‘සංවේදී’ කලාකරුවන්ට ප‍්‍රශ්නයක්

jayathila-bandaraදෙසැම්බර් 29 වැනිදා වන විට ලංකාවේ දිස්ත‍්‍රික්ක ගණනාවක ලක්ෂයකට ආසන්න ළමා, ළපටි, තරුණ, මහළු, වැඩිහිටි
ජනකායක් සිටියේ අවතැන් කඳවුරුවලය. තිස් දෙනකුට වැඩි පිරිසක් පණ පිටින් දියේ ගසාගෙන ගොස් හෝ පස් කඳුවලට යටවී මියගොස් සිටියහ. තවත් පිරිසක් ගැන තොරතුරක් නොතිබිණි. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි කිසිවකුත් දැන සිටියේ නැත. ඒ නිසා ලක්ෂ ගණනක් ජනතාව සිටියේ කුමක් කරන්නදැයි දෙගිඩියාවෙනි. වේදනාවෙනි. තම දරු පැටවුන් ගැන උපන් හද කකියන වේදනාවෙනි.

එදිනම ලංකාවට විශේෂ අමුත්තන් දෙදෙනකු පැමිණියේය. දැන් ලැජ්ජාවත් අපවාදත් වසා ගැනීමට කුමක් කීවත් සල්මන් ඛාන් හා ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ගෙන්වූයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාව සරසන්නටය. ඔවුන් ලංකාවට පැමිණියේ ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට නම්, මහින්ද රාජපක්ෂ අරලියගහ මැදුරේ දී හමු නොවී බොරැුල්ලේ මැතිවරණ වේදිකාවක දී හමු වූයේ ඇයි? ලංකාවේ ලක්ෂ ගණනක් ජනතාව හැඬූ කඳුළෙන් සිටි, බොලිවුඞ් නළුවාටත් නිළියටත් රාජ්‍ය ගෞරව හිමි වූ 29 වැනිදාම සමනලී ෆොන්සේකා, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්කැටේ දී ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරයට ඍජුවම ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු තිබෙන අතර පහරකෑමට ලක් වූ කලාකරුවෝ ද ඒ බව විවෘතව පැවසූහ. දෙසැම්බර් 29 වැනිදා එවැනි දවසකි. මේ දවස ගැන බොහෝ දෙනකු සංවේදී වුවත් ‘සංවේදී කලාකරුවන්’ ඊට සංවේදී වුණාද?

සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසට පහරදීම අහඹු, හදිසි සිද්ධියක් නොවේ. සමනලී ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළකරන බව ප‍්‍රකාශයට පත් කෙරුණු මොහොතේ සිට ඇය ඉලක්ක කරගනිමින් ආණ්ඩුවේ ඇමැතිවරුන් උඩබලාගෙන කෙළ ගසන හැටි අපි දුටුවෙමු. කෙළ ඔවුන්ගේය. පිට වන්නේ ඔවුන්ගේ මුවෙනි. යළි වැටෙන්නේ ඔවුන්ගේ මුහුණටය. දැන් ඒ කෙළ ගැසූවන් ප‍්‍රසිද්ධියේ මුහුණු පිසදා ගැනීමට නොහැකිව මුහුණු හංගන හැටි ද පෙනෙන්නට තිබේ.

‘සංවේදී’ නොවන කලාකරුවන්ට එරෙහිව එල්ල වන ප‍්‍රහාර ද අහඹු සිදුවීම් නොවේ. දෙසැම්බර් 05 වැනිදා එප්පාවල දී ජයතිලක බණ්ඩාර ඇතුළු වීදියේ විරෝධයේ කලාකරුවන්ට ප‍්‍රහාරයක් එල්ල කෙරිණි. දෙසැම්බර් 21 වැනිදා ඔවුන්ට යළිත් හම්බන්තොට දී ප‍්‍රහාරයක් එල්ල කෙරිණි. සංවේදී නැති මේ කලාකරුවන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර ගැන කලාවේ නාමයෙන් ‘සංවේදී කලාකරුවන්’ හිතන්නේ කුමක්ද?

යම් අයකු මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීම හෝ මෛත‍්‍රීපාලට සහාය පළකිරීම වෙනම කරුණකි. අපගේ විශ්වාසයට අනුව ඔවුන් දෙපිරිසම යම් වරද්දා ගැනීමක් කරගෙන තිබේ. ජනරළ පුවත්පත මැතිවරණය ආරම්භයේ සිටම ඒ වරද්දා ගැනීම ගැන කරුණු දැක්වීය. ඉදිරියේ දී ද මේ වරද්දා ගැනීම්වල ප‍්‍රතිඵල එළිදැක්වෙන විට අපට ඒ ගැන යළි යළිත් කතා කළ හැකිය. එහෙත් කෙනෙක්ට මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම ඇති අයිතියම මෛත‍්‍රීපාලට සහාය පළකිරීමටත් වමේ පොදු අපේක්ෂකයාට හෝ වෙනත්  ඕනෑම අපේක්ෂකයකුට සහාය පළ කිරීමටත් ඇත. අවශ්‍ය නම් මැතිවරණය වර්ජනය කරන්නැයි මත පැතිරවීමට ද ඒ අයිතියම තිබිය යුතුය.

කලාකරුවන් සම්බන්ධයෙන් කියන්නේ නම් කතා කිරීමේ නිදහස තිබිය යුත්තේ ‘සංවේදී කලාකරුවන්ට’ පමණක් නොවේ. කතා කිරීමේ නිදහස ඇත්තේ ‘සංවේදී කලාකරුවන්ට’ පමණක් නම්, ඔවුන්ගේ වගකීම විය යුත්තේ අනෙක් අයටත් කතා කිරීමේ නිදහස දිනාදීමයි. මන්ද, කලාකරුවන් යනු මහින්ද පසුපසින් යන්නන් නොව, ජනතාවට ඉදිරියෙන් ගමන් කරන්නන් යැයි අප අසා තිබේ.

Advertisements