2014 දෙස හැරී බලමු


නව වසරක් උදාවන බවට සටහන් කරමින් 31 වැනිදා මැදියම රතිඤ්ඤා හඩින් දෙවනත් විය.

කොතරම් සුබපැතුම් හුවමාරු වූවාදැයි කිව නොහැකි තරම්ය. මිනිසුන් ලෙස අපි එක් එක් පුද්ගලයන් වෙත සුබපැතුම් පිරි නමන, පෞද්ගලිකව නව වසරක් වෙනුවෙන් හීන දකින හෝරා කිහිපයක මේ සටහන ලියන්නට සිදුව ඇත. හීන දකින්නට සමත් නිර්මාණාත්මක මිනිස් සමාජයක ඒ හීන සැබෑ කරගන්නට ඇති අධිෂ්ඨානය සහ අරගලය ගැන ද සැකයක් නැත.

එපමණක් නොව, ඒ එක් පැත්තක් පමණි. සරල වෙනස්කම් වෙනුවෙන් සිහින දකින ‘අහිංසක හීන’ ඇතිවුන් ද මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇත. ජනතාවගෙන් සාතිශය බහුතරයක් දින කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණය තුළ වෙනසක් බලාපොරොත්තුවන බවක් ද පෙනේ. ඒ හීනය ඇත්ත වශයෙන්ම තමන් ගිලී සිටින නින්දේ ප‍්‍රමාණයට සාපේක්ෂව තේරුම්ගත යුතුය.

කෙසේවෙතත් මේ සටහන ලියැවෙන්නේ මිනිසුන් සිහින සැබෑ කරගන්නට අපේක්ෂාවෙන් නමුත් අක‍්‍රීයව සිටි වසරකට පසුවය. සිහින දකින සියල්ලෝම ඒ වෙනුවෙන් අවංකව වැඩ කළ යුතුව ඇත. ඒ සඳහා සිහින දකින සියල්ලන්ම සක‍්‍රීය විය යුතුය. සක‍්‍රීයභාවය වෙනුවෙන් ඒ වසර තුළ ලද අත්දැකීම් ආවර්ජනය කළ යුතුය. මේ උත්සාහය 2014 වසර ගැන කෙටි ආවර්ජනයකටයි.

 

ජනවාරිය දිගු කාලයක් තිස්සේ අපේ සමාජයට නව වසරක් ගැන කියැවෙන නව උදාවකි. ඉංග‍්‍රීසින් බටහිර දින දර්ශනය හඳුන්වාදීමෙන් පසුව ලාංකේය සමාජය ඒ සංස්කෘතික වෙනස්කම භාරගෙන තිබේ. පසුගිය ජනවාරියේ දී සිදුවුණු දේ ගැන සිහිපත් කිරීමේ දී ‘එතනෝල්’ තොගයක් අත්අඩංගුවට ගැනීම අමතක කළ නොහැකිය.

ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයක දී රේගු නිලධාරීන් විසින් මෙසේ අල්ලා ගැනුණේ හොරෙන් ගෙන්වන ලද එතනෝල් ලීටර් 16000කි.

news_2014_1_images_newsremandඑසේම තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම ද විශේෂ කරුණකි. වසර කීපයකට පෙර තංගල්ලේ දී පුද්ගලයකු ඝාතනය කර කාන්තාවකට ලිංගික හිංසනයක් සිදුකළ ඔහුගේ මැර නාටකය යටපත් කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලපෑම සහිත උත්සාහයක් තිබිණි. පසුව, ජූලි 18 වැනිදා ඔහුට බරපතළ වැඩ සහිතව වසර 20ක සිර ද`ඩුවම් නියම කෙරිණි.

ජනවාරි මාසයේ දේශපාලන කරළිය තුළ වෙනස්කම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස කබීර් හෂීම් පත්වීම සහ ඝාතනය කෙරුණු භාරත පේ‍්‍රමචන්ද්‍රගේ දියණිය හිරුණිකා මැද කොළඹ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ලෙස පත්කිරීමත් සටහන් විය.

