නොවැම්බර් මතකය – විසිපස් වසරක් ඉකුත් වූ පසු…

පී.ඒ.ලීලාරත්නගේ සිතුවමකි

පී.ඒ.ලීලාරත්නගේ සිතුවමකි

ඒ අරගලය ලෙයින්, යකඩින් මර්දනය කර වසර විසි පහක් ගෙවී ගොස් ඇත. හැට දහසක් ජීවිත, සමාජයෙන් උදුරා ගෙන දශක දෙක හමාරක් ගෙවී ගොස් ඇත. ලංකාව තුළ සමාජවාදී සමාජ පරිවර්තනයක් සඳහා දැරූ එක් උත්සාහයක් තළා පොඩි කර දමනු ලැබ සිය වසකින් හතරෙන් එකක් ගෙවී ගොස් ඇත. කෙටියෙන්ම කියන්නේ නම් 87-89 අරගලය මර්දනය කර වසර 25ක් ගෙවී ගිය තැන සිට අපි යළිත් හැරී බලමු. ඉතිහාසයේ සෑම අරගලයක්ම ජයග‍්‍රහණයෙන් කෙළවර වන්නේ නැත. බොහෝ අරගල පරාජයට පත් වේ. ජයග‍්‍රහණ ලැබෙන්නේ පරාජයන් විශාල ප‍්‍රමාණයක අත්දැකීම්වල පන්නරයෙනි. ඒ නිසා පරාජයන් ජයග‍්‍රහණයේ උල්පත් මිස හුදු අපතේ යාම් හෝ මානව ඛේදවාචක නොවේ. 1905 විප්ලවයේ පරාජය ගැන සඳහන් කරමින් ලෙනින් පවසන්නේ ඒ ශ්‍රේෂ්ඨ පරාජය නොවන්නට 1917 ජයග‍්‍රහණයේ අත්දැකීම නොලැබෙන බවයි. ඕනෑම පරාජයක් ජයග‍්‍රහණයේ උල්පතක් වන්නේ නැත. ඒ සඳහා එම පරාජය ගැන විශ්ලේෂණයක්, සමාලෝචනයක්, එය නිවැරැුදි කරගැනීමේ හා එයින් පාඩම් උකහා ගැනීමේ ව්‍යවහාරයක් අවශ්‍ය වේ. 87-89 අරගලයට ද සාධාරණය ඉටු කළ හැක්කේ එය යළි ප‍්‍රතිනිර්මාණය කිරීමෙන්, එහි සටන් පාඨ පුනරුච්ඡුාරණය කිරීමෙන්, එය ඉතා භාවාතිශය ලෙසත් අනුරාගික ලෙසත් වැලඳ ගැනීමෙන් නොවේ. එය ඉතිහාසයේ වැරැුද්දක්, නපුරු සිහිනයක් ලෙස අර්ථ දක්වා සමාව ඉල්ලීමෙන් ද නොවේ. එය නිශ්චිත ඓතිහාසික පසුබිමක තබා විග‍්‍රහ කර ගැනීමෙනි.

අරගලය අවසන්ව වසර 25ක් ගෙවී ගිය මුත් එහි දේශපාලන පාඩම් නිසි ලෙස ග‍්‍රහණය කර ගැනීමට අප සමත් වූයේද යන ප‍්‍රශ්නය පැන නැෙඟ්. පොදුවේ සමාජයක් ලෙස අප එයට අසමත් වී ඇත. අරගලය පිළිබඳ දේශපාලන විශ්ලේෂණ පමණක් නොව ඒ පිළිබඳව ගැඹුරෙන් විග‍්‍රහ කරන කලා කෘති ආදිය ද ඇත්තේ ඉතාම අතලොස්සකි. පොදු සමාජය ගත් කල මුල් යුගයේ දී භීතිය නිසා නිහඬව සිටීමෙන් ද ඉන් අනතුරුව නපුරු සිහිනයක් සේ එය ඉක්මනින් අමතක කර දැමීමෙන් ද කාලයේ වැලි තලාව තුළ වළලා දමන ලදී. අරගලයේ පොල්මඃකාර උරුමක්කාරයන් ලෙස පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ද පසු කාලයේ දී කළේ ‘අරගලය සමරන්න අයිතිය තිබෙන්නේ අපට විතරයි’ කියමින් සමාජවාදයට වැටකඩුළු බැඳීමය. ඔවුන් එම විශ්ලේෂණය හෝ අත්දැකීම් සමාලෝචනය සිදු කළේ ද නැත. කළේ ඉල්මහ විරුවන්ගේ දැවැන්ත ප‍්‍රතිරූපවලට මුවා වී සිය අගතීන් වසා ගැනීමට තැත් කිරීමයි. අරගලයේ වීරත්වය, අසම්මුතිකාමීත්වය විදහා පෙන්වමින් සමාජයේ පන්ති සහයෝගීතාවාදී උපයෝගීතාවාදී නිරුවත වසා ගැනීමයි. මුලින් උපයෝගීතාවාදී ලෙස හුදු වීරත්වයම පමණක් උත්කර්ශනයට නංවන සැමරීම් කළා සේ ම මේ අය මෑත කාලයේ කළේ එවැනිම උපයෝගීතාවාදී අදහසකින් අධිරාජ්‍යවාදී මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින ලිබරල් මහත්වරුන් ඉදිරිපිට සමාව ඉල්ලීමයි. අප කළ යුත්තේ අරගලය සර්ව නිර්දෝෂී කිරීම හෝ ධනපතියන්ගෙන් සමාව ඉල්ලීම නොව එහි දේශපාලන අත්දැකීම් සාකච්ඡා කිරීමයි.

