හෙටත් අද වගේනම්

2014 වසර අවසන්. මේ කතුවැකිය ඔබ කියවන්නේ අලූත් අවුරුද්දක ආරම්භක දින කිහිපයේ දී. පෘථිවිය නිරන්තරයෙන් ඉර වටා යද්දී ඒ අඛණ්ඩ චක‍්‍රයේ එක තැනක් ලකුණු කරගෙන අපි අලූත් අවුරුද්දක් සමරන්නේ ඇයි? ජනවාරි පළමු වැනිදා විතරක් නෙවෙයි, වසරේ ඉතිරි දිනවලත් සූර්යයා වට චක‍්‍රයක් සම්පූර්ණ කරලා පෘථිවිය අලූත් චක‍්‍රයක් ආරම්භ කරනවා. එහෙමනම් අපි අලූත් අවුරුද්දක් නම් කරලා ඒක සමරන්නේ ඇයි? ඒ අලූත් වෙන්න, වෙනස් වෙන්න අපට තිබෙන කැමැත්ත නිසා. වෙනසකට තිබෙන අභිලාෂය නිසා. ඒක අලූත් අවුරුද්දට වගේම ලබන සතියේ පවත්වන ජනාධිපතිවරණය වැනි මැතිවරණවලටත් අදාළයි. ඒ හැම එකකදීම මිනිස්සු අලූත් දෙයක්, වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒත් ටික දවසකින් ඒ බලාපොරොත්තු සුන් වෙලා යනවා. අලූත් භාජනයක දාලා තිබෙන්නේ පරණ, පිළුණු වුණු සුප් එකමයි කියලා දැනගන්න ලැබෙනවා. ඒක මැතිවරණයකට පස්සෙත් වෙනවා. අලූත් අවුරුද්දකට සතියකට, දෙකකට පස්සෙත් වෙනවා. ඇත්තටම වෙන්නේ එක්කෝ අලූත් දෙයක් ගැන අපට තිබෙන අපේක්ෂාවන් සුන්වෙලා පරණ නපුරම අලූත් වටයකින් තහවුරු වෙන එක. එහෙමත් නැතිනම් අලූත් වේෂයකින් එන පරණ නපුරම අපේ වෙනස් වීමේ – අලූත් වීමේ අපේක්ෂාවන් කොල්ලකන එක.

ඒ නිසා අපි අද කතා කරන්නේ අලූත් අවුරුද්ද ගැන නෙවෙයි. පරණ අවුරුද්ද සහ මේ වගේම පරණ වීමට නියමිත අලූත් අවුරුද්ද ගැන. පරණ අවුරුද්ද ආර්ථික ක්ෂේත‍්‍රයේ දී ගත්තොත් අපට උරුම කළේ දරිද්‍රතාව, මන්දපෝෂණය සහ අධික වැඩ. අපට උරුම කරලා තිබුණේ එක්කෝ මන්දපෝෂණයෙන් හෝ ලේ හිඟකමෙන් හැදෙන ලෙඩවලින් මැරෙන්න. එහෙම නැතිනම් ඒක වළක්වාගන්න බෙල්ල කඩාගෙන වැඩකරලා, ඒ වෙහෙසෙන්, කෙඩෙත්තුවෙන් හැදෙන ලෙඩවලින් මැරෙන්න. දේශපාලන ක්ෂේත‍්‍රයේ දී ගත්තොත් පරණ අවුරුද්ද අවස්ථාවාදයේ අවුරුද්දක්. දේශපාලන නායකයෝ කියන අය මේ තරම් නරුම විදියට මුදලට විකිණෙන අවුරුද්දක් නොතිබුණු බව ස්ථිරයි. පසුගිය ඉරිදා පුවත්පත් වාර්තා කළ අන්දමට දින 25ක් තුළ දේශපාලකයෝ 155ක් පිල් මාරු කරලා තිබුණා. ඒ ගෙම්බෝ පනින්නේ ප‍්‍රතිපත්තිමය හේතු නිසා නෙවෙයි, සල්ලිවලට කියලා කවුරුත් දන්නවා. මේ ඉරිදා වෙනකොට ඒක තවත් ඉහළ ගිහින් ඇති. අවුරුද්ද අන්තිමේ දී සිද්ධ වුණු මුතුහෙට්ටිගමගේ නාඩගම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම පිළිබඳ හොඳම උදාහරණයක්. සමාජ සංස්කෘතික ක්ෂේත‍්‍රයේ දී පරණ අවුරුද්ද කියන්නේ ¥ෂණ, අපරාධ පිරුණු අවුරුද්දක්. ලැජ්ජාවේ බඩකපා ගන්න හිතෙන හැඟීමක් සමාජ වගකීමක් ඇති අයට ඇති කරපු අවුරුද්දක්. ඉතින් අලූත් අවුරුද්දේ අපට තිබෙන්නේ ‘සුබ අලූත් අවුරුද්දක් වේවා’ කියලා ප‍්‍රාර්ථනයක් නෙවෙයි. ‘හෙටත් අද වගේමද?’ කියලා.

