ප‍්‍රංශය සහ ලංකාව

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය නිසා ලංකාව උණුසුම් වෙමින් තිබුණා. ඒ අතර ජනවාරි 7 වැනිදා ප‍්‍රංශයේ, පැරිස් නුවර උණුසුම් වුණා. ඒ මැතිවරණය හින්දා නොවේ. පුවත්පත් කාර්යාලයකට එල්ල වූ ප‍්‍රහාරයක් නිසා. පැරීසියේ පිහිටි ”චාලි හෙබ්ඩෝ” (සතිපතා චාලි) නම් පුවත්පත් කාර්යාලයට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා මාධ්‍යවේදීන් හා පොලිස් භටයන් ඇතුළු දොළොස් දෙනෙක් මියගියා. තවත් අට දෙනකු තුවාල ලැබුවා. ඒ අතරින් 11 දෙනෙකු ජීවිතයත් මරණයත් අතර පොරබදමින් අසාධ්‍ය තත්වයේ පසුවන නිසා මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යන්න පුළුවන්. මේ පුවත්පත මූලික වශයෙන් වාමාංශික අදහස් දරන, අනාගාමික අදහස් ප‍්‍රකාශ කරන, ආගමික මූලධර්මවාදයට හා අන්ත දක්ෂිණාංශික මතවාදයන්ට පහර දෙන පුවත්පතක්. ඔවුන් එය කරන්නේ කාටුන්, විහිළු කතා වැනි සරල ආකාරවලින්. මෙම ප‍්‍රහාරයට හේතුව එම පුවත්පත ඉස්ලාම් මූලධර්මවාදය උපහාසයට බඳුන් කිරීමයි. ප‍්‍රහාරකයන් අල්කයිඩා වැනි මුස්ලිම් මූලධර්මවාදී සංවිධානයකට අයත් අය බව දැනට ලැබෙන තොරතුරුවලින් පෙනෙනවා.

ලංකාවේ දේශපාලනය පිළිබඳ තීරණාත්මක සමයක කතුවැකිය ප‍්‍රංශය ගැන ලියන්නේ ඇයි කියලා ඔබ හිතන්න පුළුවන්. කලබල නොවී තවත් මොහොතක් ඉවසන්න. ඉතිරි ටිකත් කිව්වම තේරෙයි. මේ කණගාටුදායක සිදුවීම මූලධර්මවාදයේ ඇති ම්ලේච්ඡුත්වය අපට තහවුරු කරනවා. මේ ප‍්‍රහාරයෙන් යුරෝපයේ ප‍්‍රමුඛතම කාටුන් ශිල්පීන් ලෙස සැලකුණු මාධ්‍යවේදීන් සිව් දෙනෙකු මියගියා. ඒ වගේම දැන් ප‍්‍රංශ ආණ්ඩුව මේ සිදුවීම දඩමීමා කරගෙන ජාතිවාදී, වර්ගවාදී ප‍්‍රතිප‍්‍රහාරයකට සැරසෙනවා. විදේශිකයන්ට එරෙහි වෛරයක් ප‍්‍රංශ ජාතිකයන් තුළ අවුළුවනවා. මේ සිදුවීම දඩමීමා කරගෙන යුධමය ආක‍්‍රමණයකට සැරසෙනවා. අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේ සැප්තැම්බර් 11 ප‍්‍රහාරය ඉදිරියට දමමින්. ප‍්‍රංශ ආණ්ඩුව මෙම සිදුවීම ”ප‍්‍රංශයේ 9/11 ප‍්‍රහාරය” ලෙස දැනටමත් හඳුන්වා දී තිබෙනවා.

