ජනතා විරෝධය කොල්ලකන්න දෙන්න බැහැ

Siritunga-Jayasuriya2015 ජනාධිපතිවරණයේ දී වමේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කරන දුමින්ද නාගමුව සමඟ මින් පෙර අප විසින් සංවාදයක් කළා. 2015 ජනාධිපතිවරණය හමුවේ අපේක්ෂකයකු ලෙස එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය තම දේශපාලන භූමිකාව විස්තර කරමින් ඔවුන්ගේ අදහස් දැනගැනීමට අප කළ සංවාද සටහන් මෙසේ පළ කරමු.

  • රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණය කැඳවීමත් එහිදී ඔබ එක්සත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයකු වීමේත් දේශපාලන පසුබිම ගැන පැහැදිලි කරන්න.

අපි ජනාධිපතිවරණයට එන්නෙ දිනන්න හිතාගෙන නෙවෙයි. මේක ලංකාවෙ දේශපාලන ඉදිරි මඟ ගැ සාකච්ඡුාවක් කරන අවස්ථාවක්. සමස්තයක් හැටියට මේක අපි ක‍්‍රීඩා කරන පිට්ටනිය නෙවෙයි. අප ක‍්‍රීඩා කළ යුතු පන්ති අරගලයේ පිට්ටනිය තුළ. ඒ වුණත් යම් සීමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩක් ඇතිවන මෙවැනි අවස්ථාවක අපට අපේ මතවාදය ජනතාව අතර සාකච්ඡුාවක් කරන්න පුළුවන්. නිශ්චිතව කියනවා නම් වමේ කතිකාවට ඉඩක් හදාගන්න අදහසින් අපි ජනාධිපතිවරණයට එන්නෙ.

ඒ අතරම කියන්න ඕනෑ, අපි වමේ විවිධ පක්ෂ සමඟ සාකච්ඡුාවක නිරතව සිටියා. මෙතනදි වමේ කියලා කියන්නෙ ආණ්ඩුව ඇතුළෙ රිංගාගෙන ඉන්න වමේ ව්‍යාපාරය පාවා දුන් උදවිය ගැන නෙවෙයි. ආණ්ඩුවට පිටින් ඉන්න වමේ සංවිධාන එකතු කරගෙන එක්සත් අපේක්ෂකයෙක් කරා ගෙනයන්න දරපු උත්සාහයක් තිබුණා. ඒක තුළ අපි අකමැත්තෙන් තීරණයක් ගත්තෙ. අප අතර තියෙන යම් යම් ප‍්‍රතිපත්ති ගැටලූ නිසා අවසානයේ තනියම තරග කරන්න තීරණය කළා. ඒ වුණාට අප අතර තිබෙන සංවාදය ඉදිරියටත් තිබෙනවා. ඒක වමේ අනාගත අරමුණු වෙනුවෙන් තියෙන දෙයක්. ජනාධිපතිවරණය ජනවාරි 8 වැනිදා ඉවරයි. ඒත් පන්ති අරගලය ඉදිරියට යනවා. ඒ නිසා අපි ඉදිරියටත් හමු වෙයි.

  • මේ ජනාධිපතිවරණය නියමිත කාලයට අවුරුදු දෙකකට කලින් ප‍්‍රකාශයට පත් වුණේ. එතන තිබෙන්නේ ආණ්ඩු විරෝධය පුපුරා යන්න කලින් ආණ්ඩුව සතු ශක්තියෙන් පල නෙලා ගන්න අරමුණක් නේද?

