ලොව දිනන මඟ හා මෛත‍්‍රී පාලනය අතීසාරයට අමුඩ ගැසීම


manifestoඅසනීපයක් වූ විට අප සොයා යන්නේ දක්ෂම වෛද්‍යවරයාය. එහෙත් දේශපාලනයේ දී රටේම අසනීප සුව කරගැනීම ගැන කාරණයේ දී අප සොයා යන්නේ නරකම දේශපාලකයාය. අප මේ කීවේ ඉපැරණි ග‍්‍රීක දාර්ශනික ප්ලේටෝගේ අදහසක් තරමක් වෙනස් කරමිනි. ප්ලේටෝ කීවේ සපත්තුව කැඩුණු විට දක්ෂතම සපතේරුවාත් ඇඳුමක් මසාගැනීමට සිදු වූ විට දක්ෂතම සන්නාලියාත් සොයා යන මුත් අප පාලකයකු තෝරා ගැනීමට සිදු වූ විට තෝරා ගන්නේ නරකම පාලකයා බවය. අප එය තරමක් වෙනස් කර වෛiවරයකු ගැන කීවේ හේතුවක් සහිතවය. හොඳ වෛiවරයකු රෝග ලක්ෂණයට සීමා නොවී, රෝග නිධානය සොයා ගනී. එයට ප‍්‍රතිකාර කරයි. හොර වෙදුන් කරන්නේ රෝග ලක්ෂණය අතපත ගෑමය. ජනවහරේ සඳහන් වන උදාහරණයක්ම ගන්නේ නම් අතීසාර රෝගියකු හමු වූ විට නියම වෛiවරයකු කරන්නේ අතීසාරය වැළැක්වීමට ඖෂධ ලබාදීමයි. හොර වෙදා කරන්නේ අතීසාරයේ ලක්ෂණ සැඟවීම පිණිස අමුඩ ගැසීමයි. වෙදාගේ තරම තේරෙන්නේ ඒ අමුඩය දෙපසින් අසූචි වෑහෙන විටය.

මෙවර ජනාධිපතිවරණයේ දී රටේම ලෙඩ සුව කිරීමට යැයි කියමින් පැමිණ සිටින මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන වෙත අවධානය යොමු කරමු. ඔවුන් දෙදෙනා ගැන වෙනුවට අපි ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෙක වෙත අවධානය යොමු කරමු. එවිට අපට අතීසාරයට අමුඩ ගැසීම යෝජනා කරන හොර වෙදුන් දැකිය හැකිය. මේ රෝග විනිශ්චය ගැන දැන ගැනීමට අප ඇසුරු කළේ මහින්ද රාජපක්ෂගේ ‘ලොව දිනන මඟ’ හා මෛතී‍්‍රපාල සිරිසේනගේ ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෙකය. පළමුව මහින්දගේ පොත පෙරළමු. (එවිට මහින්ද අපට පොත පෙරළා ඇති ආකාරය දැකගත හැකිය) එහි 24 වැනි පිටුවේ මෙසේ සඳහන්ය.

”අනවශ්‍ය දරුවන් උපතේදීම මරා දැමීම වැළැක්වීම සඳහා එවැනි දරුවන් මවගේ අනන්‍යතාව හෙළි නොවන පළාත් ළමා හා පරිවාස මධ්‍යස්ථානවලට භාරදීමට හැකි නව ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන්නෙමි”

මව්වරුන් තම දරුවන් ‘අනවශ්‍ය දරුවන්’ ලෙස වටහා ගැනීමට බලපාන අතිශය සංකීර්ණ හේතු සමුදායක් තිබේ. තමන්ගේ කැමැත්තෙන් පරිබාහිරව සිදුවන ගැබ් ගැනීම්වලට හේතු බොහෝ ගණනක් ඉදිරිපත් කළ හැකිය. උපත් පාලනය පිළිබඳ අධ්‍යාපනයේ දුබලකම, දරිද්‍රතාව නිසා දරුවකු හදා ගැනීමට නොහැකි වීම මෙන්ම සමාජ පසුගාමීත්වය විසින් අවිවාහක මවකට ඇති වන බලපෑම ද මෙහිදී ප‍්‍රධානය. තමන්ට හදාවඩා ගැනීමට නොහැකි පැටවුන් මරාදැමීම ඇතැම් සතුන් විසින් කළත් එය මිනිසුන්ගේ ලක්ෂණයක් නොවේ. මිනිසුන් ඒ සඳහා පෙලඹෙන්නේ දැවැන්ත සමාජමය අර්බුදයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ අර්බුදයට හේතු නොසොයා ඉවත දමන ළමුන් නිර්නාමිකව ගෙනැවිත් භාරදිය හැකි මධ්‍යස්ථාන ඉදිකිරීම අතීසාරයට අමුඩ ගැසීමක් හැර අන් කුමක්ද?

මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 76 වැනි පිටුවේ මෙසේ සඳහන්ය. ”සෑම වකුගඩු රෝගියකුටම මාස්පතා රුපියල් 3000ක ප‍්‍රතිකාර සහන දීමනාවක් ගෙවමි” වකුගඩු රෝගය තුරන් කිරීමට නම් ඊනියා හරිත විප්ලවයක නාමයෙන් බහුජාතික සමාගම්වල ලාභ අරමුණු වෙනුවෙන් බිලිදෙනු ලැබූ කෘෂිකර්මය මුළුමනින්ම ඉන් ගලවාගත යුතුය. එතෙක් රෝගය වැලඳුණු රෝගීන් සඳහා කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ සෞඛ්‍ය සේවය සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන්කර නිදහස් සෞඛ්‍ය සේවයක් හා ඉහළ ගුණාත්මක සේවයක් සහතික කිරීමයි. මහින්ද යෝජනා කරන්නේ කුමක්ද? සෞඛ්‍ය සේවය වෙළෙඳ භාණ්ඩයක් කර, ඒ සඳහා මුදල් අයකරන තත්වයක් ඇතිකර, ඉන් අනතුරුව දුප්පත් ජනයාට සහන දීමනා ගෙවීමයි. ඒ දීමනාව ද කිසිසේත් ප‍්‍රමාණවත් නැත. මේ කියනා ආකාරයට ආණ්ඩුව ගෙවන්නේ රුපියල් 3000කි. එහෙත් වකුගඩු රෝගියකුට ඖෂධ සහ හිමෝඩයලසින් ප‍්‍රතිකාර සඳහා එක් වටයකට රුපියල් 9000ක් අවශ්‍ය වේ. සතියකට එවැනි ප‍්‍රතිකාර වට තුනක් අවශ්‍ය වේ. ඒ අනුව මසකට අවශ්‍ය වන මුදල රුපියල් ලක්ෂයකට අධිකය. රුපියල් 3000කින් කළ හැකි කෙංගෙඩියක් නැත. කළ යුත්තේ සෞඛ්‍ය සේවය මිල කර, සහනාධාර ගෙවීම නොවේ. රජයේ රෝහල්වල වකුගඩු ප‍්‍රතිකාර පහසුකම් ඉහළ නැංවීමයි. දැනට රජයේ රෝහල්වල වකුගඩු ප‍්‍රතිකාර ඒකක ඇත්තේ 250ක් පමණි. සිටින රෝගීන් සංඛ්‍යාවට අනුව ඒවා 2000 ක් වත් අවශ්‍ය වේ. එක් ප‍්‍රතිකාර ඒකකයක් මිලට ගෙන ක‍්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 10ක් වැය වේ. එනම් වකුගඩු රෝගීන් සියලූ දෙනා ජීවත් කරවීමට අවශ්‍ය රුපියල් බිලියන 17.5ක් පමණි. මත්තල සෝබන ගුවන් තොටුපළට කාබාසිනියා වූ මුදල රුපියල් බිලියන 39.6කි. හෙජින් ගිවිසුම නිසා සූදු කෙළීමෙන් කරගෙන ඇති පාඩුව රුපියල් බිලියන 280කි. හැමදාම පාඩු ලබන මිහින් ලංකා වෙනුවෙන් මෙතෙක් මහජන අරමුදල්වලින් කර ඇති ආයෝජනය රුපියල් බිලියන 3004කි. වකුගඩු රෝගීන් වෙනුවෙන් ඒ සොච්චම වියදම් නොකර රුපියල් 3000 බැගින් රෝගීන්ට ගෙවීම අතීසාරයට අමුඩ ගැසීමක් නොවේද?

මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 78 වැනි පිටුවේ මෙවැන්නක් ඇත. ”අඩු වයසින් විවාහ කිරීම, ගැබ් ගැනීම්, මන්දපෝෂණය සහ නීරක්තිය වතුකරයේ මූලික සෞඛ්‍ය ගැටලූ බව මම දනිමි. එබැවින් මෙම තත්වයන් වැළැක්වීම සඳහා දෙමළ භාෂාව කතා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 500ක් අලූතින් බඳවා ගැනීමට කටයුතු කරමි”

නීරක්තියට හා මන්දපෝෂණයට හේතුව ආහාර සුලභව තිබියදීත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරවේල ගැන ජනතාව නොදැන සිටීම නම් මෙසේ නිලධාරීන් බඳවාගෙන සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම නරක නැත. එහෙත් වතුකරයේ නීරක්තියට හා මන්දපෝෂණයට හේතුව දිළිඳුකමයි. ආහාර හිඟයයි. සිව් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පුරා දිනකට වේල් දෙකක් පමණක් සමබල ආහාර වේලක් ගැනීමට මසකට  රුපියල් 17,000ක් පමණ වැයවන බව අපි පසුගිය සතියක ජනරළ ලිපියකින් අනාවරණය කළෙමු. කෑමට 17,000ක් අවශ්‍ය මුත් රජයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 15,000කි. පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 10,000කි. වැවිලි ක්ෂේත‍්‍රයේ තත්වය ඊටත් වඩා කනගාටුදායකය. ඔවුන්ට ලැබෙන්නේ දෛනික වැටුපකි. වහලූන් ලෙස ඉඩමට බැඳ තබා ඇති හෙයින් අවම වශයෙන් වැටුප වෙනුවෙන් කේවල් කිරීමේ අයිතිය පවා ඔවුන්ට නැත. මන්දපෝෂණය හා නීරක්තිය ඉහළ ගොස් ඇත්තේ මේ තත්වය තුළය. රටේ ජාතික ආදායමේ නිර්මාපකයන්ට එහි ප‍්‍රතිලාභ හිමිකරදීමෙන් තොරව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවාගෙන මේ ප‍්‍රශ්නයට පිළියම් සෙවිය නොහැක. ඒ අතීසාරයට අමුඩ ගැසීමේ පිළියම් ගැන තවත් උදාහරණයකි.

මෛතීපාල සිරිසේනගේ පිළියම් ද මීට වඩා වෙනසක් නැත. ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 16 හා 17 පිටු පරිශීලනය කරන්නකුට පෙනී යන්නේ හැම ප‍්‍රශ්නයකටම කෝකටත් තෛලය ලෙස ඇත්තේ කොමිෂන් බවය. පොලිසිය නිර්දේශපාලනික කිරීමට අධිකරණය ස්වාධීන කිරීමට මැතිවරණ ප‍්‍රාග්ධන ග‍්‍රහණයෙන් ගලවා ගැනීමට වංචා හා දූෂණය තුරන් කිරීමට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ආදී වශයෙන් මෙකී නොකී හැම ප‍්‍රශ්නයකටම විසඳුම් ලෙස දක්වා ඇත්තේ කොමිසමක් ස්ථාපිත කිරීමයි. මේ ප‍්‍රශ්නවලට ඇත්තේ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම වැනි අති සරල විසඳුමක් නම් මෙතරම් මහන්සි වී දේශපාලනය කිරීමේ තේරුමක් නැත. එහි සූදුව තුරන් කිරීම ගැන කියන කොටසේ රජය මැදිහත් වී පවත්වාගෙන යනු ලබන සූදුව වන ලොතරැයි ගැනත් පහළ පාන්තික ජනතාවගේ ජීවිත විනාශ කරන අශ්ව රේස්වලට ඔට්ටු ඇල්ලීම ගැනත් කිසිවක් කියා නැත. 25 වැනි පිටුවේ කැසිනෝ ගැන පමණක් ප‍්‍රකාශ කර ඇති අතර මෛත‍්‍රීපාල කරන්නේ කැසිනෝ නැවැත්වීම නොව පවතින කැසිනෝ බලපත‍්‍ර අතරින් දෙකක් අවලංගු කිරීම පමණි.

”තුන් නිකායේම මහානායක හිමිවරුන්ගේ විරෝධතා හා පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් තීරණවලට පටහැණිව උපායමාර්ගික පනත යටතේ අප‍්‍රමාණ බදු සහන දෙමින් ලබාදුන් වෝටර් ෆ‍්‍රන්ට් සහ ලේක් ලෙෂර් කැසිනෝ බලපත‍්‍ර දෙක වහාම අවලංගු කරමි”

අපට මෛත‍්‍රීපාලගෙන් අසන්නට වෙන්නේ ”ඒ බලපත‍්‍ර දෙක හැර තවත් බලපත‍්‍ර තිබේ ද” වැනි මිහිදු හිමියන්ගේ වර්ගයේ ප‍්‍රශ්නයි.