තවමත් ලංකාවේ ජනාධිපතිවරණය ගැන මුකුත් කියන්නේ නැද්ද? තව මොහොතක් ඉවසන්න. ප‍්‍රංශයේ සිදුවීම ආගමික අන්තවාදයත්, අධිරාජ්‍යවාදයත් අතර ඇති සම්බන්ධය තේරුම් කර දෙනවා. ඒවා එකිනෙකට එරෙහි බව මතුපිටින් පෙණුනාට ආගමික අන්තවාදය හා අධිරාජ්‍යවාදය වගේම ජාතිවාදය හා නව ලිබරල් දේශපාලනයත් ගැඹුරින් එකිනෙක හා සම්බන්ධයි. එකක් පෝෂණය වෙන්නේ අනෙක මත. එකක් ක‍්‍රියාකාරී වෙන කොට, අනෙකත් ක‍්‍රියාකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි එකක් අනෙක මඟින් සාධාරණිකකරණය කෙරෙනවා. උදාහරණයක් ලෙස මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවකු වන චෙරීෆ් කෞඩි මීට පෙර අන්තවාදී ක‍්‍රියා පිළිබඳ චෝදනා ලැබූ විට ඔහු පවසා තිබෙන්නේ ඒ සඳහා තමන් පෙළඹවූයේ අබු ග‍්‍රායීබ් හිරකඳවුරේ හිරකරුවන්ට ඇමරිකානු හමුදාව දෙන වධබන්ධනවල ඡුායාරූප බවයි. හෙට තවත් එවැනි හිරකඳවුරක් විවෘත කරන ප‍්‍රංශ පාලකයින් එය සාධාරණිකකරණය කළේ චෙරිෆ් කෞඩිලා පෙන්වමින්.

දැන් ලංකාව ගැන කතාවට බහිමු. මහින්ද රාජපක්ෂ තමන්ගේ නව ලිබරල් ව්‍යාපෘතිය සාධාරණිකකරණය කරන්නේ උතුරේ ජාතිවාදයක් හා ත‍්‍රස්තවාදයක් පිළිබඳ බිල්ලා පෙන්වමිනි. එල්.ටී.ටී.ඊ. ය තමන්ගේ ක‍්‍රියා සාධාරණිකකරණය කළේ මෙවැනි ආණ්ඩුවල ජාතිවාදී ක‍්‍රියාකාරීත්වය පෙන්වමිනි. එකක් අනෙක මත පෝෂණය වෙනවා. මෛත‍්‍රීපාල සිරිසේනටත් වැදගත් වන්නේ තමන්ගේ ඡුන්ද ගොඩ මිස ප‍්‍රතිපත්ති නොවේ. ඔහුට වැදගත් කෙසේ හෝ බලය ලබාගෙන නව ලිබරල් ව්‍යාපෘතිය දියත් කරන එක. රටේ ඒකීයභාවය රකිනවා, බුද්ධාගමට ප‍්‍රමුඛතාව දෙනවා, උතුරෙන් එක හමුදා භටයෙක්වත් ඉවත් කරගන්නේ නෑ වගේ කතා කියමින් ඔහු පෝෂණය කරන්නේත් ජාතිවාදයමයි. ප‍්‍රංශ ප‍්‍රහාරයේ දී වගේම ලංකාවේ ජනාධිපතිවරණයේ දීත් නැවත නැවතත් ඔප්පු වෙන්නේත් ඒකමයි.

ප‍්‍රංශයේ සිදුවීමෙන් පසු ප‍්‍රගතිශීලීන් වේදිකාවෙන් පිටුපසට විසිවී ජාතිවාදීන්, දක්ෂිණාංශිකයන් හා නව පැසිස්ට්වාදීන් ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණයේ දී මුල් අවධියේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ජාතිවාදයට එරෙහි වූවන් ආදීන් ඉදිරිපත් වී සිටියත්, ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ඔවුන් පසුපසට තල්ලූ වී ගොස් ජාතිවාදීන් හා මැරයන් ඉදිරියට පැමිණ තිබෙනවා. ප‍්‍රංශයේ වගේම ලංකාවෙත් වාමාංශිකයන්ට, ප‍්‍රගතිශීලීන්ට අභියෝගයක් තිබෙනවා. කෙතරම් සංකීර්ණ වුවත් ඒ අභියෝගය ජයග‍්‍රහණය කළ යුතුමයි. ජයග‍්‍රහණය ලබාගත හැක්කේ මේ ව්‍යාජ කඳවුරු දෙකට එරෙහිව විකල්ප පාරක් කැපීමෙන්.

Advertisements