එහි ඇත්තක් තිබෙනවා. ඒ වගේම රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළ එක පැත්තකින් තිබෙනවා. අනෙක් පැත්ත තමයි එයාගෙ පවුල සහ පවුල වටා ඉන්න පරපෝෂිතයන්ට මහපොළොවෙ සාරය උරාගන්න වඩා ඒකාධිපති තත්වයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව. ඒ වගේම කිවයුතු කාරණයක් තිබෙනවා. මහින්ද නැවත ජයග‍්‍රහණය කරනවද කියන සැකයක් තිබෙනවා. බැරිවෙලොවත් ජයග‍්‍රහණය කළොත් ඇරියස් එක්ක මේ දේවල් ඉදිරියට යයි. ධුර කාලයෙන් අඩුවෙච්ච අවුරුදු දෙක විතරක් නෙවෙයි ගිය පාර අඩුවෙච්ච කාලෙයි අලූතෙන් ලැබුණු අවුරුදු හයයි තව තව අඩුවෙච්ච දේවල් හිලව් කරලා අවුරුදු දහයක් බලයේ ඉන්න වරමක් තියෙනවා කියයි. ඒක තමයි මේ කඩිමුඩියෙ ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ.

  • මෛත‍්‍රිපාල සිරිසේනගේ කලකිරීමක් ගැන සහ ආණ්ඩුවෙන් ඉවත්වීමක් ගැන කියැවුණත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ප‍්‍රකාශයට පත්වීම අනපේක්ෂිත දෙයක් ලෙසයි සලකන්නෙ. මේ ගැන ඔබ විග‍්‍රහ කරන්නෙ කොහොමද?

රාජපක්ෂ පාලනය පහුගිය අවුරුදු ගණනාව තුළම පිපිරීම් දෙදරීම් සහිතව හිටියෙ. හැබැයි ඉවත්වෙලා යන්නෙ කොහෙටද කියලා ඉව අල්ලමින් තමයි හිටියෙ. එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා යන ගමනට කෙළින්ම සම්මාදම් වීමේ පිළිකුලක් තිබුණා. ජනතාව ඉදිරියේ ඒක සාධාරණීකකරණය කරන්න අමාරුකමක් තිබුණා. එහෙම ඉන්නකොට තමයි මම හිතන විදියට එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අදහසක් ආවෙ, ඔයගොල්ලම තරග කරන්නකො. හෝම් ඇන් හෝම් ගේම් එකකට යන්න අපි ඉන්නම් පිටිපස්සෙන් කියලා. ඒ නිසා මේ එකම ගේ ඇතුලෙ සෙල්ලමක් යන්නෙ. එක්සත් ජාතික පක්ෂය පැත්තක ඉඳලා වාසිය ගන්නවා. ගෙඩිය වැටෙන්නෙ තමන්ගෙ ඔඩොක්කුවට කියලා ඒ අය දන්නවා.

අනෙක් කාරණාව තමයි, දැන් මෛත‍්‍රිපාල මහත්තයා අවුරුදු 12ක් විතර ලේකම්කම දරලා එක්සත් ජාතික පක්ෂය. පැත්තට එනවා. තිස්ස අත්තනායක මහත්තයා අවුරුදු 7ක් විතර ලේකම්කම කරලා ආණ්ඩුව පැත්තට යනවා. දේශපාලන පක්ෂයක ලේකම් කියන්නෙ ඒ පක්ෂයේ ප‍්‍රතිපත්ති රකින ගමන මෙහෙයවන නියමුවා කියන එකයි අපි දන්නෙ. ඒ අය කිසිම හිරිකිතයක් නැතිව ඇඳගෙන හිටිය ඇඳුමින්ම පැත්ත මාරු කරලා ඒ ඇඳුම පිටින්ම මේ පැත්තෙ ඉන්නවා. යන අයටත් හිරිකිත නෑ. බාරගන්න අයටත් හිරිකිත නෑ. හොඳින් ඉන්නවා, පිළිගන්නවා. අවාසනාව තමයි මේ රටේ ජනතාවට මේක තේරෙන්නෙ නැති එක. නමුත් මේ සිදුවීම වමේ අපට සහ ප‍්‍රගතිශීලී ජනතාවට වැදගත්. මේ දෙගොල්ලම එකයි. ඒ අයට තියෙන්නෙ කොටස් බෙදාගන්න තරගෙ. තම තමන්ට මුදල් ගසාගන්න අවස්ථාව පාදාගන්න එකයි, මහින්ද හිටියත් මෛත‍්‍රීපාල ආවත් ගෝලීය ධනවාදී ආර්ථික ක‍්‍රමය අකුරකින්වත් වෙනස් වෙන්නෙ නැති එකයි පෙනෙන්නෙ.

