රාජපක්ෂ, සිරිසේන එකම කාසියේ දෙපැත්තයි

රාජපක්ෂ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටීමත්

සිරිසේන බලයට ගෙන ඒමට අර ඇදීමත්

එකම කාසියේ දෙපැත්තයි

shanthaමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම දෙවැනි නිල ධුර කාලය අවසන් වීමට අවුරුදු දෙකකට මත්තෙන් ජනාධිපතිවරණයක් කැඳවා ඇත.

ජනාධිපතිවරණය ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිතය. ඊට ඇත්තේ තවත් සතියක් පමණ කාලයකි. ජනාධිපතිවරණයක් වෙනුවට ඔහු විසින් යුද්ධයක් කැඳවා ඇත. රාජපක්ෂ තම ධුර කාලය අවසන් වීමට තවත් අවුරුදු දෙකක් ඉදිරියට තිබිය දී ඊට පෙර මැතිවරණයක් කැඳවුයේ, කම්කරු පීඩිත ජනතාව තුළ ආණ්ඩුවට එරෙහිව අප‍්‍රසාදය පුපුරා යෑමට පෙර බලය ඩැහැගැනීමේ උපායික අරමුණෙනි.

2005 වර්ෂයේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පස් වැනි ජනාධිපතිවරයා වශයෙන් රාජපක්ෂ දිවුරුම් දුන්නේය. රාජපක්ෂ ආණ්ඩුව අමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා සහ චීන අධිරාජ්‍යවාදීන්ගේ ද සහාය ඇතිව 2009 මැයි 18 වැනිදා දෙමළ විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළේය. පශ්චාත් යුද ජයග‍්‍රහණයත් සමඟ රාජපක්ෂ නැවත පරාජය කළ නොහැකි බව යුද උමතුවෙන් තෝන්තු වූ ඊනියා සුඵ ධනේශ්වර බුද්ධිමතුන් විලාප දෙන්නට වූහ. පරාජය නොකළා යැයි කී රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයේ දී බලය ඩැහැගත්තේ කුලී මැර හමුදාවල සහායෙනි.

යුද ජයග‍්‍රහණ මඟින් ජනතාවගේ ඇස් නිලංකාර කරවීම නතර කළ නොහැකිය. සමාජයේ අතිමහත් බහුතරයක දරිද්‍රතාව ඉහවහා යෑම එක් පසකිනුත් අනෙක් පසින්  අතළොස්සක් ධන කුවේරයන් අත ධනය ගොඩගැසීම මඟින් ධනපති ක‍්‍රමයට ගෙන එන්නේ මරණීය අන්තරායන්ය. රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින්නේ එම මරණීය අන්තරායටය. ඊනියා බුද්ධිමතුන්ට මෙම මරණීය අන්තරාය වැටහෙන්නේ නැත. මන්ද ම්ලේච්ඡු ධනපති ක‍්‍රමය සදාකාලික යැයි ඔවුන් සිතන බැවිණි.

  • පොදු අපේක්ෂකාගමනය

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිවේදනය නිකුත් කිරීමත් සමඟ පාලක එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන්  ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බව නිවේදනය කළේය. මේ සිරිසේන දශක දෙකකට ආසන්න කාලයක් කුමාරතුංග යටතේ සහ රාජපක්ෂ යටතේ ඇමැතිවරයකු ලෙස සේවය කර ඇත.

ජනතා දේපළ කොල්ලකමින් ජනතා අයිතීන් මර්දනය කිරීම, ඒකාධිපතීත්වයක් කරා යන ගමන නතර කිරීම සහ දුෂණ වංචා සහ මගෝඩිවලින් පිරීගිය රාජපක්ෂ පවුල් රෙජීමය පෙරළා දැමීම සාධාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ අරමුණ බව පවසයි.

‘ඒකාධිපතීත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන පාඨය පෙරට දමාගෙන සිරිසේන කැසකවන්නේ රාජපක්ෂ රෙජීමයට එරෙහිව කම්කරු පීඩිත ජනතාව තුළ වැඩෙමින් එන  අප‍්‍රසාදය කොල්ලකෑමටය. ඒකාධිපතීත්වයට එරෙහිව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සටන් පාඨය සිරිසේන තොරොම්බල් කළත් තිරයේ පිටුපසින් සිට ඔහුව මෙහෙයවන්නේ අමෙරිකානු හා යුරෝපය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ය.