ජනවාරි 20 බම්බලපිටියේ සමාජශාලාවක දී කාන්තාවක් පිලිස්සීමෙන් මරණයට පත් විය.

melජනමාධ්‍යවේදීන්ට නම් ජනවාරිය තේරුම් ගන්නට සිදුවන්නේ කළු ජනවාරියක් ලෙසය. ජනවාරි මාසය ගැන කියන්නට හැක්කේ එය ජනමාධ්‍යවේදීන් ඝාතනය කෙරුණු මර්දනය කෙරුණු මාසයක් ලෙසයි.

එහෙත් පසුගිය වසරේ ජනවාරියේ දී නොව පෙබරවාරියේ දී ඊට තවත් අත්දැකීමක් එකතු වී තිබේ. පෙබරවාරි 2 වැනිදා මෙල් ගුණසේකර මාධ්‍යවේදිනිය අභිරහස් ලෙස ඝාතනය කෙරිණි. එදිනම දේශපාලන ක්ෂේත‍්‍රයේ අවධානයට ලක් වූ සිදුවීමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර දිසානායක පත් කෙරිණි.

සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් ආවරණය වන ලෙස තිබිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අනුමත කෙරුණේ පසුගිය පෙබරවාරි 19 වැනිදාය.

self-immolationපෙබරවාරි 20 සිංහල රාවය සංවිධානයේ හිමි නමක් සිරුරට ගිනි තබාගෙන මරණයට පත් විය.

ඇමැති රිෂාඞ් බදියුදීන් 2012 ජූනි 17 වැනිදා මන්නාරම මහෙස්ත‍්‍රාත්ට තර්ජනය කර ඔහුගේ ගෝලයන් අධිකරණ භූමියට ගල් ගැසූ සිදුවීම ගැන ඔහු 2014 මාර්තු 14 වැනිදා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය. මාර්තුවේ දී එසේම මාර්තු මාසය නැවත වතාවක් විදුලි පුටුවේ කතාව හෝද හෝදා මඬේ දැමූ කාලයක් විය. ජනාධිපතිවරයා ඇතුළු යුද නිලධාරීන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය. ලංකාවේ ආණ්ඩුව ඇතුළු හිතවත් රටවල් දැක්වූ විරෝධය මැද මාර්තු 27 වැනිදා එම යෝජනාව සම්මත කෙරිණි.

මාර්තු 29 පැවැති දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණවල දී ආණ්ඩුවට විශාල ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණයක් හිමි විය.

අපේ‍්‍රල් මාසයේ මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිරිසකට මැර ප‍්‍රහාරයක් එල්ල විය. මෙම ප‍්‍රහාරය මෙහෙය වූ ආණ්ඩුවේ ප‍්‍රාදේශීය නායකයන් ගිනි අවි පවා රැුගෙන පැමිණ සිටි බව හෙළි විය.

අපේ‍්‍රල් 30 වැනිදා කොළඹ සිට පලෙයි බලා ධාවනය වූ දැයට කිරුළ දුම්රිය, පොතුහැර දුම්රිය ස්ථානයේ දී රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් විශාල පිරිසක් තුවාල ලැබූහ.

මැයි 8 වැනිදා ලංකාවේ වංචා දූෂණ ඉතිහාසයේ විශේෂ දවසක් විය. කෝටි ගණනක වැට් බදු වංචා කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය කොමසාරිස්වරයා වූ විජේපාලට වසර 102 ක සිරද`ඩුවමක් එදින නියම කෙරිණි.

මැයි 12 වැනිදා පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ශ්‍යාමල් සඳරුවන් ඝාතනය කෙරිණි.

