ජල කළමනාකරණය කෙරේ වතුර මීටර් ද සපයනු ලැබේ

waterරතු ඉන්දියානු නායක සියැටල් වරක් මෙසේ ප‍්‍රකාශ කළේය. ”ගංඟා ඇළදොළවල ගලා යන්නේ මගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. එය වචනයේ පරිසමාප්ත වූ අර්ථයෙන්ම මේ පොළොව තුළත් ගම් දනව් නියම් ගම් හරහාත් ගලා යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයමය.”

එකී රුධිරය උරා ගැනීමෙන් අධිරාජ්‍යවාදී රටවල් තම යටත් කරගැනීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළේ අද ඊයේ නොවේ. පරිධියේ රටවල සම්පත් සූරාගෙන තම අවශ්‍යතා සපුරාගැනීම ධනේශ්වර රටවල පරම වූ අභිලාෂය වන්නේය. එය මුදුන්පත් කරගැනීමෙහිලා රටවල් තම අණසකට පත්කර ගැනීමේ දේශපාලන උපක‍්‍රම මාවත් ඔස්සේ ක‍්‍රියාත්මක වීම පිළිබඳව අප දැනුවත් සේම විටෙක අපට සිතාගත නොහැකි තරම් එය රැුවටිලි සහගතය. මේ මොහොතේ පවතින මහින්ද රාජපක්ෂ පාලනය හෙට දවසේ වෙනස් වුවහොත් ඒ කුමන පාලකයෙක් වුවද අර අදින්නේ එයටමය. එහි අරමුණු ගැන දැනගැනීමත් ඒ බව වටහා නොගත් ජනයාට ඒ ගැන අවබෝධයක් ඇතිකරවීමත් අප සතු යුතුකමක් වේ. ඒ නිසා මෙලෙස මේ සටහන තබන්නෙමි.

වතුර විකුණන උත්සාහය

එහි මූලික ආරම්භය සනිටුහන් වන්නේ 1984 වර්ෂයේ දීය. ඒ ගොවීන්ගෙන් ජල බද්දක් ගැනීමට ගත් උත්සාහයෙනි. එහෙත් ගොවි ජනයා මෙන්ම සිවිල් සංවිධාන මැදිහත්වීමෙන් ඇති වූ විරෝධය නිසා ජේ.ආර්. ජයවර්ධන ප‍්‍රමුඛ පාලකයන්ට එය හකුළා ගැනීමට සිදුවිය. ඉක්බිති දශක තුනක් තිස්සේ විටින් විට තට්ටුමාරු ක‍්‍රමයට පැමිණි පාලකයන් විසින් ජනතාවගේ ජල අයිතිය මුදලට විකිණීමට ගත් උත්සාහයන් බොහොමයකි. එහෙත් ඒ උත්සාහයන් නිල වශයෙන් සපල කර ගැනීමට අසමත්විය.

මුළු ලෝකයේම ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමෙහිලා දැවැන්ත උත්සාහයක නිරත වන ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ මූලස්ථානය පිහිටුවා ඇත්තේ ශ‍්‍රී ලංකාවේය. ඒ කොළඹ බත්තරමුල්ල පැලවත්තේය. ඩොලර් මිලියන 17.8 ක් වෙන්කරමින් එහි සක‍්‍රීය පියවර 1993 දී තබන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ උන්සාහය ගැන කියන විට බොහෝ දෙනා වික්ෂිප්ත වනු ඇත. සුලභව පවතින ජලමූලාශ‍්‍ර සහිත ලංකාව වැනි රටක ජලය විකුණන්නේ කොහොමද? බොහෝ දෙනාට ප‍්‍රශ්නයක් ඇතිවනු ඇත.

