සිරගෙදර සිටින්නේ මිනිසුන් මිස වහලූන් නොවේ

unnamedලෝකයේ ශිෂ්ට සම්පන්න ජාතීන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි විශාල අවධානයක් යොමු කරයි. ඒ සිරකරුවන් යනු බලහත්කාරයෙන් සිරකරගෙන සිටින පිරිසක් නිසාත් ඒ බලහත්කාරය තුළ ඔවුන්ට මිනිසුන් ලෙස නොසැලකීමේ අවදානමක් පවතින නිසාත්ය. එය එසේය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය යනුවෙන් ලංකාවේ ද බන්ධනාගාරවල සිරකරුවන්ට නොපෙනෙන්නට තාප්පයේ පිට පැත්තේ ලියා ඇතත් තාප්පය තුළ තත්වය ඊට වඩා වෙනස්ය. චීනය තම රටේ සිරකරුවන් විවිධ නිෂ්පාදන කටයුතුවලට යොදා ගනී. එමඟින් ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බව සිතන බටහිර වැසියෝ චීනයේ සිරකරුවන් යොදා ගෙන කරන නිෂ්පාදන මිල දී ගැනීමෙන් වැළකී සිටිති. ලංකාවේ ද සිරකරුවන් ඕනෑ ඕනෑ වැඩකට යොදා ගත නොහැකිය. ඒ සම්බන්ධයෙන් සම්මත කරගන්නා ලද නීති රීති තිබේ. එම නීතිවලට අනුව සිරකරුවන් යොදාගත හැක්කේ සමාජ යහපත උදෙසා සිදුවන පොදු රාජකාරි සඳහා පමණි. එසේ කළ හැක්කේ කවර ආකාරයේ වැරදි සම්බන්ධයෙන් සිරගත වූවන් ද යන්න පිළිබඳව ද නීතියට ඇතුළත්ය. කිසිදු සිරකරුවකු වෙනත් කටයුතුවලට යොදාගත නොහැකිය.

මෙහි මානුෂීය පැත්ත ගැන ද අපගේ අවධානය යොමු විය යුතුය. ඔවුහු සිරකරුවෝය. ඔවුන් සිටින්නේ අවි ආයුධවලින් සන්නද්ධ බලහත්කාරය පාවිච්චි කිරීමේ අයිතිය සහිත නිලධාරීන් පිරිසක් යටතේය. ඒ බලහත්කාරය තුළ ඔවුන් අසරණය. ඒ නිසා ඒ නිලධාරීන් පවරන ඕනෑම ආකාරයක කටයුත්තක් ඉටු කිරීමට ඔවුන්ට සිදු වේ. බන්ධනාගාර තුළ දී සිරකරුවන් ලිංගික හිංසනයට පවා පත්වන්නේ ඔවුන් මත බල පවත්වන මෙම බලහත්කාරය නිසාය. ඊට අවනත වීම හැර අන් කළ හැකි දෙයක් නැත. ඒ ඔවුන් සිරකරුවන් නිසාය. ඒ නිසා සිරකරුවන් යොදා ගත හැක්කේ කවරාකාරයේ රාජකාරිවලට ද යන්න පිළිබඳව නිශ්චිත වීමක් තිබිය යුතු අතර ඊට පටහැණිව කටයුතු කරන්නන්ට විරුද්ධව දඬුවම් ක‍්‍රියාත්මක විය යුතුය.

එහෙත් දෙසැම්බර් 14 වැනිදා මාතර දිස්ත‍්‍රික්කයේ අකුරැුස්ස ප‍්‍රදේශයේ දී අත්දකින්නට ලැබුණේ මීට හාත්පසින්ම විරුද්ධ සිදුවීමකි. නිල් පැහැති ජම්පර් ඇඳගත් සිරකරුවෝ මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගෙන තිබිණි. සිරකරුවන්ට අන්දන්නේ සුදු පැහැති ජම්පර්ය. නිල් පැහැති ජම්පර් අන්දන්නේ නැත. ඒ නිසා මේ නිල් පැහැති ජම්පර් ඔවුන් ඡුන්ද වැඩට යොදා ගැනීමේ අරමුණෙන්ම නිපදවන ලද බව පැහැදිලිය. එය කොතරම් නින්දාසහගත ක‍්‍රියාවක්ද? සිරකරුවන් යනු පාදඩ දේශපාලකයන්ගේ මනදොළ පිනවීමට යොදා ගත හැකි භාණ්ඩ නොවේ. බන්ධනාගාරවල තාප්පවල ලියා ඇති පරිදි සිරකරුවෝ ද මනුෂ්‍යයෝය. රාජපක්ෂගේ කටවුට් ගැසීම ප‍්‍රජා සේවාවක් වන්නේ කෙසේදැයි බන්ධනාගාර ඇමැතිවරයා පැහැදිලි කළ යුතුය.

සිරකරුවන්ට ඡුන්ද අයිතීන් නැත. ඊට මෑත කාලයේ ප‍්‍රසිද්ධ උදාහරණ දෙක වන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ එස්. බී. දිසානායක සිරගත කිරීමත් යුද අධිකරණයක් විසින් සරත් ෆොන්සේකා සිරගත කිරීමත්ය. එස්. බී. දිසානායකට ඡුන්ද අයිතිය ලැබුණේ ජනාධිපතිවරයා සතු බලතල භාවිත කර ඔහු නිදහස් කිරීම නිසාය. ඒ අර්ථයෙන් ද සිරකරුවන් පක්ෂ දේශපාලන කටයුතුවලට බලහත්කාරයෙන් යොදා ගැනීම වැරදිය.

අනෙක් අතට ඔවුන් රාජපක්ෂගේ කටවුට් ගැසීමට පැමිණ සිටියේ කැමැත්තෙන් නොවේ. සිරකරුවන්ට කැමති කැමති අවස්ථාවක පිටතට පැමිණ රාජපක්ෂගේ කටවුට් ගසා ආපසු සිරගෙට යා නොහැකිය. ඔවුන් ගෙන එන්නේ ආයුධ සන්නද්ධ නිලධාරීන්ගේ බලහත්කාරය යටතේය. පැන යන්නන්ට වෙඩි තැබීමේ සූදානම සහිතවය. එමඟින් ද මෙය කොතරම් තිරශ්චීන ක‍්‍රියාවක්දැයි පැහැදිලි වේ.

මීට දින කිහිපයකට පෙර පුත්තලමේ තාප්පවල පෝස්ටර් අලවන මාර්ග සංවර්ධන කම්කරුවන් පිරිසකගේ ප‍්‍රකාශ ඇතුළත් පුවතක් රූපවාහිනී නාළිකාවක පළ කෙරිණි. ඔවුන් පැවසුවේ, රාජපක්ෂගේ පෝස්ටර් ඇලවීමට අකැමැති වුවහොත් තමන්ට රැුකියාව අහිමි වනු ඇති බවයි. ඒ නිසා අකමැත්තෙන් වුවත් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කිරීමට සිදුව ඇතැයි ඔවුහු පැවසූහ. එහෙත් ඔවුන්ට අවශ්‍ය නම් රෝගී වී සිටින බව, ගෙදර හදිසියක් වී ඇති බව හෝ වෙනත් එවැනි ඕනෑම ආකාරයක බොරුවක් කියා මඟ හැර සිටිය හැකිය. එහෙත් සිරකරුවන්ට ඒ අයිතියවත් නැත. ඒ නිසා සිරකරුවන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම රජයේ සේවකයන් ඊට යොදා ගැනීමටත් වඩා නින්දා සගත නොවන්නේද?

Advertisements