ඇත්ත සතුරා සෙවීම

මහින්ද රාජපක්ෂ සහ මෛතී‍්‍රපාල සිරිසේන යන දෙදෙනාගේම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නිකුත් වී තිබෙනවා. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල හැම මාතෘකාවක් ගැනම කුමක් හෝ අදහසක් කියලා තිබුණට එක මාතෘකාවක් ගැන වචනයක්වත් නෑ. මේ විදියට මොකුත් නොකියා පැනලා ගිය මාතෘකාව මොකක්ද? ඒ තමයි ජාතික ගැටලූව. හරියට ලංකාවේ එහෙම ප‍්‍රශ්නයක් නෑ වගේ. නමුත් ඒක තමයි පසුගිය කාලේ අපේ රටේ දේශපාලනයේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය බවට පත් වුණේ. ඒ ප‍්‍රශ්නය දුරදිග ගිහින් ජාතිවාදී යුද්ධයක් බවට වර්ධනය වුණා. ලක්ෂ ගණනක් මිය ගියා. මරාගෙන මැරෙන බෝම්බකාරයෝ නිර්මාණය වුණා. දැන් යළිත් ජාතිවාදයේ – ආගම්වාදයේ අඳුරු සෙවණැලි අවතාර වගේ හොල්මන් කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය දා නිර්මාණය වූ අලූත්ගම සංහාරය. විවිධ කල්ලි කණ්ඩායම් සිංහල හා මුස්ලිම් ජන ප‍්‍රජාවන් අතර ගැටුමක් අවුළුවන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ කියන්නේ අතීත යුද අත්දැකීම අනාගතයේ දීත් ප‍්‍රතිනිර්මාණය වන අවදානමක් තිබෙනවා. එහෙම තත්වයක් තිබිය දීත් මහින්දගේ හා මෛතී‍්‍රපාලගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඒ ප‍්‍රශ්නය ගැන තමන්ගේ ප‍්‍රතිපත්තිය වචනයකින්වත් සඳහන් නොකරන්නේ ඇයි?

දක්ෂිණාංශික දේශපාලනය වෛරයේ දේශපාලනය. ඒ වගේම ඒක මමත්වයේ දේශපාලනය. රටේ පහළ පන්තීන්ගේ ජීවිත දැවැන්ත අර්බුදයකට ඇද වැටිලා තියෙද්දී ඔවුන් බලය රැුකගන්නේ කොහොමද? බලය රැුකගන්න තිබෙන මාර්ගය තමයි පහළ පන්තීන් අසමගි කරන එක. භේදභින්න කරන එක. ඒ සඳහා විවිධ උපක‍්‍රම යොදනවා. එක් පීඩිතයකුට එරෙහිව තවත් පීඩිතයකු කොටවනවා. ඔවුන් එකිනෙකා

මරාගන්න පොලඹවනවා. උදාහරණයක් විදියට මීට ටික කලකට පෙර පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් අතර ඇති වුණු ගැටුම සිහිපත් කරන්න. සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කෙරෙන, රජය එහි වගකීමෙන් ඉවත් වන නවලිබරල් ක‍්‍රමය ඇතුළේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් වගේම අනෙකුත් ක්ෂේත‍්‍රවල සෞඛ්‍ය සේවකයන් බරපතළ පීඩාවක ඉන්නේ. ඔවුන්ගේ ප‍්‍රශ්නයේ සැබෑ වගඋත්තරකරුවා පාලකයන්. ඒත් ඔවුන්ට ඒත්තු ගන්වන්නේ හතුරා වෙන කෙනෙක් කියලා. හෙදියන්ට කියනවා ඔවුන්ගේ ප‍්‍රශ්නයේ මූලය පවුල් සෞඛ්‍ය සේවිකාවන් කියලා. අනෙක් පැත්තටත් එහෙම කියනවා. ඉතින් පීඩිතයෝ හා පීඩිතයෝ ගහ ගන්නවා, එකිනෙකා මරා ගන්නවා, පාලකයෝ වැජඹෙනවා.

