ලැජ්ජයි මහින්ද – (II)

???????????????????????????????ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහින්ද රාජපක්ෂගේ උපන් දිනය නිමිත්තෙන් රුපියල් කෝටි 100කට ආසන්න මහජන මුදලක් නාස්ති කරමින් ඔහුගේ ප‍්‍රතිරූපය පිම්බීම සඳහා දැවැන්ත ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කර තිබේ. පසුගිය 17, 18 සහ 19 දින තුන තුළ දී සියලූම ජාතික පුවත්පත්වල අමාත්‍යාංශවල වියදමෙන් ‘ජනාධිපතිවරයාගේ උපන් දිනය හා පදවි ප‍්‍රාප්තිය’ වෙනුවෙන් දැන්වීම් පළ කර තිබිණි. ලංකාදීප, දිවයින, මව්බිම, ඬේලිමිරර් පුවත්පත්වල පමණක් මෙම දින තුන තුළ දී ඍජුවම ඉහත තේමාව යටතේ සම්පූර්ණ පිටුවේ දැන්වීම් 85ක්, පිටු බාගේ දැන්වීම් 50ක් පිටු කාලේ දැන්වීම් 10ක් හා පිටු 3/4 දැන්වීම් 7ක් පළ කර තිබිණි. ඉහත තේමාව සඳහන් නොකරමින් එහෙත් ජනාධිපතිවරයාගේ උපන් දිනය ඉලක්ක කර ගනිමින් පළ කරන දැන්වීම් මීට ඇතුළත් නොවේ.

සාමාන්‍යයෙන් පුවත්පතක පිටුවේ දැන්වීමක් සඳහා රුපියල් 2,50,000ක් පමණ අය කරන බැවින් ඉහත දැන්වීම්වලට පමණක් රුපියල් කෝටි තුනක් පමණ වැය වේ. දිනමිණ, රිවිර, ලක්බිම, අයිලන්ඞ්, සිලෝන්ටුඬේ, අද යන ජාතික පුවත්පත් සහ කුඩා ප‍්‍රමාණයේ පුවත්පත් මීට ඇතුළත් නොවේ. ඒ සියල්ල සැලකීමේ දී පුවත්පත් දැන්වීම් සඳහා පමණක් රුපියල් කෝටි 10ක් පමණ වැය කර ඇති බව පැහැදිලිය.

පුවත්පත්වල දැන්වීම්වලට අමතරව සෑම පැයකදීම කිහිපවාරයක් විකාශය වන රූපවාහිනී දැන්වීම් සියලූම නාලිකාවලට ලබා දී තිබිණි. එම දැන්වීම්වලට අවම වශයෙන් රුපියල් කෝටි 50ත් 75ත් අතර මුදලක් වැය වී ඇති නිසැකය. එමෙන්ම රට පුරා ජනාධිපතිවරයාගේ රුව සහිත දැවැන්ත කටවුට් ප‍්‍රදර්ශනය කරනු ලැබීය. එවැනි පුවරු දහස් ගණනක් සවි කර තිබූ අතර එක් පුවරුවකට වියදම රුපියල් ලක්ෂයක් ලෙස අවම වශයෙන් ගණන් ලැබුවද ඒ සඳහා තවත් රුපියල් කෝටි ගණනක් වැය කර තිබේ.

මේ අනුව දින තුනක ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මහජන මුදලින් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැය කර ඇති බව පැහැදිලි වේ. මේ පිළිබඳව විගණනයක් සිදු කිරීම අදාළ අංශවල වගකීම බව අපි අවධාරණය කරමු.

අනෙක් කරුණ වන්නේ මෙම දැන්වීම් එක් එක් අමාත්‍යාංශය විසින් ස්වාධීනව නිර්මාණය කරන ලද ඒවා නොවන බව පෙනෙන්නට තිබීමයි. දැන්වීම් සියල්ල එක් ස්ථානයක මෙහෙයවීම යටතේ සිදු කරන ලද බව පැහැදිලිය. සියලූම දැන්වීම්වලට භාවිත කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සීමිත, තෝරා ගන්නා ලද ඡුායාරූප කිහිපයක් වන අතර දැන්වීම් ආකෘතිය ද එකක්ම විය. ඒ අනුව කිසියම් එක් ස්ථානයකින් සැලසුම් කරන ලද ප‍්‍රචාරක කටයුත්තක් ලෙස මෙය සිදු වූ බව පැහැදිලිය.

මේ අතර ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි දැන්වීම්, කටවුට්, පෝස්ටර් හා උපන් දිනය වෙනුවෙන් විවිධ රජයේ ආයතන දියත් කළ වෙනත් වැඩසටහන්වලට ගිය වියදම් සියල්ල ගණනය කළ විට මහජන මුදලින් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් දින තුන හතරක කාලයක් තුළ විනාශ කොට ඇති බවයි.

ජේ.ටී ගමගේ

Advertisements