  • දැනටමත් ජනාධිපතිවරණෙ ප‍්‍රධාන කතිකාව තුළ පිල් දෙකක් බෙදිලා. එහෙම නම් ඇයි ඔබ මේ ජනාධිපතිවරණයට එන්නෙ?

මේක වැදගත් ප‍්‍රශ්නයක් වගේම ජනතාවගෙ පැත්තෙන් කනගාටුදායක කාරණාවක්. යූඇන්පියටයි ශ‍්‍රීලංකා එකටයි මේ රට සින්නක්කර ලියලා දීලා නෑ. මේ අයගේ ආරම්භක අවස්ථාවෙ මොනවා හෝ සුළු සුළු වෙනස්කම් තිබුණා වුණත් දැන් නම් කිසිම වෙනස්කමක් නෑ. කොළ පාට නිල්පාට ඇර කිසිම බේදයක් නෑ. ඒ නිසා මේ දෙන්ගෙන් කාට බලයක් ලැබුණත් වෙනසක් වෙන්නෙ නෑ. අපි මේ දෙපැත්තෙ කාටවත් සහයෝගය දීලා පලක් නෑ.

වමේ ව්‍යාපාරය ජීවිත සිය දහස් ගණනක් පරිත්‍යාග කරලා ලේ වගුරලා මහපොළොව තෙත් කරලා අරඹපු දුෂ්කර ගමනක් යන්නෙ. අද වන විට දුප්පත්කමින් විරැුකියාවෙන් පීඩාවෙන් මුදාගෙන සැබෑ සමෘද්ධිමත් ජීවිතයක් වෙනුවෙන් දේශපාලනය කරන්න අපට පරම වූ අයිතික් තිබෙනවා. මේ හොරට සින්නක්කර ලියාගෙන ඉන්න පක්ෂ දෙකට එරෙහිව කරුණු කියමින් වෙනසක් කරා යන්න අපි අරගල කරනවා. බොහෝ රටවල් ගතානුගතික රාමුව බිඳ දමලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන රාමුව තුළත් එහෙම ජයග‍්‍රහණ හිමි කරගෙන තිබෙනවා. ඒ නිසා වමේ අපි ඉදිරිපත් වෙන්නෙ ඒ ශුද්ධ වූ අරමුණින්. අපිට අයිතියක් තිබෙනවා ජනතාවට කරුණු වටහලා දෙන්න. අපි ජනතාවටත් කියන්නෙ ඒ ශුද්ධ වූ අරමුණට ඒකරාශි වෙන්න කියලා.

