මාක්ස් නිවැරදි ඇයි ?

bk-cover‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’ විසින් ටෙරී ඊගල්ටන් විසින් රචිත  Why Marx was Right? කෘතිය ‘මාක්ස් නිවැරදි ඇයි?’ නමින් පරිවර්තනය කොට පසුගිය දෙසැම්බර් 23 වැනි දින එළිදක්වන ලදී. පවතින ධනේශ්වර සමාජය පිළිබඳ මාක්ස් ඉදිරිපත් කළ අදහස් නැවත කියැවීමේ හා සංවාදයට ගැනීමේ අවස්ථාවක් එයින් ලැබී තිබේ. මේ ලිපිය ඒ සඳහා ඉවහල් වනු ඇතැයි අපි සිතමු.

2008 වසර ලෝකයට වැදගත් වන්නේ එක්සත් ජනපදය හා පසුව යුරෝපය වෙළා ගෙන පැන නැඟුණු මහා ආර්ථික අවපාතය හේතුවෙනි. ගෝලීය ආර්ථික අර්බුදය ලෝකයේ බලගතු ආර්ථිකයන් ඒවායේ පදනම්වලින්ම සොලවා දැම්මේය. ආර්ථික අර්බුදයත් සමඟ යුරෝපීය රටවල් ගණනාවක සමාජ අයිතීන් කප්පාදු කිරීමේ වැඩසටහන් ක‍්‍රියාවට යොදන ලදී. ඒවාට ප‍්‍රතිචාර ලෙස විශාල බහුජන උද්ඝෝෂණ, කම්කරු වැඩවර්ජන ප‍්‍රවාහයක් එම රටවල් තුළ පැතිර ගියේය. ග‍්‍රීසිය, ස්පාඥ්ඥය වැනි රටවල සාම්ප‍්‍රදායික ධනේශ්වර දේශපාලන රාමුව දෙදරවන ලදී.

එහෙත් ධනපති රාජ්‍යයට එරෙහිව කොතරම් සටන්කාමී නැඟී සිටීමක් සිදු වුවත් ධනපති ක‍්‍රමයට විකල්ප යමක් එකී දේශපාලන ව්‍යාපාර අත සවිමත්ව අවධාරණය වී තිබුණේ ද නැත. සෝවියට් සංගමය බිඳ වැටීමට පෙර යුගයේ ධනපති ක‍්‍රමය විතැන් කරවන සංකල්පය ලෙස ‘සමාජවාදය’ පිළිබඳ අදහස්වලට විශාල බලයක් තිබිණි. එහෙත් සෝවියට් සංගමයේ වැටීමත් සමඟ එම බලය විශාල වශයෙන් අහිමි විය. එතැන් පටන් සමාජවාදය පිළිබඳ ජනප‍්‍රිය වන්නට වූ මතවාදය වූයේ සමාජවාදය අසාර්ථක බවත් ධනවාදයට වෙනත් විකල්ප නොමැති බවත්ය. ධනවාදය පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීම පවා නතර විය. වාමාංශිකයන් ලෙස තමාව හඳුන්වා ගත් පිරිස් ධනේශ්වර සමාජ ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය ගැන කතා කිරීම නතර කොට ධනවාදය වෙනස් කළ නොහැකි යථාර්ථයක් ලෙස සවිඥානිකව හෝ අවිඥානිකව පිළිගෙන ධනවාදය තුළ සිදු කෙරෙන යම් යම් ප‍්‍රතිසංස්කරණවලට සිය කතිකාව හකුළුවා ගත්හ.

ඒ අනුව ඉතිහාසය අවසන් වී තිබෙන බවත් මානව ඉතිහාසයේ අවසන් සමාජ ආකෘතිය ‘ලිබරල් ධනවාදී සමාජය’ බවත් පවසමින් ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා ඉදිරිපත් කළේ එම වකවානුව තුළය.  1992 දී එකී ප‍්‍රවාදය .’The End of History and the Last Man’ නමැති සිය කෘතිය තුළින් ඉදිරිපත් කළ විට ඔහුට අභියෝග කිරීමට සමත් කිසිවකු එදා සිටියේ නැත. කොටින්ම යුරෝපා වාමාංශිකයන් ද එය වක‍්‍රාකාරව පිළිගත්හ. ‘90 දශකය පුරා සහ 2000න් පසු එළඹි මුල් වසර කිහිපය තුළ ගෝලීය වශයෙන් පැතිරී තිබුණේ ‘විකල්ප සමාජයක් ඇතිවිය නොහැක’ යන මෙම ෆුකුයාමාවාදයයි. කෙසේ වුව ද ෆුකුයාමාවාදයට එතරම් කාලයක් යහතින් පවතින්නට හැකි වූයේ නැත. එම මතවාදය කරපින්නාගත් ලිබරල්වාදී ධනපති සමාජ ක‍්‍රමයට ගැසූ අකුණු පහර වූයේ ද 2008 ආර්ථික අවපාතයයි. අමෙරිකාව විවිධ ආර්ථික ක‍්‍රමෝපයන් හරහා කොතරම් පිළියම් යෙදුව ද තත්වය පාලනය කළ නොහැකි විය. වසරක ඇවෑමෙන් එක්සත් ජනපද ආර්ථිකයේ හටගත් කම්පනයේ සංකීර්ණත්වය යුරෝපය හරහා ලෝකය පුරා පැතිර ගියේය.

ඒ අතරතුර ලෝකය පුරා ආර්ථික විද්‍යාඥයන්, චින්තකයන් ඇති වූ හදිසි තත්වයට පිළියම් සොයන්නට වූහ. ඊට සමාන්තරව ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ ‘අදාළ නොවන’ චින්තකයෙක් ලෙස බැහැර කොට තිබූ මාක්ස්, නැවත කියවීම සඳහා උනන්දුවක් බටහිර රටවල ඒ අනුව පැතිර යාම ඇරඹිණ. විවිධ මාක්ස්වාදී චින්තකයන්ගේ අදහස් හා කෘති සමාජ අවධානයට පත් විය. මාක්ස් එංගල්ස්ගේ මුල් කෘති නැවත කියැවීමේ උනන්දුවක් යුරෝපා රටවල දක්නට ලැබිණි. පොත් ප‍්‍රකාශන ආයතනවලට, පොත් සාප්පුවලට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ කෘතිය පිළිබඳ විමසන බවට වාර්තා විය. එසේම ආර්ථික අවපාතයට සමකාලීන මාක්ස්වාදී ලේඛකයන්ගේ කෘති ද මහත් අවධානයකට පාත‍්‍ර විය.

බි‍්‍රතාන්‍ය ජාතික මාක්ස්වාදියකු වන ටෙරී ඊගල්ටන් සිය කෘති ගණනාවක් රචනා කරන්නේ ඒ පසුබිම තුළය. ඔහු ලාංකේය පාඨකයාට නුහුරු ලේඛකයෙක් නොවේ. මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි විසින් මීට පෙර ඔහුගේ කෘතීන් සිංහලට පරිවර්තනය කොට තිබේ. Why Marx was Right? කෘතිය ඊගල්ටන් විසින් රචනා කරන්නේ 2012 දීය. මෙම කෘතිය තුළ ඔහු මාක්ස්වාදය පිළිබඳ ප‍්‍රකටව ඉදිරිපත් වන විවේචනවලට පිළිතුරු සැපයීමක් සිදුකරයි. ඔහු විසින් කෘතිය තුළ විස්තරාත්මක සාකච්ඡුාවට ගන්නේ පහත සටහන් කෙරෙන විවේචන දහය පිළිබඳවයි.

  1. මාක්ස්වාදය ඉදිරිපත් කළේ 19 වැනි සියවසේ කාර්මික සමාජය පිළිබඳ විග‍්‍රහයක් සමඟිනි. වර්තමාන ලෝකය මාක්ස් දැන සිටි ලෝකයට වඩා බෙහෙවින් වෙනස් එකකි.
  2. මාක්ස්වාදය ක‍්‍රියාවට නැංවූ සෑම තැනෙක දීම එය අසාර්ථක වූ අතර ඒකාධිපති රාජ්‍යයන් බිහි විය.
  3. මාක්ස්වාදය නියතිවාදයකි. මිනිසුන් හුදෙක් ඉතිහාසය විසින් කලින් නිශ්චය කළ එල්ලයක් වෙත ඉතිහාසය ස්වයංක‍්‍රීයව චලනය වන බව පවසයි.
  4. මාක්ස්වාදය මනෝරාජිකය. එය හිඟකම, පන්ති, අසාධාරණය, ප‍්‍රචණ්ඩත්වය ආදී දේවලින් තොර සමාජයක් ගැන හීනයක් මවයි.
  5. මාක්ස්වාදය විසින් සමාජ ජීවිතයේ බහුවිධ ස්වභාවය එය විසින් නොසලකා හැර සියල්ල ආර්ථිකයට ඌනනය කරයි.
  6. මාක්ස්වාදය සියල්ල ද්‍රව්‍යය ලෙස දකින භෞතිකවාදයකි. මිනිසාගේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ එයට අදහසක් නොමැත.
  7. සමාජ පන්ති පිළිබඳ මාක්ස්වාදය ඉදිරිපත් කළද මේ වනවිට පන්ති අරගලය පිළිබඳ අදහස කල් ඉකුත් වූවකි.
  8. මාක්ස්වාදය ප‍්‍රචණ්ඩ විප්ලවයක් යෝජනා කරන හිංසාකාරී දර්ශනයකි.
  9. මාක්ස්වාදය ඒකාධිපති රාජ්‍යයන් බිහි වීමට හේතුවකි. ජනතාවගෙන් පක්ෂයටත් පක්ෂයෙන් රාජ්‍යයටත් රාජ්‍යයෙන් ඒකාධිපතියෙක්ටත් බලය මාරු වීම සමාජවාදයේ ලක්ෂණයයි.
  10. නූතන ලෝකයේ වාමාංශික න්‍යාය යනු තවදුරටත් මාක්ස්වාදය නොවේ. එය ස්ත‍්‍රීවාදය, පරිසරවාදය, වාර්ගික දේශපාලනය, සමලිංගික අයිතිවාසිකම් දේශපාලනය, සත්ව අයිතිවාසිකම් ව්‍යාපාර ආදී සමකාලීන මතවාද හා සමාජ ව්‍යාපාර විසින් සංයුක්ත කරයි.

ඉහත කී විවේචන එකින් එක සලකන ඊගල්ටන් මාක්ස්වාදී ආස්ථානයක සිට මේ පිළිබඳ සාකච්ඡුාවක් ගොඩනඟයි. මෙහිදී ඔහු ඉදිරිපත් කරන වැදගත්ම අදහසක් වන්නේ මාක්ස්වාදය යනු ආගමක් වැනි ස්ථිතික අදහස් පද්ධතියක් නොව සමාජය වටහාගැනීම සඳහා තිබෙන මෙවලමකි යන අදහසයි. මීට නිදසුනක් ලෙස ‘වෙළෙඳපොළක් නැති නිසා සමාජවාදය අකාර්යක්ෂමය’ යන විවේචනයට පිළිතුරු දෙමින් ආර්ථිකය සම්බන්ධ සෝවියට් සංගමයේ තිබූ මොඩලයට අමතරව ලෝකයේ සමාජවාදී අදහස් දරන්නන් අතර විකල්ප සමාජවාදී ආර්ථික මොඩල පිළිබඳව පවතින විවාදය හඳුන්වාදීමට ඊගල්ටන් උත්සාහ කරයි.

ස්වකීය සාකච්ඡුාව ගොඩනැඟීමේ දී මාක්ස්ගේ අදහස්වලට ආධුනික පුද්ගලයෙක්ට වුව මාක්ස් වටහාගත හැකි ආකාරයට සිය කරුණු පෙළ ගැස්වීම සිදුකිරීමට ටෙරී ඊගල්ටන් වෑයම් කොට ඇත. ගෝලීය ධනවාදය මෙන්ම සමාජවාදී ලෙස හැඳින් වූ රාජ්‍ය පද්ධතිය ද බිඳ වැටී, අර්බුදයට ගොස් තිබෙන පසුබිමක මාක්ස්වාදය හා සමාජවාදය දෙස අලූත් ඇසකින් බැලීමට මේ අනුව ඊගල්ටන් වෑයම් කරයි. සමාජවාදය සහ ධනවාදයට විකල්පයක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡුාව වාමාංශිකයන් යැයි තමුන්ව හඳුන්වා ගන්නා පිරිස් විසින් පවා අත්හැර දමා තිබෙන මොහොතක මෙම කෘතිය සමාජවාදය පිළිබඳ නව සංවාදයක් ඇති කිරීම සඳහා හේතු වනු ඇත. එසේම මාක්ස්වාදය පිළිබඳ සමකාලීනව පවතින ගෝලීය සංවාදය ලාංකේය පාඨකයා ඉදිරියට ගෙන ඒමට දරන ලද උත්සාහයක් වශයෙන් ද මෙම කෘතිය සිංහලට පරිවර්තනය වීම හැඳින්විය හැක.

රමිඳු පෙරේරා

Advertisements