ග්‍රීසියේ වාම සයිරිසා සංවිධානය ඉදිරියෙන්……..!!

Supporters of the Greek Communist Party shout slogans during an election campaign rally in Athensග්‍රික පාර්ලිමේන්තුව තුන්වන මෙන්ම අවසාන වතාවටත් නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට අසමත් ව තිබේ. පසුගිය සදුදා ඒ සදහා පැවති ඡන්ද විමසීමෙන් දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (New Democracy party) අපේක්ෂක ස්ටාෆ්‍රොස් ඩිමාස් ට (Stavros Dimas) ලබා ගත හැකි වූයේ චන්ද 168 ක් පමණි. ආසන 300කින් යුතු පාර්ලිමේන්තුවෙහි ආසන 180 ක බහුතරයක් ඔහු දිනා ගත යුතුව තිබිනි. ග්‍රීක ව්‍යවස්ථාව අනුව අවස්ථා 3කදී ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් එය විසුරුවා හැර මහ මැතිවරනයකට යා යුතුය. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනය වර්ෂ 2015 ජනවාරි 25 දින පැවැත්වීමට දැනටමත් සැළසුම් කර තිබේ.

ග්‍රීසිය යුරෝපයෙහි 13 වන විශාලතම ආර්ථිකයයි. නමුත් එය දිගුකාලීන වූ බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටියි. වර්ෂ 2007 දි පැන නැගි ලෝක ආර්ථික අර්බුදය එහි එක් මූලයකි. එමෙන්ම දශක 30 කට අධික කාලයක් තිස්සේ නඩත්තු කෙරෙමින් පවතින නව ලිබරල් ආර්ථක රටාව අර්බුදයෙහි අනෙක් මූලයයි. වර්ෂ 2001 දී යුරෝපා සංගමයට ඇතුළත් විම සදහා ග්‍රීක ආණ්ඩුව විසින් සකසන ලද ව්‍යාජ ආර්ථික දත්ත අර්බුදයට පන පෙවූ තවත් ප්‍රමුඛ සාධකයකි. ග්‍රීක ආර්ථිකය අභ්‍යන්තරයෙන්ම අඩපන කර තිබූ ණය අර්බුදය එමගින් සගවනු ලැබිනි. අධික පිරිවැයක් දරමින් පැවැත්වූ ඔලිම්පික් සැනකෙළිය මෙන්ම ග්‍රීක මුදල් ඒකකය ලෙස යුරෝව ආදේශ කිරීම ආදි එකිනෙකට සම්බන්ධිත තවත් කාරනා රැසක්ද ආර්ථික අර්බුදය පිටුපස පවතී.

ඇත්ටටම අද වන විට ග්‍රීසිය නව ලිබරල්වාදයෙහි අමිහිරි මෙන්ම විනාශකාරී ප්‍රතිඵලයන්ට මුහුණ දෙමින් සිටියි. නමුත් ඊට අදාළ වන්දිය ගෙවමින් සිටිනුයේ දස ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනයායි.

මිලියන 11.3 ක් වන එරට ජනගහනයෙන් (සමස්ත යුරෝපා ජනගහනය මිලියන 505කි) 26.6% ක් විරැකියාවෙන් පෙළෙන බව ග්‍රීක පාර්ලිමේන්තු අයවැය කාර්යාලය (Parliamentary Budget Office) තම අළුත්ම වාර්තාව මගින් කියා සිටියි. තරුනයින් අතරදී එය 52%ක අගයකි. ඒ අනුව දළ වශයෙන් ගත් විට සෑම තරුනයෙන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නොමැත. වර්ෂ 2012 සිට ග්‍රීක උපාධිධාරීහු ලක්ෂ 2කට ආසන්න පිරිසක් රැකියා සොයා රට හැර ගොස් සිටිති. පසුගිය ඔක්තෝබරය වන විට යුරෝපා සංගමයට අදාළ විරැකියා අගය 10% ක් ලෙස පැවතිනි. එයද බරපතල අර්බුදකාරී තත්වයකි.

එය එසේ නම් ග්‍රීසියෙහි තත්වය ගැන අපට සිතා ගත හැකිය.