  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වැනි තේමාවන් ඔස්සේ අවංකව ක‍්‍රියාත්මක වන බලවේග රාජපක්ෂ පාලනයට එරෙහි පිලකට ඒකරාශි වෙමින් ඉන්නවා. කලක් දුර්මුඛව හිඳ සක‍්‍රීය වූ මේ අයගෙ දේශපාලන තේරීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඇත්ත. අල්ලස, ¥ෂණය, මත්ද්‍රව්‍ය වගේ දේවල් ඉහවහා ගිහින්. දේශපාලන නිදහසක් නෑ. කැසිනෝ වගේ දේවල් වෙනුවෙන් විශාල මිලක් ගෙවමින් ඉන්නෙ. ජනතාවට මේ වගේ දේවල් ගැන විරෝධයක් ඇවිත්, ඉවසීමේ සීමාවත් පැනලා. රාජපක්ෂ රෙජිමයට පලයල්ලා කියලා කියනවා. ජනතාවගේ ඇත්ත අභිලාෂයන් වෙනුවෙන් කතා කරන්නෙ, ක‍්‍රියා කරන්නෙ වමේ අපි. ඒත් දැන් මේ අය යම් යම් ආකාරයට එන්නෙ මේ අවකාශය කොල්ලකන්නයි. වමේ අවකාශය තමයි දැන් විපක්ෂ බලවේගවලින් අත්පත් කරගන්නෙ. ජනතා විරෝධය ගසාකන්නයි එන්නෙ. බෙහෙත් කිරනකොට මංචාඩිවලින් කිරන්නෙ. ඒ වගේ අල්ලස, ¥ෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම, පවුල් පාලනය කියන මේවගෙන් මංචාඩියක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් එහෙම සුළු වශයෙන් වෙනසක් කෙරුණා වුණත් ක‍්‍රමයේ වෙනසක් වෙන්නෙ නෑ.

1977 පටන් ගත්ත පාලනය 1980 කම්කරුවන් දහස් ගණනක් විරැුකියාවට ඇද දමලා තිබුණෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායක එනකොට මේ ජනයා මහා බලාපොරොත්තු කන්දරාව ඉටුකරගන්න අවකාශය බලාපොරොත්තුවෙන් හිටියෙ. මම අහනවා ඒ ජනතාවගෙන්, වැඩි කාලයක් නෑනෙ. මොකක්ද චන්ද්‍රිකාගෙන් වෙච්ච වෙනස. ඒක තේරුම් ගන්න කියලා ජනතාවගෙන් අපි ඉල්ලනවා.

  • විධායක ජනාධිපතික‍්‍රමය වෙනස්කිරීම ගැන ඇති අවධාරණය ඔබ පිළිගන්නවද?

ඔව්, ඒක වැදගත් කාරණාවක් තමයි. ඒ අත්තනෝමතික බලය පාලනය කිරීම වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. විධායක ජනාධිපති ක‍්‍රමය මේ රටට හෙනයක්. රටේ සදාචාරයක් විනයක් නැතිකම සහ මේ රටේ තිබුණු යහපත් ලක්ෂණ සියල්ල නැති වෙලා. ඒත්, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමෙන් ඒ තත්වය නැති කරන්න කරන්න පුළුවන්.

විධායක ක‍්‍රමය වෙනස්කිරීම වෙනුවෙන් දෙවරක් හිතන්නෙ නැතිව අපි එකතු වෙනවා. නමුත් ඒක විතරක් හරිද? විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කළාම අපි දිව්‍ය ලෝකයට යනවා වගේ මේ අය කියන්නෙ. මම කියනවා 78න් පෙර යුගයට ගිහින් බලන්න. මේ රටේ සන්නද්ධ කැරලි දෙකක් ඇති වුණේ ඔය කියන විධායක ක‍්‍රමය නිසා නෙවෙයි. උතුරේ අරගලය වර්ධනය වුණේ ඒ ක‍්‍රමය යටතේ. 1948 දෙමළ ජනයාගේ ඡුන්ද බලය අහෝසි කෙරුණෙ ඔය කියන සෝල්බරි ක‍්‍රමයෙන් තමයි. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව යටතේ තමයි 71 අරගලය පැන නැගුනේ. ඒ වගේම එල්ටීටීඊ කැරැුල්ල ඇතිවුණෙත් ඒ පාර්ලිමේන්තුවට වග කියනවා කියන ක‍්‍රමය යටතේමයි. වතුකර දෙමළ ජනයාගේ ඡුන්දය අහිමි වුණේ, රාජ්‍ය සේවා කොමිසම කැබිනට් මණ්ඩලයට යටත් කළේ ඒ කියන සේරම වුණේ පරණ විධායක අගමැති යටතේ තමයි. ඒ නිසා මේ අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න හිතෙන තැනකට යා යුතු නෑ. නමුත් අපි නැවත කියනවා, විධායක ක‍්‍රමය ඇතුළු ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නමුත් ඒක කළ යුත්තෙ මහජන අදහස් අරගෙන, ඈත ගම්වල ගොවියගෙන්, ධීවරයගෙන් කම්කරුවාගෙන්, ගුරුවරයා, ලිපිකරුවා වගේ නියෝජනය පුළුල් කළ අදහස් පදනම් කරගෙනයි ඒක කළ යුතු. ඒකට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගත යුතුයි. ජනතාවගේ හ`ඩ ඉදිරියට ගෙන, විප්ලවකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි. ඒක මේ පවතින සම්මතයන්, නීති රීති අනුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගතානුගතික බව තුළ හිරවෙලා කරන දෙයක් නෙවෙයි. ඒක එහෙම කරන්නත් බෑ, අපි එහෙම කරන්න කැමතිත් නෑ. ඒක විප්ලවකාරී කටයුත්තක් කියන්නෙ ඒ නිසයි.