අරගලය ගැන කියවා ගැනීමේ දී එහි හරය ග‍්‍රහණය කර ගැනීම ඉතා වැදගත් වේ. අරගලය පෙනී සිටියේ දේශපේ‍්‍රමී අරගලයක ස්වරූපයෙනි. මෙය පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණ සිය වැරදි දේශපාලන උපක‍්‍රම සුජාතකරණය කිරීම සඳහා භාවිත කළ බැවින් ඒ පිළිබඳව සාකච්ඡුා කළ යුතුමය. සෝමවංශ අමරසිංහ වැන්නන් බොහෝ විට අරගලයේ නියුතු ක‍්‍රියාධරයන් නාමකරණ කළේ ද ‘දේශපේ‍්‍රමීන්’ ලෙසිනි. අරගලය දේශපේ‍්‍රමී අරගලයක ස්වරූපය ගැනීමට බලපෑ කරුණු ගණනාවක් විය. අරගලයේ කවර දුබලතා තිබුණද එහි නියුතු කාර්යධරයන් අරගලයට පැමිණියේ ‘රට බේරා ගැනීම’ සඳහා නොව සමාජවාදී විප්ලවය සඳහාය. ඔවුන්ගේ අරමුණ වූයේ ඉන්දියානු හමුදාව ලංකාවෙන් නෙරපා හැරීම වැනි අරමුණක් නම් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සමඟ සම්මුතියකට ගොස් ඉතා පහසුවෙන්ම ජීවිත බේරා ගැනීමේ හැකියාව තිබිණි. එහෙත් ඔවුහු ධනපති පන්තිය සමඟ කවර හෝ සම්මුතියකට එකඟ නොවී ජීවිතයෙන් ආදර්ශය පෙන්වූහ. මරණයෙන් ද ආදර්ශය පෙන්වූහ. දේශපේ‍්‍රමී අරගලයක ස්වරූපය ඔස්සේ සමාජවාදී විප්ලවය සිදු කිරීම එම පරම්පරාවේ මනස්ගාතයක් නොවේ. ඊට බලපෑ ජාත්‍යන්තර තත්වයන් මෙන්ම ජාතික තත්වයන් ද බොහෝ තිබුණු අතර ඒවා ප‍්‍රමාණවත් තරමින් සංවාදයට බඳුන් කළ යුතුය.

