දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම රැකගනු!

chandana-rthnayakaදෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඔවුන්ගේ මහන්සියෙන් ලෝක කුසලාන තරගයකට සහභාගීව 3 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ. පූර්ව තරගාවලි අවදිය සහ පශ්චාත් තරගාවලි අවදිය තුළ ඔවුන් මුහුණ දුන් තත්වයන් පිළිබඳව මේ වනවිට කිසිවකු කතා නොකරයි. තනිකරම ආබාධිත වූ තරුණයන්ගේ මහන්සියෙන් පමණක් මේ වන විට පැවැත්ම තහවුරු කරගෙන තිබෙන මෙම ආබාධිත ක‍්‍රිකට් කණ්ඩායමේ හෙට දවස පිළිබඳ කිසිවකු වග නොකියන තත්වයක් උදාවී තිබේ. අතිවිශාල ලෙස වාණිජ ව්‍යාපාරයක්ව පවතින ක‍්‍රිකට් ව්‍යුහගත වීමේ පසුබිමේ මෙම ආබාධිත ක‍්‍රීඩාවේ කිසිවක් තවමත් වෙළෙඳපොළට සම්බන්ධ කරගැනීීමට සමත් වී නොතිබීම නිසා මේ සඳහා වෙළෙඳ වටිනාකම පහළ මට්ටමක පවතී. එම නිසා කිසිවකු මේ වෙනුවෙන් මැදිහත් වීමක් හෝ නොකරන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ ආබාධිත ක‍්‍රිකට් ක‍්‍රීඩාව තමන්ගේ රටේ ක‍්‍රීඩාවක් ලෙස හෝ සලකා කටයුතු නොකරන අතර ඇඟ බේරාගැනීමේ ව්‍යාපෘතිවලට පමණක් මැදිහත් වෙයි. පසුගිය දා දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්හි පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී දක්ෂතා දක්වන ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රීඩකයන් අති දුෂ්කරතා මධ්‍යයේ එම තරගාවලියට සහභාගී වී තිබේ. නිසිලෙස පහසුකම් නොමැතිව අති දුෂ්කරතාවන් මැද ඔවුන් කළ කැපවීම පිළිබඳ සහ වර්තමාන ඔවුන්ගේ අභියෝගයන් පිළිබඳ අප එම කණ්ඩායමේ නායක චන්දන සූරියආරච්චි සමඟ කතා බහකට එක් වුණෙමු. මේ ඔවුන්ගේ හඬයි.

  • ඔබ පසුගිය දා ලෝක ක‍්‍රිකට් තරගාවලියකට සහභාගී වුණා. කුමක්ද තරගාවලිය පිළිබඳ අදහස? කුමන ජයග‍්‍රහණ ද ලැබූයේ?

ඔව්. අපි පසුගිය දා දකුණු අප‍්‍රිකාවේ පැවැති දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වුණා. එය පැවැත් වුණේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්වල. අපි එම තරගාවලියේ දී තුන් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඒ ගැන සතුටුයි. නමුත් කියන්න කනගාටු කරුණු බොහොමයක් තියෙනවා. අපි මේ තරගාවලියට සහභාගි වුණේ අති දුෂ්කරතා මධ්‍යයේ. ඒ තනිකරම ක‍්‍රීඩකයන්ගේ කැපවීම මතම තමයි.

  • ඒ කියමනේ අදහස වන්නේ ඔබලාට රට වෙනුවෙන් තරග කරන්න සිදු වෙලා තියෙන්නේ ඔබලාගේ ශක්තියෙන් පමණක් කියලද?

අපට යම් යම් උදව් තිබුණා. නමුත් ඒ උදව්වලින් අපට යා හැකි දුරක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අද අපගේ ක‍්‍රීඩාවේ වගකීමවත් භාරගෙන කටයුතු කරන්න කෙනෙක් නෑ. කි‍්‍රකට් ආයතනය කිසිවිටෙකත් ඒ පිළිබඳ අවධානයක් යොමු කළ වගක් පේන්න නෑ. අපට මේ තත්වය දරාගන්න අමාරු තත්වයක්. අපි ක‍්‍රීඩා කරනවා. නමුත් ඒ දේ රටක් ලෙස තව විධිමත්ව ගොඩනැංවී ඇති පදනමක නොවෙයි පවතින්නේ.

  • ඒ කියන්නේ ඔබලාට විශ්වාසයක් නෑ මේ රටේ ක‍්‍රීඩා කරන්න. ඒකද සරල අදහස?

අපට අපි ගැන විශ්වාසයක් තිබෙනවා. නමුත් අප ගැන විශ්වාසයක් වෙනත් අයට නෑ. ඒකනේ මේ වගේ කුඩම්මාගේ සැලකීමක් අපට ලැබෙන්නේ. විශේෂයෙන් ක‍්‍රිකට් ආයතනයෙන්.

  • ඔය විදිහට කතා කරන්න සුවිශේෂ හේතු තිබෙනවද? මොනවගේ ගැටලූද ඔබලාට අභියෝගයක්ව පවතින්නේ?