මැයි 27වැනිදා ජනාධිපතිවරයා ඉන්දිය නව අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ සාකච්ඡා පැවැත් වූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ජූනි මස 01 වැනිදා බස්නාහිර හා දකුණ ප‍්‍රදේශ ගණනාවක අධික වර්ෂාපතනයකින් හටගත් නායයාම් නිසා මිය ගිය පිරිස 23ක් විය.

5527908-3x2-940x627ජාතිවාදී බොදුබල සේනා සංවිධානය විසින් මෙහෙය වූ මැරයන් විසින් ජූනි 15 වැනිදා අලූත්ගම හා බේරුවල ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පහර දෙන ලදී. එහිදී ආණ්ඩුවේ නියෝග මත මැදිහත් කෙරුණු සන්නද්ධ භටයන් වෙඩි තැබීමෙන් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මරණයට පත් විය. එහෙත්  මරණ පරීක්ෂණ වාර්තාවල සටහන් වූයේ කැපීම් තුවාල නිසා ඔවුන් මිය ගිය බවයි.

ජූලි 11 වැනිදා ඌව පළාත් සභාව විසුරුවන ලද අතර එළඹෙන මැතිවරණයේ දී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අතර දෙදරීමක් සටහන් විය.

අගෝස්තු 14 රූපලාවන්‍ය සැත්කමකට ගිය වෛද්‍යවරියක් එන්නතක් වැරදීමෙන් මරණයට පත් විය.

thilini imalsha vs chandranඅගෝස්තු මසදී වාරියපොළ බස් නැවතුමේ දී තරුණියකට අයුතු බලපෑම් කළ බව කියන තරුණයකුට ඇය විසින් පහරදීමේ සිදුවීම නිසා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ අවධානය යොමු විය. පසුව එම තරුණිය සහ තරුණයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කර ගැණුනි.

සැප්තැම්බර් 9 වැනිදා ගනේවත්ත ප‍්‍රදේශයේ දැරියක් පැහැරගෙන යාමෙන් ඇති වූ කප්පම් සිදුවීමට විශාල සමාජ අවධානයක් ඇති විය.

සැප්තැම්බර් 17 වැනිදා සිට සමස්ත විදුලි ගාස්තුවෙන් 25%ක සහනයක් හිමි විය. මෙය ඌව පළාත් සභා මැතිවරණයට දුන් අල්ලසක් ලෙස විවේචනය කෙරිණි.

එසේම එදින අක්කර 500ක වරාය නගරයක් ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති එක්ව මුල්ගල තබන ලදී.

20 වැනිදා පැවැති ඌව පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවේ ජනප‍්‍රියතාව පිරිහීමේ සලකුණු දක්නට ලැබිණි. මෙය එළඹෙන ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවට විශාල අවාසියක් බවට දේශපාලන අනාවැකි පළ කෙරිණි. ඒ නිසාම ඌව පළාත් සභා මැතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ඉහළ නායකයෝ රාජ්‍ය දේපළ හා සේවකයන් යොදාගෙන ප‍්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළහ.

MR12082014T_422 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස් විය. පසුව දෙසැම්බර් 11 වැනිදා ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වී ඔහුට සහාය පළකරන බව දැනුම් දුන්නේය.

සැප්තැම්බර් 23 වැනිදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට සජිත් පේ‍්‍රමදාස පත් කෙරිණි. රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඌව පළාත් සභාවේ වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් දිනාගත් හරීන් ප‍්‍රනාන්දුට ලබා දෙන ලදී.

27 වැනිදා රත්නපුර නගරයේ දී කාන්තාවකට පහරදීමේ සිදුවීම මහත් සමාජ අවධානයකට පත් විය. පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළද පසුව ස්ථාන මාරුවක් බවට පත් විය.

ඔක්තෝබර් 3 වැනිදා විදේශ අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් පහරදීමට ලක් වීමේ සිදුවීමක් නිසා බි‍්‍රතාන්‍යයේ ලංකා තානාපති ක‍්‍රිස් නෝනිස් ඉල්ලා අස් විය.

