මම මුවා, කෝ මේ තිස්ස?

තරුණ තරුණියන් අතර දුරකථනයෙන් කෙරෙන විහිළුවක් තිබෙනවා. මුලින් කෙනෙක් කතා කරලා ”මේ පැත්තෙන් මුවෙක් දිව්වද?” කියලා අහනවා.

”කවුද ඔය?” අනෙක් පැත්තෙන් මෙහෙම උත්තරයක් ලැබෙනවා.

”මම මේ තිස්ස”.

එතකොට ඇමතුම ලැබුණු කෙනා අන්දමන්ද වෙලා ”මොන තිස්සද?” කියලා අහනවා.

”මම දේවානම් පියතිස්ස” එහෙම කියන කෙනා අනෙක් කෙනා බනින්න කළින් දුරකථනය විසන්ධි කරනවා.

ඊට ටික වෙලාවකට පස්සේ ඒ දුරකථනයටම වෙන කෙනෙක් කතා කරනවා. ”මේ තිස්ස කියලා කෙනෙක් ඔයාට කතා කළාද?”

”ඔව් කතා කළා. ඔය කවුද කතා කරන්නේ?”

”මම මුවා. කෝ තිස්ස කොහෙද ගියේ?” අනෙක් පැත්තෙන් පිළිතුර ලැබෙනවා.

අද කියන කතාව මුවා සහ තිස්ස ගැන කතාව නෙවෙයි, අලියා සහ තිස්ස ගැන කියන කතාව. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 8 වැනිදා සන්ධානයට එක් වුණා. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන විපක්ෂයට ඇවිත් සති කිහිපයකට පසුව. දැන් ඒ ලේකම් මෙහේ. මේ ලේකම් එහේ. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ”ගේම සෙපෝරුයි”.

මේ පැනිලි සිදු වෙන්නේ ප‍්‍රශ්න විසඳාගන්න කියලයි පනින අය කියන්නේ. මෛතී‍්‍රපාල කියන්නේ තමන් පැන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාධිපති ග‍්‍රහණයෙන් මුදාගන්න කියලා. තිස්ස අත්තනායක කියන්නේ තමන් පැන්නේ එජාපය මංගල – රවී – මලික් කල්ලියෙන් මුදාගන්න කියලා. විපක්ෂයට පැන්න රාජිතලාට, දුමින්ද දිසානායකලාට, හිරුණිකාලාට වගේම ආණ්ඩුවට පැන්න තිස්සලාට, ජයන්ත කැටගොඩලාටත් කියන්න ප‍්‍රශ්න තිබෙනවා. අපි ඇහුවොත් ඔවුන් කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, කල්ලිවාදය, ඥාති සංග‍්‍රහය වගේ හරබර වචන. නමුත් ඇත්තටම මේ අය විසඳගන්නේ

තමන්ගේ සල්ලි ප‍්‍රශ්නය. ඒ සල්ලි ප‍්‍රශ්නය කියන්නේ අපට වගේ බැංකුවේ ණය වාරිකය ගෙවාගන්නෙ කොහොමද, ගෑස් එක ඉවරයි, ඒක ගන්නෙ කොහොමද, දරුවා පාසල් ගෙන යන වෑන් එකට ගෙවන්නේ කොහොමද වගේ සල්ලි ප‍්‍රශ්න නෙවෙයි. අමෙරිකාවෙන් ගෙවල් ගන්නේ කොහොමද, යුරෝපයෙන් ඇපල් වතු ගන්නේ කොහොමද, ලැම්බෝගිනියක්, ඇන්ටන් මාටින් එකක් ගන්නේ කොහොමද වගේ ප‍්‍රශ්න. ඒකට ඒ අය සල්ලි හොයන්නේ කෝටි ගණන් කප්පම් අරන්. මේ පිල්මාරු පිටුපස ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න ඇත්තේම නැති තරම්. තිබෙන්නේ පුද්ගල පෞරුෂ ප‍්‍රශ්න, කෝටි ගණන් සල්ලි මලූ ගැන ප‍්‍රශ්න, ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රතිවිරෝධතාවල ප‍්‍රශ්න වගේ දේවල්.

