේතු මත ආණ්ඩුවෙන් දුරස් වූ බලවේග යළි සමීප කර ගන්න හදන්නේ එල්.ටී.ටී.ඊ. බිල්ලා මවලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වගේ ඔවුන් බෙල්ල මුලින් හිර වෙන ප‍්‍රශ්න ආවම ඒවට මුහුණ දෙන්නෙත් කෝකටත් තෛලෙන්. දැන් ජනාධිපතිවරයා කියන්නේ බෙදුම්වාදය ඉවර වූ දවසක තමන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා.

දෙමළ සමාජය තුළ ජාතිවාදී අදහස් ශක්තිමත් වෙන්නේ යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තහනම ඉවත් කළ නිසා කියලා මතයක් හදන්න රාජ්‍ය මාධ්‍ය උත්සාහ ගන්නවා. ප‍්‍රශ්නය තිබෙන්නේ කවුරුහරි ජාතිවාදී මතයක් කියන එක නෙවෙයි, සමස්ත සමාජයක් ඒක පිළිගත්තේ ඇයි කියන එක. දෙමළ ජාතිවාදය වර්ධනය වෙනවාට අකැමැති කවුරුහරි ඉන්නව නම් ඒ අය කළ යුත්තේ ජාතිවාදය දුර්වල වන ආකාරයේ දේශපාලනයක් කරන එක. ආණ්ඩුව කරන්නේ ඒ ජාතිවාදය ශක්තිමත් වන දේශපාලනයක්. දෙමළ ජනතාව තුළ ජාතිවාදය සාධාරණිකකරණය වන හා එය තාර්කික වන දේශපාලනයක්. උතුරේ මිලිටරිකරණය ගැන, උතුරේ ජනතාවගේ දේශපාලනය කිරීමේ අයිතිය උදුරාගෙන තිබීම ගැන, දේශපාලන සිරකරුවන්ගේ හා අතුරුදන් වූවන්ගේ ප‍්‍රශ්නය ගැන, උතුරේ ජනතාවගේ ඉඩම් පැහැර ගැනීම ගැන අපි කවුරුත් දන්නවා. අලූත්ම එක තමයි විදේශ රටක පුරවැසිභාවය සහිත කෙනෙක් ලංකාවට එන්න වීසා ගන්නවා වගේ ලංකාවට පැමිණි පසු උතුරට යන්න නැවත අවසර ගන්න ඕන කියලා පනවපු නීතිය. මේ හැම එකෙන්ම වෙන්නේ ජාතිවාදය තාර්කික වෙන එක. ජාතිවාදය හැර අන් විසඳුමක් නැති බව පේන එක. ඇත්ත ප‍්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ දේශපාලනය තුළ මිස යුරෝපා සංගමයේ දේශපාලනය තුළ නොවේ.

යුරෝපා සංගමය කීවට මේ තීන්දුව දීල තියෙන්නේ දේශපාලන නායකත්වයෙන් නෙවෙයි. අධිකරණයකින්. අධිකරණ තීන්දුවකට අධිකරණයටම යනවා මිස ලංකාවේ පෙත්සම් අත්සන් කරලා වැඩක් නැති බව ආණ්ඩුවත් දන්නවා. ඒත් දැන් මේක ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ මුදුන් මුල බවට පත් වෙලා ඉවරයි. එල්.ටී.ටී.ඊ. වැනි සංවිධානයක් බිහි වීමට හේතුව ගැඹුරින් විග‍්‍රහ කරගන්නේ නැතිව සංවාදයක් නැති, විචාරශීලීත්වයක් නැති එල්.ටී.ටී.ඊ. විරෝධී කොඩියක් විතරක් ඔසවාගෙන යන එක ආණ්ඩුවට මැතිවරණයක දී වාසි වෙන්න පුළුවන්. ඒත් සමාජයක් විදියට හිතද්දී ඒක අවාසියි. මේ පටු දේශපාලනය පාර කපන්නේ නැවත අවුරුදු ගණනක් ඇදී යන යුද්ධයකට. කලින් ඒක තිස් අවුරුදු යුද්ධයක්. මීළඟ වර තිස් අවුරුදු යුද්ධයක් වෙන්නත් පුළුවන්. ආණ්ඩුවට අලූත් අවුරුද්දට ලැබෙන බෝනස් එකේ වන්දිය අපට ගෙවන්න වෙන්නේ ලේවලින් කියන එකත් මතක තියාගෙනම යුරෝපා සංගමය ගැනයි එල්.ටී.ටී.ඊ. ගැනයි කතා කරන එක ඇඟට ගුණයි.

Advertisements