ඉහත වාර්තාවට අනුව ග්‍රිසියෙහි දරිද්‍රතාවද ඉහළ අගයක පවතී. දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින ග්‍රීකයන්ගේ සංඛ්‍යාව මිලියන 2.5කි. එපමණක්ද නොව තවත් මිලියන 3.8 ක පමන අති විශාල ග්‍රීක ජනකායක් දරිද්‍රතාවට ඇද වැටීමෙහි අනතුරටද මුහුණ පා සිටිති. දරිද්‍රතාව සම්බන්ධව යුරෝපයේ 4 වෙනි ස්ථානයෙහි සිටිනුයේ ග්‍රීසියයි. එයට ඉහළින් සිටිනුයේ බල්ගේරියාව, රොමානියා සහ ස්පාඤ්ඤය යන රටවල් 3 පමනි. අධ්‍යාපනය, සෞඛ්‍යය, සුභසාධන මෙන්ම යටිතල පහසුකම් නඩත්තුවද අද වන විට ග්‍රීසිය තුළ බරපතල ලෙස බිද වැටී තිබේ. එළඹ ඇති ශිත කාලය මෑත ඉතිහාසය තුළ ග්‍රිකයන්ට මුන ගැසුනු අසීරුතම කාල වකවානුව වනු ඇති බව නිසැකය. පසුගිය සති කිහිපයෙහි වාර්තා වූ අධික හිම පතනයත් සමග තත්වය තවත් දරුනු අතට හැරී තිබේ. නිවෙස් තුළ උණුසුම පවත්වා ගැනීම සදහා අධික පිරිවැයක් දැරිය යුතුය. නමුත් අද වන විට ග්‍රීකයන් බහුතරයකට එය දැරිය නොහැකිය. එම තත්වය තුළ තමන් බරපතල දුෂ්කරතාවනට මහුණ පා සිටින බවට ඔවුහු මැසිවිලි නගති. ඊට සමගාමීව, මාර්ගවලින් හිම ඉවත් කිරීමේ කාර්යයන්ද අඩාල වි තිබේ. ඇතැම් ප්‍රදේශවල ගමනාගමනයද ඇන හිට තිබේ. අදාළ පළාත් පාලන ආයතන කියා සිටිනුයේ ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන තමන්ට නොමැති බවයි.

ආර්ථික අර්බුදය සමනය කරනු වස් ට්‍රොයිකාව (The European Commission, the European Central Bank and the International Monetary Fund) ග්‍රිසියට පැන වූ කොන්දේසි වලින් තත්වය තවත් නරක අතට හැරී තිබේ. වර්ෂ 2010 සිට ග්‍රීසියට මුදා හැරෙමින් පවතින යුරෝ බිලියන 240 ක නය ඇපකරය යටතේ ($300 billion) දැරිය නොහැකි සමාජ සුභ සාධන කප්පාදුවකට එරට ජනයා මුහුණ දි සිටිති. බදු බර දැඩි ඉහළ ගොස් තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිළ ගනන්ද එළෙසමය. තවද මිලියනයකට ආසන්න අඩු ආදායම් ලාභීහු සෞඛ්‍ය රක්ෂනයන්ගෙන් පිටමං කරනු ලැබ සිටිති. විශ්‍රාමිකයන් සහ රැකියා විරහිතයන්ගේ තත්වයද අතිශයින්ම බරපතලය. සුභ සාධන දීමනා බරපතල ලෙස කප්පාදු කරනු ලැබ ඇති බැවින් තම දෛනික ජීවිතය පවත්වා ගැනීම පවා අසීරු වී ඇතැයි ඔවුහු කියා සිටිති. වර්ෂ 2015 අවසන් වන විට තවත් 15000 කට අධික පිරිසක් රාජ්‍ය අංශයේ රැකියාවලින් දොට්ට දැමීමටද ග්‍රීක පාලයන් දැනටමත් ට්‍රොයිකාවට පොරොන්දු දී තිබේ.

