පේ‍්‍රමකුමාර් ගුණරත්නම්- “පිටුවහලාගේ දේශපාලන අයිතිවාසිකම”

kumar-gunaratnam2015 ජනවාරි 1 වැනිදා උදයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් අතර පණිවිඩයක් හුවමාරු වෙමින් තිබිණි. ඒ පණිවිඩයෙන් කියැවුණේ තම පක්ෂයේ ඉදිරි පෙළ ක‍්‍රියාකාරිකයකු වන පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි බවයි. දිගු කලක් ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි පෙරටුගාමී සමාජවාදීන්ට එය යම් අස්වැසිල්ලක් වූවා මෙන්ම සිත තුළ රතු එළි දැල්වීමක් ද විය.

”ආයෙත් කුමාර් සහෝදරය ඇරස්ට් කරයිද?” සමහරු එකිනෙකාගෙන් විමසූහ.

‘ආණ්ඩුව නිකන් ඉන්න එකක් නම් නෑ…’ නීතිය අතට ගත් පාලකයන් ගනු ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ ප‍්‍රශ්නය ඔවුන්ට තිබිණි. ඒ සමාඟම් වසර දෙකකට පෙර අතීතය සියල්ලන්ගේම මතකයට කැඳවන ලදී.

කුමාර් කිරිබත්ගොඩ දී පැහැරගනු ලැබුවේ 2012 අපේ‍්‍රල් 7 වැනිදා අලූයම් කාලයේ දීය. ඊට පෙර 6 වැනි දින ආණ්ඩුවේ බැලයන් විසින් දිමුතු ආටිගල හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ ඇය නවාතැන් ගෙන සිටි නිවස අසල දී පැහැරගනු ලැබ තිබිණි. ඔවුන් පැහැරගත් අවස්ථාව අද දවසට සිහිපත් කරගැනීම අවශ්‍යය. එය දේශීය මෙන්ම විදේශීය අවධානයට ලක් වූ පුවතක් බවට පත් විය. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් පමණක් නොව, වමේ දකුණේ බෙදීමක් නැතිව දේශපාලන ක‍්‍රියාකාරීන් රාජපක්ෂ ආණ්ඩුවේ මෙම බිහිසුණු පියවරට එරෙහිව එකාවන්ව හඩ නැගූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවට පැහැරගත් දෙදෙනා නිදහස් කරන්නට සිදු විය. තමන් විසින් අනන්‍යතාව ප‍්‍රකාශ කිරීමට භාවිත කළ විදේශ ගමන් බලපත‍්‍රය හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට සිදුවූයේ ඕස්ටේ‍්‍රලියාව බලා යන්නටය.

එහෙත්, එදා ඔහු විදේශගත වූ පසුව සිය සගයන්ට පැවසුවේ තමන් නැවත ලංකාවට එන බවය. නැවත ලංකාවට එන බවත් ඒ දක්වා එතෙක් මෙරට සහ විදේශගතව සිටින ලාංකික වමේ ක‍්‍රියාකාරීන් සමඟ එක්ව හැකිතාක් සක‍්‍රීයව දේශපාලන අරගලයට දායක වන බවත් ඔහු පවසා තිබිණි. එහෙත් ඔහුට නැවත ලංකාවට පැමිණීමේ බාධාවක් තිබිණි. එය ඔහු පිටුවහල් කිරීමට සිදු වූ හේතුවම විය. කුමාර් මෙරටට පැමිණියේ ඕස්ටේ‍්‍රලියාවේ සිටය. ඔහු මුලින්ම ඕස්ටේ‍්‍රලියාවට ගියේ භීෂණ සමයේ දී අත්අඩංගුවට ගෙන අහම්බයෙන් දිවි ගලවාගත් වෙනත් සිය ගණනක් ලාංකිකයන් සිදු කළ ආකාරයෙන්මය. තමන් විසින් දරන දේශපාලන මතය හේතුවෙන් මර්දනයට ලක්වීම අදත් මේ රටේ සිදු වේ.

