බෝගල පතලේ කම්කරු ජීවිත මත රැඳි දුක් කන්ද

”අපි මේ වැඩවලට ජීවිත කාලයම කැපකළත් තාමත් අපිට කියලා ඉන්න හිටින්න තැනක්වත් හදාගන්න බැරිවුණා. වැඩ කරලා ලැබෙන කීයක් හරි කන්න අ`දින්න ගියාම ඉවරයි.” එහෙම කියන්නෙ බෝගල පතලෙ කම්කරුවෙක්. ඔවුන් කාලයක් තිස්සෙ දුක් මහන්සියෙන් බෝගල පතලෙ වැඩ කළේ එහි ආදායමෙන් රජයට විශාල ආදායම් උපදවන්නයි. ඒත් ඒ වෙනුවට කම්කරුවන්ට ලැබී ඇති දේ මොනවද? දැන් කම්කරුවො පාරට බැහැලා ඉන්නෙ තමන්ට ලැබිය යුතු දේ වෙනුවෙන්. මෙතෙක් පාලකයන්ගෙන් නම්‍යශීලී ප‍්‍රතිචාරයක් ඔවුන්ට ලැබී නැහැ.

කෑගල්ල, අවිස්සාවේල්ල පාරේ සිට කිලෝමීටර පහක් ගිය තැන දී බෝගල ග‍්‍රැෆයිට් ලංකා ලිමිටඞ් හමුවෙනවා. ලංකාවේ මිනිරන් කර්මාන්තයේ විශිෂ්ට වාණිජ සන්නාමයක් මෙම භූමියේ සටහන් වෙනවා. සියවසකට අධික කාලයක සිට වසරකට උපරිම ලාභයක් උපයන මෙහි ආරම්භය වසර 160 ක් පමණ වෙනවා. ආරම්භයේ දී පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පැවැතිය ද 1972 දී මෙය රාජ්‍ය පතල් කැණීම් හා මිනිරන් සංස්ථාව ලෙස නම් වුණා. එම කාලය තුළ සේවක අයිතීන් තහවුරු වුණේ වමේ වෘත්තීය සමිතිවල ක‍්‍රියාකාරීත්වය හේතුවෙන්. නමුත් 1999 දී බෝගල පතල ජර්මනියේ ක්‍රොප්වුල් සමාගමට

පවරනු ලැබුවා. මේ වන විටත් අධික ලාභයක් ඉපැයූ කර්මාන්තය පෞද්ගලිකකරණය කිරීමෙන් පසුව රටට ලැබිය යුතු ජාතික ධනයත් සේවක අයිතීනුත් නැති වෙන්න පටන් ගත් බව සේවකයන්ගේ අදහසයි.

මෙම පතලේ වත්මන් තතු දැනගන්න අපි එහි ගියේ අරගලයක නිරතවන සේවකයන්ගේ ඉල්ලීමකට අනුවයි. එහි දී හමු වූ සේවකයන් විවිධ අදහස් පළ කළත් ඔවුන් තම නම් ගම් හෙළිකරන්නට කැමති වුණේ නැහැ. එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ එසේ කිරීමෙන් පාලකයන් තමන්ගෙන් පෞද්ගලිකව පළිගන්නා බවයි.

පොළෝ මට්ටමේ සිට අඩි 1700 ක් තරම් යට කළු ගල් සමඟ වෙහෙසෙන ඔවුන්ගේ ශරීර කළුගල් මෙන්ම ශක්තිමත්. එසේ නමුත් ඔවුන් අතර ජීවන දුෂ්කරතාවන්

රැසක් පවතින බවකුයි හැඟී ගියේ. ඔවුන් කීප දෙනෙක් වැඩ විරාමයක දී බුලත් හපන ගමන් අප සමඟ කතා කළා. ඔවුන් සිය ජීවිතය ගැන කියා සිටියෙ මෙහෙමයි.

”අපි මේ පතලෙ දෝනා යට වැඩ කරන්නෙ ජීවිතේ අවදානමට දාලා. ජීවිත කාලයම මිනිරන් හාරන්්න වැය කළත් අපිට කියලා ඉන්න හිටින්න තැනක්වත්