එක් දෙයක් පැහැදිලිය. ඇඩම් ස්මිත් හා ඬේවිඞ් රිකාඩෝ විසින් වර්ධනය කළ ධනේශ්වර ආර්ථික විද්‍යා මූලධර්මවල ආර්ථික භාණ්ඩ සහ අනාර්ථික භාණ්ඩ ලෙස කොටස් 2කින් යුක්තය. එකී අර්ථ දැක්වීමෙහිලා ධනේශ්වරයේ මූලික අවධිය තුළ මිලකළ හැකි හා මිලකළ නොහැකි ලෙස බෙදා වෙන්වී තිබුණ නිසාවෙන් මිලට හසු නොවන කුමක් හෝ ඉතිරි වී ඇතැයි යමකුට සිතීමට හැකියාව තිබිණි. නමුදු ධනේශ්වරය වනාහී කිසිසේත් එලෙස නොවේ. ශුද්ධ වූ කිසිවක් එහි නැත. නවලිබරල්වාදය නම් වූ මෙකී අවධියට පිවිසෙන කල්හි ඉහත තර්කය මොනවට සනාථ කොට හමාරය.

1997 දී ඩොලර් මිලියන 4.2ක් ද 1998 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 1.5 ක්ද ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකා රජයට ලබාදෙන්නේ ඉහත කූට ව්‍යාපෘතිය මේ පොළොවේ ක‍්‍රියාත්මක කරවීමටය. එහෙත් එය සාර්ථක නොවේ. 1999 නොවැම්බරයේ එකී උත්සාහය වැළලී යන්නේ නැවත නැවත ඇතිවන ජනතා විරෝධතාවන්ගේ ප‍්‍රතිඵල ලෙසය. 2000 වර්ෂයේ දී අද යහපාලනය නැවත උදාකිරීමට වෙරදරන චන්ද්‍රිකා බණ්ඩාරනායක ආසියානු සංවර්ධන බැංකුව සමඟ ජලය විකිණීමට අදාළව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. 2000 මාර්තු 20 වැනි දින එයට කැබිනට් අනුමැතිය ද ලැබෙන්නේය. එය එසේ වන කල්හි, මේ පොළොවේ. වතුර ටික උරාගැනීමට අර අදින ආසියානු සංවර්ධන බැංකුව ආණ්ඩුවේ ඒජන්තයන්ට තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දෙන්නේ මේ නිසාය. එහෙත් ජන අරගලය ශක්තිමත් විය. එසේම චන්ද්‍රිකා ආණ්ඩුව ද අස්ථාවර විය. එනිසාවෙන් එය පාර්ලිමේන්තුට ඉදිරිපත් වන්නේ නැත.

යහපාලනයේ අනෙක් රජු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා 2002 වර්ෂයේ දී ”රිගේනින් ශ‍්‍රී ලංකා” හරහා ද ජලය විකුණා ගැනීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ කළේය. එනිසා 2003 ඔක්තෝබර් 13 වැනි දින පානීය ජල සේවා ප‍්‍රතිසංස්කරණ පනත ගැසට් පත‍්‍රය ප‍්‍රසිද්ධ කෙරිණි. එහෙත් ජනතා විරෝධ හේතුවෙන් ජාතික ජල සම්පත් පනත රනිල් හකුළා ගත්තේය.

මේ සටහන ලියැවෙන්නේ මහින්දගේ ඒකාධිපති පාලනයට විරුද්ධව වමේ යයි කියාගන්නා ප‍්‍රගතිශීලී යයි කියාගන්නා අය ද මෛත‍්‍රී යුගයක් උදාකළ යුතු යැයි සටන් කරන අවධියකය. එසේම මේ ජල සම්පත වාණිජ භාණ්ඩයක් බවට පත්කිරීමේ කි‍්‍රයාදාමයේ අතීත මතක සනිටුහන් කරවන්නකි. රනිල් වික‍්‍රමසිංහගේ රිගේනින් ශ‍්‍රී ලංකා පරදා ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්විය. අද ‘මෛත‍්‍රී යුගයක්’ යනුවෙන් හඳුන්වන සේම ‘කිරි උතුරන හෙටක් උදෙසා අද උපදින සන්ධානය’ ලෙස එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය අර්ථවත් විය. එහෙත් 2004 ජූනි 15 වැනි දින ජලය විකිණීමට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡුා ආරම්භ කෙරිණි. 2004 දෙසැම්බර් 21 වැනි ‘ජල සම්පත් කළමනාකරණ ප‍්‍රතිපත්ති කෙටුම්පත’ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. කැබිනට් අනුමැතිය ලැබූ ඒ ප‍්‍රතිපත්තියට අනුව ජලය භාවිත කිරීමට අයිතිය ඇත්තේ ජල හිමිකාරීත්වය සහිත අයට පමණයි. ජල හිමිකාරීත්වය සහිත ඔවුන්ට ජල සම්පත් අධිකාරියෙන් බලපත‍්‍රයක් ද ලැබෙන්නට නියමිත විය.