අදත් විවිධ නම් භාවිත කරමින් විවිධ සමාජ ක‍්‍රියාකාරිකයන් විදේශගත වන්නේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවදානම හේතුවෙනි. කුමාර් වෙනත් නම් භාවිත කිරීම ගැන ඇතැම් ලිබරල්වාදී පිරිසකට ඇත්තේ විශාල ගැටලූුවකි. ඔවුන්ට අනුව, එය සාමාන්‍ය නීති විරෝධී කටයුත්තක් පමණක් නොව මහා අපරාධයකි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ දඩයමෙන් ගැලවෙන්නට ඔවුන්ගේ ඇතැම් සගයන් ද එවැනි උපක‍්‍රම යොදාගෙන විදේශගත වූ බව ඔවුන්ට අමතක විය නොහැක. මෙරට දී නම් වෙනස් කිරීම සමහරු කරන්නේ එක්කෝ සිය නමට අකැමැති නිසාය, නැත්නම් නම භාවිත කිරීමෙන් වන අගතියක් නිසාය. බඳුගෙවීම පැහැර හැරීමට හෝ වෙනත් වංචනික අරමුණකින් නම් වෙනස් කිරීමක් කළ හැකිය. එසේම ලංකාවේ මෑත අතීතයේ සිදු වූ ආකාරයට ජීවිත තර්ජනය නිසා නම් වෙනස්කර භාවිත කළ අවස්ථා තිබිණි. එසේ නොකළා නම් දැනට ඕස්ටේ‍්‍රලියාවේත් ජපානයේත් යුරෝපයේ හෝ එක්සත් ජනපදයේත් වසන ලාංකිකයන් ගැන කතාවක්වත් ඉතිරි වන්නේ නැත. එක්කෝ ඔවුන් අතුරු හමුදාවල වධ කඳවුරක දී මරා දමා රහසේම පුළුස්සා හෝ මුහුදට දමා හමාර විය හැකිය. නැත්නම් මහමඟ ටයර් සෑයක මිය ගිය හඳුනා නොගත් මළ සිරුරක් වන්නට ඉඩ තිබිණි.

2012 අපේ‍්‍රල් මස සිදුවීමෙන් සනාථ වන්නේ ද ඔහුට අනතුරක් තිබුණු බව මිස අන් කිසිවක් නොවේ. රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙන්නට විදේශ ගතවන සමාජ ක‍්‍රියාකාරීන් මෙන්ම භීෂණ සමයෙන් පසුව විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීමේ දී දායක වූ කුමාර් විදේශගත වන්නේ ස්වකැමැත්තෙන් නොවේ. එසේ විදේශගතවන ලෙස ඔහුට බල කෙරුණේ ද පක්ෂය ගත් තීරණයක් අනුවය. එහෙත් 2011 වසරේ දී ජවිපෙ තුළ ඇති වූ අභ්‍යන්තර අර්බුදය හමුවේ ඔහු නැවත ලංකාවට පැමිණියේය. එහෙත් ඔහු දැරූ ස්ථාවරය තම නායකත්වයට අභියෝගයක් බව වටහා ගත් ඇතැම් ජවිපෙ නායකයන් විසින් ඔහුගේ පෞද්ගලික වතගොත හෙළිදරව් කරන ලදී. ඔහුගේ ගමන් බලපත‍්‍රයේ විස්තර හා භාවිත කළ නම් පුවත්පත්වලට ලැබුණේ ආරක්ෂක ප‍්‍රධානින්ට ලබාදීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ආණ්ඩුවේ බුද්ධි අංශ විසින් කුමාර් සොයන මෙහෙයුමක් අරඹා තිබිණි. ඒ සඳහා විවිධ උපක‍්‍රම යොදාගත් අතර පසුව ඔවුන් කුමාර් සිටින ස්ථානය සොයාගෙන තිබිණි.

ඊට අවශ්‍ය නියෝග ලැබෙන තෙක් ආරක්ෂක අංශ නිශ්ක‍්‍රීය විය. එහෙත් 2012 අපේ‍්‍රල් මස දී ඔවුන්ට අදාළ උපදෙස් ලැබී තිබේ. පැහැරගැනීමත් සමග වහා මැදිහත්වීමෙන් දේශීයවත් ජාත්‍යන්තරවත් දේශපාලන පක්ෂ හා මානව හිමිකම් සංවිධාන නැගූ හඩ නොවන්නට එම දේශපාලන ක‍්‍රියාකාරීන් දෙදෙනාගේ ද ඉරණම තීන්දුවන්නට ඉඩ තිබිණි.