9 වැනිදා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු 250කින් අඩු කෙරිණි. මෙම මිල පහත දැමීම සිදු වූයේ ඉන්ධන මිල අවස්ථා දෙකක දී පහළ දැමීමට අමතරවය. කෙසේවෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාම්වල දී මිල අඩුකිරීමක් සිදුව තිබුනේ නැති නිසා ඒවා ජනාධිපතිවරණයේ දී ජනතා ප‍්‍රසාදය හිමි කරගැනීමේ අල්ලස් ලෙස සාකච්ඡුාවට ගැණිනි.

10 වැනිදා සබරගමුව සිසුන්ගේ විරෝධතාවකට මැර ප‍්‍රහාරයක් එල්ල විය.  මෙම ප‍්‍රහාරයට පෙර උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක ජනමාධ්‍ය මඟින් පවසා තිබුණේ මැතිවරණයක් ඉදිරියේ නොමැති නම්, ශිෂ්‍ය විරෝධතාවලට පිළිතුරු දෙන ආකාරය තමන් දන්නා බවයි.

 

13 වැනිදා වසර 24කට පසුව කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමන් ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රැුගත් යාල්දේවි දුම්රිය යාපනය දුම්රියපොළ වෙත ගමන් කළේය.

21 වැනිදා වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී පිරිසක් ශ‍්‍රීලනිපයේ වරාය වෘත්තීය සමිතියට අයත් ස්ථානයක දී ප‍්‍රහාරයට ලක් විය.

29 වැනිදා ලංකාවේ සිදු වූ දරුණුතම නායයාම නිසා කොස්ලන්ද මීරියබැද්ද තේ වතු ජනාවාස ආශ‍්‍රිත 29 දෙනකු ජීවිතක්ෂයට පත් විය.

24 වැනිදා 2015 වසර සඳහා අයවැය, මුදල් ඇමැති වශයෙන් ජනාධිපති රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එම යෝජනාවල ඇතැම් සහන 2014 නොවැම්බර් මාසයේ සිටම ක‍්‍රියාත්මක කරන බවට චෝදනා ඉදිරිපත් විය. 2015 වසරට ගෙන එන අය වැය යෝජනා 2014 වසරේ ක‍්‍රියාත්මක කරන්නට ප‍්‍රතිපාදන කොහෙන් ලබා ගන්නවාදැයි ප‍්‍රශ්නයක් තිබේ. ජනාධිපතිවරණය ඉලක්ක කරන බව පැහැදිලි විය.

 

නොවැම්බර් 11 තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කෙරිණි. 18 වැනි සංශෝධනය ම`ගින් එම අවස්ථාව ලැබෙන බවට ආණ්ඩුව තුළ වූ නිගමනය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසින් අභියෝගයට ලක් කර තිබිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු ම`ඩුල්ලකින් නිර්දේශය ලබාගන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය.

නොවැම්බර් 17 ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි දිවුලපිටිය ප‍්‍රාදේශීය සභා සංවර්ධන කමිටු සභාපතීත්වයෙන් ඉල්ලා අස් විය.

18 වැනිදා තාක්ෂණ පර්යේෂණ හා පරමාණු බල ඇමැති චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ නියෝජිතයන් රැුසක් ජනාධිපතිවරණයේ දී විපක්ෂ අපේක්ෂක සිරිසේන වෙත සහාය පළ කිරීමට තීරණය කළ බව ප‍්‍රකාශයට පත් විය.

 

21 වැනිදා සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන බවට ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී හෙළිදරව් කළේය. පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙසත් ශ‍්‍රීලනිප මහලේකම් ලෙසත් දැරූ තනතුරුවලින් ඉල්ලා අස් නොවිණි.

 

597736353310788322 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් මෛත‍්‍රීපාල සිරිසේනගේ තීරණය ගර්හාවට ලක් කරමින් ඔහුගේ තනතුරු ඉවත් කළ බවත් ශ‍්‍රීලනිප නව මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා බවත් ප‍්‍රකාශයට පත් කෙරිණි.

