හොරකමෙන් ලැබූ පදක්කමට අපෙන් චියර් එකක්

දූෂණය අතින් ලංකාව ලෝකයේ 85 වැනි ස්ථානයට

දූෂණය අතින් ලංකාව ලෝකයේ 85 වැනි ස්ථානයට පැමිණ තිබෙන බව පසුගිය දා මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි. පසුගිය වසරේ ලංකාව තිබුණේ 91 වැනි ස්ථානයේ වන අතර මෙවර ලංකාව ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇත. එනම් දූෂණය හා අල්ලස අතින්, මහජන මුදල් වංචාව අතින් ලංකාව වසරින් වසර නරකම තැනකට ඇදී යමින් තිබේ. මෙම ප‍්‍රවෘත්තියට වැඩිම ප‍්‍රසිද්ධියක් දුන්නේ විපක්ෂයට හිතැති මාධ්‍ය මඟිනි. ඒ මේ වන විට යහපාලනය විපක්ෂයේ සටන් පාඨයක් බවට පත්ව ඇති බැවිනි. මේ පිළිබඳව බොහෝ ආණ්ඩු විරෝධී මාධ්‍යවල විග‍්‍රහ කෙරෙන්නේ මෙය රාජපක්ෂලාගේ ප‍්‍රශ්නයක් ලෙසිනි. ඒ විග‍්‍රහයට අනුව රාජපක්ෂ පාලනය අවසන් කළ වහාම සුපිළිපන් සමාජයක් හෙවත් දූෂණයෙන් තොර සමාජයක් නිර්මාණය කළ හැකි වනු ඇත. මෙහි ඇති අනෙක් ප‍්‍රවණතාව වන්නේ නවලිබරල් ධනවාදය පවතින තුරු වංචාව – දූෂණය තුරන් කළ නොහැකි බවට වන මතයයි. පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත් වූ ගුණදාස අමරසේකර පැවසූ අදහසෙහි හරය වන්නේ වංචා-දූෂණවල වගකීම සමාජ ක‍්‍රමයට පවරා රාජපක්ෂ පාලනය එයින් නිදොස් කොට නිදහස් කිරීමයි.

මෙසේ වංචා දූෂණ ගැන කතා කරන බොහෝ අය වංචාවලින් තොරව දේශපාලනය කළ අතීත ස්වර්ණමය යුගයක් ගැන සිහිපත් කරන නිසා වංචාව හා හොරකම පිළිබඳව ගැඹුරෙන් කතා කළ යුතුය. ඔවුන් ඉදිරිපත් කරන ආකාරයට බණ්ඩාරනායක දේශපාලනය කළේ තමන්ගේ පාරම්පරික ඉඩම් විකුණා ලැබුණු මුදල්වලිනි. ඩඞ්ලි සේනානායක සිව්වරක් අගමැතිවරයාව සිට මිය යන විට බැංකු ගිණුමේ තිබුණේ රුපියල් හාරසිය ගණනකි. මේ පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාව පසෙක තැබුවහොත් මේ කියන්නේ දේශපාලනය ධනෝපායන මාර්ගයක් නොවන අතීතයක් අපට තිබුණු අතර යළි එවැනි යුගයක් ළඟා කරගත යුතු බවය. ඇත්තටම මෙහි දී සාකච්ඡුා වන්නේ නීත්‍යනුකූල හොරකමක් හා අවනීතික හොරකමක් ලෙස හොරකමේ ප‍්‍රභේද දෙකකි. එය හොඳින්ම වටහා ගැනීමට නම් ඕලන්ද දාර්ශනිකයකු වන ‘බෙනඩික්ට් ස්පිනෝසා’ නීතිය පිළිබඳව කළ නිර්වචනය අවශ්‍ය වේ. ඔහුට අනුව නීතිය යනු පළමුවර කරන ලද හොරකමක් නිවැරැුදි බව පැවසීමටත් දෙවන වර එය යළි හොරකම් කිරීම වැරදි බව පැවසීමටත් නිර්මාණය කරගෙන ඇති උපක‍්‍රමයකි. සූරාකෑම යනු හොරකමකි. පෞද්ගලික දේපළ යනු හොර බඩුය. අදටත් ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රියාවලිය හරහා සිදුවන්නේ හොරකමකි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු අයකිරීම හරහා රජය කරන්නේ හොරකමකි. එහෙත් ඒවා වර්ගීකරණය කර ඇත්තේ නීත්‍යනුකූල හොරකම් ලෙසය. නීති විරෝධී ලෙස ගැනෙන්නේ යමකු ඒ හොර බඩු නැවත හොරකම් කිරීමය. ‘ස්පිනෝසා’ කියන්නේ එයයි.