රාජපක්ෂ යුද්ධයෙන් අනතුරුව අමෙරිකාවට පස්ස හරවා චීනය සමඟ පවත්වාගෙන යන දැඩි ආර්ථික හා මිලිටරිමය සමීප සම්බන්ධකම් අමෙරිකාවේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම උතුරු – නැෙඟනහිර යුද්ධයේ දී සිදු වුවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා නැඟීය. එසේ ගෝරනාඩු කර, රාජපක්ෂ නම්මා ගැනීමට උත්සාහ ගත්තේ රාජපක්ෂ ආණ්ඩුව චීනය සමඟ පවත්වාගෙන යන සමීප සම්බන්ධය බිඳ දැමීමට මිස මරා දැමු දෙමළ ජනතාව සම්බන්ධයෙන් මානව දයාවකින් නම් නොවේ. අමෙරිකාව හා යුරෝපයත් චීනයත් රුසියාවත් ඉන්දියාවත් පාකිස්තානයත් තමන් අතර පවතින පසමිතුරුකම් පවතිද්දී එල්.ටි.ටි.ඊ. සංවිධානය මිලිටරිමය වශයෙන් පිසදැමීම සඳහා රාජපක්ෂ ආණ්ඩුවට මිලිටරිමය ආධාර හා  යුදමය උපදෙස් දුන්නේ එකිනෙකාට තරගයට මෙනි.

විශේෂයෙන් අමෙරිකාව, යුරෝපය සහ චීනය, එල්.ටි.ටි.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුවට සහාය දෙන ලද්දේ, එල්.ටි.ටි.ඊ. සංවිධානය යටතේ පැවැති ඉඳුල් නොකරන ලද මිනිස් ශ‍්‍රමයත් ව්‍යාපාරික වශයෙන් වැදගත්කමක් ඇති විශාල භුමි ප‍්‍රදේශය අත්පත් කරගැනීමටය. එසේම ආසියාව තුළ මිලිටරි සහ ආර්ථික බලය තහවුරු කරගැනීමේ දී මර්මස්ථානයක් වශයෙන් ශ‍්‍රී ලංකා භුමියේ ඇති මුලෝපායික වැදගත්කම ගැන ඔවුන් දැන සිටී.

රාජපක්ෂ ආණ්ඩුව චීනය සමඟ පවත්වාගෙන  යන ආර්ථික හා මිලිටරිමය සම්බන්ධකම් මුළුමනින්ම බිඳ දමා තමන්ට පාලනය කළ හැකි රූකඩ පාලකයකු පත් කරගැනීම අමෙරිකාව ඇතුළු යුරෝපයේ අවශ්‍යතාව වී ඇත. මෙය ආසියාවට හැරීමේ එක්සත් ජනපදයේ නව මූලෝපාය සමඟ බැඳී ඇත. සිරිසේන වොෂින්ටන් කුමන්ත‍්‍රණයේ කුමන්ත‍්‍රණකරුවකු මෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩයකි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ද එම කුමන්ත‍්‍රණයේ පුරෝහිතයෙකි. ජනාධිපති සමඟ ආප්ප කන සහ කෝපි බොන ගමන් ඔහුගේ කනෙන් රිංගා ගොස් කුමන්ත‍්‍රණය ඇට වූ බව වික‍්‍රමසිංහ පුවත්පත්වලට ප‍්‍රකාශ කොට ඇත.

  • ච.බ.කු.ගේ පැටිකිරිය

වොෂින්ටන් පාලනය විසින්  බීජිං පාලනයට එරෙහිව මෙහෙයවන ලද මෙම කුමන්ත‍්‍රණය මෙහෙයවා ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසිනි. චන්ද්‍රිකා දැන් කියන්නේ මොකක්ද?

”මේ පිළිකුල් දේශපාලනයට ආයෙත් එකතු වෙන්නේ දවසින් දවස රට විනාශයට පත්වෙන ආකාරය දකිනකොට තවදුරටත් නිහඬව සිටීම මගෙන් රටට සිදුවිය යුතු යුතුකම් පැහැර හැරීමක් කියා හිතුණා. කොහෙත්ම නැවත මට බලයට ඒ වගේ පෙරේතකමක් නෑ. බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති මා ළඟ තියෙනවා. අද පවුල් දේශපාලනය දකිනකොට මට ඇති වෙන්නේ අප්පිරියාවක්. මං බලයේ ඉන්න කාලේ දෙවතාවක් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ මට අනෙක් අයගේ සහයෝගය ලැබුණේ නැහැ.”