කෙසේවෙතත් 2005 වර්ෂයේ දී මහින්ද යුගය ඇරඹුණි. වැව් අමුණින් දිය නාන, වතුර ටිකක් බොන, ගොවිතැන් කරගන්නා ගොවියාගේ කැමැත්තෙන් රට රකින්නට මහින්ද බලයට පත් කෙරිණි. එහෙත් රට රකින මහින්දගේ ක‍්‍රමය වෙනස් වීය. එය අතිශය උපක‍්‍රමශීලීය.

මිහින්තලා පර්වතයේ දී මහින්ද හාමුදුරුවන් කී බවට මහාවංශයේ ලියැවුණු ‘මහරජ, මේ භූමියේ අයිතිකරු නොව, එහි භාරකරුය…’ ආදී හරබර වචන මහින්ද චින්තනයෙන්ම ජනතාවට පවසන ලදී. කෙසේවෙතත් ආසියානු සංවර්ධන බැංකුව මෙකී ක‍්‍රියාදාමයෙන් ඉවත් වී එහි වගකීම ලෝක බැංකුව ලබාගන්නේ මෙකී සමය තුළය. ලෝක බැංකුවෙත් රාජපක්ෂ පාලනයේත් උපක‍්‍රමය වනුයේ හොර රහසේ වැඬේ දීමය.

ඉහත සමයන්හි පනත් කෙටුම්පත් ගෙනෙනු ලැබිණ. එනිසාවෙන්ම ජනතාවට අඩුම තරමේ වෙන්නේ කුමක්ද යැයි දැනගත හැක. සරල වශයෙන් කිවහොත් ‘අපට කෙළවෙනවා’ කියා අඩුම තරමේ දැනගෙන විනාශ විය හැක. නමුත් මහින්දගේ උපක‍්‍රමය කෙළවෙනවා කියා නොදන්වා දේශපේ‍්‍රමී ලෙස කෙළවීමය. එහිදී මහින්ද තව තවත් උපක‍්‍රමශීලී විය. රටටම බලපාන නීති ගෙන ඒම වෙනුවට පළාතෙන් පළාත ක‍්‍රමානුකූලව ජල සම්පත් වෙළෙඳ භාණ්ඩකරණය කිරීම මහින්දගේ අරමුණ විය. 2007 ජනවාරියේ දී වයඹ පළාත් සභාවට ‘ජල කළමනාකරණ ප‍්‍රඥප්තියක්’ ගෙන ආවේ මේ නිසාය. විවිධ විරෝධතා හැලහැප්පිලි මැද පසුබිමේ පැවැති එය සම්මත කෙරුණේ 2014 දීය. වසර 7ක් මූලික පියවර ගෙන 2014 දී යෝජනා සම්මත කෙරිණි. ඒ මහින්ද චින්තනයේ ක‍්‍රමය විය.