ලංකාවේ ධනපති දේශපාලනයේ පළමු පරම්පරාවන් මතුව ආවේ ප‍්‍රභූ පෙළැන්තියෙනි. ඔවුන්ට කොල්ලකෑමෙන්, වංචාවෙන් හා හොරකමෙන් රැස්කර ගත් ස්ථාවර ධනස්කන්ධයක් තිබිණි. ලංකාවේ පළමුවැනි ධනපතියන් බිහිවූයේ අරක්කු රේන්ද හරහා බව අමතක කළ යුතු නැත. ඔවුන්ට දේශපාලනය යනු සිය ධනය වඩාත් සුරක්ෂිත කරගැනීම සඳහා බලය අත්පත් කරගැනීමකි. ඔවුන්ට දේශපාලනය හරහා නැවත හොරකම් කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණේ ඒ වන විටත් ‘නීත්‍යනුකූල හොරකම’ හරහා උවමනා තරමට ධනස්කන්ධයක් ගොඩගසාගෙන සිටි බැවිනි. නමුත් ධනපති දේශපාලනයේ වත්මන් පරම්පරාවට එසේ සංචිතගත ධනයක් නොමැති අතර ඔවුන්ගේ ධනෝපායන මාර්ගය වී ඇත්තේ දේශපාලනයයි. ‘අවනීතික සොරකම’ සඳහා ඔවුන් පෙලඹෙන්නේ එහෙයිනි. ඒ අරුතින් ගත් කළ වංචාව නැති පිරිසිදු දේශපාලනයක් සහිත ස්වර්ණමය යුගයක් අතීතයේ නොපැවැති අතර දැන් සිදුව ඇත්තේ වංචාවේ ස්වරූපය හා වර්ගය වෙනස් වීමයි.

අනෙක් අතට මෙය රාජපක්ෂලාගේ ප‍්‍රශ්නයක්මත් නොවේ. අද යහපාලනය ගැන බණ දේශනා කරන රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාව සිටි අවධියේ ඔහුගේ කැබිනට් මණ්ඩලය විසින් වගකිව යුතු සමස්ත වංචාව රුපියල් බිලියන 150ක් හෙවත් ජාතික ආදායමෙන් හතරෙන් එකක් බව කෝප් වාර්තාව හෙළිදරව් කර තිබිණි. එකල දූෂණවලට එරෙහිව කෑ ගැසුවේ වත්මන් පාලකයෝය. ඒ ගැන වැඩිපුරම කෑගසන චන්ද්‍රිකාට ඇගේ පාලන කාලය තුළ තවක්කාල් ගනුදෙනුව, චැනල් නයින් ගනුදෙනුව, වෝටර්ස් එජ් ගනුදෙනුව ආදී ගනුදෙනු ගණනාවක අයථා මුදල් පරිහරණය පිළිබඳ චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව කාගෙ කාගේත් කිල්ලෝටවල හුනු ඇත. සාමාන්‍ය සම්ප‍්‍රදාය වී තිබෙන්නේ ආණ්ඩු පක්ෂය වංචාවේ නිරත වන අතර විපක්ෂය වංචා දූෂණවලට එරෙහිව යහපාලනය වෙනුවෙන් හඬ නැඟීමයි. නමුත් ඔවුන් වංචාවක් නොකරන බවට කිසිදු සහතිකයක් නැත. හැමදාමත් මැතිවරණයකින් පසුව සිදුවන්නේ වීරයන් දුෂ්ටයන් වී දුෂ්ටයන් වීරයන් බවට පත්වීමයි.

වංචාව නවලිබරල් ධනවාදයේ කොටසක් බව කියමින් රාජපක්ෂ පාලනය එයින් නිදහස් කරගැනීමට වෙහෙසෙන ගුණදාස අමරසේකරලා ගැන ද යමක් කිව යුතුය. මේ වංචා දූෂණ නවලිබරල් ධනවාදයේම නිසග ලක්ෂණයක් නොව පසුගාමී, බෙලහීන ධනපති රටක ලක්ෂණයකි. දියුණු ධනේශ්වර රටවල ඒවා පාලනය කිරීම සඳහා විවිධ ක‍්‍රමවේද සකස් කර ඇත. අපේ රට වැනි රටවල ඒ ක‍්‍රමවේද සකස් කළ පමණින් යහපාලනය බිහි කළ නොහැක. වංචාව සමස්ත සමාජ අර්බුදයක් සමඟ බැඳී පවතී. අනෙක් අතට නවලිබරල් ධනවාදයට ඔයතරම් විරුද්ධ නම් අමරසේකරලා කළ යුත්තේ එය ලංකාව තුළ කි‍්‍රයාත්මක කරන ආණ්ඩුවට ද එරෙහිව සටන් කිරීමයි. ආණ්ඩුවට මුක්කු ගසන අතර නවලිබරල් ධනවාදය ගැන කතා කිරීම වංචාවක් හා ප්‍රෝඩාවකි.

Advertisements