ආර්ථික අර්බුදය මතු වූ තැන් සිට ග්‍රික වැඩ කරන ජනයා මෙන්ම රැකියා විරහිතයින්, විශ්‍රාමිකයන් මෙන්ම සිසුන් දස දහස් ගනනින් විවිධ ලෙස උද්ඝෝෂණයන්හි යෙදී සිටිති. විශේෂයෙන්ම පසුගිය වසර ගත් විට එය පිරී පැවතියේ එවැනි උද්ඝෝෂණයන්ගෙනි. නමුත් ට්‍රොයිකාව සහ ග්‍රීක පාලකයෝ මෙන්ම යුරෝපා සංගමය තුළ ආධිපත්‍යධාරී බලයක් හොබවන ජර්මනියද ඒවා නොතකා තිරසාර ලෙස තම කප්පාදු වැඩපිලිවෙළ ආරක්ෂා කරමින් සිටිති. ”…රටෙන් භාගයකට රස්සා නැහැ. යුරෝ 400 කින් කොහොමද පවුලක් මාසයක් ජීවත් වෙන්නේ?” වීදි බැස සිටින උද්ඝෝෂකයන්ගේ මූලික ගැටළුව එයයි.වෙනසක් නොවුනහොත් තම උද්ඝෝෂණ නව වසර තුළදීත් අඛණ්ඩව ගෙන යන බව වෘත්තීය සමිති මෙන්ම බහුජන, සිසු සංවිධාන නියෝජිතයෝ අධිෂ්ඨාන සහගතව කියා සිටිති.

ආර්ථික අර්බුදයට සමාන්තරව වාර්ගික සහ ජාතිකවාදී මතයන්ද ප්‍රබල ලෙස ග්‍රීසිය තුළ ඉස්මතු වෙමින් පවතී. ස්වර්නමය අරුනෝදය (Golden Dawn) නම් ෆැසිස්ට් (Neo-Nazi) සංවිධානය ඊට මූලිකත්වය ගෙන සිටියි. ඔවුනට අනුව ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ විදේශිකයන්ය. ඔවුන් ග්‍රීසිය සූරා කමින් සිටින බව අදාළ කණ්ඩායමෙහි මතයයි.

උද්ගතව ඇති තත්වය තුළ ඉදිරි මහ මැතිවරනය ග්‍රීක පාලකයන්ට සුභදායී නොවන බව දැනටමත් අනාවැකි පළ ව තිබේ. නවතම ජනමත සමීක්ෂණ (Alco polling institute) අනුව ග්‍රීක වාමාංශයෙහි ශක්තිමත්ම බලවේගය වන සයිරිසා (Syriza) සංවිධානය පාලක පක්ෂයට වඩා 3.3% ක ප්‍රතිශතයකින් ඉදිරියට පැමිණ සිටියි. අදාළ පුරෝකථනය අනුව ඉදිරි මැතිවරණයේදී 28.1% ඡන්ද ප්‍රතිශතයක් ඔවුනට ලැබෙනු ඇත. නමුත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට එම ප්‍රතිශතය ප්‍රමානවත් නැත. නිදසුනක් ලෙස, පාලක පක්ෂයට සහය දෙන PASOK සංවිධානයද අදාළ ජනමත සමීක්ෂනය තුළ 4.6%ක ජන්ද ප්‍රතිශයක් වාර්තා කර තිබේ. තවත් විශේෂ කරුනක් වනුයේ ස්වර්නමය අරුනෝදය (Golden Dawn) සංවිධානය මත විමසුම් තුළ 3 වන ස්ථානයට පැමිණ සිටීමයි. ඔවුන්ගේ ප්‍රතිශතය 6%කි. දක්ෂිනාංශික සංවිධානයක් වන ‘ගංගාව’ (Potami) සහ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (The Communist Party of Greece – KKE) 4% ක ප්‍රතිශතයක් සමග 4 වන ස්ථානයට තරග කරමින් සිටිති. ඉහත කී කණ්ඩායම් සයිරිසා සංවිධානයට සහය ලබා දීම සැක සහිතය. එබැවින් ආණ්ඩුවක් පිහිටුවීම සදහා සහකරුවන් දිනා ගැනීමේ විශාල අභියෝගයක් ඔවුන් ඉදිරිපිට පවතී. කෙසේ වුවත් තමන් ජය ගතහොත් විනාශකාරී ට්‍රොයිකා කප්පාදුකරන වැඩ පිළිවෙළ ඉතිහාසයට එක් වනු ඇති බව සයිරිසා නායක අලෙක්සිස් සිප්රාස් (Alexis Tsipras) ඇතුළු එහි නායකයෝ කියා සිටිති. එය ග්‍රීසියේ නව පරිච්ඡේදයක ආරම්භයයි. වැඩ කරන ජනයාගේ අයිතීන් සුරක්ෂිත කෙරෙනු ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනීය වැඩපිළිවෙලක් ඔස්සේ නව ලිබරල් වාදයෙන් විතැන් වීම තම අදිටන බව ඔවුහු තව දුරටත් කියා සිටිති.