ඉහළ පන්තියේ අය මේ විදියට තමන්ගේ ප‍්‍රශ්න විසඳා ගනිද්දී අපි කරන්නේ මොකක්ද? ජනතාව කට ඇරගෙන මේ විකාර දිහා බලාගෙන ඉන්නවා. විනෝද වෙනවා, ඔල්වරසන් දෙනවා, අඬනවා, සුසුම් හෙළනවා. ආණ්ඩු විරෝධී දේශපාලනය කියන්නේ මෛත‍්‍රී එනකොට සතුටු වෙන එකයි, තිස්ස යනකොට දුක්වෙන එකයි බවට පත්වෙලා. ආණ්ඩු හිතවාදීන්ගේ දේශපාලනය අර මුවාගේ දුරකථන ඇමතුම වගේ

”කෝ තිස්ස?” කියලා විපාක්ෂිකයන්ගෙන් අවඥාවෙන් අහන එක බවට පත්වෙලා. මේක උඩපිනුම්, බඩපිනුම් බලන, සර්කස් බලන, රූකඩ බලන වෙලාවක් කරගන්නත් පුළුවන්. නැතිනම් අපේ අනාගත පරපුරේ ඉරණම ගැන තීන්දුවක් ගන්න තීරණාත්මක මොහොතක් කරගන්නත් පුළුවන්. රටේ ජනතාව කැමති මොකක් කරන්නද? කරන දේ ගැන තීරණයක් ගන්න නම් අපට අපි ගැන තීරණයක් ගන්න වෙනවා. අපට අපව හඳුනා ගන්න වෙනවා. අපි මීට පෙර කතුවැකියක් ලිව්වා. ‘අපි මොක්කුද’ කියලා. වායෝ සංගීත කණ්ඩායම ගයන ගීතයකුත් තියෙනවා. ‘අපි කවුරුද’ කියලා.

අපි කවුද කියන ප‍්‍රශ්නය, අපේ ප‍්‍රශ්න මොනවද කියන ප‍්‍රශ්නයත් සමඟ බැඳී තිබෙනවා. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්නය මෛත‍්‍රීපාලගේ ඇමැති ධුර උදුරා ගැනීමේ ප‍්‍රශ්නයට වඩා වෙනස්. අපේ අධිරාජ්‍ය විරෝධයේ ප‍්‍රශ්නය මහින්දගේ විදුලි පුටු ප‍්‍රශ්නයට වඩා වෙනස්. අපේ බලය පිළිබඳ ප‍්‍රශ්නය තිස්ස අත්තනායකගේ එජාපයට බලය ගන්න බැරිවීමේ ප‍්‍රශ්නයට වඩා වෙනස්. ඒ නිසා අපට හොයන්න වෙන උත්තරත් වෙනස්. සල්ලිවලට එහෙට මෙහෙට පනින දේශපාලනය උන්ගේ දේශපාලනය වෙද්දී අපේ දේශපාලනය විය යුත්තේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයක්. ආත්මාර්ථය උන්ගේ දේශපාලනය වෙද්දී අපේ දේශපාලනය විය යුත්තේ සාමූහිකත්වයේ දේශපාලනයක්. එහෙම නම් දක්ෂිණාංශික පාදඩ දේශපාලනය වෙනුවට අප තෝරාගත යුත්තේ අප වෙනුවෙන් වන දේශපාලනයක්. ඒ වාමාංශික දේශපාලනයක්. ඒ නිසා දැන් විහිළුවට හරි දුරකථනවලින් ඇසිය යුතු ප‍්‍රශ්නය ”කෝ තිස්ස” කියන ප‍්‍රශ්නය නෙවෙයි. ”කෝ ජනතාව” කියන ප‍්‍රශ්නය. පිළිතුරු ලෙස ඇසිය යුත්තේ ”ඔයා කවුද” කියන ප‍්‍රශ්නය නෙවෙයි, ”අපි කවුද” කියන ප‍්‍රශ්නය.

Advertisements