මේ වනවිට ගෝලීය දේශගුණ තත්වයන් කැපී පෙනෙන සේ වෙනස් වේ. ඊට වගකිවයුතු වන්නේ අමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය ප‍්‍රමුඛ කාර්මික බලවතුන් වන අධිරාජ්‍යවාදී රටවල්ය. ඒ ගැන වචනයක්වත් නොකියන ලෝක බැංකුව ජලසම්පත් හිඟවීම ගැන සැලැසුම් ක‍්‍රියාත්මක කරන්නට උපදෙස් දෙන්නේ ලංකාව වැනි පරිධියේ රටවලටය. ජල පරිභෝජනය වෙනස් කරන්නට ගන්නේ ලංකාව වැනි කුඩා රටක වැව් අමුණුවල ජලය කළමනාකරණය කිරීමෙන්ය. කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය භාවිත වන රටක ජල සම්පත් වාණිජකරණය කිරීම පහසුවන්නේ එය වෙළෙඳ වටිනාකම අතින් වැඩිවන නිසාය. දැන් අරමුණ පැහැදිලිය. ජල සම්පත් සූරාකෑමේ කූට ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ එලෙසිනි. ලෝක බැංකුව සමඟ ආණ්ඩුව ඩොලර් මිලියන 110ක ගිවිසුම් අත්සන් තැබෙන්නේ මේ තත්වයන් තුළය. ඒ මුදලින් ආණ්ඩුව වැව් මායිම් සකස්කර වැව් බැමි සකස්කර ඇළවේළි කොන්ක‍්‍රීට් කර ඇළ මාර්ගවල තැනින් තැන ජල බාධක ඉදිකර හමාරය. තවත් ඉතිරි වී ඇත්තේ මීටර් සවි කිරීමටය. එය ක‍්‍රියාත්මක වීමට සැලැසුම් වී තිබෙන්නේ ජල සම්පත් වාණිජ වශයෙන් භාවිතයට ගෙන එන සමාගම් හරහාය. සුවහසක් මිනිසුන්ගේ බොන වතුර ටික සමාගම් සතුවන්නේ එසේය. මෙකල පනත් එන්නේ පසුවය. මුලින් ක‍්‍රියාත්මක වන්නේ වාණිජකරණ යාන්ත‍්‍රණය ස්ථාපිත කිරීමයි.

අලූත් ජනාධිපතිවරු කරන්නේ මොනවාද?

මහින්ද රාජපක්ෂ අප ඉහත සඳහන් කළ පරිදි දැනටමත් එකී ව්‍යාපෘතියේ ක‍්‍රියාධරයෙකි. ඔහුගේ හෙට දවසේ ප‍්‍රතිපත්තිය ද එයමය. මෙවර ජනාධිපතිවරණ ප‍්‍රතිපත්තිය තුළ ද එසේමය. මහින්ද රාජපක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 27 වැනි පිටුවේ සඳහන් වන්නේ මෙසේය. ”දිවයිනේ ඇති සියලූ වැව් සහ ඇළවේලි ඒ ගම්වල ජීවත්වන අයගේ ශ‍්‍රම දායකත්වයෙන් ප‍්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කිරීමේ වගකීම නිලධාරීන්ට නොව ඒවායේ අගය මැනවින් දන්නා ගොවි සංවිධානවලට පවරයි’’ මීට පෙර පනත් හරහා මේ උත්සාහයේ නිරත වූ චන්ද්‍රිකා රනිල් ප‍්‍රමුඛ වූ මහින්ද රාජපක්ෂ සමඟ මේවා ක‍්‍රියාත්මක කිරීමට අත ඉස්සූ ඒ වෙනුවෙන් මහන්සි වූ මෛත‍්‍රී, රාජිත, ප‍්‍රමුඛ යහපාලන කණ්ඩායම ද එසේමය. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මෙසේ ඇත. ”කුඩා වැව් නඩත්තු කිරීම හා පාලනය කිරීම එම පද්ධතිය පාලනය කරන ඒකකයේ වගකීමක් වන අතර රජය මඟින් එයට අවශ්‍ය පහසුකම් සැලසීම උදෙසා කටයුතු යොදන්නේය”.

”මේ මගේ දරුවාගේ පාසලයි” මෙය ඉතා හොඳ ප‍්‍රකාශයකි. තමන්ගේ දරුවාගේ පාසල ගැන එවැනි හැඟීමක් වර්ධනය කරවීමේ වරදක් නැත. එහෙත් පාලකයා එය යොදවනු ලැබූයේ කුමන අරමුණක් ක‍්‍රියාත්මක කිරීමටද? ඔබ පාසල් යන දරුවෙක් සිටින මවක් හෝ පියෙක් නම් එය ඉතා හොඳින් දන්නවා ඇත. දැන් පාසල් වල බොහෝ වගකීම් දෙමාපියන්ගේ උර මත පටවා ඇත. පන්ති හදන්නේ, ඩෙස්පුටු හදන්නේ, ඒවා නඩත්තු කරන්නේ, විදුලිබිල, ජලබිල ගෙවන්නේ ද දෙමාපියන්ය. රුපියල් හාරපන්දහසක් මසකට ගෙවීම සාමාන්‍යයක් වී ඇත. මේ අතර ශ‍්‍රමය ද ලබා දිය යුතුය. නැතිනම් එහි කුලිය ලබා දිය යුතුය. ඉගෙන ගන්නා ශිෂ්‍යයාට ඒ සඳහා පහසුකම් සැලැසීම රජයේ කාර්යකි. එය දෙමාපියන්ට පවරන්නේ ආණ්ඩුව වගකීමෙන් ගැලවීමටය. එලෙස දෙමාපියන්ට පවරා දෙවන පියවර ලෙස සමාගමකට පවරනු ඇත. එවිට දෙමාපියන් අදාළ සමාගමට මුදල් ගෙවනු ඇත. එවිට රජයේ පාසල පෞද්ගලික පාසලක් වී හමාරය. අද දවසේ පාසලේ තත්වය විශ්වවිiාල තුළ ඇතිකිරීමට උත්සාහ කළ ද ශිෂ්‍ය අරගල ඉදිරියේ ඒවා හකුළා ගැනිණි.

වැවට, අමුණට සිදුකරන්නට යන්නේ ද මෙයමය. ලෝක බැංකුවට අවශ්‍ය කරන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ එසේය. මහින්ද චින්තනයට අනුව දිවයිනේ ඇති සියලූ ඇළවේලි මිනිසුන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ප‍්‍රතිසංස්කරණය කර නිලධාරීන්ට නොව ගොවි සංවිධානවලට පවරන්නේ ඒ නිසාය. ඒ අනුව ගොවි සංවිධානවලට වගකීම පවරා ආණ්ඩුව පහසුකම් සලසන්නෙක් වන්නේය. වියදම් ශ‍්‍රමය ගැමියන්ගේය.

එය සාමාන්‍ය ජනතාවට නඩත්තු කරගත නොවන කල්හි සමාගමක් සතුවනු ඇත.

‘මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය’ තුළ ද කුඩා වැව් නඩත්තුව හා පාලනය එම පද්ධතිය පාලනය කරන ඒකකයේ වගකීමක් බවට පත්වන අතර රජය පහසුකම් සලසන බව පවසන්නේ ඉහත සඳහන් කළ ව්‍යාපෘතියේම කොටසක් ලෙසය. ආණ්ඩුවක් තිබෙන්නේ ඒවා සංවර්ධනය කිරීමටත් රැුකබලා ගැනීමටත්ය.

නවලිබරල් ධනවාදය එසේය. එය අප කාටත් අරුමයක් නොවේ. නොයෙක් රැුඟුම් ඔස්සේ උපක‍්‍රම ඔස්සේ ජනතාවගේ රීඊ මාංසය උරාගැනීමට වෙර දරයි. ධනේශ්වර පාලකයා ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින්නේය. මේ එකී ධනේශ්වරය සාමාන්‍ය ජනයාට තේරුම් ගත නොහැකි විලාසයන්ගෙන් තම අරමුණු සාර්ථක කරගන්නා යුගයකි. එනිසාවෙන්ම මේ ගැන සවිඥානික වීමත් ඊට එරෙහිව අරගල කිරීමත් ප‍්‍රගතිශීලී මිනිසුන්ගේ ඓතිහාසික යුතුකම වන්නේය.

 

ලක්මාල් රණබාහු

Advertisements