මහින්ද වතුකම්කරු ජනතාවගේ නීරක්තියට විසඳුම් සකස් කරන අතර මෛතී‍්‍රපාල ගැබිනි මව්වරුන්ගේ නීරක්තියට විසඳුම් හොයනි. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 36 වැනි පිටුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ දරුවකු ප‍්‍රසූත කරන මවකට පෝෂ්‍යදායී ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 20,000ක් ලබාදෙන බවයි. ලංකාවේ ගැබිනි මව්වරුන්ගෙන් 30%කට නීරක්තිය ඇති අතර උපදින දරුවන්ගෙන් 16%ක් අඩුබර දරු උපත්ය. එයට හේතුව ද මව්වරුන්ගේ ඇති පෝෂ්‍ය ඌනතාවන්ය. දරුවා ඉපදුණු පසු එක් මාසයක් පෝෂ්‍යදායී ආහාර ගත් පමණින් මේ එක ප‍්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැත. (රුපියල් 20,000 ප‍්‍රමාණවත් වන්නේ එක් මාසයකට පමණි) අඩුබර දරු උපත් ප‍්‍රශ්න විසඳීමට දරුවා ඉපදුණු පසු මවට පෝෂණය ලබාදීමේ උත්සාහය සිහි ගන්වන්නේ මහදැනමුත්තාගේ විසඳුම්ය. නැතිනම් ‘ආඳා යවා තබා වල් පත ගත්තා සේ’ යන සද්ධර්මරත්නාවලියේ එන උපමාවයි. ඖෂධ ජාවාරම මැ`ඩලීමට මෛතී‍්‍රපාල ඔහුගේ ප‍්‍රකාශනයේ 37 වැනි පිටුවේ දී යෝජනා කරන්නේ ඖෂධ මිල හා ගුණාත්මක භාවය නියාමනයටත් පාලනයටත් රජය මැදිහත් වීම නොව ජාවාරම්කාර සමාගම්වලට බදු සහන ලබාදීමයි. ඉන් අනතුරුව එය ගෙවීමට සිදුවන්නේත් අපටමය. ඒ ඖෂධ හරහා පමණක් නොව මිල දී ගන්නා සීනි, පරිප්පු, සැමන් ආදියෙනි.

මහින්ද වකුගඩු රෝගීන්ට දෙන ආකාරයේම කැකිල්ලේ විසඳුමක් මෛත‍්‍රීපාල ශිෂ්‍යයන්ට දෙයි. ඒ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කර එය මිල දී ගැනීමට අපහසු අයට ණය දීමයි. මෙය එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 41 වැනි පිටුවේ තැන් දෙකකම සඳහන් කර ඇත. අධ්‍යාපනය විකුණන්න එපා යැයි සිසුන් කියද්දී මෛත‍්‍රීපාල කියන්නේ එය ණයට දෙන්නම් කියාය. ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට නම් කළ යුත්තේ අධ්‍යාපනය විකිණීම නතර කිරීමයි. මෛත‍්‍රීපාල යෝජනා කරන්නේ එය ණයට දීමයි. ඉන් අනතුරුව පොලියත් සමඟ ණය ගෙවිය යුතුය. අපූරු කරුණාවකි. ඒ මෛත‍්‍රීපාල අතීසාරයට අමුඩ ගසන ආකාරයයි.

මේ උදාහරණ කිහිපයක් පමණි. තවත්  ඕනෑතරම් උදාහරණ සාකච්ඡුා කළ හැකිය. එහෙත් මේ ප‍්‍රතිපත්තිවල රඟ තේරුම් ගැනීමට මේ සරල උදාහරණ කිහිපය වුවත් ප‍්‍රමාණවත්ය. අපි යළිත් ප්ලේටෝගේ අදහසට එළඹෙමු. අප සොයන්නේ අතීසාරයට අමුඩ ගසන හොර ද්‍යවරයෙක් ද එසේත් නැතිනම් රෝග නිධානයට ප‍්‍රතිකාර හොයන සැබෑ වෛද්‍යවරයෙක්ද? හොර වෙදා දකුණේ සිටින අතර නියම ප‍්‍රතිකාරය සොයා ගත හැක්කේ ද අද සමාජය පෙළෙන අට අනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධිවලින් සහනය ලබාගත හැක්කේ ද වමට හැරීම තුළින් පමණි.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements