වඳුරඹ සහ ලංකාව

පසුගිය දිනවල වඳුරඹ පොලිසියේ ඕ.අයි.සී. හෙවත් ස්ථානාධිපති ඉල්ලා අස්වුණා. ඊටත් කලින් සතියේ මෛත‍්‍රීපාල සිරිසේනගේ රැස්වීමක් සඳහා තනා තිබූ වේදිකාවක් ගිනි තිබ්බේ වඳුරඹ ප‍්‍රදේශයේ දී. ඒ සිදුවීමට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ නිශාන්ත මුතුහෙට්ටිගමට. නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්න කියා අධිකරණ නියෝගයක් නිකුත් වී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැනුණේ නෑ. ඒ අතර ඔහු සංගීත ප‍්‍රසංග වේදිකාවල ගීත ගයමින් ප‍්‍රසිද්ධියේම සිටිනවා අඟහරුවාදා ? රූපවාහිනී නාළිකාවල පෙන්නුවා. තමන්ට නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි නිසා, පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රකින්න ඉල්ලා අස්වෙනවා කියලා වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඒ අතර. ඔහුගේ ඉල්ලා අස්වීම බාර නොගන්නා බවත් ඔහු සේවය අතහැර ගියා සේ සලකන බවත් පොලිසිය නිවේදනය කර තිබුණා. දැන් මේ සිදුවීමත් සමඟ පොලිසියේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වගේ මාතෘකා ගැන සංවාදයක් නැවත ඇති වී තිබෙනවා.

පොලිසියට අධිකරණයට හා පොදුවේ රාජ්‍ය සේවයට දේශපාලන බලපෑම් ඇතිවෙන බවත් ඒ තුළ නිලධාරීන්ගේ ස්වාධීන බලය තහවුරු කළ යුතු බවත් දැන් අදහසක් ලෙස ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් බොහෝ දෙනාගේ යෝජනාව වී තිබෙන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම. වෙනත් වචනවලින් කියනවා නම් මේ යෝජනා වෙන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම ගැන. මේ ජනාධිපතිවරණ සටනේ දක්ෂිණාංශික පක්ෂවලින් යෝජනා වෙන අදහස් දෙකක් තිබෙනවා. මහින්ද කියන්නේ නීති, ක‍්‍රමවේද, නිලධාරි යාන්ත‍්‍රණ නොසලකා මහජන සේවය සඳහා දේශපාලකයන් මැදිහත් විය යුතු බව. බදාදා දිනමිණ පත්තරේ වාර්තාවකට අනුව මේ දිනවල පවතින ගංවතුර නිසා අවතැන් වූ ජනතාවට සහන සලසන්න තමන් නීති කඩනවා, නිලධාරි යාන්ත‍්‍රණවලට පිටින් වැඩකරනවා කියලා මහින්ද කියලා තිබෙනවා. ඒ අතර මෛතී‍්‍රපාල සිරිසේන කියන්නේ මේ කටයුතුවලින් දේශපාලකයා ඉවත් වී එය නිලධාරීන්ට බාරදිය යුතු බව. නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න බලයක් ලබාදිය යුතු බව. වඳුරඹ සිදුවීම පදනම් කරගෙන ඔහු දැක්වූ අදහස්වල පොලිසියට දේශපාලකයන්ගේ මැදිහත්වීම්වලින් තොරව වැඩකරගෙන යාමට ඉඩ ප‍්‍රස්තා හිමිකර දීම ගැන සඳහන් වෙනවා.

නමුත් වාමාංශිකයන්ට මේ ගැන තිබෙන්නේ වෙනත් අදහසක්. දේශපාලන මැදිහත්වීම් වගේම නිලධාරීන්ට බලය පැවරීමත් මහජනයා පීඩාවට ලක් කරනවා. 1970 දශකයට කලින් ලංකාවේ තිබුණේ පොලිසියට අධිකරණයට, රාජ්‍ය සේවයට සැලකිය යුතු ස්වාධීනත්වයක් සහිත ක‍්‍රමයක්. ඒ ක‍්‍රමය තුළ නිලධාරීන්ට විශාල බලයත් තිබුණා. ඒ කාලේ ජනතාව පීඩාවට පත්වුණේ නිලධාරීන්ගෙන්. බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ගම්මුලාදෑනියාගේ සිට ඒජන්තතුමා දක්වා සමස්ත නිලධාරි යාන්ත‍්‍රණයෙන්ම ජනතාව පීඩාවට පත්වුණා. මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ කෝරළේ මහත්තයා සිහිපත් කරගැනීම පවා ප‍්‍රමාණවත්. හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියකු වන ලීල් ගුණසේකරගේ ‘අත්සන’, ‘පෙත්සම’ වගේ නවකතාවලින් මේ ගැන සාක්ෂි ලබාගන්න පුළුවන්. පොලිසිය වැනි ආයතනවලින් මොනතරම් පීඩාවක් ඇතිකරනවාද කියලා ජනතාව දැන් උනත් දන්නවා. තමන්ගේ ස්වාධීන බලය පොලිස් නිලධාරීන් භාවිත කරන්නේ මොන විදියට ද කියලාත් අපට ඕනෑ තරම් අත්දැකීම් තිබෙනවා. කාලයක් මේ නිලධාරිවාදී ලක්ෂණ පිළිබඳ විවේචනයක් ආවාට පස්සේ මේ කටයුතුවලට මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයි කියලා සාකච්ඡුාවක් ආවා. දේශපාලන නියෝජිතයාට රාජ්‍ය සේවයට බලපෑම් කරන ඉඩකඩ 1972 ජනරජ ව්‍යවස්ථාවට ඇතුළු කෙරෙන්නේ නිලධාරිවාදී අත්තනෝමතිකත්වය අහෝසි කිරීමේ සටන් පාඨය යටතේ.

එතැන් සිට දශක හතරක් ඉක්ම ගිහින්. දේශපාලකයාගේ මැදිහත්වීම ප‍්‍රශ්නය විසඳා නැති අතර එය උග‍්‍රකර තිබෙනවා. ඒකට විසඳුම විදියට 1972 ට පෙර තිබුණු ක‍්‍රමයට ගියා කියලා ඇත්ත විසඳුමක් එන්නේ නෑ. දේශපාලකයාගේ බලය හෝ නිලධාරියාගේ බලය වෙනුවට ජනතා බලයක් ගැන වාමාංශිකයන් කතා කරන්නේ ඒ නිසා. පවතින රාජ්‍ය පරිපාලන ව්‍යුහය වෙනුවට ජනතාවගේ ස්වේච්ඡුා කමිටු මඟින් ක‍්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලනයක් මහජන පීඩක පොලිසිය වෙනුවට ජනතාවගේ මිලිෂියාවක්, ජනතා අධිකරණ ක‍්‍රමයක් වාමාංශිකයන් යෝජනා කරන්නේ ඒකයි. ඒ නිසා මේ ¥ෂිත ව්‍යුහයන් එලෙසම පවත්වාගෙන යාම වගේම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අපේ ජීවිතවලට වෙනසක් ගේන්නේ නෑ. ඇත්ත වෙනසක් සඳහා කළ යුත්තේ රාජ්‍ය පරිපාලනයට ජනසහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මය ආදේශ කිරීම. දේශපාලකයාගේ බලය හෝ නිලධාරියාගේ බලය වෙනුවට මහජනතාවගේ බලය ශක්තිමත් කිරීම. සංයුක්ත උදාහරණයකින් කියනවා නම් මුතුහෙට්ටිගමගේ බලය හෝ වඳුරඹ පොලිසියේ බලය නොව ගාල්ලේ ජනතාවගේ බලය ශක්තිමත් වන ව්‍යුහයක් නිර්මාණය කිරීම.

Advertisements