කණ්ඩායම් කිහිපයක් පවතින බව චීන කොමියුනිස්ට් පක්ෂය පිළිගනී!

1චීන කොමියුනිස්ට් පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයක් ක‍්‍රියාත්මක වන බව පසුගිය සති අන්තයේ චීන රාජ්‍ය මාධ්‍ය නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. පක්ෂය තුළ භේදයක් ඇති බව කාලයක් තිස්සේ වාර්තා වුවත් එවැනි බෙදීමක් ඇති බව නිල වශයෙන් පිළිගැනුනේ ප‍්‍රථම වරටය. චීන ජනාධිපති ෂී ජින් පෙන්ගේ දූෂණ විරෝධී වැඩසටහන කොමියුනිස්ට් පක්ෂය තුළම සිටින සිය ප‍්‍රතිවාදීන් මැඬලීම සඳහා දියත් කරන ලද්දක් බවද එහි දී හෙළිදරව් විය. පසුගිය සති අන්තයේ චීන රාජ්‍ය මාධ්‍ය ජාලය වන ෂින්හුවා පුවත් ඒජන්සිය පොදුවේ ‘කොටි’ ලෙස හඳුන්වනු ලබන කණ්ඩායම් තුනක් පිළිබඳ සඳහන් කර තිබේ. ඒ ‘ආරක්ෂක කණ්ඩායම’, ‘පෙට්‍රෝලියම් කණ්ඩායම’ හා ‘ෂැන්සි කණ්ඩායම’ යි. මෙම කණ්ඩායම් සමඟ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නායකයන්ගේ නම් ගෑවී තිබේ. එම නායකයන්ගෙන් බහුතරය මෑතක දී වංචා හා දූෂණ චෝදනා මත දඬුවමට බඳුන් වූවන්ය. චීන ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී වැඩසටහනේ සැබෑ අරමුණ පක්ෂය තුළ තමන්ට එරෙහි මත දක්වන්නන් මර්දනය කිරීම බවට ලෝක ජනමාධ්‍ය තුළ සාකච්ඡුාවක් ඇති වූයේ ඒ අනුවය.

මෙසේ පළිගැනීමට ලක්වූ ප‍්‍රධානතම චරිතය වන්නේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාව සිටි ෂෝ යොන්කැන්ය. ඔහු 2012 දී විශ‍්‍රාම ගන්නා තුරුම පක්ෂ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජිකයකු විය. ආරක්ෂක කණ්ඩායම සහ පෙට්‍රෝලියම් කණ්ඩායම සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා පසුගිය

දෙසැම්බරයේ දී ඔහුව අත්අඩංගුවට ගත්තත් එහි දී හේතුව ලෙස දක්වා තිබුණේ වංචා ¥ෂණය. ඔහු විශ‍්‍රාම යන අවස්ථාව වනවිටත් චීනයේ තෙල් සමාගම් වන සිනොපෙක් හා චීන ජාතික ඛනිජ තෙල් සංස්ථාව යන ආයතන ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ටත් වඩා බලවත් විය. ඔහුගේ විශ‍්‍රාම යාමත් සමඟ එම බලය අඩු වූ අතර පසුව විවිධ දූෂණ චෝදනා භාවිත කර ඔහු දඩයම් කරන ලදී.

අනෙක් සුප‍්‍රකට උදාහරණය වන්නේ ලින් ජිනුවාය. ඔහු ෂැන්සි කණ්ඩායමේ නිර්මාතෘවරයකු ලෙස සැලකේ. ෂැන්සි යන නම නිර්මාණය වී තිබෙන්නේ චීනයේ ගල් අඟුරු බහුල කැන්සි පළාතෙනි. ලින් ජිහුවා හිටපු චීන ජනාධිපති හියු ජින්තාබෝගේ සමීපතමයෙකි. එමෙන්ම පක්ෂයේ තරුණ සමිති නායකයෙකි. ඔහුට එල්ල වී තිබෙන ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහුගේ 23 හැවිරිදි පුතා විසින් සිදුකරන ලද රිය අනතුරක් සඟවාලීම සඳහා අල්ලස් ලබාදීමයි. මෙම රිය අනතුරෙන් ඔහුගේ පුතා මිය ගිය අතර කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා පසුව එක් කාන්තාවක මිය ගියාය. ලින් ජිහුවා සිය පුතාගේ මරණය සැඟවූ අතර මියගිය කාන්තාවගේ ඥාතීන්ට අල්ලස් ලබාදී එය සැඟවීමට ක‍්‍රියාකළ බවට ඔහුට චෝදනා එල්ල විය.

ප‍්‍රශ්නය ආරම්භ වූයේ නව ජනාධිපති ෂී ජින්පෙන් විසින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණයට අත තැබීමත් සමඟය. මෙම වැඩසටහන යටතේ චීනයේ අතිවිශාල ගල් අඟුරු හා ඛනිජතෙල් රාජ්‍ය සමාගම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට විකුණා දැමීමට පියවර ගන්නා ලදී. මෙම තීරණය වැරදි බවට පක්ෂය තුළම උද්ඝෝෂණ පැන නැඟුනත් චීනය නවලිබරල් ව්‍යාපෘතිය තුළ දක්කාගෙන යන ගමන එයින් අඩාල නොවීය. නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ට කණ්ඩායම්වාදය, වංචා දූෂණ ආදී චෝදනා එල්ල කර ඔවුන්ට දඬුවම් දීමට ප‍්‍රමුඛතාව ලබාදී ඇත. චීන ආරක්ෂක කොමිසමේ නියෝජ්‍ය සභාපති ෂූ කේහෝ මේ වනවිටත් අත්අඩංගුවට පත්ව සිටින අතර ඔහුට එරෙහිව ඇත්තේ ද එවැනිම චෝදනාය. කෙසේවෙතත් මේ ඇත්තේ දූෂණ දුරලීමේ අභිප‍්‍රායක් නොව දේශපාලන ප‍්‍රතිවාදීන් මැඬලීමේ අභිප‍්‍රායකි. එය දැන් විවෘතව කරළියට පැමිණ තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය තුළ නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණවලට එකඟ හා එකඟ නොවන කොටස් අතර යන මේ අරගලය දැවැන්ත ලේ වැගිරීමක් දක්වා වුවත් වර්ධනය විය හැකි යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ ප‍්‍රකාශ කර තිබිණි.

දිනිත් හෙට්ටිආරච්චි

Advertisements