ව්‍යවස්ථාව කියන්නෙ ආකාශයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක මහජනතාවගේ ජීවිත එක්ක ගැටගැහෙන දෙයක්. ජේ.ආර්. 1978 නවලිබරල් ආර්ථිකය, විවෘත ආර්ථීකය ගේන්නයි කටයුතු කළේ. එයා ව්‍යවස්ථා වෙනසක් කරන කොට කැබිනට් එකටවත් කියපු දෙයක් නෙවෙයි. හිතුමතේට ගෙනල්ලා තිබුණු ක‍්‍රමය අනික් පැත්තට පෙරළුවා. ව්‍යවස්ථාව වැදගත් වුණේ ගෝලීයවාදී, අධිරාජ්‍යවාදී ක‍්‍රමය වෙනුවෙන් වැඩපිළිවෙළක්. ඉතින් දැන් ව්‍යවස්ථාව වෙනස් කරන්න කතාකරන විපක්ෂෙ මහත්වරුන්ගෙන්

අපි අහන්න ඕන මොකක් වෙනුවෙන් ද ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නෙ කියලා. මේකම කරගෙන යන්න නම් වෙනසක් කරලා වැඩක් නෑ. ඇත්ත ජනතා සංවර්ධනයක්, නිර්ධන පන්තියේ අරමුණු ඉටුකරන ව්‍යවස්ථාවක් නම් අපි ඒක කරමු. ඒක කරන්න නම් ජනතාව සහභාගී කරගත යුතුයි.

  • ජනාධිපතිවරණය තුළ ජීත්වීමේ සියලූ ගැටලූ සහ ඒවට පදනම් වන ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට කෙරෙනවා. මේ තත්වය වෙනස් කරලා සැබෑ විසඳුම් දෙසට යන ප‍්‍රවේශයක් තිබෙනවද?

මේ වනවිට කම්කරු ජනතාවගේ, විවිධ මට්ටමෙන් ගොවි ජනයාගේ ගැටලූවලට විසඳුම් යෝජනා අපේ වැඩපිිළවෙළට එකතු කරමින් තිබෙනවා. ඒත් නිර්ධන පන්තියේ ජනයා ධනපති මිරිඟුවක් පස්සෙන් යන්නෙ. බලන්න දැන් අල ගොවීන් කාලෙකට සියල්ල නවත්වලා අල වවන්න පටන් ගන්නවා. ඒ වගේම ලූනු ගොවියත් එහෙමයි. ඒත් අස්වනු නෙලන කාලයට අල, ලූණු පිටරටින් ගේනවා. ගොවියන්ට අස්වනු විකුණාගන්න බැරිව වස බොන්න සිද්ධ වෙනවා. ජීවිතයම මහපොළොවට සමතලා වෙනවා. ධීවරයට, සුළුපරිමාණ කර්මාන්තකරුවාට ඒ වගේ ප‍්‍රශ්න තිබෙනවා. වැටුප් වැඩි කරන්න ඉල්ලීම් තියෙනවා. කීයක් හරි වැඩි කරනවා තමයි. ජනාධිපතිවරණයටත් ඒක කරනවා. නමුත් අනෙක් පැත්ත බලද්දි බදු වැඩිකරලා ඒ වැඩි වුණු මුදල ආපහු කොල්ලකනවා. මේ රටේ සීයට අනූනවයක් ජනතාව එහෙම දුෂ්කර ජීවිතයක් ගෙවන්නෙ.