ඉන්පසුව වරින්වර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සිට ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් දක්වා පිල් මාරු කිරීම සිදු විය.

 

දෙසැම්බර් 5 වැනිදා නැවතවරක් පෙට‍්‍රල් හා ඞීසල් මිල රු 7කින් සහ භූමිතෙල් රු 5කින් පහත දමන්නට තෙල් සංස්ථාව කටයුතු කළේය.

 

8 වැනිදා පස්වැනි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමසාරිස් විසින් සිදුකරන ලදී.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 19 දෙනකු ඉදිරිපත් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ, පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ අතර වමේ පක්ෂ සන්ධානයකින් වමේ පොදු අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයට අනියමින් සහාය පළ කළේය. කෙසේවෙතත් ජවිපෙ නායකයන් ලෙස ප‍්‍රකට ලාල් කාන්ත සහ දඹර අමිල හිමි වැනි කිහිපදෙනකු මෛත‍්‍රීපාල වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු කිරීම ද අවධානයට ලක් විය.

ජනාධිපතිවරණයේ විශේෂත්වය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි රැුල්ලක් ලෙස පැමිණ එය පසුව විධායක ක‍්‍රමය සංශෝධනය කරමින් රනිල් අගමැති බවට පත්කිරීමේ ක‍්‍රියාමාර්ගයක් බවට පත් වීමය.

11 වැනිදා තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.

පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට සබරගමු පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී හසිත මුහන්දිරම් මරණ ද`ඩුවමට ලක් විය.

ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල නැවත පිල් මාරු කරමින් මහින්ද රාජපක්ෂ වෙත සහාය පළකරන බවට ප‍්‍රකාශ කළේය.

1046367951unnamed12 වැනිදා ඇව්රෝ ගුවන්යානයක් හෝකන්දර දී අනතුරට පත් වීමෙන් ගුවන් නියමුවන් ඇතුළු 5 දෙනකු මරණයට පත් විය.

22 වැනිදා අධික වර්ෂා තත්වය නිසා ජලාශ පිටාර ගැලීමෙන් නායයාමෙන් ලක්ෂ 6ක ජනකායක් අවතැන්ව කිහිප දෙනකු මරණයට පත් විය. වගා පාළු වීම ඇතුළු දේපළ හානි රාශියක් වාර්තා විය.  ජනාධිපතිවරණය කල් දැමීමට කළ යෝජනාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සාකච්ඡුාවට නොගෙනම ඉවත දමන ලදී.

වසර අවසාන වෙත්ම ජනාධිපතිවරණ උණුසුම වර්ධනය විය. ජනාධිපතිවරණයේ කරටකර සටනක් පවතින බවටත් එහෙත් මහින්ද රාජපක්ෂ හෝ මෛත‍්‍රීපාල සිරිසේන යන ජනප‍්‍රිය අපේක්ෂකයන් දෙදෙනාට 50%ක් ලබාගැනීමේ හැකියාව ගැන අවදානමක් තිබෙන බවටත් දේශපාලන අංශවල කතාබහට ලක් විය.

2014 වසර ගෙවී යද්දී අලූත් බලාපොරොත්තු ගැන ජනතාවගේ අපේක්ෂා උස් පහත් වෙමින් පැවැතිය ද මූණු මාරු කිරීම් වැනි තාවකාලික විසඳුම් කෙරෙහි පමණක් ඇලූණු ප‍්‍රවාහයක් 2015 වසරටත් ගමන් කරමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ‘මූණු මාරුව ඇති. ක‍්‍රම මාරුවට සැරසෙමු!’ යන වමේ පෙරමුණේ සටන් පාඨයක එන අදහස මෙබඳු අවස්ථාවක ජනතාවගේ අවධානයට යොමු කිරීම අවශ්‍ය වන්නේ එහෙයිනි.

චන්දන සිරිමල්වත්ත

Advertisements