2012 අපේ‍්‍රල් මස 10 වැනිදා රටින් පිටුවහල් කෙරුණු කුමාර් විදේශතව විවිධ දේශපාලන ක‍්‍රියාකාරකම්වල නිරත විය. පක්ෂය ගොඩනැඟීමේ කටයුතුවලට සහායවීමේ දී ඔහු විදේශගත ලාංකික වමේ ක‍්‍රියාකාරිකයන් සමඟ මෙන්ම විදේශ වාමාංශික සංවිධාන සමඟ කටයුතු කළේය. ඒ අතර ලංකාවට පැමිණීමේ දිනයක් පිළිබඳ කල්පනා කරමින් තිබිණි. නැවත වරක් පැමිණීමට වීසා ප‍්‍රශ්නය බාධකයක්ව තිබිණි. එහෙත් වීසා අයදුම් කිරීමේ කලබලයක් නොවිණි. ලංකා රජය මර්දනකාරී අරමුණකින් ආගමන විගමන නීති යොදා පිටුවහල් කළේ මෙරට දී උපන් දෙමළ ජාතික මවුපිය යුවළකගේ පුත‍්‍රයෙකි. එසේම ඔහු මෙරට කළ දේශපාලන ක‍්‍රියාකාරීත්වය නිසා 1989 සමයේ අත්අඩංගුවට ගෙන විවිධ තාඩන පීඩනයන්ට ලක්ව දිවිගලවාගත් අයෙකි.

ඒ නිසාමය ඔහුගේ මෙරටට පැමිණීම වඩා ප‍්‍රයෝජනවත් අවස්ථාවක් වියයුත්තේ දේශපාලන තලයේ වෙනස්කම්වලට සමාන්තරව ඒ පැමිණීමේ අවශ්‍යතාව හඳුනාගන්නට සිදුව තිබිණි. පසුගිය මාස කිහිපයක කාලය තුළ ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡුා කරන ලදී. ඒ සමඟම විවිධ දේශපාලන සංවිධාන ඊට මුහුණ දීමේ පියවර සාකච්ඡුා කරන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වනවිට වමේ සංවිධාන එකමුතුව සමඟ සාකච්ඡුාවක නියැළී සිටියේය. වමේ දේශපාලනය ඉදිරියට ගෙනයාම උදෙසා වූ ක‍්‍රියාමාර්ග

වටහාගැනීම ඔවුන්ගේ එම සංවාදයේ අරමුණු ලෙස තිබිණි. එහිදී ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡුාව ඔවුන් කරගෙන ගිය සංවාදයටම එකතු කරුනීමට සිදුවිය. වමේ සංවිධානවල විවිධ අදහස් පළ විය. ඒ අතර ජනාධිපතිවරණයක දී එක්ව එක වමේ බලයක් ලෙස කළ යුතු බවට වූ යෝජනාවට වැඩි අවධානයක් හිමි විය. එසේ නම් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි සාකච්ඡුා කෙරිණි. වාමාංශික පක්ෂ කිහිපයක නියෝජිතයන්ගේ අදහස වූයේ කුමාර් ගුණරත්නම් එම පොදු වාම දේශපාලන වැඩපිළිවෙළේ අපේක්ෂකයා වියයුතු බවයි.

මේ පිළිබඳ අදහස් විවිධ ආකාරයට මතු වී අන්තර්ජාලය ඔස්සේ පවා වමේ අපේක්ෂකයකු ගැන කතාවක් ඇති විය. එහිදී වමේ විකල්පයක් ගැන සාකච්ඡුාව ඉදිරියට ගැනුණි. කුමාර් ගුණරත්නම් විදේශිකයකු ද ඔහුට පුරවැසිකම

හිමි ද වැනි නීති තර්කවලට වඩා ලාංකිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ගැන අවධානයක් ඇති විය. වමේ දේශපාලනයේ දී ප‍්‍රධානවන්නේ ප‍්‍රතිපත්තිමය කාරණා මිස උපන් රට හෝ අයත් ජාතිය නොවේ. ධනපති නීතිය අනුව ද මෙරට පුරවැසියන් වන මවකට හා පියකුට දාව මෙරට දී උපන් අයකුට දේශපාලනය කිරීමේ නිදහස ගැන ගැඹුරු වාදයක් නැත. 80 දශකය අවසානයේ මෙන්ම පසුගිය දශක ගණනක් පුරා රාජ්‍ය මර්දනය හමුවේ ජීවිතාරක්ෂාව පතා විදේශගත වූ සියගණනක් සමාජ ක‍්‍රියාකාරීකයන්ට ද ඒ නිදහස හිමි වියයුතුය.