මැතිවරන නිවේදනයත් සමග ආයෝජකයන් තැති ගැන්මකට ලක් වූ බව පසු ගිය සතියේදී The Economist වාර්තා කර සිටියේය. කොටස් වෙළෙදපොලද 5%ක ප්‍රතිශතයකින් බිද වැටී තිබේ. උද්ගත වු හදිසි තත්වයට හේතුව ‘අති වාම’ සයිරිසා සංවිධානයට මැතිවරනයෙන් ජය ගැනීමට ඇති පුළුල් ඉඩ ප්‍රස්ථාවයි. තමන් බලයට පත් වූ පසු යුරෝව තුළ රැදෙන බවට සයිරිසා නායක සිප්රාස් මෙන්ම ඔහුගේ ආර්ථික උපදේශක තියොඩොරොස් පරාස්කෙෆොපවුලස්ද (Theodoros Paraskevopoulos) පොරොන්දු දී තිබේ. එසේ වුවද‍, ආයෝජකයන්ගේ බිය ඉවත් කරලිමට එය ප්‍රමානවත් නොවන බව අදාළ වාර්තාව තව දුරටත් කියා සිටියි. ඒ අතර තුර, මැතිවරනය අවසන් වන තුරු තම නය ඇපකරයන්ට අදාළ ඉතිරි කොටස් ලබා දීම අත්හිටුවීමට ට්‍රොයිකාව පියවර ගෙන තිබේ. තවද, සයිරිසා සංවිධානය බලයට පත් වුවහොත් ග්‍රීසියට සම්බාධන පැනවෙනු ඇති බවට ග්‍රීක මූල්‍ය කටයුතු භාර අමාත්‍ය ගිකාස් හාඩොවිලිස් (Gikas Hardouvelis) අනතුරු අගවා සිටියේය. ජර්මානු මූල්‍ය අමාත්‍ය වොල්ෆ්ගැන්ග් ෂෙයිබ්ලෙ (Wolfgang Schaeuble) ‘Hannoversche Allgemeine’ නම් ජර්මානු පුවත් පතට කියා සිටියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන හැර වෙනත් විකල්ප නොමැති බවයි. ඔහුට අනුව බලයට පත්වන්නා කවරෙක් වුවත් පූර්වගාමීන් අත්සන් කර ඇති ගිවිසුම් එලෙසින්ම රැකිය යුතුය. තවද යුරෝපා කොමිසමෙහි සභාපති ෂොන් ක්ලෝඩ් යුන්කර් (Jean-Claude Juncker) කියා සිටිනුයේ වැරදි ඡන්ද ප්‍රතිඵලයකින් දැනට අපහසුවට පත්ව සිටින ග්‍රීකයන් තවත් අපහසුවට පත් වනු ඇති බවයි. තවද සිප්රාස් ග්‍රීසිය සදහා සුදුසු පුද්ගලයා නොවන බව ඔහුගේ අදහසයි.

සයිරිසා හි නැගීමත් සමගම යුරෝපයේ දක්ෂිනාංශය කිසියම් තැති ගැන්මකට ලක්ව සිටින බව අදාළ ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලි වෙමින් පවතී. ඊට ඇති පදනම කුමක්ද? අපි ලබන සතියෙහි ඒ ගැන සාකච්ඡා කරමු!

Advertisements