හෙටත් අද වගේ නොවෙන්න නම්, අලූත් අවුරුද්ද පරණ නොවෙන්න නම් මේ අවුරුද්ද ප‍්‍රාග්ධනයේ බලය රජකරන අවුරුද්දක් වෙනුවට ශ‍්‍රමයේ බලය රජකරන අවුරුද්දක් කරගන්න වෙනවා. ආත්මාර්ථය, මමත්වය ඉහළට එසවුණු අවුරුද්දක් වෙනුවට සාමූහිකත්වය ඉහළට ඔසවන අවුරුද්දක් කරගන්න වෙනවා. ගෙම්බො වගේ පනින දේශපාලකයෝ දිහා බලාගෙන ඉන්න අවුරුද්දක් වෙනුවට සමාජයේ දේශපාලන සක‍්‍රීය බව වර්ධනය කරගන්න අවුරුද්දක් බවට පත් කරගන්න වෙනවා. මුදල් වෙනුවෙන්, වරප‍්‍රසාද වෙනුවෙන්, බලය වෙනුවෙන් දේශපාලනය හැසිරවෙන අවුරුද්දක් වෙනුවට ප‍්‍රතිපත්ති හා මූලධර්ම දේශපාලනයේ සුක්කානම බවට පත්වන අවුරුද්දක් අවශ්‍ය වෙනවා. අවුරුද්ද සුබ වෙන්න නම් ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා 2015 අවුරුද්ද කෙසේ වෙතත් 2016 වෙනස්, ඇත්තටම අලූත් අවුරුද්දක් කරගන්න නම් 2015 අවුරුද්දේ ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. සමාජයක් විදියට ඒ ශ‍්‍රමය කැප කරන්න සූදානම් නම් හෙට අද වගේ වෙන්නේ නැති වෙයි.

රත්න ශ‍්‍රීගේ කවියක කියන විදියට හෙටත් අද වගේම නම් අපි කොහේ හෝ තැන්වල සිටීවි. අපි තම තමන්ගේ ප‍්‍රශ්නවල බර හිස දරාගෙන තනිවම ගොඩයන හැටි කල්පනා කරමින් ඉඳීවි. ඒත් ඒ කවියේම කියන විදියට හෙට අද වගේ වෙන්නේ නෑ. ඒ නිසා ”කොහේ හෝ තැන්වල නෙවෙයි අපි – එකම තැනකදී මුණ ගැසෙයි” ඒ සාමූහිකත්වය නිර්මාණය කරගන්න නම්, ඒ අලූත් අවුරුද්ද නිර්මාණය කරගන්න නම් අදත් අපට එකම තැනක දී මුණ ගැහෙන්න වෙනවා. ඒ තමයි අපේම ජීවිත වෙනස් කරගැනීම සඳහා වන සටන් භූමිය. වැදගත් වෙන්නේ දිනන්නේ මහින්ද ද මෛත‍්‍රීපාල ද කියන එක නෙවෙයි. කම්කරුවෝ – ගොවියෝ – ධීවරයෝ – ශිෂ්‍යයෝ – තරුණයෝ – කාන්තාවෝ. මේ හැම කෙනාම එකම සටන් භූමිකය දී මුණ ගැහෙනවාද කියන එක. අලූත් අවුරුද්ද සුබ කරගන්න නම් ප‍්‍රාර්ථනා ප‍්‍රමාණවත් නෑ, ඒ උත්සාහය අත්‍යවශ්‍යයි.

Advertisements