චන්ද්‍රිකා එසේ පවසන්නේ කුමන්ත‍්‍රණයේ  නියමුවා ලෙස කරළියට පැමිණීමෙන් අනතුරුවය. ඇය නැවත ලාංකේය දේශපාලනයට කඩා වදින්නේ අධිරාජ්‍ය හාම්පුතුන් විසින් තමන්ට පැවරූ රාජකාරිය ඉටු කිරීමටත් රාජපක්ෂලා තමන්ට සිදුකළා යැයි කියන මදිපුංචිකම්වලින් පළිගැනීමටත්ය. ඇය එසේ කරන්නේ රාජපක්ෂලාගේ යකඩ සපත්තුවට පෑගී සිටින ජනතාව ගැන උපන් දයානුකම්පාවකින් නොවන බව  1994 සිට 2005 දක්වා චන්ද්‍රිකාගේ පාලන කාලය සිහි බුද්ධියෙන් පරීක්ෂා කරන්නකුට වැටහෙනු ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බලයට පැමිණියේ ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්’ දෙන බවත් ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ අවුරුද්දක් ඇතුළත අහෝසි කරන බවටත් පොරොන්දු දෙමිනි. එවකට එ.ජා.ප.ය ගෙන ගියාටත් වඩා කෲර මර්දනයක්  පොදු පෙරමුණු ආණ්ඩුව දෙමළ ජනතාව මත පතිත කරන ලදී. 1994 යේ චන්ද්‍රිකා ආණ්ඩුව වැඩට බැස ගත්තේ ඇන්සල් ලංකා කම්කරුවන්ට ගිනි බිඳිමින්ය. පොදු පෙරමුණු ආණ්ඩුවේ පළමු බිල්ල කම්කරුවෙකි. ඊට අමතරව  මාධ්‍යවේදී සිවරාම් (තාරකී*  රෝහණ කුමාර සහ නිමලරාජන් ඝාතනය කළේ චන්ද්‍රිකාගේ  සිංහල – දෙමළ කුලී පාතාල සොල්දාදුවන් විසිනි. චන්ද්‍රිකා ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එවකට කටයුතු කළේ දැන් එක්සත් ජාත්ක පක්ෂයේ හිඳිමින් පොදු අපේක්ෂක මාධ්‍ය මෙහෙයුම කරන මංගල සමරවීරය.

2005 දී ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව තමා දේශපාලනයෙන් සමුගන්නා බවට චන්ද්‍රිකා පුවත්පත්වලට පාරම්බෑවාය. එහෙත් ඇය තවත් අවස්ථාවක් සඳහා කල්බලමින් සිටියා පමණකි. යුද ජයග‍්‍රහණයෙන් අනතුරුව රාජපක්ෂ රෙජීමය තම පවුල මත බලය සංකේන්ද්‍රණය කරගනිමින් ජනතා දේපළ කොල්ලකෑම ඇරඹීය. ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් ඩැහැගනිමින් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ඥාති සමූහය පමණක් බඩකට පුරවා ගැනීම සිදුවිය. ඒ නිසා රාජපක්ෂලා සමඟ අමනාප වූ සන්ධාන ආණ්ඩුවේ ඉහළ මට්ටමේ නායකයන්ට ආමන්ත‍්‍රණය කිරීමට චන්ද්‍රිකා කටයුතු කළාය. බලයට ඇති කෑදරකම අත් නොහළ ඇයගේ මෙම ආමන්ත‍්‍රණය අද ඊයේ එකක් නොවන බව පැහැදිලිය. සිරිසේන එසේ අමනාප වු බණ්ඩාරනායකලාට පක්ෂපාති එක් අයෙකි. 2001 වර්ෂයේ  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සඳහා සිරිසේන පත්කරන්නේ ද කුමාරතුංගය.