rohana and gamanayakaමේ සඳහා බලපෑ ප‍්‍රධානතම න්‍යායික හා උපාය මාර්ගික පදනමක් වූයේ පරිධියේ රටවල විප්ලවය සඳහා තුන්වන ජාත්‍යන්තරය සම්මත කළ යෝජනාවයි. ඊට අනුව අධිරාජ්‍යවාදයෙන් පීඩාවට පත්වන රටවල විප්ලවය සඳහා බහුජනතාව සම්බන්ධ කර ගැනීමේ ආකෘතිය ලෙස ජාතික විමුක්ති අරගලයේ ආකෘතිය යෝජනා විය. පසුකාලීනව මෙය ආසියාවේ, අප‍්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ රටවල අත්හදා බැලූ අතර එහි සාර්ථකත්ව හා අසාර්ථකත්ව පිළිබඳ සමාලෝචනය වෙනත් අවස්ථාවක වඩා පුළුල්ව සිදු කර ගත යුතුය. මෙම උපාය මාර්ගය චීන විප්ලවයේ දී මෙන්ම වඩාත් ආන්දෝලනාත්මක ලෙස වියට්නාමය තුළ භාවිත විය. ලංකාවට බෙහෙවින් බලපෑවේ 1970 දශකයේ දී වියට්නාමය   තුළ අමෙරිකානු මිලිටරි ආක‍්‍රමණයට එරෙහි අරගලය සමාජවාදී විප්ලවය දක්වා වර්ධනය වීමේ අත්දැකීමයි. ලංකාව තුළ නව ලිබරල් ධනවාදයේ ස්ථාපිතවීමත් එය බරපතළ අධිරාජ්‍ය ගැති ස්වරූපයක් අත් පත් කර ගැනීමත් විශේෂයෙන් 1987 වන විට ඉන්දියානු මිලිටරිමය බලහත්කාරයක් සමඟ ඉන්දියානු හමුදා මෙරටට පැමිණීමත් විසින් උපන් සන්දර්භය ලංකාව තුළ ද දේශපේ‍්‍රමී අරගලයක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ‘ධර්මිෂ්ඨ සමාජයක්’ වැනි උධෘත පාඨ භාවිත කරමින් ජාතිකවාදී බලවේග සමඟ සම්මුතියකට යාමට උත්සාහ කළ ද 1983 කළු ජූලිය වැනි ක‍්‍රියාකාරීත්වයන් හරහා ජාතිකවාදී මතය තමන්ගේ පාලනය යටතේ රඳවා ගැනීමට උත්සාහ කළ එය සාර්ථක වූයේ නැත. නවලිබරල් ධනවාදය වර්ධනය වෙද්දී එම බලවේගයන්, දේශපේ‍්‍රමී හැඟීම් සහිත පුද්ගලයන් තල්ලූ වී ගියේ ආණ්ඩු විරෝධී අන්තයක් වෙතය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි මාසයේ දී අත්සන් කිරීමත් සමඟ මෙය තවත් තීව‍්‍ර විය. මේ අනුව නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට හා ජේ. ආර්. ආණ්ඩුවේ ඒකාධිපතීත්වයට එරෙහි අරගලයට දේශපේ‍්‍රමී අරගලයක මුහුණුවර ලැබීම සඳහා වන සන්දර්භයක් නිර්මාණය විය. අරගලයට නායකත්වය දුන් පරම්පරාව උත්සාහ කළේ එම සමාජ සාධක සමාජවාදී විප්ලවය වෙනුවෙන් කළමනාකරණය කිරීමට හා දේශපේ‍්‍රමී අරගලය සමාජවාදී විප්ලවයක් දක්වා වර්ධනය කිරීමට බව පැහැදිලිය.

එනිසා අරගලය ගැන සාකච්ඡා කිරීමේ දී අප පෙරට ගත යුත්තේ අරගලයේ පෙනුම නොව හරයයි. කළ යුත්තේ ඒ උපක‍්‍රම යළි අත්හදා බැලීම, ඒ සටන් පාඨ නැවත නැවත පුනරුච්ඡුාරණය කිරීම නොව අරගලයේ විප්ලවීය හරය ග‍්‍රහණය කර ගැනීමයි. ඉතිහාසයේ නිශ්චිත සන්දර්භයක, පැන නැඟුණු අරගලයේ සතුරු-මිතුරු පිල් බෙදීම් මත පදනම්ව වත්මන් දේශපාලන සන්දර්භයේ බලවේගයන් තක්සේරු කිරීම නොව එදා අභියෝගයත් අද අභියෝගයත් අතර ඇති සමානකම් සහ වෙනස්කම් නිවැරදිව හඳුනා ගෙන අද තත්වය තුළ ඒවා තක්සේරු කිරීමයි. අප දේශපාලන ප‍්‍රතිවිරෝධතා ගණන් බැලිය යුත්තේද වසර 25කට පෙර පැවැති තත්වයන් සිතේ තබාගෙන නොව වත්මන් තත්වයට අනුකූලවය. අරගලයට ද එහි ජීවිත කැප කළ අයට ද සාධාරණය ඉටු කළ හැක්කේ මනසින් අතීතය තුළ ජීවත් වීමෙන් නොව වර්තමානයට හා අනාගතයට එම පාඩම් උකහා ගැනීමෙනි. අරගලයේ හරය වත්මන් අත්දැකීම්වලට නිර්මාණශීලි ලෙස භාවිත කිරීමෙනි. ඒ නිසා මේ අවස්ථාව භාවිත කළ යුත්තේ එවැනි දේශපාලන සාකච්ඡුාවක් වර්ධනය කිරීම සඳහාය. අරගලය කාලයේ වැලි තලාවෙන් වැසී නොයන්නට, එය සදාකාලිකව ජීවමානව පැවතීමට එවැනි සාකච්ඡුාවක් අවශ්‍ය වේ. ඉදිරි ජයග‍්‍රහණයන් සඳහා ඒ පරාජයේ දේශපාලන පාඩම් උකහා ගැනීමට අප සමත් වුවහොත් පමණක් එය ඉතිහාසමය ඛේදවාචකයක් බවට පත් නොවී ‘ශ්‍රේෂ්ට පරාජයක්’ බවට පත් වනු ඇත. දේශපේ‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ව්‍යාජ සටන් පාඨ දේශපාලන වේදිකා මත රඟ දැක්වෙන මේ මොහොතේ එම පාඩම් උකහා ගැනීම අතිශය වැදගත් වේ. ඒ අතීතයට සාධාරණය ඉටු කිරීමට පමණක් නොව වර්තමානයට හා අනාගතයට ද සාධාරණය ඉටු කිරීමටය.

Advertisements