හැබැයි අද එක තරුපහේ හෝටලේකින් කාල හෙට වෙනත් හෝටලේකින් කන පිරිසකුත් මේ රටේ ඉන්නවා. එහෙමත් බැරි නම්, අද ලංකාවෙ, හෙට සිංගප්පූරුවෙ, අනිද්දා මැලේසියාවෙ හෝ එංගන්තයට යන අය ඉන්නවා. වෙනත් රටක ජීවත්වෙන්න විදේශ ගිණුම්වල කෝටි ගණන් ධනය ඇති පිරිසක් ඉන්නවා. ඒ 1% ක් විතර ධනපතියන් ජීවත් වෙන විදියයි. 99% ක් අතිමහත් බහුතරය, ගොවිජනයා, කම්කරුවන් මුහුණ දෙන ඇත්ත ප‍්‍රශ්න ජනාධිපතිවරණයෙදි සාකච්ඡුා වෙන්නෙ නෑ. අපි වමේ දේශපාලනයෙන් තමයි ඒවා මතුකරන්නෙ. නමුත් ධනපති ප‍්‍රචාරක මාධ්‍යවලින් මතුකරන තමන්ට අදාළත් නැති ප‍්‍රශ්න නිසා වසඟයට පත්වෙලා තමයි අර 99% ක් පීඩිත ජනයා ධනපති නායකයන්ට ඡුන්දය දෙන්නෙ. ඊට පස්සෙ ඡුන්දෙන් මාසයක් දෙකක් යනකොට ඒ අය හූල්ල හූල්ලා පත්කරපු නායකයන්ටම ආපහු කුණුහරපයෙන් බැන බැන ඉන්නේ.

ධනපති ක‍්‍රමය තුළ සූරාකෑම විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ. දැන් අපි දන්නවා පරිසරය කියන එක සමස්ත මානව වර්ගයාටම අයිති දෙයක්, මාක්ස් කිව්වෙ එහෙමයි. නමුත් වර්තමානයේ ධනපති අවශ්‍යතා වෙනුවෙන් විශාල පරිසර විනාශයක් කරනවා. තමන් විතරක් පරිසරය භුක්ති විඳලා ලාභ උපයන්න වැඩ කරනවා. මීරියබැද්දෙ නාය යන්නෙ ධනපති වුවමනාවන්ට අනුව ඒ අවිධිමත් ව්‍යාපෘතිවලින් කෙරෙන පරිසර විනාශය නිසයි. ඉතින් අපි අපේ මැතිවරණ ව්‍යාපාරයෙන් ප‍්‍රකාශනවලින් හැකි මට්ටමින් ඒ හ`ඩ නඟනවා. අපට සමහරවිට ධනපති මාධ්‍යයෙන් ඉඩක් ලැබෙන්නෙ නැති තරම්. අපි කියන දේ එක අකුරක් පළ නොකරන එක වචනයක් කියැවෙන්නෙ නැති විiුත් මාධ්‍ය තිබෙනවා.

ධනේශ්වර මාධ්‍ය කඩතුරාවකින් වහලා ඉන්න සමාජයේ අවධානයට ලක් කිරීමත් මේ ජනාධිපතිවරයේ වැදගත් අවශ්‍යතාවක්.

සංවාද සටහන – චන්දන සිරිමල්වත්ත

Advertisements