අමතක නොකළ යුතුවන්නේ දැඩි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පරිසරයක දිවි ගලවාගත්තවුන් පවා කුමාර්ගේ දේශපාලන මතයක් දැරීමේ නිදහස හා මෙරටට පැමිණ තමන් දරන මතය වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස පිළිබඳ ප‍්‍රශ්න කිරීමය. තමන් මෙරටට පැමිණ දේශපාලනය කිරීමට කැමැති නම් ඕනෑම අවස්ථාවක එසේ කිරීමට හැකි වියයුතුය. පේ‍්‍රමකුමාර් ගුණරත්නම් ගෙන ඇත්තේ එම තීරණයයි. නීතිය හෝ අවලාද විසින් යමකුගේ ඒ අයිතියට බාධා පමුණුවන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන් හ`ඩ නඟන අයගේ වගකීම වන්නේ බාධා නොතකා වැඩකිරීමේ ධෛර්ය ලබාදීමය. නීති අවශ්‍යවන්නේ මිනිස් සමාජය ශික්ෂණය කිරීමේ අරුතින් මිස මර්දනයේ අරුතින් නොවේ. නීතිය මර්දනකාරී උපකරණයක් ලෙස භාවිත කරන්නට පාලකයන් මෙන්ම පාලක පන්තියේ මතය ආරූඪ කරගත් ඊනියා ගැලවුම්කරුවන් ද කැමැතිය. එවැනි අවස්ථාවල කළ යුත්තේ නීති බිඳ දැමීමය.

මිනිස් ඉතිහාසයේ විවිධ අවස්ථාවල සමාජ සංවර්ධනයේ ඉදිරි පිම්මක් පනින්නට හැකි වූයේ මර්දනය හමුවේ නීති නොතකා පොදු මිනිස් උවමනාවන් වෙනුවෙන් වැඩ කිරීමෙනි. ඒ අවශ්‍යතාව මෙරට දී අප දුටුවේ කුමාර්ට අදාළව හෝ අද ඊයේ හෝ නොවේ. වෘත්තීය සමිතිවල සාධාරණ අරගලවලට එරෙහිව අධිකරණ නියෝග ගැනීමේ සිට විරුද්ධ මත දරනවුන්ට හිරිහැර කිරීම දක්වා වල්වැදුණු මෙරට නීතිය එහි අනිසි භාවිතයෙන් මුදාගැනීමේ සීමාව ඉක්මවා ඇත. දැන් කළ යුත්තේ මිනිස් නිදහස මෙන්ම සමාජ සාධාරණත්වය ගරු කරන නව නීතියක් නව මිනිස් භාවිතයක් වෙනුවෙන් සටන් කිරීමය. එහිදී හුදු කාල්පනික ලෝකයෙන් මිදී දේශපාලන කී‍්‍රයාකාරීත්වයකට පැමිණිය යුතුය. දේශපාලන වේදිකාවක හෝ වැඩබිමක වේවා නගර මධ්‍යයේ හෝ ඈත ගම් දනව්වක වේවා කළ යුතු දේ කළ යුතුමය.

————————————–

කුමාර් ගුණරත්නම් 2012 අපේ‍්‍රල් 10 වැනිදා පිටුවහල් කිරීමෙන් පසුව දෙස් විදෙස් ජනමාධ්‍ය විසින් ඔහුගේ කතාව හෙළි කරනු ලැබිණි. ඒ අනුව, අප පුවත්පත විසින් ද ඔහු සමඟ කළ සංවාදයක් පළ කරන ලදී. මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි විසින් සිදු කළ එම සංවාදය අපේ‍්‍රල් 22 වැනිදා ‘ජනරළ’ පුවත්පතේ පළ කෙරිණි. ලංකාවේ දේශපාලන කටයුතු සමඟ යළිත් එක්වන්නේ කවදාද? යන ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු දුන් පිළිතුර මෙසේ සටහන් විය.

”එය මගේ කැමත්ත හෝ අකැමැත්ත මත තීරණය වෙන දෙයක් නෙමෙයි. හැබැයි එක කාරණයක් ඉතාම නිශ්චිතයි. ජීවත්වන තැන කොතන වුණත් සමාජවාදය විශ්වාස කරමින් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට අපි සූදානම්. අපි නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදීන්. අඩුම තරමේ අපි එවැන්නන් වීමට උත්සාහ කරන මිනිස්සු. ඒ නිසා ජීවත්වන තැන, ජීවත්වන රට හෝ ජීවත්වන්නේ කුමන ජන ප‍්‍රජාවක් සමඟ ද කියන කාරණාව පන්ති යුතුකම ඉෂ්ට කරන්නට කිසිදු බාධාවක් වන්නේ නෑ. සමාජවාදය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට සූදානම් අයෙක් ලෙස සිටින ස්ථානය මට එතරම් අදාළ වන්නේ නැහැ. ලාංකේය ජනතාවට අභිමුඛ වී දේශපාලනය කිරීමේ උවමනාව අරමුණු ලැයිස්තුවේ ඉහළින්ම තිබෙනවා. එය තීරණය වන්නේ අපගේ ඉදිරි දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ. ඒ කොහොම වුණත් යළිත් අනිවාර්යෙන්ම ලාංකේය ජනතාව මුණගැහෙන්න එනවා.”

Advertisements