  • එජාප පැටිකිරිය

එසේම මෙම විපක්ෂ අපේක්ෂකයා වටා සිටින එජාපයට ඇත්තේ ඒ වැනිම ලේ වැකි ඉතිහාසයකි. ‘විවෘත වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය’ සහ ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ හඳුන්වා දුන්නේ එජාපයයි. 1980 ජීවන බරට සරිලන වැටුපක් ඉල්ලා සටන් කළ ජී.ඞී. සෝමපාල සහෝදරයා ඇතුළු ජූලි වර්ජකයන්  ඝාතනය කළ, ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ලක්ෂයකට ආසන්න කම්කරුවන් පිරිසක් අත්තනෝමතික ලෙස දොට්ට දැමීය. 1983 කළු‍ ජූලිය නිර්මාණය කළ ජයවර්ධන, දෙමළ ජනතාව මත රුදුරු ප‍්‍රහාරයක් මුදාහැරියේය. 1988 රණසිංහ පේ‍්‍රමදාසගේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට සහ මර්දනයට එරෙහිව සටන් වැදුණු කම්කරු පීඩිතයන් හැටදහසකට ආසන්න පිරිසක් වළපල්ලට යැවීය. මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා පේ‍්‍රමදාසගේ කුලී මැරයන් විසින් පැහැරගෙන ගොස් මරා දමන ලදී. බටලන්ද වධකාගාරය පවත්වාගෙන යමින් තරුණ තරුණියන් ඝාතනය කිරීමේ චෝදනාව වත්මන් එජාප නායක වික‍්‍රමසිංහට එල්ල වී ඇත. මෙම පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනය කරමින් සිංහල දෙමළ කම්කරු පීඩිතයන් මත එල්ල කළ මෘග ප‍්‍රහාරයන්ගෙන් කිහිපයක් පමණක් ලියුම්කරු ඉහතින් සඳහන් කර ඇත.

දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 36 ක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දෙති. පසුගිය 01 වැනිදා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් සමඟ පොදු  ගිවිසුමක් අත්සන් කළ සිරිසේන රාජපක්ෂ රෙජීමයෙන්  මෑතක ඉවත් වූ ජාතික හෙළ උරුමය සමඟ වෙනම ගිවිසුමක් අත්සන් කරන ලදී.

ජාතික හෙළ උරුමය සිංහල නාසිවාදී පක්ෂයකි. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති මන්ත‍්‍රීකම් හොබවමින්  සිංහල ජනයා මත ගෝත‍්‍රවාදී වස විෂ මුදා හරිමින් ඔවුහු දෙමළ විරෝධී ජන ඝාතක යුද්ධයකට පාර කැපූහ. පසුගිය දා බොදු බල සේනා කුලී මැරයන් විසින් බේරුවල, අලූත්ගම, ප‍්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ජනයා මත එල්ල කළ රුදුරු ප‍්‍රහාරයන්ට හෙළ උරුමය ද වගකිව යුතු වෙයි.

ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දෙන වගන්ති එලෙසම තබා ගැනීමටත් ඒකීය රාජ්‍ය සුරැුකීමටත් දෙමළ ජනයාට මොනයම් හෝ සහනයක් ලබා නොදීමටත් හෙළ උරුමය සිරිසේන සමඟ අත්සන් කළ ගිවිසුම මඟින් එකඟ කරවාගෙන ඇත.

  • මේ කවර සන්ධානයක්ද?

මෙම දේශපාලන පක්ෂ සහ වර්ගවාදී කල්ලි කණ්ඩායම් උත්සාහ කරන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාධාරණ යුක්තිගරුක සමාජයක් බිහි කරනවා යැයි (ජේ.ආර්. ධර්මිෂ්ඨ සමාජය වැනි* මවා පෙන්වමිනි. ඔවුන් මේ ගන්නේ පරණ කේක් ගෙඩියටම විවිධ අයිසින් තවරා, ජනතාවට ගිල්ලවා ඡුන්දය කොල්ලකෑමේ නරුම ප‍්‍රයත්නයකි. ධනපති හාම්පුතුන්ගේ ඉඳුල් කා  පුරුදු අපතයන් මෙම සන්ධානය හඳුන්වන්නේ ශුද්ධ සන්ධානයක් කියාය. මෙම සන්ධානය ලිබරල්වාදීන්, නවලිබරල්වාදීන්, අවස්ථාවාදීන්, නාසිවාදීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ස්ත‍්‍රිවාදීන්, ගේම්කාරයන්, රැුඩිකල්වාදීන්, මානවවාදීන්, නව කලාකරුවන්, පරණ කලාකරුවන්, බඩුකාරයන්, නරුමවාදීන්, හොරුන්, තක්කඞීන්, උපාසකවරුන්, දක්ෂිණාංශයේ වාමාංශිකයන්, ජනමාධ්‍ය අපුල්ලන්, ඝාතකයන් සහ ගොඩවෙදුන් හා ගොඩපෙරකදෝරුවන්ගෙන් සමන්විත වෙති. මේ වැනිම අඩංගුවක් සහිත සන්ධානයක් 1994 දී බිහි විය. එය ද ශුද්ධ සන්ධානයක් ලෙස හඳුන්වන ලදී. චන්ද්‍රකා සිහසුන්ගත කිරීම සඳහා බිහි වූ එම සන්ධානය දෙමළ, සිංහල කම්කරු පීඩිත ජනයා භේද බින්න කරමින් මෘග යුද්ධයකට පාර කැපුවා පමණක් නොව ජනතාවගේ අයිතීන් රුදුරු ලෙස කප්පාදු කළේය.