හදාගන්න බැරිවුණා. හරිහමන් වැටුපක් නෑ. ලැබෙන දේ කන්න අ`දින්න ගන්නකොට ඉවරයි. අපට වැටුප් වැඩිකිරීමේ පිළිවෙළක් නැහැ. දීමනා ලබාදෙන්නේ තමන්ට පක්ෂපාතී අයට විතරයි. කලින් කලට සාමූහික ගිවිසුම් ගහලා සොච්චං පඩියක් වැඩි කරගන්නවා. කවුරු හරි අනතුරකට මුහුණ දුන්නොත් පතල වගකියන්නේ නැහැ. සේවකයා පිටම වරද පටවලා ඇ`ග බේරගන්නවා. ඉස්සර රෝහල් ගතකළාම මුදලක් දුන්නා. අද ඒකත් කප්පාදු කරලා අලූතින් සේවකයෝ බඳවා ගැනීමක් නැහැ. ඉන්න කිහිප දෙනාගෙන් මරාගෙන වැඩගන්න බලනවා. පතලේ වින්චි කි‍්‍රයාකරවන්නා කියන්නේ හොඳ මානසිකත්වයකින් සිටිය යුතු කෙනෙක්. මේකෙන් ඉහළ පහළ යන සේවකයන්ගේ ජීවිත රැු`දිලා තියෙන්නේ එයාගේ අතේ. ඒත් එයාටත් විවේක වෙලාවක් නොදී දිගටම වැඩ පවරනවා.’’

‘‘අනිත් ප‍්‍රශ්නෙ තමයි සේවකයන් බලහත්කාරයෙන් නිවාඩු යවන එක. පහුගිය අවුරුදු කාලේ පාලකයන්ට විදේශගත වෙන්ට ඕන කියලා සේවකයෝ දවස් ගණනාවක් නිවාඩු යැව්වා. ඒ නිවාඩු ඔවුන්ගේ නිවාඩුවලින් අඩු කරලා කිසිම ගෙවීමක් කළේ නැහැ. සුපර් ගැන්, සුපර් ටීම් කියලා සේවකයෝ කණ්ඩායම් බෙදලා ඔවුන් අතර තරගයක් හදන්න උත්සාහ ගන්නවා. එහෙම කරලා මිනිසුන්ගෙන් හොඳටම වැඩ ගන්නවා. මේවට අහුවෙන කිහිප දෙනෙක් ඉන්නවා.

සමහර වෘත්තීය සමිති නිලධාරිනුත් මේ කීප දෙනා අතර ඉන්නවා. මේ වෙනකොටත් අන්තර් සමාගම් සේවක සංගමයෙ ලේකම්, භාණ්ඩාගාරික දෙන්නටම උසස්වීම් දීලා කටවල් වහලයි තියෙන්නේ. මේ හින්දා අපේ හුඟාක් දෙනෙක් අන්තරේට විරුද්ධයි. ඒ නිසා අපි කම්කරු අරගල මධ්‍යස්ථානයට සම්බන්ධ වෘත්තිය සමිතියක් හදලා වැඩ කරගෙන යනවා. හෙට දවසේ අපේ රැුකියාවලට මොනවා වෙයිද කියලා කිසිම විශ්වාසයක් නැහැ’’

ඇතැම් විට ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ පාලක ප‍්‍රතිචාරය ඉතාමත් නිර්දය බව ඔවුන් අපට පැවසුවා. ”කිසියම් ප‍්‍රශ්නයක් කතා කරන්න ගියාම පාලකයෝ කියන්නේ ‘වැඩිය කතා කළොත් පතල වහලා දානවා’ කියලා. ඒ හින්දා සේවක අයිතිවාසිකම් නැති වුනත් කට පියාගෙන ඉන්න වෙලා තියෙනවා. දැන් අපි බලන්නේ කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ක එකතුවෙලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න”

ඒ අදහස බොහෝ පතල් කම්කරුවන්ට තිබෙනවා. දිගු කලක් මෙම පතලේ සේවය කරන කම්කරුවන්ගේ දාඩිය මහන්සියෙන් ආණ්ඩුව විශාල ලාබයක් උපයා ගනිමින් සිටිනවා. පාලක නිලධාරීන් ඉහළ වැටුප් ලබන්නේ ද ඒ ශ‍්‍රම සූරාකෑමෙනි. එනිසාම ඔවුන් සිය කම්හල් බිමේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයට ප‍්‍රවේශ වෙමින් සිටී.

”අපි මේ පතලෙ වැඩ කරලා මේකෙ හැම අඩිියක් අඟලක් පාසා දාඩිය මුගුරු හෙළුවා. අපි වැඩ කරපු ප‍්‍රමාණයට ගෙව්වා නම් එක විදියකින් අපි තමයි මේකෙ අයිතිකාරයෝ. අපට හිමි අයිතිවාසිකම් නැති කරලා මොන පතල් ආදායමක්ද පාලනයට ලැබෙන්නෙ? අපි තමයි මේකෙ ඇත්ත හිමිකාරයෝ. මොකද මේවා උන්ගේ අම්මගේ අප්පගේ බූදල්යෑ.”

ඔවුන් එකාවන්ව අප හා එසේ කියා සිටියේ අධිෂ්ඨානය මුසු කෝපයකින්.

Advertisements