මේ වනවිට අපගේ දෘශ්‍යාබාධිත ක‍්‍රීඩකයන්ට කිසිදු සාධනීය වැඩපිළිවෙළක් රට තුළ ගොඩනැංවී නැහැ. මම හිතනව ක‍්‍රිකට්වලට විතරක් නෙමෙයි මේ ගැටලූව. ආබාධිත වූ බොහෝ දෙනා ක‍්‍රීඩාවලට සහභාගි වෙනවා, තරග පවත්වනවා. මේ පිළිබඳ රටේ පොදුවේ සාධනීය වැඩ පිළිවෙළක් නෑ. අපට ප‍්‍රායෝගිකවම ඒ දේ දැනෙනවා. මොකද අපි කරන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව. වර්තමානයේ ක‍්‍රිකට්වලට ලංකාවේ මැදිහත් වෙන ආයතන තියෙනවා. නමුත් ඒ ආයතන අප පිළිබඳ ක‍්‍රියාත්මක වන ආකාරය අන්තිම කනගාටුදායකයි.

  • පසුගිය දා පැවැති තරගාවලිය ලෝක මට්ටමේ තරගාවලියක්. පූර්ව පුහුණු වීම් හොඳින් කෙරුණද? මොනවගේ තත්වයක් ද පැවැතියේ?

ඕවර් 40 එක්දින තරගාවලියක් පැවැත් වුණේ අවුරුදු 8 කට පසුව. අපගේ පුහුණුවීම්වලට බාධා ඇති වුණා. වැස්ස තමයි ප‍්‍රධාන බාධාව. ඒ වගේම අපිට ඒ ස්වාභාවික බාධාවන්ටත් වඩා විසඳගන්න පුළුවන් දේවල්වලින් පවා බාධා පැවැතුණා. කියන්න කනගාටුයි ඒ පිළිබඳව. අපි පුහුණුවීම්වලට නුවරඑළිය තෝරා ගෙන පුහුණු වීමට අදහස් කර තිබුණේ. ඒ දේශගුණයට සමාන දේශගුණයක් සහිත ස්ථානවල තරග පැවැත්වීමට සූදානම් කරල තිබුණු නිසා. නමුත් අධික වැස්ස නිසා අපට සිදුවුණා නුවරඑළියේ පුහුණුවීම් අතහරින්න. අපි ආපසු කොළඔ ආවා. කොළඔ ආවට අපට පුහුණු වෙන්න තැනක් තිබුණේ නැහැ. අපි ක‍්‍රිකට් ආයතනයට මේ පිළිබඳ කියල අපට පුහුණු වෙන්න තැනක් ඉල්ලූවා. ඒත් ක‍්‍රිකට් ආයතනයෙන් අපට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අපි පිට්ටනි ඉල්ලූවේ නැහැ. නමුත් අපට පුහුණු වෙන්න ස්ථාන ලබාදෙන්න හැකියාවක් ඔවුන්ට තිබුණා. ඒත් ඒ දේ ඔවුන් කළේ නැහැ.

  • ඔබලා ඉල්ලීම් කළත් ලැබුණේ නැහැ කියල ද කියන්නේ?

අපි ලිඛිතව ඉල්ලීම් කළා නිශාන්ත රණතුංග මහත්තයගෙන්. එයා කීවා සලකා බලන්නම් කියලා. ක‍්‍රීඩා ඇමැතිතුමාට කතා කළා. ක‍්‍රීඩා ඇමැතිතුමාට ලියුම් දුන්නා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය අපි ඉදිරියේම ටෙලිෆෝනයෙන් කතා කළා. ඒත් ඒ කිසිවක් නිසා කිසිදු වෙනසක් වුණේ නැහැ. අපට පුහුණු වෙන්න තැනක් දුන්නේත් නැහැ. අර කතා කළ කිසිකෙනෙක්ව එයාල ගණන් ගත්තෙත් නැහැ. අපි ඉල්ලූවේ පිට්ටනි නෙවෙයි. අපට පුහුණු වෙන්න නෙට් ආවරණ සහිත පුහුණු ස්ථානයක් වත් දෙන්න කියලා. ඒත් අපට ලැබුණේ නැහැ.

  • ඊට පස්සේ මොනවද කළේ? පුහුණුව අතරමඟ නැවතුණාද?

දියතලාව පිට්ටනිය දින 7 ක් ආමි එකෙන් දෙන්නම් කීවා. නමුත් වැස්ස නිසා දින දෙකකින් පස්සේ අපි ආපහු කොළඹ ආවට පස්සේ තමා ප‍්‍රධානම ගැටලූව වුණේ. ඒ වෙනකොට අපට තරග සඳහා දින 20 ක් ඉතුරුවෙලා තිබුණා. කොහොම හරි පුහුණුව දිගටම කරන්න උවමනායි. අපේ කණ්ඩායමේ ඉන්නව ආබාධයට ලක්වුණු සොල්දාදුවන්. මේජර් කෙනෙක් ඉන්නව මේජර් මතුගම කියලා. ඔහු අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පිට්ටනිය ලබාගන්න කටයුතු කළා. ඔහු යුද්ධයේ දී ආබාධිත වූ අයෙක්. ඇස් ආබාධ වුණ අයෙක්. ඔහු නිසා අපට අඹේපුස්සට පුහුණුවට යන්න පුළුවන් වුණා. අපි දිනපතා කොළඹ ඉඳල උදේ 6.00 ට අඹේපුස්සට යනව පැය ගාණක් ටේ‍්‍රන් එකේ. ඊට පස්සේ පුහුණු වෙලා හවස 4.00 ට පුහුණු ඉවරවෙලා කොළඹ එනවා. මේ වගේ දින 9 ක් අපි පුහුණු වුණා. පුහුණුවකට වඩා මේක දුෂ්කර ක‍්‍රියාවක්. මේ සියලූ දේ සඳහා අපටම වියදම් දරාගන්න වුණා. 21 වැනිදා කොළඹ වෙස්ලි කොලේජ් එක පුහුණුවට දුන්නා. ඒ පැය 4 කට. අපි 24 වැනිද ? රටින් පිට වුණා තරගාවලියට.

  • මේ වෙනුවෙන් වගකිව යුත්තන්ගේ මැදිහත්වීම විශේෂයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය මොනවගේ දේවල් ද කළේ?

ඔවුන් අපට ගුවන් ටිකට්පත්වලට වියදම් දුන්නා. තිස් ලක්ෂ හැට දහසක්, ක‍්‍රීඩා නේවාසිකාගාරයට ලබා දුන්නා. ක‍්‍රිකට් ආයතනය තුන් ලක්ෂ තිස් දහසක් ලබා දුන්නා. ඒ ලෝක මට්ටමේ දෘශා්‍යාබාධිතයන්ගේ සම්මේලනයේ ඒජීඑම් එකට යන නිලධාරීන්ට. එපමණයි. නමුත් හැම වෙලේම අපේ උදව්වට හිටිය ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බැංකුව අපට උදව් කළා.

  • තරගාවලිය අතරතුර මොනවගේ දේවල්ද සිදු වුණේ? තරගාවලිය සාර්ථකද?

26 වැනිදා අපි එහාට ගියා. 27 වැනිදා මැච් එක කැන්සල් කළා හියුස්ගේ මරණය නිසා. 28 වැනිදා බංගලිදේශය ආවේ ප‍්‍රමාද වෙලා. අපිට ඒ තරගයේ ලකුණු ලැබුණා. ඊළඟට බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගයට ඔවුන් ආවේ නැති නිසා තරගයේ ජය අපට ලැබුණා. 30 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සමඟ තරගයෙන් විකට් 7 ක ජය ලැබුවා. ඉන්දියාව සමඟ තරගයෙන් පැරදුණා. පාකිස්තානය සමඟ තරගයෙන් ද අප පරාජය වුණා. ඉන් පසුව පැවැති එංගලන්තය සමඟ තරගය තීරණාත්මක තරගයක්. අපි ඒ තරගය ලකුණු 90 කින් ජය ගත්තා. ඊට පසු දකුණු අපි‍්‍රකාව සමඟ තරගය. එය අපි විකට් 8 කින් ජය ගත්තා. නැවත ඉන්දියාව සමඟ තරගයෙන් පරාද වුණා. නමුත් අපිට ලෝක කුසලානයේ 3 වැනි ස්ථානයට එන්න පුළුවන් වුණා. අති දුෂ්කරතා මැද්දේ විධිමත් පුහුණුවක් නොලබා.

  • ලංකාවට නැවත පැමිණි පසු මොකද තත්වය? කවුද මුණ ගැසුණේ. මොනවද ප‍්‍රතිචාර?

කිසිදු විශේෂයක් නැහැ. අපේ ක‍්‍රිකට් සංගමයේ දෙන්නෙක් කටුනායකට ඇවිත් උන්නා. අපි ගෙදර ආවා. අපි මේ දක්වා වූ පන්දු වාර 40 හොඳම දක්ෂතා මෙවර දක්වල තිබුණා. වෙනත් කිසිවක් සිදුවුණේ නෑ. කවුරුත් කතා කළෙත් නෑ. අපි බලාපොරොත්තු වුණා ලංකාවට එද්දී යම් ඇගයීමක් කරයි කියලා. නමුත් ඒ කිසිම දෙයක් සිදු වුණේ නැහැ. පහුවැනිදා ඉඳන් අපි රැකියාවලට ගියා.

නමුත් අපිට එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි රටවල ක‍්‍රීඩකයන් කතා කළා. ඒ වගේම පාකිස්තානයත් ඒ රටවල ආබාධිත ක‍්‍රීඩකයන් ඔවුන්ගේ ආයතන විසින් රැුකගන්නා ආකාරය ඔවුන් අපට කීවා. ඒ රටවල්වල ක‍්‍රිකට් ආයතනය, රජය ඔවුන් වෙනුවෙන් මහඟු සේවාවක් කරන ආකාරය අපි ඉතාම දුක්බරව අසාගෙන හිටියා.

සංවාද සටහන – මහේන්ද්‍ර කුමාර

Advertisements