ඉතිහාසයෙන් අප පාඩම් ඉගෙනගත යුතුය. වර්තමානය ගොඩනැඟී තිබෙන්නේ ඉතිහාසය මතය. ඉතිහාසයේ ආලෝකයෙන් වර්තමානයේ අඳුරු තැන් විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් මත පදනම්ව විනිවිදින නමුත් ඉතිහාසයට වහල් නොවිය යුතුය. රාජපක්ෂ සහ සිරිසේන හැරුණු කොට අපට වෙනත් මාවතක් නැතුවාද? අපට  මාවතක්  ඇත. ඒ ජාත්‍යන්තර කම්කරු පන්ති ඉදිරි දර්ශනය මත පදනම් වු  විප්ලවවාදී මාවතයි.  ඊනියා වම රැුඩිකලූ‍න් සහ අවස්ථාවාදීන් කම්කරු පන්ති ඉදිරි දර්ශනයට පස්ස හරවමින් සහ කෝචොක්  කරමින් ධනපති පන්තියේ කකුල් දෙක අතර රැුඳී ඇති ප‍්‍රතිසංස්කරණ නමැති බිජුව පිටුපස හතිදමමින් දුව යති.

මෙම ඊනියා රැුඩිකලූ‍න් සමාජ ප‍්‍රතිසංස්කරණ නැමති මිථ්‍යාව ජනතාව අතර වපුරන ගමන් අනාගත ම්ලේච්ඡු ධනපති ආණ්ඩුවලට ද පාර කපයි. අපි අද ජීවත් වන්නේ භුගෝලකෘත අර්බුදයට ගිය ධනපති අවධියකය. විශේෂයෙන් අප වැනි පසුගාමි රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ධනපති පාලකයන්ට තවදුරටත් ඉෂ්ට කළ නොහැකි තරමට ධනපති ක‍්‍රමය අර්බුදයට ගොස්ය. ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන් දිනාගත ගත හැක්කේ නිර්ධන පන්තිය බලය ගැනීමෙන් පමණක් බව ලෙනින් සිය රුසියානු අත්දැකීම් හරහා අවධාරණය කොට ඇත.

”අපගේ මුලික හා අව්‍යාජ නිර්ධන පන්ති විප්ලවයේ සමාජවාදී කටයුතුවල අතුරු ඵලයක් හැටියට ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ප‍්‍රශ්න විසඳුවෙමු. ප‍්‍රතිසංස්කරණ විප්ලවාදී  පන්ති අරගලයේ අතුරු පලයක් බව අපි හැමවිටම  කියා ඇත්තෙමු.”

(ලෙනින්-කම්කරු මාවත)

රාජපක්ෂ රෙජීමය පැවැත්ම වෙනුවෙන් පෙනී සිටීමත් සිරිසේනගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කත් ඇදීමත් එකම කාසියේ දෙපැත්තය. කාසියේ දෙපැත්තේ රූපාකාරයන් එකම ලෝහයකින් තනා ඇත. කාසියේ ද්විත්වරූප කෙටුම්පත් කර ඇති ලෝහයේ  වටිනාකම එක සමානය.  එම ද්විත්ව  ක‍්‍රියාකාරීත්වයේ සමාන ලක්ෂණ ගැනීම වැළැක්විය නොහැකිය.

ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ආයු ද සන්නද්ධ හා ධනයෙන් ආඪ්‍ය සුඵතරයක් විසින්  බහුතරයක් යටත්කර තබාගැනීමයි. මැතිවරණ යනු යටත්කර තබාගත්තවුන්ගේ නැඟිටීම වැළැක්වීම සඳහා අටවාගත් තවත් ප්‍රෝඩාවකි. මාක්ස්වාදී විප්ලවවාදීන් මේ වැනි ප්‍රෝඩාවට එරෙහිව  ජනතාව  විප්ලවාදී දේශපාලනයෙන් උගන්වා ගැනීම සඳහා මෙවැනි අවස්ථා වේදිකාවක් කරගත යුතුයි.

     ශාන්ත විජේසුරිය

Advertisements