මේක ජාතිය, කතා කරන භාෂාව, ආගම, සංස්කෘතිය ඔස්සේත් සිදුකරනවා. අප අතර විවිධ වෙනස්කම් තිබෙනවා. කතා කරන භාෂාව, සිරිත් විරිත්, අදහන ආගම, අඳින ඇඳුම මේ විවිධ පැතිවල අපේ වෙනස්කම් තිබෙනවා. වෙනස්කම් කියන්නේ සතුරුකම් නෙවෙයි. අපි වෙනස්කම් පිළිගන්න, ඒවාට ගරු කරන්න  ඕන. ඒ අතරම ඒ වෙනස්කම්වල ගැඹුරේ සැඟවී තිබෙන සමානකම සොයාගන්නත්  ඕන. ධනවාදය තුළ කරන්නේ සැබෑ සතුරුකම වහන්න, වෙනස්කම් සතුරුකම් කියලා පෙන්වන එක. ජාතිවාදය, ආගම්වාදය පාලකයන්ගේ උපකරණයක් බවට පත්වෙන්නේ එහෙමයි. හැම තැනදීම වෙන්නේ පීඩිතයා ඒ උගුලේ අහුවෙන එක, පාලක පන්තියේ ආධිපත්‍යය චිරස්ථායි වෙන එක. ඒක තහවුරු වෙන එක.

මේ ප‍්‍රශ්නයට වාමාංශිකයන්ට උත්තරයක් තිබෙනවා. සමාජවාදය යටතේ පන්ති පීඩනය අහෝසි කරනවා වගේම ජාතික පීඩනයත් අහෝසි කරනවා. ජාතික පීඩනයේ පදනම තමයි අසමානතාව, විෂමතාව, වෙනස්කොට සැලකීම. නමුත් සමාජවාදයේ මූලධර්ම වෙන්නේ සමානාත්මතාව, සාමූහිකත්වය සහ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒකෙදි හැම භාෂාවක්ම හැම සංස්කෘතියක්ම සමානාත්මතා පදනමෙන් අගයනවා. ඒ විතරක් නෙවෙයි වාමාංශිකයන් කිසිම ආගමකට විශේෂයක් කරන්නේ නෑ. ආගම පුරවැසියන්ගේ පෞද්ගලික කටයුත්තක් ලෙස සලකනවා. සමාජවාදයේ මූලධර්මය තමයි ජනතාවගේ පාලනය. නිර්ධන පන්තිය ප‍්‍රමුඛ පීඩිත පන්තීන්ට රාජ්‍ය බලය අභ්‍යාස කිරීමේ හැකියාව හිමිවීම. ඒකෙදි සංස්කෘතික කාරණා ඉහළ තිබෙන අධිපතිවාදී ව්‍යුහයකින් මෙහෙය වෙන්නේ නෑ. ඒ ගැන තීරණ ගන්නේ ජනතාව. ඒක තමයි සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. තමන්ගේ ජාතික – ආගමික – සංස්කෘතික – භාෂාමය අයිතීන් ගැන තීරණ ජනතාවටම ගන්න පුළුවන්. එවිට ජාතික පීඩනය අහෝසි වෙනවා. ජාතිවාදයත් අහෝසි වෙනවා. අනෙක් අතට සියලූ පීඩිතයන් සමගි වී තමන්ගේ සැබෑ සතුරාට එරෙහිව අරගල කරනකොට තම තමන් අතර ඇත්තේ වෙනස්කම් මිස සතුරුකම් නොවන බව ඒත්තු ගන්නවා.

දැන් මහින්දත් මෛතී‍්‍රපාලත් ජාතික ආණ්ඩු පිහිටුවීම ගැන කියවනවා. ඔවුන් ඒ කියන්නේ පක්ෂ – පාට – ජාති – ආගම් – කුල භේදයකින් තොරව ධනපතියන් සමගි කිරීම ගැන. අපි කියන්නේ පීඩාවට පත් ජනතාව සමගි කිරීම ගැන. ඒකට අවශ්‍ය නම් ජනතාවගේ ජාතික ආණ්ඩුවක් කියන්නත් පුළුවන්. අන්න එහෙම නිර්ධන පන්ති පාලනයක් තමයි වමේ විකල්පය. ලේ වැකි යුද්ධයක අවදානම තුරන් කළ හැක්කේ එවැන්නකින් පමණයි.

Advertisements